මහින්ද ජනපතිගේ ආගමික නැඹුරුව

මහින්ද ජනපතිගේ ආගමික නැඹුරුව

ශ්‍රී ලාංකික ජනතාව ගේ අති විශාල වරමක් ලැබූ මහින්ද රාජපක්ෂ මැතිතුමා ස්වකීය දෙවන ධූර කාලය සඳහා දිව්රුම් දීමට සුදානම් වන මේ මොහොත ශ්‍රී ලාංකික බෞද්ධයකු වශයෙන් එතුමා ගේ යුග මෙහෙවර පිළිබඳ විමර්ශනයක් කිරීමට ඉතා ම උචිත අවස්ථාවක් ලෙස මම කල්පනා කරමි.

නිදහස ලබා ගැනීමෙන් පසු මේ රටේ නායකයකු ලැබූ ඓතිහාසික ජනවරම මෙතෙක් කිසිම නායකයකුට ලබා ගැනීමට නොහැකි වූ වාර්තාගත ජන වරමක් වන අතර ම අනාගතයේ දී වුව ද ඒ වාර්තා ව ඉක්මවා යාමට සමතෙක් බිහිවෙතැයි සිතීම දුෂ්කර ය. මේ රටේ ජනතාව එබඳු ඓතිහාසික ජනවරමක් එතුමාට ලබා දුන්නේ ඇයි?

දශක තුනක් තිස්සේ මේ රටේ පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට එතුමා සමත් වීම නිසා ජනතාව තුළ ඇති වූ උද්‍යෝගය ඊට හේතුවයි. එම පිළිතුර එක් අතකින් නිවැරදි ය. ත්‍රස්තවාදයේ භයංකර ස්වරූපය අත්දකිමින් සිටි ජනතාවට යුද්ධය නිමාවීමෙන් අති විශාල සහනයක්, සැනසුමක් ලැබුණු බව සැබෑ ය. ඒ හරහා මහින්ද රාජපක්ෂයන්ට ජනතාව කෘතවේදිත්වය පළ කළ බව ද සැබෑ ය.

එහෙත් ඒ වූ කලී එම සංසිද්ධියේ ආසන්න හේතුව පමණි. පවුරු පදනම් සුණු විසුණු කර දමමින් පිටාර ගලා ගිය ජනතා මතය, දශක පහක් පමණ කාලයක් තිස්සේ ඒකරාශි වෙමින් පැවති දේශපාලන ක්‍රියාවලියක උච්ඡතම අවස්ථාව බව ඉතිහාසය අපට පෙන්වා දෙයි.

වර්තමානය ගොඩනැගෙන්නේ අතීතය මත ය. ඒ නිසා ම අතීතය අමතක කර දමා හෝ නොසලකා හැර හෝ වර්තමානය පිළිබඳ කථා කිරීම අසම්පූර්ණ ය. එසේ ම තර්කානුකූ®ල ද නොවේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලැබූ ඓතිහාසික විජයග්‍රහණය පිළිබඳ අප කථා කළ යුත්තේ ඊට පසුබිම් වූ ඓතිහාසික වට පිටාව පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව ය.

ඓතිහාසික විජයග්‍රහණය

රුහුණේ උපන් ජන නායකයකු රාජ්‍ය නායකත්වයට පත් වූයේ ශත වර්ෂ කීපයකට පසුවයි. ඒ ජන නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ය.

වසර දෙදහස් පන්සියයකටත් වැඩි අඛණ්ඩ ඉතිහාසයක් අපට උරුම ය. ඒ දිගු ඉතිහාසයෙහි රුහුණට හිමි වන වැදගත්කම, ඉතිහාසය තුළින් ම විද්‍යමාන වෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලත් ඓතිහාසික විජයග්‍රහණය, ඒ ඉතිහාස කථා පුවතේ ම තවත් පරිච්ඡේදයක් වන්නේ ය.

අපේ ඉතිහාසය හඳුනා ගැනීමට ඉවහල් වන ප්‍රධාන ලිඛිත මූලාශ්‍රය මහාවංසය යි. වෙනත් මූලාශ්‍ර ම¼ඟින් මහාවංසයේ එන ප්‍රවෘත්ති වඩාත් තහවුරු කරනු ලබයි. මේ හේතුව නිසා ම මහා වංසය, ජාතිකාභිමානයේ සංකේතය වන්නේ ය.

