රට හදන රාජපක්ෂ පරපුර

රට හදන රාජපක්ෂ පරපුර

ගම, මඟ, රට, තොට නැගුමට මැද මුලනෙන් ජනිත වූ චින්තනය මේ රටේ ජාතික ප්‍රතිපත්තිය බවට පත් වී තිබේ.

මැදමුලන නම් වූ ග්‍රාමය කුඩා පවුල් ඒකක හතක් තරම් වූ ප්‍රමාණයකින් ආරම්භ වූ ගමකි. එදා වග වලසුන් ගහන වූ මහා කැලයකි. කුරහන් හේන් හතර අතිනි. තල, මෙනේරි වගාවන් සරුවට එහි තිබුණි. පොල් රුප්පාව වෙල්යාය, ගුරුපාර බිහි විය. මැදමුලනේ වලව්ව පිහිටා තිබෙන්නේ ගමේ හරි මැද ය. උස් වූ භූ®මි භාගයකි. සැබැවින්ම ප්‍රතාපවත් තේජසක් එහි විදහා පාති. ගම් වැසියෝ කෙතට බසින වෙල් ඉපනැල්ලේ දුවන පනින හේනේ පැල් රකින උදවියෝ වූහ.

අපේ සංස්කෘතියේ පුනරුදය ද මෙයයි. එසේ නම් රට සංවර්ධනය විය යුත්තේ කෙසේ ද ?

රටට ගමට ඇවැසි චින්තනයක් මෙරට නිදහසින් පසු බිහි කිරීමට විවිධ පාලකයන් උත්සාහ ගත්ත ද පරගැතිභාවය හිස් මුදුනේ තබාගත් නිසා ඒ සෑම සිතුවිල්ලක් ම මනෝ සිතුවිලි බවට පත් විය.

සරම කැස පොටේ කවාගෙන, හිසේ ජටාව බැඳගෙන නියරේ කෙලින් ඇවිද යෑමට සැබෑ හැකියාවක් ඇති පොඩි පුතා මැද මුලනෙන් රටේ නායකත්වයට පැමිණෙතැයි කවුරුත් නොසිතුවාට මැදමුලනේ ගමේ වැසියෝ දැන ගෙන සිටියේ කුඩා කල සිට ම පැවැති ගති ලක්ෂණ නිසා කවදා හරි ලොක්කෙක් වන බවයි.

මේ අසහාය යුග පුරුෂයා වන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ය.

රාජපක්ෂවරු ගම – රට - තොට හදන්න කාගෙන්වත් ඉගෙන ගත්තේ නැත. ජන්මයෙන් ම ඒ ගති ලක්ෂණ තිබුණි. ගමට පාසල, පන්සල, පොදු සේවා මධ්‍යස්ථාන සඳහා පෞද්ගලික ඉඩකඩම් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන් වූහ.

මැදමුලන නම් වූ ශ්‍රේෂ්ඨ නායකයන් දැයට බිහි කළ ගම තවමත් සංවර්ධනය වන ගමකි. පාර - තොට සැකසේ. ගමේ නිවාස ඉදි වේ. රැකියා සඳහා තරුණයින් යොමු වේ. අදත් මෙම ගම යස ඉසුරින් සපිරි ගමක් නොව සංවර්ධනයේ රන් අරුණලු දකින ගමකි.

රාජපක්ෂවරු පවුරක් දැයට දායාද කළ මේ ගම්මානයේ තොරතුරු සොයා එහි ගිය මට මුලින් ම හමුවූයේ වයස අවුරුදු 78ක් වූ වික්‍රමගේ දොන් සාමෙල් මහතා ය.

“ආයුබෝවන් සාමෙල් මහත්තයා මම දිනමිණ පත්තරෙන්, දැන් ඉතින් අපේ රටේ ජනාධිපතිතුමාගේ උපන්දිනයත්, දෙවැනිවර ධුරයේ දිවුරුම් දීමත් තිබෙනවා. මෙයට ගම ගැන ලිපියක් ලියන්න ඕන මොනවාද කියන්න තියෙන්නේ, මගේ ප්‍රශ්නය එසේ විය.

උඩුකය නිරාවරණය කරගෙන ප්‍රතාපවත් පෙනුමකින් සිටි සාමෙල් මහතා කට හඬ අවදි කෙළේ මේ අයුරිනි.

“පොඩි කාලයේ ඉඳන්ම අසාධාරණයට, බොරුවට, චණ්ඩිකමට එරෙහිව මහින්ද පොඩි හාමු කටයුතු කළා.

මැදමුලන පොල් තවාන එදත් තිබුණා. එහි මහා කලබලයත් 1950 ගණන්වල එදා මහින්ද මහත්තයට වයස අවුරුදු 08ක් පමණ වෙනවා. පොල් තවානේ පෙලපාලියත් මේ මහා පෙළපාලිය මැදට ගිහින් පැනල මෙයට විරුද්ධව කටයුතු කරන්න හදනවා.

