කුඩා දූපතක දේශප්‍රේමී සලකුණ

කුඩා දූපතක දේශප්‍රේමී සලකුණ

මාසිටියේ ‘චෞර රැජින’ කියවමින් ය.

ඒ කාන්තාවක ගේ ආගමනයෙන් ශ්‍රී ලාංකික ජනාධිපති පදවි ප්‍රාප්තික කිරුළ, කාන්තාවක් සතුවීම තරම් භාග්‍යයක් ශ්‍රී ලාංකික කාන්තාවකට තවත් නැතැයි සිතූ යුගයක අග භාගයයි.

පොතේ අඩක් කියවාගෙන යද්දී ඇති වුණ භීතිය සහ ප්‍රකම්පනය මා හෙම්බත් කර තිබූ බව සැබවි. එය හරියට මැදියමේ ඝනාන්ධකාර රාත්‍රියක බිළිදෙක් වඩාගත් හුදෙකලා ගැහැනියක් ඇගේ ඇකයේ සිටි බිළිඳා මා වෙත පාද්දී ඇති වන භීතියට සාපේක්ෂ ය.

අභිමානයත් ප්‍රෞඩත්වයත් සංකේතවත් කළ හොරගොල්ල වලව්වට සේම බණ්ඩාරනායකවරුන් කෙරේ තිබූ අචල ගෞරවාදර භක්තිය ද අප කෙරෙන් කෙමෙන් කෙමෙන් ලිහිල්ව දියවී යද්දී යා යුතු මාර්ගය කිමැයි නොදැන අසීරු වූ අපහසුතාවක අපි වල්වැදෙමින් සිටි බව නොබියව කියමු.

මේ ගන්ධබ්බ කාලය අතරතුර දී ගිරුවාපත්තුවේ මැදමූලන ගම්මානය හරහා පාවී ආ කුරහන් සාටක යුගය අප යා යුතු නිසි මාර්ගය අපට එළිපෙහෙළි කර දෙමින් තිබිණ.

ඉදින් එදා සිට අද දක්වා සිදුවූ දේ බොහෝ ය.

ඒ බොහෝ දේවලට මිලක් නියම කළ නොහැකි තරම් අභිමානවූත් ස්වෛරීවූත් ඒ බොහෝ දේ ගැන බොහෝ දේ ප්‍රකාශ කරන්නට මේ පිටුව කෙසේ නම් සෑහේ ද?

එදා දරුවන් ගෙදර එනතුරු හැඬූ කඳුළින් කඩුල්ල ළඟට වී කල් මැරූ මම අද මගේ දරුවන් සමඟ නිදහසේ පාර තොටේ ඇවිද යන පී‍්‍රතිමත් මවක් මි.

රටට නායකත්වය ගෙන දුන් නායකයාට කෘතවේදිත්වය

ශ්‍රී ලාංකික හැම දරුවෙකුගේ ම හැම වැඩිහිටියෙකුගේ ම ඔව්, ඒ ආඩම්බරකාර තාත්තා වෙනුවෙන්, යුද බිය මුදා හැර රට එක්සේසත් කළ ඒ ජනනායකයා වෙනුවෙන් ස්ත්‍රෝත්‍ර ගී ගයා ඔහුට නැවත නැවතත් ආශිර්වාද කරන්නට කාලය එළඹ තිබේ.

මී කිරි කා, කුරක්කන් හැලප, තලප කා එළකිරි බී හැදුන තමා නගරයට අනුගත වුවත් තමා තුළ තවමත් පැලපදියම්ව තිබෙන්නේ මැදමූලන ගම්මානය බවත් පවසන ඒ අභීත අසහාය නායකයා තුළ සිටින ගැමි පැංචා සොයා ගිරුවාපත්තුවේ මැදමූලන ගමට මම මෙසේ යමි.

එහිදී ඒ පුංචි ගැමි කොළුවාගේ වීරත්වය පිළිබඳ කතන්දර මල්ලක් සොයා ගතිමි. ඉන් එකක් දෙකක් ඔබේ රසාස්වාදය පිණිස මෙහි බහාලමි.

කෝච්චියක් ඈතින් එයි. මිතුරන් අතර සිටින ඔහු කෝච්චි පාර පනින්නට සැරසෙයි.

“මේක නං භයානක සෙල්ලමක්.”