මහාවංසය ලියා ඇත්තේ ලාංකේය රජදරුවන් සම්බුද්ධ ශාසනයේ පැවැත්මට සහ අභිවෘද්ධියට ඉටු කළ මෙහෙවර අනාගත පරම්පරාවේ දැන ගැනීම සඳහා සටහන් කර තැබීමට ය. ඒ ඒ රජවරුන් රටේ ආර්ථික සමෘද්ධියට සමාජ සංවර්ධනයට හා පුද්ගල සංවර්ධනයට කළ මෙහෙවර මහාවංසය දක්වන්නේ අප්‍රධාන වශයෙනි. මේ නිසා අපේ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු දැනගැනීම සඳහා උපයෝගී කරගත හැකි ඓතිහාසික මූලාශ්‍රයක් හැටියට මහා වංසය සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

ජනාවාසයක් වශයෙන් අපේ ඉතිහාසය ඉතා ම ඈත අවදියක් කරා යොමු වන බව තහවුරු වී ඇතත් වර්තමාන ශිෂ්ටාචාරයේ ආරම්භය ලෙස පිළිගනු ලබන්නේ මහින්දාගමනයෙන් ඇරඹුණු බෞද්ධ සංස්කෘතියේ ආරම්යභයයි. ලාංකේය සමාජයේ පරිපූර්ණ වෙනසක් සිදු වූයේ මහින්දාගමනයෙනි. දියුණු ශිෂ්ටාචාරයක්, ප්‍රෞඪ සංස්කෘතියක්, භාෂා සාහිත්‍ය, කලා ශිල්ප, ගෘහ නිර්මාණ, ලලිත කලා ආදී සෑම ක්‍ෂේත්‍රයක ම ප්‍රවර්ධනයක් ඇති වූයේ ඒ සමඟ ය. සැකෙවින් කියතොත් ලංකාව ථෙරවාදී බෞද්ධ රාජ්‍යයක් බවට පත්වූයේ මහින්දාගමනයෙනි.

මේ පසුබිම යටතේ රජතුමා වෙත පැවරුණු අනුල්ලංඝනීය වගකීම වූයේ සම්බුද්ධ සාසනය රක්ෂිත, පෝෂිත කිරීමයි. ඒ වගකීම හෘදයංගමව භාරගත් රජවරු තම ශක්ති ප්‍රමාණයෙන් එහි ලා ඇප කැප වූහ. දැනට අප හමුවේ ශේෂව පවතින අසීමිත නෂ්ටාවශේෂයන්ගෙන් කියා පාන්නේ සිංහල රජදරුවන් තම වගකීම ඉෂ්ට සිද්ධ කිරීමට දැරූ ව්‍යායාමයයි. මහාවංසයෙන් හෙළදරව් වන්නේ ද ඒ යටගියාව ය.

සම්බුද්ධ ශාසනය

ලාංකේය ඉතිහාසයෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් කිසියම් ආපදාවකට මුහුණ දුන් හැම අවස්ථාවක දී ම ඒ සියලු බාධක ජයගෙන යළි නැගී සිටීම සඳහා ජාතික නායකත්වයක් රට තුළින් ම නිර්මාණය වීමයි. රටත් සම්බුදු සසුනත් සුරැකීමේ වගකීම බුදුරජාණන් වහන්සේ විසින් උපුල්වන් දෙවිඳුන් වෙත පවරන ලදැයි බෞද්ධ සාහිත්‍යයෙ හි සඳහන් වෙයි.

රට දැය සමය සතුරන්ගෙන් නිදහස් කර ගැනීමට ජාති හිතෛෂී නායකයන් පහළ වූයේ දේවානුභාවයෙන් බව අපේ සමාජය විශ්වාස කරයි. කෙසේ වෙතත් දෛවෝපගත ව මෙන් මේ හැම අවස්ථාවක ම යුග පුරුෂයන් බඳු වූ ජාතික නායකයන් බිහි වූයේ රුහුණෙනි. නො එසේ නම් ආපදා පන්න නායකයන්ට රක්ෂාවරණයත්, බලසේනා සහිත ශක්තියත් ලැබුණේ රුහුණෙනි. රට රැකීමේ ජාතික වගකීම රුහුණ සතු ඓතිහාසික වගකීමක් වූවා සේ ය.

රාවණා යුගය, ප්‍රාග් බෞද්ධ යුගය හා සම්බන්ධ රුහුණ ආශ්‍රිත පුරාවෘත්ත පසෙක තැබූවත්, මහින්දාගමනයෙන් පසු ඉතිහාසය ගවේෂණය කරන්නකුට මේ තත්ත්වය තහවුරු කිරීමට ප්‍රබල සාක්ෂි සොයාගත හැකි ය.

