J. R -M. R. ගැන කියයි

J. R -M. R. ගැන කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස ද ආසියාවේ පරිණත දේශපාලකයකු ලෙස ද ප්‍රකට භූමිකාවකට ජීවය දුන් ජූනියස් රිචඩ් ජයවර්ධන මහතා මගේ කාල්පනික ලෝකයෙහි සැරිසරන්නට විය. එක්තරා සන්ධිස්ථානයක දී එතුමා මට මුණ ගැසුණේ ය. පහතින් පළවන්නේ එහි ප්‍රතිඵලය යි.

මම:- ශ්‍රී ලංකාව නිදහස ලබාගෙන වසර හැට දෙකක් ගෙවී ගිය පසු; අලුත් ගමනක් ආරම්භ කර තිබෙනවා. එය දේශපාලන වශයෙන් ද ආර්ථික වශයෙන් ද ඉදිරිගාමී පියවරක්. මේ වෙනස ඇති කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා යැයි ඔබ තුමා පිළිගන්නවා ද?

උතුමාණෝ:- මං ඒ හැටි කතා කාරයෙක් නෙමෙයි. තමුන්නැහැ වචන ස්වල්පයක් බලාපොරොත්තු වෙන නිසාවෙන් කෙටියෙන් කියන්නම්. එතුමා ගැමුණු රජතුමා වැනි නිර්භීත කෙනෙක්. මහන්සියෙන් වැඩ කරන කෙනෙක්. මන්ත්‍රණ සභාවට ගැලපෙන කෙනෙක්. නායකත්වයට ගැලපෙන කෙනෙක්. තමුන්නැහැට පුළුහං ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් පළ කරන්ට!

මම:- මහින්ද රාජපක්ෂ මහතා ගේ සාර්ථකත්වයේ පළමු පියවර වන්නේ තිස් අවුරුද්දක් පුරා පැවැති කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම යි. ඒ අතින් බලන විට ඔබතුමා පරාජිත නායකයෙක් නේ ද?

උතුමාණෝ:- හෙනං මුන්නැහැ කල්පනා කොරන්ට වුවමනයි, ජූනියස් රිචඩ් ජයවර්ධන උතුමාණන්ට ඒ කාලෙ හැටියට උණ්ඩ හිගයක් තිබුණා. සේනා හිගයක් තිබුණා. අහස් යාත්‍රා හිගයක් තිබුණා. නැව් හමුදාවල හිගයක් තිබුණා. ඇල්.ටී.ටී.ඊ සංගමය ඒකෙන් ප්‍රයෝජන ගත්තා. ඒත් තමුන් නැහැට මතක ඇති අපි ඉන්දියන් හමුදාවල් ශ්‍රී ලංකාවට ගෙනාවා. යුද්දෙ ජයගන්ට වුවමනා නම් නැපෝලියන් තුමාට වාගෙ හරි සැලැසුම් තිබෙන්ට වුවමන යි!

මම:- ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ඉන්දියාව ප්‍රබල සාධකයක් ලෙස පැවතුණා. එහෙත් ඔබතුමාගේ පාලන කාලයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හොඳ හිතක් තිබුණේ නැතැ’යි චෝදනාවක් තියෙනවා!?

එතුමා දුටු විට වැසියා ප්‍රීති වෙනවා

උතුමාණෝ:- මහත්මා ගාන්ධිතුමා මගේ හොඳ මිත්‍රයෙක්. නේරු තුමත් එහෙමයි. ගාන්ධිතුමා 1927 දී ශ්‍රී ලංකාවට ගොඩ බැස්සා. එතුමා ඉන්දියාව ගොඩ නැගීම සඳහා අපෙන් ආධාර ඉල්ලුවා! අපි උදව් කළා! රජීව් ගාන්ධිතුමා වුණත් එහෙමයි. එතුමා ඇල්.ටී.ටී.ඊ සංගමය පරාජය කරන්ට සේනාවල් ලබා දුන්නා. ඉන්දියන් රට අපට හිතවත්.

