සිහිනය සැබෑ වූ මාගම්පුර වරාය

සිහිනය සැබෑ වූ මාගම්පුර වරාය

බබත - බුලතින් කිරි පැණියෙන් සංග්‍රහශීලී වූ මාගම්පුර වැසියෝ ආසියාවේ ආශ්චර්ය සියැසින් දැක සතුටු වෙති.

දේශපාලන පළිගැනීම්, හදිසි ස්ථාන මාරු ,දඬුවම් මාරු පරිවාස කාලය ගත කිරීමට රජයේ නිලධාරින්ට සිය රාජකාරිය කිරීමට සිදු වූයේ එදා හම්බන්තොට දිස්ත්‍රික්කයට ය. එසේ පැමිණි නිලධාරින් ගත කළේ සැබවින් ම අර්ථාන්විත ජීවිතයකි. ගත් කතුවරුන්, කවියන්, නිර්මාණ ශිල්පීන් බිහි වූයේ එහි පන්නරයෙනි. සංග්‍රහශීලි ආචාර සමාචාර ගති පැවතුම්වලින් සපිරි මාගම්පුර වැසියෝ එදා සිට ම ලොවට ආශ්චර්ය පෙන්වූහ. ලෝකයට ප්‍රවේශ වීමට මංපෙත් විවර කිරීමට උපරිම හැකියාව තිබුණත් තිමිර කඩතිරකින් එය වසා දමා තිබුණි.

වසා දැමූ කඩතිර විවර කර මාගම්පුරය ලොවට විවෘත කිරීමට හැකි වූයේ මාගම්පුරයෙන් බිහි වූ මහින්ද රාජපක්ෂ නම් අසහාය නායකයාගේ උත්සාහය තුළිනි.

සියලුම වැඩ නිම වූ පසු මාගම්පුර වරාය
දිස්වන  අයුරු දැක්වෙන රූප සටහනක්

එදා ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට ඒජන්තවරයා වශයෙන් සිටිය දී කියා තිබුණේ ද හම්බන්තොට දියුණු කිරීමට මහ නැව්තොටක් ඉඳිකළ යුතු බව ය. නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ ද එය ක්‍රියාත්මක කර නොතිබීම සම්බන්ධයෙන් වුල්ෆ් කනගාටුවී තිබේ. එදා මෙදාතුර නිදහසින් පසු මෙරට දේශපාලන වේදිකාවේ මහා සිහිනයක් බවට සහ මැතිවරණ පෝස්ටරයට පමණක් සීමා වී තිබූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය මාගම්පුර වරාය ලෙසින් යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වූයේ මහින්ද චින්තනය යටතේ ය.

ජාත්‍යන්තර වරායක්

ලොව ම කම්පා කළ සුනාමි ඛේදවාචකය හම්බන්තොටට ද තදින් ම දැනිනි. එවකට අග්‍රමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවතුන් සමඟ හම්බන්තොටට පැමිණියේ සුනාමි විපතින් මිය ගිය අයගේ මළ සිරුරු මතින් දේශපාලන වාසි ලබා ගැනීමට නොවේ. මේ මහා විපතින් මිය ගිය හා අතුරුදහන් වූ අය ගේ නාමයෙන් අනාගත පරපුරට ලෝකය දැකීමට ඉඩ දීමටයි. එසේ පැමිණි ලෝක නායකයින් හම්බන්තොට දියුණු කිරීම කෙරෙහි අවදානය යොමු කරවී ය.

නැව් තටාකාංගනය

සුනාමියේ මළ සිරුරු දහස් ගණන් මඩ වගුරු යටට ගිය හම්බන්තොට කරගම්ලේවාය ජාත්‍යන්තර නෞකා ළඟා වන ජාතික ආදායම සරු කරවන සරු කෙතක් බවට පත් කිරීම දෛවයේ සරදමකි. ලංකා සිතියම පවා වෙනස් කරමින් ලෝකයේ පළමු වතාවට ගොඩබිමක ජාත්‍යන්තර වරායක් ඉඳිකළේ හම්බන්තොට කරගම් ලේවාය පරිශ්‍රය තුළ ය.

මාතර - කතරගම ඒ - 2 මාර්ගයේ 235 වන කිලෝමීටර් කණුව ප්‍රදේශයෙන් එදා කතරගම ගිය ඔබ අද දකින්නේ ලෝකයේ භාණ්ඩ ප්‍රවාහනය කරන මහා නෞකා ඔබ මොබ යන මාගම්පුර වරායයි.

මාගම්පුරයේ යෝධ සංවර්ධනයේ ප්‍රධාන අරටුව මාගම්පුර ජාත්‍යන්තර වරායයි. වරායේ ප්‍රථම අදියර මේ වන විට අවසන් වී තිබේ.