වසර 44ක් තිස්සේ අනුරාධපුර රාජධානිය යටත් කරගනිමින් රටේ බලය අල්ලාගෙන සිටි එළාර ප්‍රමුඛ සොළී සේනාව සමූල ඝාතනය කොට රට එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා බිහිවූයේ රුහුණෙනි.

වසර 15කට අධික කාලයක් රටේ පාලන බලය අල්ලාගෙන සිටි දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් පළවාහැර යළි රට එක් සේසත් කළේ වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා (ක්‍රි. පු. 103 – 99 – 77) රජතුමා ය. එතුමාට ඒ සඳහා සවිය බලය ලැබුණේ රුහුණෙනි.

දකුණු ඉන්දීය ආක්‍රමණිකයනට සාර්ථක ව මුහුණ දෙමින් ශ්‍රී ලාංකේය අභිමානය රැකගත් ගජබා (ක්‍රි. ව. 112 – 134) රජු සවිය ලැබුවේ ද රුහුණෙනි.

මේ ප්‍රධාන සිදුවීම්වලට අමතරව ඉන්දීය ආක්‍රමණ පැවැති නොයෙක් අවස්ථාවල දී අනුරාධපුරයේ රජ කල පාලකයන් රක්ෂාවරණය ලැබුවේත්, තම රාජකීය උරුමය යළි ලබාගෙන තහවුරු කර ගැනීමට සහාය ලැබුවේත් රුහුණෙනි.

ඒ ඉතිහාසය අනුව, රුහුණ යනු ජාතික නායකයන් බිහි කළ භූ®මියයි. ඔවුනට රැකවරණය ලබාදුන් අභය භූ®මියයි. ඒ සඳහා සවිය බලය දුන් ජාති හිතෛෂීනගේ ක්‍ෂේම භූ®මිය යි.

බටහිර ජාතීන් ගේ ආක්‍රමණය යටතේ රුහුණට එල්ල වූයේ බරපතළ අභියෝගයකි.

කෘෂිකර්මාන්තය

ඉංගී‍්‍රසි පාලනය යටතේ රුහුණු වැසියා ගේ ජීවන තත්ත්වය රටේ අනෙක් පළාත්වල වැසියන්ගේ ජීවන තත්ත්වයටත් වඩා දුක්ඛිත විය. කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරු වී සිටි රුහුණු ජනතාව කුඹුරු ගොවිතැන මෙන් ම හේන් ගොවිතැනට ද ප්‍රමුඛත්වයක් දී තිබිණ. ඉංගී‍්‍රසි පාලකයන් විසින් පනවන ලද මුඩු බිම් පනත වැනි නීති නිසාත්, වෙළෙඳ වැවිලිවලට මුල් තැනක් දෙමින් කෘෂිකර්මාන්තය නොසලකා හැරීමෙන් වැව් අමුණු විනාශ වීමක් නිසාත්, මේ තත්ත්වය උද්ගත වූ බව පෙනේ.

අධිරාජ්‍යවාදීන්ට බැල මෙහෙ කිරීමෙන් අධි සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගතකිරීමට ඕනෑවටත් වඩා ඉඩ ප්‍රස්ථා තිබිය දී අධිරාජ්‍යවාදීන්ගේ අප්‍රමාණ බාධා සහ කෙණෙහිලිකම් මධ්‍යයේ පීඩිත පංති ජනතාව ගේ අභිවෘද්ධිය සඳහා පෙරමුණ ගත් රාජපක්‍ෂවරු, අසික්කිත ලෙස ධනය රැස්කිරීම ප්‍රතික්‍ෂේප කොට, පරම්පරාවෙන් තමන්ට උරුම වූ ධනය පවා දුප්පත් ජනතාව ගේ සුඛ විහරණය සඳහා නිර්ලෝභීව විය පැහැදම් කිරීමට නොපසුබට වූහ.

එහි ප්‍රතිඵලය වූයේ තමන් ගේ සැබෑ ගැලවුම්කරුවන් ලෙස හෘදයාංගම ව පිළිගනිමින් රුහුණු ජනතාව රාජපක්‍ෂවරුන් වටා ඒකරාශී වීමයි. ජනතාවගෙන් ලැබුණු මේ යෝධ ශක්තිය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව භාවිත කිරීම තුළින් ජාතික නායකත්වය සඳහා දොරටුවක් විවෘත කර ගැනීමට රාජපක්‍ෂවරු සමත් වූහ.