මම:- ඔබ තුමා බටහිරට ගැති කෙනෙක්. ඇමෙරිකන් ජනාධිපති ගැන වැඩි විශ්වාසෙකින් කටයුතු කළා. ඒකෙ ප්‍රතිඵලය වුණේ ඉන්දියාව කොටි ත්‍රස්තවාදයට උපකාර කිරීම යි. ඒ ගැන ඔබ තුමා දැන් දරන මතය කුමක් ද?

උතුමාණෝ:- බටහිර බලවත් රාජ්‍යයන් අපට වැදගත්. ඉන්දියන් රටේ බලපෑමට වඩා මහ රැජිනගෙ යටත් වැසිකම නරක නෑ. රේගන්තුමා, ජිමී කාටර්තුමා වැනි උදවිය බොහොම බලවත් පාලකයො. ජේ. ආර්. ජයවර්ධන වුණත් එහෙමයි. (යාන්තමට සිනාසෙයි.) හෙනං අපි කල්පනා කරන්ට වුවමන යි බලවතුන් එකතු කරන්ට. නියම මාර්ගය ඒකයි. මැකියාවෙලී තුමා, ඇරිස්ටෝටල් තුමා වැනි පඬිවරු ඒ බව කියා තිබෙනවා. තමුන්නැහැට ඒ ගැන සොයා බලන්ට පුළුහං.

මම:- මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, බටහිරයි, පෙරදිගයි දෙක ම එකවර හිතවත් කර ගත්තා. ඇමෙරිකාව, චීනය, එංගලන්තය, ජපානය, ඉන්දියාව, ඉරානය, සෞදි අරාබිය, ඔය කොයි රටත් ශ්‍රී ලංකාවට හිතවත්. එම ප්‍රතිපත්තිය වැදගත් නේ ද?

උතුමාණෝ:- රාජපක්‍ෂ තුමා ධර්මිෂ්ඨ පාලකයෙක්. එතුමා උපායමාර්ගත් දන්නවා! ජේ. ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ කියන්නෙ දෙන්නෙක්.

මම:- ශ්‍රී ලංකාවේ වත්මන් පාලනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පශ්චාද් යුද සමය තුළම දකින්නට ලැබෙන වේගවත් සංවර්ධනය යි. මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම අපට ඔරොත්තු දෙයි ද?

උතුමාණෝ:- රටක් දියුණුවෙන් ට නම්; වැසියාගේ අතමිට සරුවෙන්ට වුවමන යි. වැසියා ගේ අතට සල්ලි වැටෙන්ට වුවමන යි. අපි මහවැලිය හැදුවා! වාරිමාර්ග දියුණු කළා. රාජපක්ෂ තුමා වරායවල්, අහස් යාත්‍රා තොටුපොලවල්, විශාල පාරවල්්, බලාගාර හදමින් රට දියුණු කරනවා! එබඳු වැඩපිළිවෙළ නැතිව රටක් දියුණු කරන්ට බෑ. ගොවිතැන වගේ ම වෙළඳාමත් වුවමන යි. යන්ත්‍රසූත්‍ර ආදියත් වුවමන යි. අපේ වැසියාගේ අතේ මුදල් ගැවසෙන්නේ ඒ මාර්ගයේ ගියොත් පමණයි.

මම:- මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ දෙවන පදවි ප්‍රාප්තිය අදට යෙදී තිබෙනවා! ඒ පිළිබඳ ඔබතුමා ගේ ප්‍රතිචාරය කුමක් ද?

උතුමාණෝ:- මෙබඳු උදවිය පහළ වන්නේ කලාතුරකින්. වැසියා ඒ ගැන සන්තෝෂ වෙන්ට වුවමනයි. මැකියාවෙලී තුමා කියපු පිළිවෙළට රටක් හදන්ට බලය වුවමනයි. බලය නිසි ලෙස පාවිච්චි කිරීමත් හොඳ දෙයක්. එතුමාට බලය තියෙනවා. ශක්තිය තියෙනවා. මහජන ප්‍රසාදය තියෙනවා. රට හදන්ට පුළුහං නායකයෙකුට ඒ සියල්ල තිබිය යුතුයි.