මිතුරෝ පසුබාති. එහෙත් අභියෝග බාරගන්නට මිස ඒවා ඉවතට දමන්නට ඔහු සූදානම් නැත. දුම්රියත් මිතුරනුත් අතර පරතරය අඩි විස්සකි. ඔහු දුම්රිය පාර හරහා පැන්නේ ය. ගාඩ්වරයා කෑ ගැසුවේ ය.

‘ළමයෙක් කෝච්චියට පැන්නා..”

හැමෝම කලබල වෙලා ය.

කෝච්චියට පැන්නේ බෙලිිඅත්ත ආසනයේ ඩී. ඒ. රාජපක්‍ෂ මන්ත්‍රීතුමාගේ පුත්‍රරත්නය බව ගාඩ්වරයා අඳුනා ගනී.

කොලුවා නිරුපද්‍රිතය. කෝච්චිය නොනැවතී ගමන් කරයි.

“මේ ඔන්න අද පරතරය අඩි විස්සයි. හෙට මගේ පරතරය අඩි දහයයි. උඹලත් අභියෝග බාරගනිල්ලා. බයගුල්ලෝ..”

එහෙත් අඩි දහයේ පරතරය පැන කෝච්චි වාර්තා තබන්නට හැකි හෙට දවස උදා නොවිණ. මාරක සෙල්ලමක් කර ජීවිතය බේරාගත් පුංචි වීරයාට ඔහු නැවතී සිටි ගෙදර ඥාතිවරයාගෙන් ලැබුණේ වේවැල් පහර දෙක තුනකි.

භයානක ආරංචිය පුතා ගේ තාත්තා ගේ කනට ද පියෑඹී ය.

මාරක සෙල්ලම ගැන දැනගත් විට ඔහු ගේ ඉහ මොළ රත් විය. සෙල්ලම ලෙල්ලම වන්නට පෙර ඊට තහනම් වැට කඩුලු බැඳිණි. මාපියන්ගේ සිත් රිදවීම පාපයක් බව වටහා ගත් නිසාදෝ මාරක පිම්ම අත්හැර දමන්නට ඔහුට සිදු විය.

ඒ ඔහු ගේ වීරත්වයයි.

මේ ඔහුගේ අභිමානයයි.

සර් ජෝන් විසුවේ කඳවල වලව්වේ ය. වරක් ඩී. ඒ. රාජපක්‍ෂ මන්ත්‍රීතුමා කුඩා චමල් සහ මහින්ද සමඟ කඳවල වලව්වට ගියේ ය. සර් ජෝන් ගෙන් පොඩිවුන් දෙදෙනාට අඹ ගෙඩි දෙකක් ලැබිණ.

දෙදෙනා ගේ අඹ කෑම සර් ජෝන් කොතලාවලට ඇල්ලුවේ නැත.

“ඔහොම නෙමෙයි කොල්ලනේ ඔය අඹ මෙහෙම කාපියව්”

අඹ කන හැටි කියා දුන් නමුත් සර් ජෝන් කොතලාවලගේ කතා විලාශයට පුංචි මහින්ද කිපිණ. අතේ තිබුණේ අඹ ඇටයයි. එය ඊයක වේගයෙන් සර් ජෝන් කොතලාවලගේ හිසට පියෑඹීය. රිදුණු හිස අතගාමින් සර් ජෝන් මොහොතක් කොලු පැටියා දෙස බලා සිටියේ ය.

“උඹ එහෙනං හොද පුතෙක් වෙයි” කියූ සර් ජෝන් නික්ම ගියේ පුංචි දඟයාගේ හිස ද අතගාමින් ය.

මේ ඔහු ගේ සාඩම්බරයයි.

1952 දී ලංකාවට ආ එළිසබත් මහ රැජින දැකගන්නට තාත්තා මහින්ද සහ චමල් පුතුන් දෙදෙන පාර්ලිමේන්තුවට කැටුව ගියේ ය. රැජින ගේ සුදු හමත් අධිරාජ්‍යවාදී පෙනුමත්, මහින්ද ට ඇල්ලුවේ නැත. පැරැණි කෝන්තරයක් ද ඔහු ගේ පුංචි සිතට එබිකම් කරයි.

“ඔය සුද්දි නේද අපේ රට අල්ලන් හිටියේ.. අපිට නිදහස ලැබෙද්දී ඔය ගෑනි යටතෙ නේදයියෙ අපේ රට තිබුණෙ..?

