රටේ ලොකුම තැනට නැඟුණු පොඩි පුතා

රටේ ලොකුම තැනට නැඟුණු පොඩි පුතා

අනෙක් දරුවන් අතර ඒ දරුවා කැපී පෙනින. ඒ ඔහු සතු සුවිශේෂී ගුණාංග රැසක් නිසා ය.

බෙලිඅත්තේ මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂ මහතා සමඟ 1947ටත් පෙර සිට මිතුරුව සිටි මැදමුලන මහගෙදරට නිතර පැමිණි විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂකරයකු වූ විතාරන්දෙනියේ පී.ජේ. රත්නායක මහතා ඒ දරුවාගේ මේ ගුණාංග මැනවින් දුටුවේ ය.

ගමේදීත්, පාසලේ දීත්, පන්සලේ දීත්, සාමාන්‍ය සමාජයේදීත් ඒ දරුවා මතු වී කැපී පෙනෙන හැටි රත්නායක මහතා මැනවින් දුටුවේය.

අද දෙවැනි වරට ද ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට ජන සම්මතයෙන් පත් වන ජන නායකයා එදා ඒ දරුවා ය.

අසූ හත් හැවිරිදි රත්නායක මහතා, ළමා වියේදීත් උපයාගත් නායකත්ව ගුණාංග පෙන් වූ ඒ දරුවා පිළිබඳ සිය මතක සටහන් මෙසේ මතු කළේය.

“මම මැදමුලන මහගෙදරට සතියකට දින දෙක තුනක්වත් යනවා. ඩී.ඒ. රාජපක්ෂ මන්ත්‍රීතුමා පළාතේම සිටින හාමුදුරුවරු, ගුරුවරු, වෙදමහත්තුරු, ගොවීන්, ධීවරයන්, එඬේරුන් සමඟ එකට ජීවත් වූ කෙනෙක්. එතුමාගේ නිවස හැමවිටම රැස්වීම් ශාලාවක් වගෙයි. සාලය දන්සලක් වගෙයි.

ඒ මිනිසුන් අතර එහා මෙහා දුව පනිමින් හැම දෙනා සමඟ ම කතා කරමින් බුලත් විට වට්ටිය, පිළිගන්වමින් තේ ගෙනෙමින් නිතර සිනාමුසුව සිටින කුඩා දරුවා - මහින්ද මහත්තයා අප කාගේත් සිත් ගත්තා.

ඒ දරුවා ගමේ දී නිතරම සිටියේ ගොවීන්ගේ, එඬේරුන්ගේ, ධීවරයන්ගේ දරුවන් සමඟ. ඔවුන් ගේ හොඳම මිතුරා ඔහු. මා දැනසිටි ඒ දරුවන්ට කරදරයක් සිදු වූ විට වහාම ඉදිරිපත් වන්නේ ඔහු. මුළු පළාතේ ම දරුවන් කුඩා මහින්දට ආලය කළා. ළමා වියේ දී ම ඒ දරුවා නායකයෙක් වුනා.

ඩී. ඒ. රාජපක්ෂයන් සිය දරුවන් සමග...

බොහෝ අය ප්‍රශ්නයක් ආ විට පලා යනවා. සැඟවෙනවා. නමුත් මේ දරුවා කවර ප්‍රශ්නයක් ආවත් පලා ගියේ නැහැ. ඉදිරියට ගියා. මට මතකයි වරක් සිය පියා වෙනුවෙන් මේ පුතා මැතිවරණ වැඩට හවුල්ෙ;වමින් කොළ බෙදමින් ගැටමාන්නේ කඩපොළට ගියා. ඔහු සමඟ ගියේ ඔහුගේ ම වයසේ අයයි. එතකොටත් ඔහු ගේ වයස අවුරුදු 12 ක් 13 ක් වෙන්න ඇති.

