ආගමික ප්‍රබෝධයක් ඇති කළ බෞද්ධ නායකයා

ආගමික ප්‍රබෝධයක් ඇති කළ බෞද්ධ නායකයා

භික්ෂූන් වහන්සේට සවන් දෙන ආගමානුකූල ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු නිසා ජනාධිපතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට ආශීර්වාද පිිරිනමන බව සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණෝ ප්‍රකාශ කළහ.

මහා සංඝයා වහන්සේට ගරු බුහුමන් දක්වමින් උන්වහන්සේලාගේ විශ්වාසය ද දිනාගෙන රට තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කරන්නට වෙර දරන බෞද්ධ නායකයෙකු ලෙස ජනාධිපතිතුමන් හඳුන්වාදීමට කැමැති ය.

පසුගිය ධුර කාලය තුළ තමන් වෙත පැවරුණ වගකීම්වලට කිසි විටෙක පිටුපෑවේ නෑ. රටට සුවිශාල ජයග්‍රහණ රැසක් අත්කර දුන්නා.

අද සමස්ත රට වැසියන්ට ම භේදයකින් තොරව ඒ ජයග්‍රහණ බුක්ති විඳින්න අවස්ථාව සැලසී තිබෙනවා. එතුමන් මේ රටේ කැපී පෙනෙන නායකයෙක් වුණා. ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ආසියාකරයේ ම කැපී පෙනෙන නායකයෙක් වුණා.

රටට පිළිලයක්ව තිබුණ ත්‍රස්තවාදය ගෙවුන ධූර කාලය තුළ නිම කළා. දෙවන වර කාලය තුළ එතුමන්ට රටට අත්කර දිය යුතු අභියෝග දෙකක් තිබෙනවා. ඒ ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනයයි.

 ලොවක් දිනූ මිනිසෙකුට ඉදිරි අභියෝග ජය ගැනීම ගැටලුවක් නොවන බව රටේ ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා. ජනතාවට හිත පක්ෂ නායකයෙකු ලෙස ඉදිරි ධුර කාලය තුළත් ඉමහත් සේවයක් ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මහා සංඝයා වහන්සේ වශයෙන් අප ජනාධිපතිතුමන්ට ආශීර්වාද කරනවා.

සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ

නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක

රුවන්වැලි චෛත්‍යාරාමාධිපති

පල්ලේගම හේමරතන හිමි

ආසිරි කවි තඹර

නිමවා සැහැසි වාදය දුරලා තිමිර
විරුවා මැදමුලනෙ වී... දෙස රැසෙහි ඉර
ජනපති පදවියට එළැඹුම දෙවැනි වර
නිමිති කර පුදමි ආසිරි කවි තඹර

සෙබළ ඇණියට ම අණ දෙන නයු විලස
පබල අදිටනෙක සිට... දුර දකින ඇස
යොමා වියරු උන්මත්කක කොටි පිරිස
පිටු දැකැ සැබෑ කර සබයෙහි බිණු බස

මහින්ද රූපස මැති සඳුන් එඩිතර
සිහ වෙස පෑවෙ... සිරිලක් මව ඔකඳකර
ජනපති කිරුළ පළඳන්නට දෙවැනි වර
මහ බලයක්ය හිමි වුණෙ සිතු පැතු අයුර

දෙස සරු කරන සටනට අද සැර සෙන්නේ
දෑ අබිමන සවියම ය අසිපත් වන්නේ
රැස ජනපතිඳුනට පිටු බලයක් වන්නේ
නිසැකව ලක් මුතුව ලොව මැද බබළන්නේ !
 

මොරටුවේ

බර්ටි ඩික්සන් ප්‍රනාන්දු

ජනපති දිනේවා!

උඩුගම් බලා පිහිනා ඔබ ඉදිරියට
උවදුරු නසා තුන් හෙළයම එකළු කොට
මහ යුධ බිමෙක හසරැළි මල් පිපෙන කොට
මගෙ හිස නැමේ ඔබ පාමුල සුවඳ කොට

- නීතිඥ ප්‍රසාදිනී පිලපිටිය

ප්‍රාර්ථනා

පොදු ජන ප්‍රාර්ථනා - කරඬුව සිරස දරා
ජාතික ආත්මයේ - හද මඬලට වඩින්න
පින්සර හිරු සඳු වී – මගේ මව්බිම සිඹින්න

සිරිපා මහ මළුවට – මල් වරුසා වහින්න
නළලේ තිලක තියා - වාංගු හඬ අහන්න
සාමයෙ කන්ද දිගේ – එන පෙරහැර දකින්න
ජනපති කිරුළ දරා - මගෙ මව්බිම රකින්න

අව්වැසි - සුළඟ දිගේ – මුතු වරුසා හෙළන්න
නිල් ගුවනේ - සයුරේ – ජයසක් හඬ නඟන්න
රට වට හතර දෙසින් - එන පෙරහැර දකින්න
ජනපති කිරුළ දරා - මගෙ මව්බිම රකින්න
 

- මහින්ද චන්ද්‍රසේකර

චිරං ජීවතු!