2007 - ඔක්තෝබර් මස 30 දින අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීනයේ ඡ්ඔඒර් බැංකුවේ සභාපති ලී රෝගු මහතා අතර ගිවිසුම අස්සන් කෙරිණි. වරාය ඉඳිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 360 ක් වැය කෙරේ. ඉන් 85% ක් චීන මහජන සමූහාණ්ඩුවෙන් ලබා දෙන අතර ඉතිරි 15% ශ්‍රී ලංකා රජය දායක වේ.

වරාය ඉඳිකිරීම මහින්ද චින්තනයේ මූලික අරමුණ වී තිබුණි. එම නිසා ම මෙහි අවංක සැබෑ උවමනාව තිබූ චමල් රාජපක්ෂ මහතා වරාය සහ ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසුව වරායේ ඉඳිකිරීම් කඩිනමින් ආරම්භ කෙරිණි.

විශ්ව කර්ම නිර්මාණය

ඒ අනුව වරාය ඉදිකිරීම් කොන්ත්‍රාත් ගිවිසුම 2007 - මාර්තු 12 දින ශ්‍රී ලංකා වරාය අධිකාරියත් - චයිනා හාබර් ඉංජිනියරින් සංගමය අතර අස්සන් කෙරිණි. කරගම් ලේවායේ හෙක්ටයර් 43ක භූමියක මාගම්පුර වරායේ පළමු අදියර ඉඳි කෙරිණි.

වරායේ ඉඳි කිරීම් සියැසින් දැක ගැනීමට මෙරට මෙන් ම විදේශීය ජාතින්ද වරාය නැරැඹීමට විශාල වශයෙන් පැමිණියහ.

දෙස් - විදෙස් ජනයාගේ දෑස් මවිත කරමින් මේ මහා විශ්ව කර්ම නිර්මාණය ඉඳිකිරීමට හෝ පළමු නැව ගෙන ඒමට නොහැකි බවට නොයෙක් බලවේග ක්‍රියාත්මක වූහ. ඒ කිසිදු බලවේගයකට යටත් නොවූ මෙරට සහ චීන රජයේ ඉංජිනේරුවන් මාගම්පුර වරාය ඉඳි කිරීම් සිදු කළෝ ය. දේශපාලන ශක්තිය සෑම විට ම ශක්තියක් වූ බව වරාය අධිකාරියේ සභාපති අචාර්ය පි‍්‍රයත් බන්දු වික්‍රම මහතා නිතර අවදාරණය කළේ ය.

වරාය ඉඳිකරන ප්‍රදේශයේ ජීවත් වූ පාරම්පරික පවුල් 430 ක් සඳහා කිසිදු බලපෑමක් නොකර සාධාරණ වන්දි මුදල් ගෙවා නව නගරයේ ඉඩම් ලබා දී පදිංචි කිරීම සිදු කෙරිණි.

මාගම්පුර නව සංවර්ධන කලාපය යටතේ මාගම්පුර මහ නගර සභාවක් බවට ද ප්‍රකාශයට පත් විය. මාගම්පුර මහ නගර සභා බල ප්‍රදේශයට අයත් ඳරජ්ජවිල, හම්බන්තොට බටහිර , නැගෙනහිර , සහමෝදාගම, සිරිබෝපුර කොහොලංකල සහ කැලියපුර යන ග්‍රාම නිලධාරි වසම් අයත් වේ. මෙයට අයිති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 8353 කි.

විධිමත් ක්‍රමය යටතේ මාගම්පුර නගර සංවර්ධනය ක්‍රියාත්මක කෙරේ. වරාය ව්‍යාපෘතිය වල් අලින් කළමනාකරණ කලාපය වෙනත් කර්මාන්තශාලා සහ වාණිජ කලාපය වශයෙන් වෙන්කර තිබේ.

මාගම්පුර වරාය ආශි‍්‍රතව විවිධ ක්‍ෂේත්‍රයේ දෙස්, විදෙස් ආයෝජන අවස්ථා උදා වේ. තෙල් පිරිපහදු කම්හල මගින් මෙරටට පැමිණෙන නෞකාවලට ඉන්ධන සැපයීම සිදු කෙරේ. කරගම් ලේවායේ නැගෙනහිර කොටසේ තෙල් ටැංකි සංකීර්ණය ඉඳිකෙරේ.

ඍජු රැකියා අවස්ථා 6000 කට ආසන්න සංඛ්‍යාවක් සැපයෙන අතර වක්‍ර රැකියා අවස්ථා දස දහසකට අධික ප්‍රමාණයක් වරාය පරිශ්‍රය ප්‍රදේශයෙන් බිහි වේ.

රත්නපුර, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල නිෂ්පාදිත කෘෂි නිෂ්පාදිත ඇතුළු අතිරික්ත සෙසු නිෂ්පාදන විදේශ රටවලට යැවීමට අවශ්‍ය පහසුකම් වරාය මගින් සැලසේ. දැනටමත් මේ සඳහා අපනයන සමාගම් රැසක් ඉදිරිපත් වී සිටී.

