නිසිකළ නිවැරැදි තීරණ ගත් නොසැලුණු මිනිසා

නිසිකළ නිවැරැදි තීරණ ගත් නොසැලුණු මිනිසා

ජජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය පිළිබඳ කතා කිරීමට පෙර අප එතුමා ප්‍රථම පදවි ප්‍රාප්තියේදී බාරගත් රට පිළිබඳවත් ඒ දේශපාලන පසුබිම පිළිබඳවත් මුලින් සඳහන් කළ යුතුයි. 2005 වසර මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවි ප්‍රාප්ත වන්නේ දැඩි අභියෝගාත්මක තත්ත්වයකට පත් ජනාධිපතිවරයකු ලෙසින්.

මේ කාලවකවානුව වනාහි එක් අතකින් රටේ ජනතාවත් තවත් අතකින් රටේ හමුදාවත් පරාජිත මානසිකත්වයකින් යුතුව සිටි අවදියකි. ඊට හේතුව වූයේ එතෙක් රට පාලනය කළ ජනාධිපතිවරු සිව්දෙනා විසින් ත්‍රස්තවාදී ප්‍රශ්නයේදී එය විසැඳීම සඳහා කළ අත්හදා බැලීම් හා උපක්‍රම සියල්ල ව්‍යාර්ථ වී තිබීමයි. ඒ නිසා යුද්ධය හුදෙක් රටේ පවතින්නක් මිස නැවැත්විය හැකි දෙයක් නොවේය යන මතය සමාජයේ ස්ථාපිත වී තිබුණි.

නිර්මාණ ශීලිත්වයට අත හිත

එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවූයේ දේශපාලනික වශයෙන් අස්ථාවර ආණ්ඩුවක් බව අප අමතක නොකළ යුතුයි. කථානායකතුමා විරුද්ධ පක්ෂයෙන් පත්වූ එමෙන්ම ආණ්ඩුවට වැඩියෙන් එකඳු ආසනයක් හෝ නොමැති අස්ථාවර දේශපාලන පසුබිමක සිටයි එතුමා රට භාරගත්තේ. එවැනි තත්ත්වයක් යටතේ එතුමා මේ සියල්ල සිදුකර පෙන්වූයේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි.

විශේෂයෙන් ඔහු පෙර ජනාධිපතිවරුන් සතු අත්දැකීම් හොඳින් නිරීක්ෂණය කළ නායකයකු ලෙස ඒ සියලු අත්දැකීම් සිහි තබාගෙනයි මේ ප්‍රශ්නයට අවතීර්ණ වූයේ.

එතුමා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡාමය විසඳුමකට යාමට ප්‍රථමකොට ඇමැතිවරු පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පිටත්කර හැරියා. ඒ සාකච්ඡා සාර්ථක වන්නේනම් තමාද සාකච්ඡාවකට එළඹෙන බවද එතුමා දන්වා සිටියා. මේ නිසා කිසිම අවස්ථාවක එල්.ටී.ටී.ඊ. සංවිධානයට එතුමාට චෝදනා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණේ නැහැ. මක්නිසාද එතුමා ප්‍රථමයෙන්ම කළේ සාකච්ඡාමය විසඳුමකට අවතීර්ණ වීමයි.

ඒ අතර එතුමා පූර්ව අත්දැකීම අනුව දැනසිටියා මේ සාකච්ඡා කඩාකප්පල් වන බව.

ඒ නිසා එතුමා ඒ සමඟම රටේ හමුදාව ශක්තිමත් කළා. අවි ආයුධ ප්‍රහාරක යානා ආදියෙන් හමුදාව සන්නද්ධ කළා. එමෙන්ම ආරක්ෂක ලේකම් තනතුරට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමේ සිට තමන්ට අවශ්‍ය ලෙස හමුදා සේනාංක පෙළගස්වා ගත්තා. හමුදාවේ මානසිකත්වය වෙනස් කළා. ඊට සමගාමීව රටේ ජනතාවගේ මානසිකත්වය ද වෙනස් කළා.

එතුමා දැන සිටි පරිදි සාකච්ඡා කඩාකප්පල් වෙද්දීම එතුමා සෘජු ලෙසම තීන්දු කළා එල්.ටී.ටී.ඊ. සංවිධානය අවියෙන්ම මර්දනය කරන බවට. දෙස් විදෙස් කිසිදු බලවේගයකට ඒ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට බලයක් ලැබුණේ නැහැ. ජාත්‍යන්තරයෙන් විවිධ ප්‍රශ්න පැන නැගෙන විට එතුමා සූක්ෂම මෙන්ම උපක්‍රමශීලි ලෙස ඒ ප්‍රශ්න විසඳුවා.

විදේශ රටවල් ණය ආධාර දෙනවිට, තමන් බලයට පත්වුවහොත් ඒ ණය නොගෙවන බවට විපක්ෂය තර්ජනය කරද්දීත් ඒ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මුහුණ දුන් ආකාරය පිළිබඳව අප සොයා බැලිය යුතුයි.

සාකච්ඡාමය විසඳුමකට නොයනවා නම් තමන් ආධාර නොදෙන බවට යුරෝපය කියනවිට ජනාධිපතිවරයා තමන්ට මිත්‍ර රටවල් වෙතට හැරුණා. එහෙත්, යුරෝපය සතුරෙකු කරගත්තේ නැහැ.