මන්ත්‍රී හාමු (ඩී. ඒ. රාජපක්ෂ) මට කිවුවා ගිහිල්ල ඉක්මනට අර ළමයාව අරන් එන්න කියලා. මම ගිහින් උස්සගෙන අරගෙන ආවා. මගේ කර පහුරු ගෑවා. මට තාම මතකයි. ඔය වගේ කථා ඕන තරම් කියන්න තියෙනවා.”

“නායකත්වයට එදා සිට ම හොඳ ලක්ෂණ තිබුණා. බොරු කියන්න කාටවත් බැහැ. බොරු කාරයෝ හොඳට අල්ලන්න දක්ෂයි. දවසක් හොරට පොල් කඩපු අයගෙන් කටින්ම අල්ල ගත්තා. පොල් කඩපු හැටි. ඔය වගේ හැම දෙයක් ගැන ම හොඳ අවබෝධයක් තිබුණා. අද ඉතින් අපට හරි ම ආඩම්බරයි. අපේ ගමේ කෙනෙක් මේ රටේ නායකයා වුණාට. ඒ පමණක් නොවෙයි, රට ම හදන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ එදා අපේ ගමේ අසාධාරණයට එරෙහිව කථා කළ ක්‍රියා කළ පොඩි පුතා වීම අපට හරිම සතුටක්.

ජනාධිපතිතුමා, කතානායකතුමා ප්‍රමුඛ පිරිස බට අත ගොවි පොලේ කුරහන් වගාවක් නිරීක්ෂණය කරමින්...

මැදමුලනේ චින්තනය මේ රට විනාශ කරනවා කියලා ඇතැම් අය කියනවා. මම කියනවා ඒ අයට මැදමුලනට එන්න ඇවිත් අපි සමඟ කථා කරන්න කියලා”.

කෝම්පිටි ලියනගේ කුසුමාවතී මහත්මිය වයස අවුරුදු 60ක් වු ගමේ පදිංචිකාරියකි.

ඇය රාජපක්ෂ පවුල හා මනාව සබැඳියාවක් ඇති තැනැත්තියකි. අපේ සැප දුක බලන අපට රජෙක් වූ රාජපක්ෂ පවුල අද රටේ ම ජනතාව ගේ සැප දුක බලන පවුලක් බවට පත් වි තිබෙනවා. “අපේ ගමට හරි ම ආඩම්බරයක්. අපි ඇත්තට ම හරියට සතුටු වෙනවා.

අපේ ගමේ කෙනෙක් අද රටේම නායකයා වීම. ඒ විතරක් නොවෙයි. මෙතෙක් අපේ රටේ තිබුණු මහා යුද්ධය නිම කෙළේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

 අද අපේ ගම්වලට පවා කිසිම බයක් නැතිව නිදහසේ සිටීමට හැකි වෙනවා. එදා අපේ දරුවන් මහ මඟ බැස්ස ම අපි හරිම බයෙන් සිටියේ. දැන් ඒ මර බිය අපට නැහැ. මේ වගේ උත්තමයෝ බිහි කළ මවුපියන් බුදු වෙනවා”.

දොන් නිකුලස් ජයසේකර වයස අවුරුදු 90කි. ගමේ පැරැණි ම සමාජිකයෙකි. අද වන විට තරමක් මතක සටහන් අමතක වී තිබේ. එහෙත් අතීතය කවුරු හෝ ආවර්ජනය කරදුන් පසු එක දිගට ම කියාගෙන යයි. “අපි වවාගෙන වඩාගෙන හදාපු අපිට ආදරය කරපු වැරැදි කරන අයට නිසි දඬුවම් එදා දුන්

රාජපක්ෂවරු ගම-රට-තොට හදන්න කාගෙන්වත් ඉගෙන ගත්තේ නැත.
ජන්මයෙන් ම ඒ ගති ලක්ෂණ තිබුණි. ගමට පාසල, පන්සල, පොදු සේවා මධ්‍යස්ථාන සඳහා පෞද්ගලික ඉඩකඩම් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන් වූහ. මැදමුලන නම් වූ ශ්‍රේෂ්ඨ නායකයන් දැයට බිහි කළ ගම තවමත් සංවර්ධනය වන ගමකි. පාර-තොට සැකසේ. ගමේ නිවාස ඉදි වේ. රැකියා සඳහා තරුණයින් යොමු වේ. අදත් මෙම ගම යස ඉසුරින් සපිරි ගමක් නොව සංවර්ධනයේ රන් අරුණලු දකින ගමකි.

අපේ මහින්ද හාමු අද අපේ රටේ රජතුමා ය. අපිට තිබෙන සතුට කියන්න බැරි තරම්.

පොඩි කාලේ සිට ම හරි ම කඩිසරයි. හරි වේගයෙන් යන්නේ. ඕනෑ ම අවස්ථාවකට යනවා. බොරුකාරයන්ට, වංචාකාරයන්ට දඬුවම් කරනවා. ඇත්ත කියන අයට හරිම කැමැතියි.