රට, ජාතිය, ආගම වෙනුවෙන් අභීතව නැඟී සිටින්නට රාජපක්‍ෂවරුන් පෙරමුණ ගත්තේ අද ඊයෙක නොවේ. සමහර විට බොහෝ අය නොදන්නවා වුවත්, රාජපක්‍ෂවරුන් පිළිබඳ ඉතිහාසය මහනුවර රාජධානි සමය දක්වා ඈතට දිව යයි.

දැනට අප හමුවේ ඇති ඓතිහාසික සාක්‍ෂි අනුව අයුක්තියට, අසාධාරණයට එරෙහි ව සටන් කළ රාජපක්‍ෂ පරපුරේ ආදිතමයකු පිළිබඳව අපට දැනගන්නට ලැබෙන්නේ ක්‍රි. ව. 1761 දී කන්ද උඩරට රාජ්‍යයෙන් ඇරඹුණු ලන්දේසි විරෝධී සටනට රුහුණ නියෝජනය කරමින් නායකත්වය දුන් චින්තාමනී මොහොට්ටි දොන් හෙන්ද්‍රික් රාජපක්‍ෂයන් පිළිබඳ ප්‍රවෘත්තියත් සමඟ ය. එතුමා වත්මන් රාජපක්‍ෂ පරපුරේ මී මුත්තෙකි.

සිංහලේ මහා කැරැල්ල නමින් හැඳින්වෙන ක්‍රි. ව. 1818 ඉංගී‍්‍රසීන්ට එරෙහි ඓතිහාසික කැරැල්ලේ දී රුහුණ නියෝජනය කර ඇත්තේ “චින්තාමනී මොහොට්ටි රාජපක්‍ෂ” මැතිඳුන් ය. ඉංගී‍්‍රසීන්ට මෙන් ම සිංහලයන්ට ද මහත් ව්‍යසනයක් ඇතිකිරීමට හේතු වූ මෙම කැරැල්ලෙහි එක් ප්‍රතිඵලයක් වූයේ රාජපක්‍ෂවරුන් ගිරුවාපත්තුවේ වීරකැටිය, බුද්දියාගම හා මැදමුලන කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාප්ත වීමයි.

අභීත ක්‍රියා කලාපය

ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදීන් යටතේ තම පරම්පරාගත ජානමය උරුමයෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව නැඟී සිටින්නේ ඩී. එම්. රාජපක්‍ෂ මැතිතුමායි.

ඔහු ගේ අභීත ක්‍රියා කලාපය කෙබඳු වී දැයි සිතා ගන්නට එක් උදාහරණයක් පමණක් මම ඉදිරිපත් කරමි. ගිරුවායේ ජනතාව එතුමා හැඳින්වුයේ “රුහුණේ සිංහයා” නමිනි.

අධිරාජ්‍යවාදීන් විසින් ම පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්ව අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව දෙවනත් කළ ඩී. එම්. චවනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිංහයකු විය. ඔහුගේ බොහෝ ක්‍රියාකාරකම්වලින් ද ඒ බව සනාථ වෙයි.

ජනබලය

ඩී. එම්. ගේ හදිසි අභාවය ඩී. ඒ. රාජපක්‍ෂයන් ගේ දේශපාලන ප්‍රවේශයට හේතු විය. කවදත් නිහඬ, සන්සුන් පුද්ගලයකු වූ ඔහු අයුක්තිය, අසාධාරණය හමුවේ කිසිවකුටත් මෙල්ල කළ නොහැකි ජවාධිකයකු විය. තම පරපුරේ දර්ශනය, චින්තනය දිගින් දිගට ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට එතුමා දැරූ සද්ව්‍යාපාරයෙහි ප්‍රතිඵල දෙකක් විය. එකක් එතුමා සතු දේපළ මිල මුදල් ක්ෂය වී යාම ය. අනික ඒ මුදල් වැය කිරීම තුළින් මිල කළ නොහැකි ජනබලයක් එතුමා වටා ඒකරාශී වීම ය. සියලු දේශපාලන වාදයන් අභිභවා රුහුණේ රාජපක්‍ෂවාදයක් තහවුරු වූයේ ඒ අනුව ය.

