ඔබේ උදාරත්වය රටට අභිමානයක්

ඔබේ උදාරත්වය රටට අභිමානයක්

අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගේ දෙවන පදවි ප්‍රාප්තිය අලලා ශ්‍රී ලාංකීය ජනතාව සතුටට පත් වන මෙම අවස්ථාවේ දී අති උතුම් අප මැල්කම් රංජිත් කාදිනල් ප්‍රමුඛ සමස්ත කතෝලික ජනතාවගේ ද ශුභාංශිංසන පුද කර සිටිනුයේ බලවත් සොම්නසිනි.

තිස් වසරක් පුරා රට තුළ පැවැති අති භයානක වූත්, විෂමකාරී වූත්, අවිචාර යුද සමය නිමා කරමින් සාමය උදාකිරීම සඳහා අප්‍රතිහත ධෛර්්‍යයෙන් හා කැපවීමෙන් ද වගකීමෙන් ද යුතු ව නිසි මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් ඔබතුමා පෙන් වූ උදාර පෞර්ෂය අපට අමතක කළ නොහැකි ය.

ඉක්බිතිව ආර්ථික පුනර්ජීවනයක් වෙත රට යොමු කිරීමට දැනටමත් ගෙන ඇති පියවරවල් තුළින් සැබෑ ආර්ථික සංවර්ධනයකින් ජනතාව ගේ දැවෙන ආර්ථික ප්‍රශ්න නිරාකරණය කිරීමට මඟ පෑදෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් දුර දක්නා නුවණින් යුතුව උපායශීලීව විදේශ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම තුළ නොබැඳි රාජ්‍යයක් වශයෙන් රටවල් සමඟ මිත්‍රත්වයෙන් යුතුව කටයුතුª කිරීම වඩාත් හිතකර වනු ඇතැයි අප උපකල්පනය කරමු.

තව ද සාමය යනු යුද්ධයක් නොමැති වීම පමණක් නොවේ. යුක්තිය, සාධාරණත්වය හා සහෝදරත්වය නොමැතිව සමාජයක පවතින සාමය හුදු නාම මාත්‍රයක සාමයයි. මේ රටේ පුරවැසියන් ලෙස ලක්බිම මත වෙසෙන සියලු ජාතීන් හා සියලු ආගමිකයන් අතරට ද සාමය ප්‍රතිලාභ බෙදී යා යුතු ය.

යුද්ධය නිමා වුව ද උතුර හා නැඟෙනහිර ඇතැම් තැන් හි අවතැන් වූවන් අනාත වූවන් ගේ ශෝකාලාපය තවමත් අපට ඇසේ. ඒ කෙරහි ද අප ගේ සානුකම්පිත දෑස් යොමු කර නිසි පිළියම් ගත යුතු ව ඇත. සියලු ජනතාව ගේ මිනිස් අයිතිවාසිකම් සු/කීමේ වගකීමෙන් අපට බැහැර විය නොහැකි ය.

ක්‍රිස්තියානි අප ‘සාලොම්’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ යථා පාලනයක් තුළින් රට වැසියන් සියලු දෙනා භුක්ති විදිනා තම සමෘද්ධියයි.

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමෙහි ලා ජනතාව සමඟි සංධානය හා අන්‍යයෝන්‍ය අවබෝධය හා එකමුතුකම අතිශයින් වැදගත් වේ. ක්‍රිස්තියානි ඉගැන්වීම් අනුව සියලු පාලනය හා බැඳී අධිකාරි බලය නිකුත් වනුයේ දෙවි මහෝත්මයාණන් තුළිනි (රෝම 13.1) මින් අදහස් වනුයේ පාලකයන් සතු භාරදූර වගකීමයි.

23 වැනි ජුවාම් සුදතුම් පියතුමන් විසින් ප්‍රකාශයට පත් කළ “ලෝක සාමය” යනු විශ්ව ලේඛනයෙන් ද මෙය තවදුරටත් තහවුරු කර ඇත. එම විශ්ව ලේඛනය අනුව රාජ්‍ය පාලනය දේව ප්‍රඥාවේ තවත් පැතිකඩකි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට ගරු කරමින් මේ රටේ සියලු ජාතීන් සභා ආගමිකයන්ට තමා ගේ ආගම් ඇඳහීමේ නිදහස ලබා දී තිබීම ද අප අගය කරමු.

එනමුදු ඇතැම් අන්තවාදී ආගමික බලවේගයන් විසින් කතෝලික ආගම ඇඳහීම හා ප්‍රචලිත කිරීමට ගත් අමනෝඥ වෑයම ඔබතුමා සෘජුවම, සාධාරණව යුක්තිය වෙනුවෙන් වැඳගත් වූ බවද අපට අමතක නොවේ.

උතුරේ පැවැති යුදමය වාතාවරණය නිසා වසර කීපයක් අත්හිටුවා තිබූ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නැවතත් ස්ථාපිත කිරීම සඳහා ඔබතුමන් ගත් අභීත පියවර නිසා කතෝලික බැතිමතුන්ගේ කෘතඥ පූර්වක ප්‍රණාමය ඉදුරා ම ඔබතුමා වෙත පිදෙන බැව් පවසමු. එබැවින් අපගේ මෙම සුන්දර මාතෘ භූමියේ ප්‍රගතිය හා යුක්තිය වෙනුවෙන් අවැසි කිතුනු දායකත්වය හා සහයෝගය ඔබතුමාට හා රජයට ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරමු.

ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ අභිමානවත් ජනාධිපතිතුමා වශයෙන් දෙවන වරටත් පදවි ප්‍රාප්ත වීමේ වරම ලත් ඔබතුමන් විසින් රට දැය සමය අරභයා මතු අනාගතයේ දී ගන්නා හැම පියවරක්ම සාර්ථක වේවායි පතමින් මේ රටේ සමස්ත කතෝලික ජනතාව සමඟ දෙවිමහෝත්මයාණන් වහන්සේගේ පීතෘක දේව ආශිර්වාදය දානය කරමු.

අති උතුම්

මේරියස් පීරිස්

කොළඹ සහයක රදගුරු හිමිපාණෝ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්