ලෙනින් තුමා රුසියන් රට හැදුවෙ ඒ පිළිවෙළට මාඕසේතුංතුමත් එහෙමයි. මෙතෙන් දි ලීක්වාන් යූ තුමා සිංගප්පූරුව හදපු හැටි මහතීර් මොහොමඩ් තුමා මැලේසියන් රට හදපු හැටි අපට වැදගත් වෙනවා. රාජපක්ෂතුමාත් ඒ පිළිවෙළට රට හදයි! එතුමාගේ පදවි ප්‍රාප්තියට සුබ පතන්න කැමැතියි. එතුමා නියම මාර්ගයේ යන හැටියක් පෙනෙන්ට තියෙනවා!

මම :-ඔබතුමා අපගේ සිහියට නැඟෙන්නේ ශ්‍රී ලංකාවේ ඡන්ද සිතියම හකුළුවා දැමූ නායකයකු හැටියට ය. වත්මන් ජනාධිපතිතුමා අපගේ සිහියට නැඟෙන්නේ නැවත ඡන්ද සිතියම දිගහළ නායකයකු හැටියට ය. මේ තත්ත්වයන් දෙක අතර වෙනස කුමක්ද?

උතුමාණෝ :-මුන්නැහැ කල්පනා කරන්ට වුවමනයි, ඡන්ද පැවැත්වීමේ කරදරකාරී ස්වාභාවය ගැන. එය පාලකයාට කරදරයක්. වැසියාටත් කරදරයක්. හෙනං මං ඒ කරදරවලට කැමැති නෑ! රාජපක්ෂතුමා ඊට වෙනස් වෙන්ට පුළුහං! වඩා වැදගත් වන්නේ ඡන්ද පැවැත්වීම නොවේ. බලය රැක ගැනීමයි. ඉතාලියේ අධිරාජයන්ට බලය රැකගැනීම සඳහා උපදේශන දුන්නේ මැකියාවෙලීතුමා. එතුමා ඊට අදාළ උපදේශනවල කියා තිබෙන්නේ පාලකයා සිංහයකු මෙන් එඩිතරව බලය රැකගැනීමේ තීරණ ගත යුතු බවයි. එහිදී වඩා වැදගත් වන්නේ වැසියා නොවේ. තමන්ගේ හමුදාවයි.

මම :-එතකොට ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන්නේ කුමක් ද?

උතුමාණෝ :-ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ පොත්වලයි. එබඳු ආර්ථික විද්‍යාවක් තමුන්නැහැ දැක තිබේ ද? පිලිපීනයේ මාකෝස්තුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා. එතුමාට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන අකීනෝ මැතිනිය කතා කළා. බුෂ් මැතිතුමාත් එහෙමයි. සදාම් හුසේන් සෙනෙවිතුමත් එහෙමයි. මගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනස්. රාජපක්ෂතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය ඊටත් වෙනස්. එතුමා ජනසම්මතවාදය අදහන බවයි පෙනෙන්නට තියෙන්නේ!

මම:-ඔබතුමා ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට උත්සාහ කළා. ඒත් උත්සාහය සාර්ථක වූ බවක් පෙනෙන්ට නෑ. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා අනන්‍යතාව රැකගෙන රට ඉදිරියට ගෙන යනවා. ඔබතුමා ඒ ක්‍රමය අනුමත කරනවා ද?

උතුමාණෝ:-ලී ක්වාන් යූතුමා හොඳ නායකයෙක්. එතුමා සිංගප්පූරුව දියුණු කළා. වැසියාගේ අතට සල්ලි ලබා දුන්නා. රටක් දියුණු කරන්ට නැව් තොටවල් වුවමනායි. අහස් යාත්‍රා පිට්ටනි වුවමනයි. රාජපක්ෂ මැතිතුමා ඒවා පිහිටුවා ගෙන යනවා!