තාත්තාගේ ඡන්ද වැඩ කරන අයට ගැටමාන්නේ දී එ.ජා.ප.යේ හාමු කෙනෙකු තර්ජනය කළ බව මේ දරුවාට අසන්නට ලැබුණා. ඔහු ඒ හාමු හමු වී අපට ඡන්ද වැඩ කරන්න දෙන්නෙ නැද්ද ? අපිත් නිකං ඉන්නවා කියලා හිතන්න එපා යැයි මහ හඬින් කීවා. හාමු ලජ්ජාවටට පත් වුණා. මැරකම් අඩු වුණා.

වෙනත් අය ඒ වගේ අවස්ථාවල දී කරන්නේ මැරයකු ඉදිරියට එවා තමා පසුපසින් සිටීම. නමුත් මේ දරුවා තමා ම ඉදිරියට ගියා. ඔහුගේ එඩිතරකම හමුවේ මැරයන් පසු බෑවා.

ළමා වියේ සිට ම ඔහු පිළිවෙළට සැලැස්මක් ඇතිව වැඩ කරන හැටි මා දුටුවා. කිසි දේකට කලබල වුණේ නැහැ.

මට එක සිද්ධියක් මතක් වෙනවා. එතකොට ඒ දරුවාගේ වයස අවුරුදු දොළහයි.

මගේ පුතයි මමයි දවසක් මගේ මෝටර් රියෙන් මැදමුලන මහ ගෙදරට ගියා. රිය නතර කරන තැනට ඒ දරුවා ආවා.

“මට මේ කාරෙක පදවන්න ඕනෑ”

ඔහු මගේ පුතාට කීවා.

“මම වීරකැටියට ගිහිල්ල එනවා...” ඔහු තවදුරටත් කීවා

“පුතා පොඩිවැඩියි.....” මා කීවා.

“ඒ වුණාට මට පුළුවන්....”

ඔහු කතා කළේ මහත් ආත්ම විශ්වාසයෙන්.

පටු වැව් බැම්ම දිගේ වැටුණු පාරේ ඔහු ඒ මෝටර් රිය පදවාගෙන ගියා. පැය භාගයකින් පමණ ආපසු ආවා. මෝටර් රියෙන් බැස්ස ඔහු සිනාසෙමින් මා ළඟට ඇවිත් “ඔන්න මං ආවා” කීවා.

මගේ පුතා මට කීවා ඔහු වාහනය පදවාගෙන ගිය හැටි. ඔහු හොඳ කල්පනාවෙන්, පරෙස්සමෙන්, පාරේ යන අනෙක් වාහනත්, පාරේ යන අයත් ගැන අවධානය යොමු කරමින් ගිය හැටි පුතා කීවා.

අවුරුදු 12 දරුවකු එදා මගේ වාහනය හොඳින් හසුරුවා ගනිමින් ගමන් කළා වගේ අද එතුමා ශ්‍රී ලංකාව නමැති වාහනය පරෙස්සමෙන් හොඳින් පදවාගෙන යනවා. කිසිදේකට කලබල නොවී, දැඩි ඉවසිල්ලෙන් එතුමා යා යුතු තැනට රට ගෙනයනවා. මේ හැකියාව ළමා වියේ සිට එතුමාට තිබුණා.

ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා මා සමඟ නිතර කියපු සමහර කාරණාවලින් පෙනුණු දෙයක් තමයි එතුමා විශ්වාස කළා මහින්ද පුතා කවදාහරි රටට විශාල සේවයක් කරන ශ්‍රේෂ්ඨ නායකයකු වන බව. එතුමා ඒ සඳහා සුදුසු පරිසරය හැදුවා. සැබෑ ජනතා නායකයෙක් ජනතාව ගේ ප්‍රශ්න හොඳින් දැන ගත යුතුයි’ ජනතාවට ආදරය කළ යුතුයි. එයා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ඉතා කුඩා වියේ සිටිය දී ම මහින්ද පුතාට ජනතා ඇසුර ලබා දුන්නා.+

 ධීවරයන් අතර ගැටුමක් බේරන්න ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ගියේ මහින්ද පුතා සමඟ. ගොවි රැස්වීම්වලට, ගුරු සංගම්වලට එතුමා පුතා කැඳවා ගන ගියා. 1952 දී කඩුගන්නාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සම්මේලනයට පවා එතුමා හත් හැවිරිදි මහින්ද පුතා කැඳවාගෙන ගියා. වැඩ වර්ජන, පෙළපාලි වැනි අරගලකාරී තැන්වල දී පවා පත්‍රිකා බෙදීම, පෝස්ටර් ඇළවීම වැනි ළමයින්ටත් කළ නොහැකි දෙයට පුංචි මහින්ද සම්බන්ධ වුණා.