ප්‍රතිසංවිධානය

යටිතල පහසුකම්

වරාය පිහිටි ප්‍රදේශය තිබෙන මාර්ග පද්ධතිය ද මුළුමනින් ම ප්‍රතිසංවිධානය වේ. හම්බන්තොට, මිරිජ්ජවිල අඩි 100 පාර මංතීරු හතරක් යටතේ සූරියවැව දක්වා ඉඳි කෙරේ. වරාය වටරවුම් පාර නව කතරගම මාර්ගය හම්බන්තොට ගබඩා හංදිය දක්වා මංතීරු හතරකින් සංවර්ධනය වේ. අම්බලන්තොට සිට හම්බන්තොට දක්වා තවත් මංතීරු හතරක විකල්ප මාර්ගයන් ඉඳිකෙරේ. මෙම සියලු ම මාර්ග කාපට් කර ඉඳිකෙරේ.

මාගම්පුර නව නගරයේ ඉඳිකරන නව පරිපාලන සංකීර්ණය සියලු ම රාජකාරි කටයුතුª ජනතාවට පහසුවෙන් කිරීමට හැකි වන සේ ඉඳිකර තිබේ.

අක්කර 72 ක පමණ භූමි භාගයක ඉතා ම දර්ශණීය ආකාරයට ප්‍රධාන ගොඩනැගිලි 06කින් සහ තවත් පරිවාර ගොඩනැගිලි රැසකින් යුත්ව රාජ්‍ය ආයතන 42 ක් සඳහා මෙම සංකීර්ණය ඉඳිකෙරේ. අමෙරිකානු ඩොලර් මිලියන 2800 ක වියදමින් කොරියන් රජයේ පරිත්‍යාග යටතේ පරිපාලන සංකීර්ණය ඉදිකෙරිණි.

විදිමත් නගර සංවර්ධන සැලසුමක් යටතේ ක්‍රියාත්මක කරන ආදර්ශ නගරයක් වශයෙන් මාගම්පුර නගරය නිර්මාණය වේ. නාගරිකකරණයේ දී සිදුවන පරිසර බලපෑම් අවම කිරීමට අවශ්‍ය ක්‍රමෝපායන් මෙම සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබේ.

යටත් විජිත සමයෙන්

නගරයට සීමා වූ අක්කර 300 ක පමණ භූමිභාගයක ඉඳිකෙරෙන වියළි කලාපීය උද්භිද උද්‍යානය මෙයට කදිම නිදසුනකි. වියළි කලාපීය ශාඛ සංරක්ෂණය සඳහා ඉඳි කෙරෙන වියළි කලාපීය උද්භිද උද්‍යානය ද යටත් විජිත සමයෙන් පසුව නිදහස් ශ්‍රී ලංකාවේ ඉඳිකෙරෙන ප්‍රථම උද්‍යානය ද මෙය වේ.

ජනපතිතුමා මාගම්පුර වරාය සංවර්ධන
කටයුතු අරඹමින්...

හාරා පස් ඉවත් කළ පසු...

ශාඛ සාර ආශි‍්‍රත නිෂ්පාදන වර්ග නිපදවීම, පරිසර ගවේෂණය කිරීම ඇතුළු විවිධ පහසුකම් රැසක් මෙම වියළි කලාපීය උද්‍යානය මගින් ලැබෙන පහසුකම් වේ.

ජාත්‍යන්තර තලයට සමගාමීව සංවර්ධනය කෙරෙන මාගම්පුරයට අත්‍යවශ්‍ය මධ්‍යස්ථානයකි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. කොරියානු රජයේ ආධාර යටතේ ආසන 1500 කින් සමන්විත ඉතා දැකුම්කලු සම්මන්ත්‍රණ ශාලාවේ වැඩ දැනට නිමවෙමින් පවතී.

මාතරට පමණක් සීමා වී තිබූ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කෙරේ. එහි පළමු අදියර බෙලිඅත්ත නගරයට පැමිණීම සිදු කෙරේ. දුම්රිය මාර්ගය සලකුණු කිරීමේ කටයුතු මේ වනවිට නිම වී ඇති අතර බෙලිඅත්ත දක්වා ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මාගම්පුර වරාය සමීපයෙන් දුම්රිය මාර්ග කතරගම දක්වා ගමන් කෙරේ.

හම්බන්තොටට උරුම වූ ලුණු කර්මාන්තය දියුණු කිරීම කෙරෙහිද අවදානය යොමු වී තිබේ. දැනට හම්බන්තොට මහලේවායෙන් පමණක් නිෂ්පාදනය සිදු කෙරෙන අතර ඊට අමතරව කොහොලංකල ලේවායද සංවර්ධනය කර ලුණු නිෂ්පාදනය වැඩිකර තිබේ. මෙම කර්මාන්ත ශාලාවේ වැඩිි දියුණු කිරීමත් සමඟ ම රැකියා අවස්ථා බහුල වශයෙන් වැඩි වී තිබේ.


සබැඳි පුවත්