මල්ලීගේ විතක්ෂණශීලිභාවය අයියා හොඳින්ම දනියි.

“එතකොට හිටියෙ එයැයිගෙ තාත්ත හයවැනි ජෝර්ජ් රජ්ජුරුවො...”

අයියා විස්තර කළේ ය.

“අපරාදෙ අපි ආවෙ“

මල්ලිගේ සිත රිදී තිබිණ

පවුලට පැටව් නම දෙනෙකි. චමල් , බැසිල්, ජයන්ති, චන්ද්‍රා, ඩඩ්ලි, ගෝඨාභය, පී‍්‍රති, ගාන්ධිනී සහ මහින්ද ය. මාලයක ඇමිනූ මුතු ඇට මෙන් ඔවුහු තිරසරය. ආදරණීය ය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහා සම්මේලනයකට සහභාගී වීම සඳහා එවර ඩී. ඒ. රාජපක්‍ෂ මහතා ගියේ මහින්ද සහ චමල් පුතුන් දෙදෙන සමඟ ය.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහ පක්‍ෂයේ නායකයන් කිහිප දෙනෙක් එහි ඒ වන විට පැමිණ සිටියහ. කවදත් පොඩි දරුවන්ට ආදරය පා සුරතල් කරන බණ්ඩාරනායක මහතා මහින්ද සහ චමල් ළං කර ගත්තේ ය.

“කොහොමද රුහුණු පැටව්?”

“හොදින් ඉන්නො”

චමල් කීය.

“මාත් හොඳින් ඉන්නො”

මහින්ද කීය.

“ෂා බොහොම හොඳයි. බොහොම හොඳයි”

බණ්ඩාරනායක මහතා කීවේ මහ හඬින් සිනාසෙමිනි.

පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ, ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේත්, කොළඹ නාලන්දා විද්‍යාලයේත්, තර්ස්ටන් විදුහලේත්, දීප්තිමත් ශිෂ්‍යයෙකු වූවේ ඔහුට තිබූ සහජ දඟකාරකම්වලින් ද අඩුවක් නොමැතිව ම ය.

විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලාධිපති තනතුරට පත්වූ මහින්ද එතැනින් ලංකාවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක රජය වෙනුවෙන් බෙලිඅත්ත ආසනය නියෝජනය කරමිනි.

උපතින් ම හිමි චතුර කථිකත්වය ජීවිතයට අර්ථකථනයක් කර ගැනීම උදෙසා ඔහු නීති විද්‍යාලයට ඇතුළු වෙමින් නීතිය හැදෑරී ය.

1983 අවුරුද්ද ඔහුගේ ජීවිතයේ ප්‍රේමණීය වසරයි.

කෝකිලදේවී වීරතුංග ඔහුට විවාහ යෝජනාවක් ගෙනාවේ 1978 දී ශ්‍රී ලංකා රූපරාජිනිය ලෙස කිරුළු පැළදි ශිරන්ති වික්‍රමසිංහ පිළිබඳවය.

“ගෑනු දැරිවි ලස්සනෙයි”

“රූප රාජිනියක් කිව්ව ම තවත් අහනව ලස්සන ද කියලා. තුන්මුල්ල හන්දියෙ ටෙනිස් පිට්ටනියට හැමදාම හැන්දෑවට එනවා. එච්චරයි. වෙන කොහේවත් යන ගෑනු ළමයෙක් නෙවි.”

එදින ම හවස්යාමයේ තුන්මුල්ල ටෙනිස් පිටියේ දුවන උඩපනින සෙල්ලම් කරන යුවතියන් නිරීක්‍ෂණය කරමින් ඔහු කාරයට වී කල් මරමින් විමසිල්ලේ සිටියේ ය.

“කවුරුවත් දැක්කොත් වස ලැජ්ජාවයි. මිනිස්සු හිතයි මං මේ උඩ පනින කෙල්ලො දිහා බලන් ඉන්නො කියල. .. ෂික්..”

විනාඩි කිහිපයකට පසුව පිටියට පැමිණි රූ රැජින අනිකුත් ගැහැනු ළමයින්ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට අපොහොසත් නොවූ ඔහු ආපසු කාරය හරවා ගත්තේ සිත මත වැතිරෙන ප්‍රේමණීය හැඟුම්වලට ඔහේ සිත තුළ නිදහසේ පාවෙන්නට ඉඩ හරිමින් ය.