1960 මාර්තු මැතිවරණයේ දී ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී මහජන එක්සත් පෙරමුණ බෙලිඅත්ත ආසනයට තරග කිරීමට සූදානම් වූ අවස්ථාවේ මහින්ද පුතා ගේ වයස අවුරුදු 14යි. ඔහු පියා ශ්‍රී.ල.නි.පක්ෂයෙන් ඉවත්වීමට දැඩි ලෙස විරුද්ධ වුණි.

තාත්තේ තාත්තලා හදාගත් පක්ෂය දාල යන්න එපා. මම කවදාවත් ශ්‍රී.ල.නි.ප. ය දාලා යන්නේ නැහැ.”

ඔහු කීවා. එදා රාත්‍රී ඔහු කෑම ද වර්ජනය කොට නිදන්නට ගියා. පියා ඒ මැතිවරණයේ දී පැරදුනා. මාස තුනකට පසු ඊළඟ මැතිවරණය ආවා. ඒ පියා යළි ශ්‍රී.ල.නි.පක්ෂයෙන් බෙලිඅත්තට තරඟ කළා. දිනුවා. පුංචි මහින්ද එදා කී පරිදි කවදාවත් පක්ෂය අත්හැර ගියේ නැහැ. ඔහු ගේ දැඩි ප්‍රතිපත්තිය වෙනස්වුණේ නැහැ.

චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති වශයෙන් සිටිය දී මහින්ද මහතාට ශ්‍රී.ල.නි.පක්ෂයෙන් ඉවත්වීමට තුඩුදෙන සිද්ධි කොතරම් ඇතිවුණා ද ? එහෙත් එතුමා අර ළමා කාලයේ ඇතිකරගත් අධිෂ්ඨානය අනුව සියලු කරුණු, අවවාද ඉවසාගෙන සිටියා. ඒ නිසාම රටට වැඩදායක ජනාධිපතිවරයකු හිමි වුණා. මේ දරුවා කවදා හෝ ශ්‍රී ලංකාවට උතුම් නායකයකු වෙනවා යන හැඟීම අපට එදා සිටම තිබුණා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන කියමන මට මෙහි දී මතක් වෙනවා. ඒ ගැන මල්පිපිණු, ජල පිරුණු රටටම ලොවට ම සුවඳ විහිදුවන සශ්‍රීක බව ඉටු කරන හැටි අපට දැන් පේනවා.

එතුමා ඇමති තනතුරු කීපයක් දැරුවා. එක තනතුරක එතුමාට ඉන්නට ජන්නේ සුළු කාලයයි. එහෙත් ඒ සුළු කාලය තුළ නිර්මාණාත්මක, රටට වැඩදායක අපූරු වැඩ රාශියක් කළා. කරන සෑම වැඩක් ම පිළිවෙලට සැලසුම් සහිතව කිරීමේ හැකියාව එතුමාට ළමා වියේ සිට තිබුණා. ඒ හැකියාව ඇති ඇමැතිවරු හතර දෙනෙක්වත් එතුමාට සිටිනවා නම් මේ රට සුරපුරක් කළ හැකියි.

ළමා වියේ සිට මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන හොඳීන් දන්නා කෙනකු හැටියට මට විශ්වාසය එතුමා මේ රට සුරපුරක් කරනවා. එතුමාට තෙරුවන් සරණත්, සියලු දෙවියන්ගේ පිහිටත් නිදුක් නිරෝගී චිර ජීවනයත් පතනවා.

විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ

පී.ජේ.රත්නායක


සබැඳි පුවත්