යුද නිමාවෙන් පසුව මගෙ රට නිසසල ව සාමයෙන් පිරුණා
තිස් වසක් ආ රුදුරු වෙඩි හඬ සදාට ම ඉන් නිහඬ කෙරුණා
මග තොටේ සැක බිය රැඳී නැත දනන් තම වැඩ පලෙහි යෙදුණා
මෙම තැනට රට විවර කළ ඔබ නමට ජාතියෙ සිරස නැමුණා

බිලිඳු දරුවන් ළඳුන් අසරණ දනන් පෙලු ඒ යුගය නිම විය
සතුට සම්පත යළි පෙරට එන බවට පෙර මඟ ලකුණු දිස් විය
හිටපු තැන නැතිවුන්ට එම බිම ලැබී කඳුළැලි වැල නිමා විය
මෙබඳු නායකයකුට ගරු පුද නො කළහොත් ගුණමකු කමක් විය

යුද්ධය නිම විය මෙහෙය නිම නැත විසල් සංවර්දනය ආවා
සියක් බිලියන වැයක් දරමින් නො එක් වැඩ රැස පහළ වූවා
රුහුණු නැව් තොට ගම නැගුම, මග නැඟුම සරුවට පෙරට ආවා
දැදුරු මොරගහකන්ද කොත්මල නොරොච්චෝලේ පහළ වූවා

සුවඳ දෙන මල් කැකුළු පිබිදෙන ළමා පෙළ ගැන නෙත යොමාලා
නිබඳ ගිය තැන දැයේ මතු කල දවස ගැන සිත් පුබුදු කරලා
දැනුම සුව සෙත නිවෙස් පහසුව ආදියෙන් මුළු රට නගාලා
විදෙස් පිළිවෙත නිසා ලද හැකි දෙයක් ඇත රටට ම බෙදාලා

හෙලේ දෙදහස් පන් සියක උරුමයට සරිලන ඉදිරි මග යමු
මලේ විසු රන් බමර කැල මෙන් එක් ව මේ රට ගොඩ නඟා ලමු
විලේ පිපි මානෙල් මලක් මෙන් ලොවේ දස අත සුවඳ පතුරමු
බලේ ලත් අප නියමුවාණනි, චිරං ජීවතු කියා පතනෙමු

- ජී. තෙලහැර

ඉතිහාසයේ ලියැවෙයි නම රන් අකුරින්

මහ සාගරෙන් වට වී ඇති අපගෙ රට
විස්මිත නිමැවුමෙන් සුපතළ අපගෙ රට
පෙර රජ දරුවො පණ මෙන් රැකි අපගෙ රට
රැක ගත්තා ඔබත් නිසි ලෙස අපගෙ රට

තුන් හමුදාව හා පොලිසිය මෙහෙය වමින්
කොටින ගෙ තිබූ බළ මුළු සැම වනස ලමින්
රටට හිතැති රජවරු ගිය මග ම යමින්
ඔබ කළ සටන නියමයි රට මුදා ගමින්

සතුරන් හමුවෙ නො සැලෙන බල කණුවක් ය
එ නමුත් සිසිල ගෙන දන මඳ පවනක් ය
රට ම එළිය කරවන මිණි පහනක් ය
එඩිතර කමෙන් පිරිපුන් පාලකයෙක් ය

පියකු විලස මුළු දරුපරපුරට පෙමින්
බුදු හිමි ගේ උතුම් දහමට අනුව යමින්
ඔවුන ගෙ අනාගතයට වැඩ සලස ලමින්
කළයුතු දේ කරයි කලබල නැතුව සෙමින්

අරඹා සටන මාවිල් ආරුවෙ වතුරෙන්
වනසා දැමුව කොටිරැළ සදහට උතුරෙන්
නිසි පාලකයෙක් ය පාලකයන් අතරෙන්
ඉතිහාසයේ ලියැවෙයි නම රන් අකුරෙන්

කරුණා දයා සපිරුණු ගුණවතාණනි
හැමට ම හිතැ’ති හැමගෙ ම හිතවතාණනි
හැම පැනයක් ම විසඳන නැණවතාණනි
චිරං ජයතු අප ජනපති තුමාණනි
 

- ධර්මදාස ජයලත්

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්