මම :-ඔබතුමාගේ ව්‍යවස්ථා සංශෝධනය තවම රටේ හොල්මන් කරනවා. එහි ඇතැම් වගන්ති වෙනස් කිරීම පිළිබඳ ඔබතුමාගේ අදහස?

උතුමාණෝ:-ප්‍රංශ රටේ ඩිගෝල්තුමා රට හදන්ට අලුත් ව්‍යවස්ථාවක් හැදුවා. ඊට වැසියාගේ අනුමැතිය ලැබුණා. අපිත් එහෙමයි. රට හදන ඇත්තො ව්‍යවස්ථා වෙනස් කරනවා. අලුත් වැඩසටහන් හඳුන්වා දෙනවා. විවෘත ආර්ථික ක්‍රමය වුණත් එහෙමයි. හෙනං තමුන්නැහැ කල්පනා කරන්ට වුවමනයි. මාඕ සේතුං තුමාගෙ රට දියුණු වෙන්නෙ කොහොම ද? කැස්ත්‍රෝ තුමාගේ රට දැන් ගමන් කරන්නෙ කොහාට ද මුන්නැහැ ඒ ගැනත් කල්පනා කිරීම හොඳයි.

මම:-ඔබතුමා මාක්ස්වාදය හදාරපු කෙනෙක්. දැන් තරුණ කොටස් මාක්ස් - ලෙනින්වාදය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන පිළිවෙළ ගැන මොකද හිතෙන්නෙ?

උතුමාණෝ:-මුන්නැහැ කියන්නෙ රොහාන් විජේවීර සමාගම ගැන. ලෙනින්තුමා වැනි උගත් උදවිය එම සමාගමේ නෑ. ඒ උදවිය විශ්වවිද්‍යාල වහනවා. බස් ගිනි තියනවා. රේල්ලු ගිනි තියනවා. පාරවල් කඩනවා. ඊට පස්සෙ කැලේ පයිනවා. හැංගෙනවා. නියම නායකයො හැංගෙන්නෙ නෑ. එම උදවියගේ ප්‍රශ්න විසඳන්ට වෙනත් ක්‍රියාමාර්ග ගන්ට වුවමනයි. බොක්සිං ව්‍යාපාරය එක මාර්ගයක්. මං රොහාන් විජේවීර තුමාට කියා හිටිය එන්ට ගෝල්ෆේස් පිට්ටනියට. අපි බොක්සිං ගහගනිමු. ඒ මාර්ගයෙන් ප්‍රශ්න විසඳගමු කියල හිට! එතුමා ආවෙ නෑ! මෙබඳු ව්‍යාපාර රටකට අහිතකරයි. වැසියන්ට කරදරයි.

මම:-ඔබතුමාගේ නායකත්වය යටතේ ශක්තිමත් ව පැවැති එක්සත් ජාතික පක්ෂය අද දියාරු වෙලා! පක්ෂයේ අනාගතය කෙබඳු යැයි සිතනවා ද?

උතුමාණෝ:-දක්ෂ නායකයන් නැති කල ව්‍යාපාර බංකොලොත් වෙනවා. මහජනයා එයින් ඈත් වෙනවා!

මම:-මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන ඔබතුමාගේ අදහස කුමක් ද?

උතුමාණෝ:-එතුමා දුටුවිට වැසියා ප්‍රීති වෙනවා.

එතුමාගේ කතා දීර්ඝ වුණත් මහජනයා ඊට අත් පොළසන් දෙනවා! මහින්ද රාජපක්ෂතුමා දක්ෂ නායකයෙක්. එතුමාට දිග ගමනක් තියෙනවා!

මම:-ඔබතුමාට බොහෝ ම ස්තුතියි!

උතුමාණෝ:- බුද්ධ වචනයට අනුව තමුන්නැහැට නිවන් සැප ලැබේවා!

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්