ඩී. ඒ. රාජපක්‍ෂයන්ගේ අභාවයෙන් පසු මහින්ද රාජපක්‍ෂ දේශපාලනයට අවතීර්ණ වන්නේ පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නම් පුරවැසියා හැටියට නොව රුහුණු ජනතාව ගේ ගැලවුම්කරුවන් ගේ පරම්පරාවට සම්බන්ධ ඩී. ඒ. රාජපක්‍ෂයන් ගේ පුතණුවන් හැටියට ය. එහි දී ඡන්දදායකයා තම මනාපය පළකරන්නේ ද මහින්දට නොව මහින්ද රාජපක්‍ෂට ය.

රටෙන් මහින්දටත්, මහින්දගෙන් රටටත් ලැබුණු හෝ ලැබෙන යම් දෙයක් වේ නම්, ඒ සියල්ල රාජපක්‍ෂ පරපුරට අයත් ඒවා ය. ජනතාව කෘතවේදී වූයේ රාජපක්‍ෂවරුන්ට ය. මහින්ද ඇතුළු රාජපක්‍ෂවරුන් කෘතවේදී වන්නේ තමන් ඔසොවා තැබූ ජනතාවට ය. ඒ ඓතිහාසික යථාර්ථය අප දැනගත යුතු ය. වර්තමාන ඵලය අතීත හේතු සමූහයක සජීවි දර්ශකයක් බව අපට වැටහෙන්නේ එවිට ය.

අපේ සංස්කෘතිය අනුව රාජ්‍ය බලය සහ ආගම යනු දෙකක් නොව එකකි. මේ බව හරි හැටි තේරුම් ගත් පාලකයෝ ඊට අනූරූප ව ක්‍රියා කිරීමෙන් ජනතා ප්‍රසාදයට පාත්‍ර වූහ. එය තේරුම් ගැනීමට අපොහොසත් වූවෝ ජනතා අප්‍රසාදයට පමණක් නොව ජනතා උදහසට ද ලක් වූහ. මේ පාඩම අපට කියා දෙන්නේ අපේ ඉතිහාසයයි. රූපය දිරා ගියත් අදත් ජනතා සිත් සතන් තුළ නොදිරූ නාමයක් සහිත ව ජීවත්වන පාලකයන් වෙයි.

එසේ ජීවත් වන්නේ ඒ ඒ පාලකයන් රටේ අභිවෘද්ධියට කරන ලද මෙහෙවර සැලකීමෙන් නොව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙවර සැලකීමෙනි. කෘෂි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා වසභ රජු තරම් මෙහෙයක් කළ වෙනත් සිංහල රජකු නැතැයි සිතමි. එහෙත්, අදත් සිංහලයාගේ වීරයා බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළේ දුටුගැමුණු රජතුමා ය.

ස්වාධීනත්වය

අධිරාජ්‍යවාදීන්ගේ පීඩනය හමුවේ ලාංකේය ජනතාවගේ හද ගැහෙන රටාව යම් කිසි පසුබෑමකට ගොදුරු වූ බව සැබෑ වුවත්, එය සපුරා වෙනස් වූයේ නැත. කවර තත්ත්වයන් යටතේ වුවත් අද පවා ජනතා හද ගැස්ම අතීතයේ අපේ මුතුන්මිත්තන්ගේ ජානවලට අනුකූ®ලව ප්‍රතිපෝෂණය වෙමින් තිබේ. එය ඉතා ම පැහැදිලි ව වර්තමානයෙහි ඉස්මතු වී පෙනේ. ජාති හිතෛෂි බව, බෞද්ධාගමික නැඹුරුව, දේශ වාත්සල්‍යය, ස්වාධීනත්වය වෙනදාටත් වඩා අද අපේ සමාජයෙහි විද්‍යමාන වෙයි. එය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගේ නායකත්වය මත ම පමණක් නොව, එතුමා බලයට පත් කළ ජනතාව ගේ සිතුම් පැතුම්වල ද සම්මිශ්‍රණයෙන් නිර්මාණය වූ යහපත් ප්‍රවණතාවයකි.

මීට පෙර ශ්‍රී ලංකාව පාලනය කළ ඇතැම් නායකයෝ බලය ලබා ගැනීම සඳහා ආගමට නැඹුරු වූහ. ඇතැම් නායකයෝ බලය තහවුරු කර ගැනීම සඳහා ආගම දඩමීමා කර ගත්හ. එහෙත් වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ දෙපිරිසට ම වඩා වෙනස් ආගමික නැඹුරුවක් ප්‍රදර්ශනය කළ අයෙකි. එතුමාට බුදු දහම රාජපක්ෂ පරපුරේ ජානමය උරුමයක් වූවා මිස පිරුවටයක් වූයේ නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පියතුමා අනගාරික ධර්මපාලතුමා ගේ භක්තිමත් අනුගාමිකයකුයැයි සඳහන් වේ. ධර්මපාලතුමා වැනි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයකුගේ ඇසුරත්, මාර්ගෝපදේශත් වැලඳගත් පියකු ගේ පුතකු ලෙස මහින්ද රාජපක්ෂයන් තුළ ස්වදේශානුරාගයත්, බෞද්ධ ආගමික නැඹුරුවත් පිහිටීම අරුමයක් නොවන්නේ ය.