එය අපූරු ආනන්දයක් බව ප්‍රථම වරට ඔහුට දැනෙමින් තිබිණ.

මංගල්‍යය ඉටු විණ. මැදමුලන ගමට ම එදා මඟුල් ය. රූ රැජින මැදමුලන නිවස කල එළි කළාය. ශිරන්ති වික්‍රමසිංහ ශිරන්ති රාජපක්‍ෂ බවට පත් විය.

රාජපක්‍ෂවරුන්ගේ ප්‍රතිභාව වඩාත් දිදුලවන්නට ‘නාමල්’ පැමිණෙයි. අනතුරුව ‘යෝෂිත’ සහ ‘රෝහිත’ ද එක්වෙයි. තාත්තා ගේ ගමනට ඔවූහු දිරිය දරුවෝ වෙති.

විසි අවුරුද්දක් තිස්සේ යුද කටයුතු පිළිබඳව උකුසු ඇසක් සමඟ පෘථුල දැනුමක් හිමිකරගත් ගෝඨාභයට කර්නල් පදවිය ලැබුණේ ඉන් අනතුරුව ය. එහෙත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්‍ෂ ට ජෙනරාල් පදවිය ලැබුණේ එකම එක දවසකින් ය.

ඒ ගාමිණී ෆොන්සේකාගේ ‘නොමියන මිනිස්සු’ චිත්‍රපටය සඳහා ය.

පෞරුෂයෙන්, අභිමානයෙන් රූපකායෙන් පමණක් නොව කලාවට තිබූ දැනුමත් නිපුණත්වයත් හැකියාවත් නිසා ම ඔහු චිත්‍රපටයේ ජෙනරාල් විය. එපමණක් ද? නැත.

‘උදාගිර’ ටෙලි නාට්‍යයේ මන්ත්‍රීවරයකු විය.

‘බැද්දේ සෙනෙහස’ ටෙලි නාට්‍යයේ ගම් ප්‍රධානියා විය.

ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක් සංකල්පය බිහි කළ මේ අපූරු ජනනායකයා ජීවිතයට හැකියාවක් ඇති බව රටට ම පසක් කරමින් අති දක්‍ෂ නළුවකු සේ සිය රංගන හැකියාව ද එම ටෙලි නාට්‍යවලින් ප්‍රචලිත කර දිණ.

ඔහු අපේ ප්‍රෞඪත්වය, අනන්‍යතාව ලෝකයට ප්‍රකාශ කිරීමට, වරක් ලොස්ඇන්ජලීස් නුවර පැවැත් වූ එක්සත් ජාතීන් ගේ මහා සමුළුව ඇමතුවේ අපේ මවු බසිනි. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් සිය මවු බසින් මහ සමුළුව අමතද්දී අපේ රටේ ඇතැම් නායකයන් මවු බසින් සමුළුව ඇමතීම ගොඩයෙකුගේ වැඩක් ලෙසින් අවම තක්සේරුවකට පත් කරති.

දේශප්‍රේමී සලකුණ දිවගට දෙමින්,, ඔහු අපේ තුන් සිංහලයේ අභිමානය ලෝකයට ප්‍රචලිත කළ මුල් ම නායකයා විය.

ඔහු සැබෑවට ම ජාතියේ ආඩම්බරකාර තාත්තා විය.

ඔහු සැබෑවට ම ජාතිය ගොඩගත් යුගන්ධර පුරුෂයා විය.

ඔහු රටට දැයට ආගමට කළ වැඩ බොහෝ ය. කළ යුතු දෑ තවත් ඇත. ඔහු ගැන ලියන්නට ඇති දෑ මහා සාගරයකි. එහෙත් මෙහි ඇත්තේ ඒ මහා සාගරයෙන් දිය බිංදුවක් පමණි.

ඉදින් ඔහු ශ්‍රී ලාංකේය අභිමානවත් ප්‍රාර්ථනයත්, එකම අපේක්‍ෂාවත් නොවන්නේ කෙලෙසදැයි කිව මැන.

චිරං ජයතු! අප සදාදර නායකයාණෙනි!

සදා ලාලිත් රණසිංහ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්