ලොවම දිනූ අපේ විදෙස් පිළිවෙත

ලොවම දිනූ අපේ විදෙස් පිළිවෙත

ලොව කිනම් රටකට වුවද හුදෙකලා වී සිටිය නොහැක. විවිධාකාර වූ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම පිණිස ලෝකයේ විවිධ රටවල් සමඟ ගනුදෙනු කිරීමට අද බොහොමයක් රටවල් පෙළඹෙති. සංවර්ධිත රටක් වුවද සංවර්ධනය වෙමින් පවත්නා රටක් වුවද මේ ක්‍රියාදාමය සඳහා නිතැතින්ම ප්‍රවිෂ්ට වෙයි.

විදෙස් නායකයන් හමුවී

මෙලෙස ලෝකයේ බොහොමයක් රටවල් සමඟ සමීප සබඳතා පවත්වා ගනිමින් එවැනි රටවල තාක්ෂණික හා විද්‍යාත්මක ඇතුළු නොයෙක් ක්ෂේත්‍රයන්හි සහයෝගය ලබාගැනීමෙන් දියුණු වූ රටවල් විශාල ප්‍රමාණයකි.

 කිසියම් රටක අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීමේදී සියලු අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි විය හැක. එවැනි අවස්ථාවකදී සහාය ලබාගත හැකි රටකින් සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමට පෙළඹෙයි.

ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙසට ශ්‍රී ලංකාව අද වන විට ලොව සෑම රටක් සමඟම ඉතාම මිත්‍රශීලීව කටයුතු කරන බව සඳහන් කරන්නේ ආඩම්බරයෙනි. මේ සඳහා බලපෑ කරුණු කිහිපයක් ද ඇත. 2005 වර්ෂයේදී මේ රටේ බලයට පත් වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය මේ සඳහා කදිම සාක්ෂියක් විය.

විදේශ ප්‍රතිපත්තිය

ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී දේශීයත්වය හා රටේ අභිමානය රැකෙන පරිදි හා අනෙකුත් රටවල් සමඟ මිත්‍රශීලී ලෙස කටයුතු කළ හැකි ආකාරයට නිර්මාණය කළ යුතු වේ. සැබැවින්ම අපේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වී තිබෙන්නේ ද ඒ පරිද්දෙනි.

චීනය, ඉන්දියාව, පාකිස්ථානය, ඉරානය, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය ආදී රටවල් සමඟ පමණක් නොව ලෝකයේ සෑම රටක් සමඟම ඉතාම මිත්‍රශීලීව හා ද්විපාර්ශ්වීය වශයෙන් සබඳතා වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, වර්තමාන රජයටත් හැකිව තිබේ.

මීට වර්ෂ දෙකකට ඉහත දී අපි කතා කළේ අපේ මාතෘ භූමිය මුහුණ දුන් දැවැන්ත අරගලයක් පිළිබඳවය. නමුත් අද ඒ අරගලය නිමාවට පත් කර අභිමානවත් ජාතියක් ලෙස දිනෙන් දින ඉදිරියට පැමිණෙමින් සිටිති. ලෝකයේ ඇතැම් ජාතීන්ගෙන් ගැරැහුම් ලද කාලය ඒ සමඟ අවසන් කර තිබේ.

යුද ජයග්‍රහණය ලැබීමත් සමඟ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් වෙසෙන රටවල් අපිට එරෙහිව ඇතැම් කුමන්ත්‍රණකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ බව නොරහසකි. නමුත් ඒ කිසිවෙකට හිස නොනැමූ අපේ ජනාධිපතිවරයා පුංචි රටක් වුවද පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක් ලෙස අපිට කළ හැකි දේ සමස්ත ලෝකයා ඉදිරියේම දිස්වන්නට ඉඩකඩ සැලසීය.

ජාත්‍යන්තර වශයෙන් කොතරම් බාධා පැමිණියද ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවට සාමයෙන් සතුටින් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමත්විය. මිත්‍රශීලීව කටයුතු කිරීම අගය කරමින් මේ අවස්ථාවේදී ඉන්දියාව, පාකිස්තානය, චීනය වැනි රටවල් අපේ රටට විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන්නේය.

විවිධ ගැටලු

විදෙස් නායකයන් හමුවූ අවස්ථාව

විශේෂයෙන්ම මෙහිදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකරන ලද්දේ වර්තමාන ජනාධිපතිවරයායි. කිසි දිනෙක පරද්දන්නට නොහැකි යැයි කියූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් පරාජයට පත් කර සාමය උදාකර ගැනීම ලෝකයේ සෑම රටකටම විශ්මය දනවන්නක් විය.

මේ නිසාම ලෝකයේ බොහෝ රටවලට ශ්‍රී ලංකාව නැතුවම බැරි රටක් බවට පත් විය. එහිදී වැඩි අවධානයක් යොමු කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳවයි.