මා දන්නා තරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුරුණු වියේ සිට ම ඉතා ම ළඟින් භික්ෂුන් වහන්සේලා ඇසුරු කළේ ය. එපමණක් ද නොව ඔහු ඒ ඇසුරට ඉතා පි‍්‍රය කළේ ය. මහා සංඝරත්නයට නිරතුරුව ම ගරු බුහුමන් ද කළේ ය. මේ සඳහා එතුමාට පූර්වාදර්ශ ලැබුණේ පියතුමා ගෙනි.

ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා විහාරස්ථාන හා සංඝරත්නය කෙරෙහි දැක්වූයේ ඇදහිය නොහැකි තරම් ගෞරවයක් බව එතුමා ළඟින් ඇසුරු කළ අය කියති. එතුමා තුළ පැවැති සදාචාර සම්පන්න චර්යා රටාව සකස් වන්නට ඇත්තේ ද ඒ අනුව බව විශ්වාස කළ හැකි ය. නිතර ගමේ පන්සලට යන එන එතුමා බොහෝ අවස්ථාවල දී තම කුඩා දූ පුතුන් ද කැඳවා ගෙන ගියේ ය. කවර හේතුවක් නිසා හෝ බොහෝ ගමන් බිමන්වලට සම්බන්ධ කර ගෙන ඇත්තේ ද මහින්ද රාජපක්ෂයන් ය.

සැබෑ වෙනසක්,

මහින්ද චින්තනයේ සෑම ක්‍ෂේත්‍රයක් පුරා ම විහිදී ඇත්තේ බෞද්ධ චින්තනයේ ප්‍රභාවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ බෞද්ධාගමික නැඹුරුව දේශපාලන ප්‍රකාශනයක මුහුණුවරක් සහිතව මහින්ද චින්තනය නමින් ජනතාව අතරට පැමිණි ගමන් බිමන්වල දී ඇසූ දුටු දේ සහ ලැබූ අත්දැකීම් නිසා බව නිසැක ය. සිංහල කමත්, ගැමි කමත්, බෞද්ධ කමත් එකට එක්වීම නිසා සාමාන්‍යයෙන් රාජපක්ෂවරු චරිතවත් වූහ. ඒ අතර මහින්ද රාජපක්ෂයන් වඩාත් ඉදිරියෙන් සිටී.

ඉගෙනුම ලබන අවදියේ සිට ම ආගමික ඇසුරට පි‍්‍රය කළ මහින්ද රාජපක්ෂ මහතා ගේ සමීප හිත මිතුරන් අතර විශාල පිරිසක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය. පන්සල එතුමාට තම නිවස වැන්න. පන්සලේ දාන ශාලාව, ධර්ම ශාලාව මෙන් ම ලැඟුම් ගෙය ද එතුමාට එක සේ හුරු පුරුදු ය. මන්ත්‍රීවරයකු , අගමැතිවරයකු, ජනාධිපතිවරයකු විනැයි මහින්ද රාජපක්ෂයන් වෙනස් වූයේ නැත. වෙනස් වූයේ තනතුරු පමණි. එතුමා ඒ තරම්ම සඟරුවනටත් බුදු සසුනටත් සමීප ය.

භක්තිමත් ය. හිතවත් ය. බොහෝ දෙනකු නොදන්නා, මා පෞද්ගලික ව ඉතා හොඳින් දන්නා කරුණු අනුව සිංහල රජ දරුවන්ගේ අවදියෙන් පසු සම්බුද්ධ ශාසනයට අසීමිත ආදර ගෞරවයක් දක්වන මහින්ද රාජපක්ෂ වැනි ජාතික නායකයකු මෙතෙක් පහළ වී නැති බව මට කිව හැකි ය. බෞද්ධයන් ලෙස රඟ පෑ ජාතික නායකයන් කිහිප දෙනකු ම ළඟින් ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණු නිසා මේ බව අත්දැකීමෙන් ම ප්‍රකාශ කළ හැකි ය. මහින්ද රාජපක්ෂ යනු බෞද්ධයකු ලෙස රඟපාන්නකු නොවේ. හද පත්ලෙන් ම සැබෑ බෞද්ධයෙකි.