මැදමුලන ගම අද සංවර්ධනය වෙලා තියෙන්නේ. එදා වගේ නොවෙයි, දැන් ඉතින් අපේ අවසන් කාලය ඇවිල්ලා.

මැදමුලන ගම්මානයේ සියලු ම දෙනාට ම එදා රාජපක්ෂවරු සැලැකුවේ එක ම ආකාරයට බව කේ. පී. ජයසේකර කිරි මහත්තයා පවසා සිටියා.

“ගහකොළට, සතා සිව්පාවාට පවා ආදරය කිරිමටත්, ජාතීන් වශයෙන් පන්ති වශයෙන් සමාජ බෙදීමක් අවශ්‍ය නොමැති බවත් රාජපක්ෂවරු එදා සිට ම ක්‍රියාකර තිබෙනවා.

 වලව්ව කියා මහ ලොකු ගෙයක් තිබුණේ නැහැ. කුඩා නිවස වටේ ම පොල් අතු සෙවිළි කළ වට රවුම හරි ම සරල ආකාරයට ගත කෙළේ.

එදා කුඹුරුවල ගොයම් කපා පෑගෙන දවසට මැදමුලන ගම අවට ප්‍රදේශවලින් බෑග් මලු අරගෙන මිනිස්සු පාවරට එනවා. වී ටිකක් ඉල්ලගන්න. මන්ත්‍රී හාමු වී බෙදනවා.

එහි වී මදිනම් ඊළඟ කුඹුරට එන්න කියනවා. මේ ආකාරයට මිනිසුන්ට සලකපු

නිසා තමයි අදත් ජනතාව රාජපක්ෂවරුන්ට ආදරය කරන්නේ. එහෙම නැතිව රාජපක්ෂවරු ජනතාවට හිසරදයක් වූ පවුලක් වූනේ නැත.

මෙම මහා පින් බිමෙන් ජනිත වී දැයට මහඟු සේවාවන් කළ සහ කරමින් සිටින රාජපක්ෂවරු ක්‍රියාකර ඇත්තේ විදේශ රටවල චින්තනය මෙරට පතුරවමින් නොව දේශීය චින්තනය ආරක්ෂා කරමිනි.

ඩී. එම්. රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, (වත්මන් කථානායක) මහින්ද රාජපක්ෂ (ජනාධිපති), ගෝඨාභය රාජපක්ෂ (ආරක්ෂක ලේකම්), බැසිල් රාජපක්ෂ (ආර්ථික සංවර්ධන අමාත්‍ය) නිරූපමා රාජපක්ෂ මහත්මිය (ජල සම්පාදන නි. ඇමැතිනි) ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ (ඌව ප්‍රධාන අමාත්‍ය) නාමල් රාජපක්ෂ (පාර්ලිමේන්තු මන්ත්‍රී) මේ ආකාරයට සහෝදර පිය පුතු සෙනෙහස එක් කරමින් රට සංවර්ධනය කිරීමට රට රැක ගැනීමට දායක වී සිටිති.

අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍ර තුනේ ම අත්දැකීම් සමුදායක් තුළින් නිර්මාණය වූ මහින්ද චින්තනය මැදමුලන චින්තනය වශයෙන් හැඳින්වීම සැබැවින් ම නිවැරැදියි.

එය රටට සමාජයට අහිතකර නොවන නිසා පවුල් සමාගමක්, සහෝදර සමාගමක් කියා වහසි බස් දොඩවන විජාතික කුප්‍රකට බලවේගවලින් මහින්ද චින්තනය යටපත් කිරීමට කිසිසේත් මේ රටේ ජනතාව ඉඩ නොතබන බවට දැනටමත් සාක්ෂි තිබේ.

මැද මුලන ගමෙන් බිහිව මහින්ද චින්තනය මේ රටේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමයම එක ම යදමක් සේ ශක්තිමත් වීමට රාජපක්ෂවරු දක්වන්නේ නොමද සහායකි.

මෙය පවුල් සමාගමක් සහෝදර සමාගමක් කියා වහසි බස් දොඩවන පරදේශ සිතුවිලි මගින් ස්වයංසිතුවිලි නිදිකරවන ගැත්තන්ට මහා හිසරදයකි.

එහෙත් මේ රටේ බහුතර අහිංසක ජනතාවට මහා අස්වැසිල්ලකි. මහින්ද චින්තනය හරියට කාන්තාරයක දිය පොදක් සේ ය.

එවන් ශ්‍රේෂ්ඨ පරපුරක උරුමය රැක දුන් වීර කැටියේ මැදමුලන ගමෙන් මම නික් ම ගියේ මහා අනෝරා වැස්සට තෙමීගෙන ය. ඒ මහා වැස්ස ගොවිතැන් බත් කරන ඔවුන්ට මහා ආශීර්වාදයකි.

ඡායාරූප සහ සටහන - ලූණම සමූහ

සනත් ගමගේ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්