එසේ විශ්වාසය තැබුවා පමණක් නොව ඇතැම් රටවල පැවැති විවිධ ගැටලු සමථයකට පත්කර ගැනීමටද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහයෝගය අපේක්‍ෂා කළේය.

මෙහි හොඳම උදාහරණය ලෙස මාලදිවයිනේ පැවැති දේශපාලන ගැටලුවට නිත්‍ය විසඳුම ලබාදීම හඳුන්වා දිය හැක. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් නෂීඩ් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාලදිවයිනට ගියේ එරට පැවැති දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීමටයි. සැබැවින්ම ඒ සංචාරය අපේ මාතෘ භූමියේ කීර්ති නාමය සමස්ත ලෝකයා ඉදිරියේම තව තවත් වර්ධනය කරන්නක් විය.

මාලදිවයින් ආණ්ඩු පක්‍ෂය හා එරට විපක්‍ෂය සමඟ සුහදශීලී ලෙස සංවාදයක නිරත වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට පැවැති දේශපාලන අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට සමත් විය. හුදෙක්ම එය ලොව කිනම් රටක වුවද පවතින ඕනෑම ගැටලුවකට විසඳුම ශ්‍රී ලංකාව සතු බව කියාපාන්නකි.

මීට අමතරව එලෙසම අර්බුදයක් පවතින නේපාලයේ දේශපාලන අර්බුදය විසඳන ලෙස එරට ජනාධිපති රාම් බරන් යාදෙව් මහතාගෙන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනාවක් ලැබී තිබේ. සැබැවින්ම අපේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම මිණි පහනකි. ඉහතින් සඳහන් කළ කරුණුවලින් කියාපාන්නේ ද එවැන්නකි.

හරවත් කියමනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය ඇමැතිවරයෙකු, ඇමැතිවරයෙකු, විපක්‍ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු වශයෙන් කටයුතු කරමින් ජනාධිපති පදවිය දක්වා ඒ මහතා පැමිණි ගමන් මඟ අනේකවිධ බාධාවන්ගෙන් සමන්විත වූවකි. මේ සඳහා දෙස් විදෙස් තැන්හි සිදුවූ විවිධ කාරණා බලපෑවේය.

”සෑම අඳුරු වළාවකටම යටින් රිදී රේඛාවක් ඇත” යනුවෙන් හරවත් කියමනක් තිබේ. සැබැවින්ම ඒ ඝන අඳුරු වළාවන් මැදින් පෑයූ රිදී රේඛාවක් ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළ හැකි වේ. ශ්‍රී ලංකාව ලෝකයත් සමඟ සම්බන්ධ වීමේදී ලොව රටවල් සමඟ පමණක් නොව ලෝකයේ ජාත්‍යන්තර සංවිධානයන් බොහොමයක් සමඟ කටයුතු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, දකුණු ආසියානු සහයෝගීතා සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නොබැඳි ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් සමඟ ශ්‍රී ලංකාව කටයුතු කරයි.

මෙහිදී අපිට වැදගත් වන්නේ ලෝකයේ කීර්තිමත් මෙන්ම දැවැන්තම සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව කටයුතු කිරීමයි. ඒ පිළිබඳව කතා කිරීමේදී මේ සංවිධානයේ අරමුණ හා ආරම්භය පිළිබඳව කතා කිරීම කළ යුතු යැයි සිතමි. ලෝක සාමය හා සංවර්ධනය අපේක්‍ෂාවෙන් 1945 ඔක්තෝබර් මස 24 දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපත සිදුවිණි.

ආරම්භයේදී රටවල් 51 ක සාමාජිකත්වය පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානය 2006 වර්ෂයේ දී මොන්ටිනෙග්‍රෝ රාජ්‍ය ඇතුළත් කර ගැනීමත් සමඟ අද වන විට සාමාජික රටවල් 192 දක්වා ඉහළ ගොස් තිබේ. මේ තුළ ලෝක ජනගහනයෙන් මිලියන 6700 ක් නියෝජනය කරයි.

සහයෝගයෙන්

1955 දෙසැම්බර් මස (14) දා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලැබීය. එදා මෙදාතුර ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කරයි. තවද මේ සංවිධානය හා බැඳුණු තවත් වාර්තාවක් ශ්‍රී ලංකාව සතු වන්නේය. පළමුවරට එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ද්‍රවිඩ බසින් කතා කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වීම මෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් වන්නේය.