ජනතා හදවතින් පුදන ආශීර්වාදය
මේ මල්මෙන් පවිත්‍රය, පිවිතුරුය.

නිදහස ලැබීමෙන් පසු මේ රටේ බිහි වූ පාලකයන් අතර සැබෑ වෙනසක්, සැබෑ ලෙස ම පෙන්නුම් කරන බෞද්ධ ජන නායකයකු ගේ මුහුණුවර මහින්ද රාජපක්ෂයන් තුළින් දුටු මේ රටේ ශාසන භාරධාරී මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානය යොමු කළේ එතුමා ජනාධිපති තනතුරට පත්වීමට පෙරාතුව ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු, විපක්ෂ නායකවරයකු, අගමැතිවරයකු වශයෙන් එතුමා ප්‍රදර්ශනය කළ ජාතිමාමක, ආගම්මාමක ක්‍රියා පිළිවෙත පිළිබඳ පැහැදුණු මල්වතු මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව , “ ශ්‍රී රෝහණ ජන රංජන “ අභිධානය පිරිනැමී ය. එකී සංඝ සභාවෙන් එබඳු ගෞරව සම්මානයක් ලද එක ම රෝහණ පුත්‍රයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.

මහින්ද චින්තනය

ජනාධිපති පදවියට පත් වීමෙන් පසු මහින්ද චින්තනය අනුව විනය ගරුක , නීති ගරුක සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමේ අරමුණින් දියත් කරන ලද යෝධ ව්‍යාපෘති අතර ‘මතට තිත’ ‘පාතාලය මර්දනය කිරීම ‘ විශේෂ වටිනාකමක් ඇති වැඩසටහන් ය.

සමාජයේ රජයන දුරාචාරයට ප්‍රධාන හේතු ලෙස මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයත්, අපරාධකරුවන් රජකරන පාතාලයත් ඉදිරියෙන් ම සිටී. එම හේතු නැති නොකර විනය ගරුක සමාජයක් බිහි කිරීම මිරිඟුවක් බව අවබෝධ කර ගත් ජනාධිපතිතුමා ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම සාමකාමී ජනතාවගේ සිත් සතන් සනහාලීමට හේතු විය.

මේ වන විටත් ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති එකී වැඩසටහන් මෙහෙයැ වුණේ රාජපක්ෂවරුන්ගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උකහාගත් බෞද්ධාගමික ශික්ෂණය තුළිනි.

මහින්ද චින්තනය නම් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැඹුරින් අධ්‍යයනය කරන්නකුට එහි පදනම බෞද්ධ දර්ශනය බව අවබෝධ වෙයි.

එහි විද්‍යාමාන වන්නේ බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රායෝගික ජීවන දර්ශනයක් ලෙස ක්‍රියාවට නැංවීමේ උතුම් අරමුණකි. සමානාත්මතාව, සහජීවනය, දයාව, මානව භක්තිය, සමාජ සාධාරණය, පිදිය යුත්තන් පිදීම, සතර අගතියෙන් තොර වීම ආදී බෞද්ධ, සංකල්ප වෙනත් වචනවලින් ඉදිරිපත් කෙරෙන බව මහින්ද චින්තනය තුළින් ප්‍රකට වෙයි. එහි සෑම ක්‍ෂේත්‍රයක් පුරා ම විහිදී ඇත්තේ බෞද්ධ චින්තනයේ ප්‍රභාවයි.

විනයගරුක සමාජය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික නැඹුරුව දේශපාලන ප්‍රකාශනයක මුහුණුවරක් සහිතව මහින්ද චින්තනය නමින් ජනතාව අතරට පැමිණ ඇති බව පිළිගත යුතු ය.

බුදු දහමට මුල් තැනක් දෙමින් රක්ෂණ - පෝෂණය කිරීම රටේ ව්‍යවස්ථාවෙන් ම පිළිගෙන ඇතත්, එකී වගන්තිය එකතු කළ ඉංගී‍්‍රසීන් මෙන් ම, නිදහසින් පසු බිහි වූ බොහෝ රාජ්‍ය නායකයින් ද කළේ බෞද්ධ ජනතාව පමණක් නොව තුනුරුවන් ද රැවටීම යි. 1977 දී “ ධර්මිෂ්ට සමාජයක්” මුවාවෙන් සිදු වූ විනාශය අපි අත් දුටුවෙමු.