යුරෝපය තහංචි දමද්දී ඉරානයෙන් චීනයෙන් ජපානයෙන් ආධාර ගත්තා. එතුමා මනාලෙස ජාත්‍යන්තර සබඳතා කළමනාකරණය කරගත්තා. ඉන්දියාවෙන් ආධාර ගන්නා අතරේ පකිස්ථානයෙන්ද ආයුධ ලබා ගත්තා. ඉන්දියාව තරහ කරගත්තේ නැහැ. ඉන්දියාව බද්ද වෛරයෙන් සිටින චීනයෙනුත්, උදව් ගත්තා. හැබැයි එතුමාගේ ස්ථාවරත්වය වෙනස් කළේ නැහැ.

එමෙන්ම මේ කාලය තුළ ජනතාව සමඟ එතුමා පැවැත්වූ සම්බන්ධය පිළිබඳව සලකා බලනවිට අප දන්නවා යුද්ධයක් පවතිද්දී ජනතාවට විශාල වශයෙන් යුද පීඩනයට හා ආර්ථික අපහසුතාවන්ට මුහුණදීමට සිදුවෙනවා.

දෙවැනි ලෝක යුද්ධ සමයේදී මිනිසුන්ට බජිරි කෑමට පවා සිදුවුණා. එහෙත් අපේ රටේ එබඳු තත්ත්වයක් උද්ගත වූයේ නැහැ. එතුමා එකදු සහනාධාරයක්වත් කප්පාදු කළේ නැහැ. ඒ නිසා විරුද්ධවාදීන්ට යුද්ධය නිසා ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙනවා යැයි කියා යුද්ධයට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට අවස්ථාවක් නොලැබී ගියා.

අනාගත පරපුර සමග රට පෙරට...

එමෙන්ම ජනතාවගෙන් ද යුද්ධය නැවැත්වීමට බලපෑමක් ඇතිවුණේ නැහැ. ජනමතය නිරන්තරයෙන් අපි යුද්ධය ජය ගන්නවාය යන මතයෙන් පෝෂණය කළා. හමුදාවේ චිත්ත ධෛර්යය වැඩිකිරීම සඳහා අපි වෙනුවෙන් අපි වැනි වැඩසටහන් දියත් කළා.

 එමෙන්ම ජනතාවට හමුදාව පිළිබඳ විශ්වාසයක් මෙන් ම ගෞරවයක්ද ඇති කිරීමට එතුමා සමත්වුණා. යුද්ධයේ බැරෑරුම් අවස්ථාවක සාක් සමුළුව කැඳවා කලාපයේ සියලු නායකයන්ට ත්‍රස්තවාදය පිළිබඳ ඇති අවදානම පැහැදිලි කර දී ත්‍රස්තවාදයට එරෙහි ගිවිසුමක් අස්සන් කරවා ගත්තා.

රටේ යුද්ධයක් තිබියදී සාක් සමුළුවක් සංවිධානය කර මුදල් නාස්ති කරනවා යයි අවලාද කී සියලු පාර්ශ්වයන්ට එතුමා ඒ කළ උපක්‍රමශීලී ක්‍රියාව තේරුම් ගියේ සමුළුව අවසානයේ යි.

එය තවදුරටත් පසක් වුණේ රටේ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවලදී පවා ඉන්දියාව වැනි රටවල් ඊට අත පෙවීමක් නොකිරීමත් සමඟයි. බොහෝදෙනා බලාපොරොත්තු වූයේ යුද්ධයේ තීරණාත්මක මොහොතේදී ඉන්දියාව ඊට මැදිහත් වෙයි කියායි. එහෙත් එය වළක්වන සම්මුතියක් සාක් සමුළුවේදී එතුමා ඒ වනවිටත් අස්සන් තබාගෙන තිබුණා.

ඒ අතර සියලු සංවර්ධන කටයුතු මෙන්ම කෘෂි කර්මාන්තය සඳහා සුළු අපනයන භෝග වගාවන් සඳහා සපයන ආධාර ආදිය නොකඩවා ලබා දුන්නා. ඒනිසා ලෝකයේ ආර්ථික අර්බුද හමුවේ වුණත් අපට නොසැලී සිටීමට අවකාශ ලැබුණා.

ඒ අතර මේ සියලු ජයග්‍රහණ අභියස ජනාධිපතිවරයා රටේ ජනතාවට එදා සිටි සුපුරුදු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම වුණා. ගැමිකම, සංස්කෘතිය, ආගම දහම සදාචාරය හඳුනන දේශපාලන පරිනත බවින් යුතු රටේ ජනතාවගේ ජනාධිපතිවරයාම වුණා. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සාමාන්‍ය ජනයා යන සියලු පාශ්ර්වයන්ට ඇහුම්කන්දෙන නායකයකු වුණා.

කිසිදු නායකයකුට නොලැබුණු සේ සුවිශාල ජනවරමක් එතුමාට දෙවැනි ධුර කාලය සඳහා ලැබුණේ ඒ නිසායි. දැන් එතුමාට පෙර තිබූ තරම් අභියෝග නැත. නොවැම්බර් 19 න් එළඹෙන එතුමාගේ දෙවැනි ධුර කාලය මේ රටේ ස්වර්ණමය යුගයක ආරම්භයක් ලෙස නම්කළ හැකිවන්නේ මේ නිසාය.

 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් යාපා

අබේවර්ධන මහතා


සබැඳි පුවත්