ලොව සංවර්ධනය වෙමින් පවත්නා රටක් හැටියට ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන කටයුතු වෙනුවෙන් බොහෝ රටවල් සිය සහාය ලබා දෙමින් සිටී. ඉන්දියාව, චීනය හා ඉරානය මෙහිදී කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරන බව අතිශයෝක්තියක් නොවේ. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම හා ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ඉරාන රජයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

සැබැවින්ම එවැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම අපේ රටේ ක්‍රියාවට නැංවීම තුළින් ආර්ථික සංවර්ධනය වේගවත් වනු ඇත. හුදෙක්ම ඒ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ඉරාන ජනාධිපති ආචාර්ය මහමුද් අහමදින්ජාඩ් මහතා සමඟ ඉතාම මිත්‍රශීලී ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කිරීමේ හේතුවෙනි.

මෙවැනිම ආකාරයෙන් චීනය හා ඉන්දියාව ද ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙති. උතුරේ අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන් ඔවුන්ගේ මුල් ගම්බිම්වල යළි පදිංචි කොට ජීවන මට්ටම ඉහළ තලයකට රැගෙන ඒමේ අපේක්‍ෂාවෙන් මෙය සිදුකරන බව නොරහසක්. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරත්, ශ්‍රී ලංකාව හා චීනය අතරත් පවතින රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සබඳතා මෙහිදී කැපී පෙනේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ නැවත පදිංචි කිරීමේ කටයුතු මේ දක්වා ඉතාම සාර්ථක ලෙස සිදුකර තිබේ. ඒ වෙනුවෙන් අපිට මිතුරු රටවල් දෙකක් වන චීනය හා ඉන්දියාව කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.

උතුරේ නැවත පදිංචි කෙරෙන ජනතාවගේ අවශ්‍යතාවය පරිදි ඉන්දියාවේ අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතාගේ උපදෙස් පරිදි නිවාස 50000 ක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

චීනය ද, උතුරු පළාතේ සංවර්ධන කටයුතු වේගවත් කරමින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික මට්ටම සවිමත් කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. මෙලෙස උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කොට ජීවන මට්ටම ඉහළ තලයකට රැගෙන ඒමට හැකි වීමෙන් එය රටේ ආර්ථික සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබා දෙනු ඇත.

සහස්‍රක සංවර්ධන

ශ්‍රී ලංකාව අද වන විට මානව හිමිකම් සුරකින රටක් මෙන්ම සහස්‍රක සංවර්ධන අභිමතාර්ථ වඩා වේගයෙන් ඉටුකර ගන්නා රටක් ලෙස ඉතාම ප්‍රසිද්ධියක් උසුලනු ඇත.

රටවල් කිහිපයක වෙසෙන එල්. ටී. ටී. ඊ. හිතවාදීන් විසින් ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකරන රටක් ලෙස සැළකුවද ලෝකයේ බොහොමයක් රටවල් ඒ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ හමුදාවන් ජාතියකට ආගමකට එරෙහිව නොව මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක කළේ ත්‍රස්තවාදයට එරෙහිවයි. එහිදී ඇතැමුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩවන බවයි.

නමුත් එතැනදී කිසිදු ලෙසකින් හෝ මානව හිමිකම් කඩ වී නොමැත. ඒ නිසා බියෙන් සැකයෙන් තොරව ජිනීවා හි පිහිටි මානව හිමිකම් කවුන්සලය ඉදිරියේද කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකෙන බවය.

ද්විපාර්ශ්වීය වශයෙන් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හෝ මිත්‍රශීලීව හෝ විදේශ රටවල් සමඟ සබඳතා පැවැත්වීමෙන් ඕනෑම රටකට ආර්ථික වාසි රැසක් උදාකර ගත හැකි වේ. ශ්‍රී ලංකාවද ලෝකයේ බොහොමයක් රටවල් සමඟ සමීපව කටයුතු කිරීමෙන් අත්කර තිබෙන වාසි ඉතා විශාලය. සැබැවින්ම එය සංවර්ධනය වෙමින් පවත්නා අප වැනි රටකට ඉතා වැදගත්ය.

ආර්ථික, තාක්ෂණික, දේශපාලනික, සමාජයීය, සංස්කෘතික ආදී සියලු ක්ෂේත්‍රයන්ගෙන් එක හා සමාන ලෙස ඉදිරියට යාමෙන් රටක් සංවර්ධනය කරා පියමං කරයි.

පසුගිය වසර 5 කට ප්‍රථම ශ්‍රී ලංකාවේ තිබූ සංවර්ධන කටයුතු හා අද පවතින තත්ත්වය දෙස බැලීමේදී පැහැදිලි වෙනස්කම් රැසක් දක්නට ලැබේ. ඒ සඳහා විදේශ සබඳතා අතිශය වැදගත්කමක් පෙන්නුම් කරයි.

සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන ගමනක් කරා රැගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව විදේශීය රටවල හා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ඒ සඳහා එතුමන්ට නොමඳවම ලැබෙනු ඇත. ජාතියක් වශයෙන් සකල ශ්‍රී ලංකාවාසී අපි සැමට එය මහත් ආශීර්වාදයකි.


සබැඳි පුවත්