අසූව දශකයේ දී සිල් රෙදි පොරොවා ගනිමින් සිදු වූ භීෂණය අපට මතක ය. එහෙත්, මහින්ද රාජපක්ෂයන් ජනාධිපති වීමෙන් පසු අතීත සිංහල බෞද්ධ රජ දරුවන් අනුගමනය කරමින් බුදු දහමත්, බුදු සසුනත් රක්ෂණය, පෝෂණය කිරීමට ගන්නා සැබෑ ප්‍රයත්නය සැබවින් ම ප්‍රශංසනීය ය.

සෑම පුන් පොහෝ දිනක ම අරලියගහ මැදුරෙහි දම් දෙසුමකි. දහම් ඇසීමත් අන්‍යයන්ට අසන්නට සැලැස්වීමත් උතුම් පින්කමකි. ඒ පින්කම දැන් රජ ගෙදර චාරිත්‍රයක් බවට පත් වී තිබීම කෙතරම් අපූරු ද?

මෑත භාගයේ දී බණ ඇසීමට අකැමැති නායකයන් සිටි රටක , බණ ඇසීමට පමණක් නොව බණ පිළිපැදීමටත් පි‍්‍රය කරන නායකයකු පහළවීම ජනතාවගේ භාග්‍යයකි.

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලැබෙන ධෛර්යය සහ සහයෝගය ඉතා විශිෂ්ට ය.

සිද්ධස්ථාන නඩත්තුවටත් ඒවායේ සුරක්ෂිතභාවයටත් නිරතුරුව ම ආධාර උපකාර කිරීම එතුමාගේ ප්‍රතිපත්තිය වී තිබේ. විනය ගරුක සමාජයක් බිහි කිරීමේ උදාර අරමුණට ඉන් ලැබෙන පිටිවහල අති මහත් ය.

ආගමික චර්යාවත්

කුඩා අවදියේ සිට ම ආගම දහමට නැඹුරු වූ මහින්ද රාජපක්ෂයන් ජනාධිපති පදවියට පත් වීමෙන් පසු ව ද නිරතුරුව ම මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට කන් දීමටත්, ආශිර්වාද ලබා ගැනීමටත් ඇප කැප වී සිටීම සමස්ත ජාතියට ම අපූරු ආදර්ශයකි.

කිසි දිනක බණ නෑසූ සමහර නායක කාරකාදීන් අරලිය ගහ මැදුරේ බිම වාඩිවී බණ අසනු දැකීම කෙතරම් අපුරු ද? මේ ආදර්ශය විනය ගරුක සමාජයක් බිහි කිරීමට ඉවහල් වනු නිසැකය.

රටේ ජනතාවගෙන් බහුතරයක් බෞද්ධයන් වන නිසා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වුවත්, ඊට අමතර ව වෙනත් ආගම් සහ ඒ ආගම් අදහන පිරිස් ද වෙයි. බෞද්ධ රටක රාජ්‍ය නායකයා බෞද්ධයකු වීම අත්‍යවශ්‍ය ය.

බෞද්ධ රාජ්‍ය නායකයා බුදු දහමට ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීම ද ප්‍රශ්නකාරී නොවන්නේ ය. අනිකුත් ආගම්වලට ද සාධාරණත්වය ඉටු කිරීම රාජ්‍ය නායකයාගේ යුතුකම සහ වගකීමයි.

බුදු දහමේ ඉගැන්වීම්වලට අනුකූලව විනය ගරුක, සදාචාර සම්පන්න, ශීලාචාර සමාජයක් නිර්මාණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දරන අවංක ව්‍යායාමය රට, දැය, සමයට සැබෑ ආදරයක් දක්වන කාගේත් ප්‍රශංසාවටත්, අවධානයටත් ලක් විය යුතු ය.

එකී ව්‍යායාමයට ජාති, ආගම්, කුල භේදයෙන් පමණක් නොව පක්ෂ භේදයෙන් ද තොරව කාගේත් ආශිර්වාදය ද හිමි විය යුතු ය.

මක් නිසා ද යත් එබඳු යහපත් සමාජයක් තුළ නිවී සැනසිල්ලේ ජීවත් වීමට කාටත් අවස්ථාව සැලසෙන බැවිනි.

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති,

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක,

ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති,

උපාධ්‍යාය, ආචාර්ය, අලුත්වැව සෝරත නාහිමියෝ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්