තුන්කල නිවැරැදිව දුටු මහින්ද චින්තනය

තුන්කල නිවැරැදිව දුටු මහින්ද චින්තනය

නව ඉතිහාසයේ ආරම්භයේ සිට ම මිනිසා පැතුවේ නිදහසයි. මිනිසා නිරතුරුව ම සටන් කළේ ද හඹා ගියේ ද, බැගෑපත් වූයේ ද නිදහස රැක ගැනීම උදෙසා ම ය.

මානව වර්ගයාගේත්, රට රාජ්‍යවලත් දියුණුවට නිදහස ප්‍රබල සාධකයක් විය.

ඉතා ඈත අතීතයේ රාජ යුගවල දී මේ රටේ සිදු වූ විවිධ ආක්‍රමණ යටත් කර ගැනීම් නිසා නිදහස අහිමි වු ශ්‍රී ලාංකිකයන්ට ඒ ඒ කාලවල දී විදි පීඩාවන් ද, නිග්‍රහයන් ද රටේ සංස්කෘතියට, ආගමට සිදු වූ විනාශයන් ද ඉතිහාසය අපට පෙන්වා දෙයි. එසේ ම නිදහස ලබාගැනීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර යළිත් රටට නිදහස අත්පත් කර දුන් වීරවරයන්, රජවරුන් ගැන අපි මහත් ආඩම්බරයෙන් කියවා ඇත්තෙමු.

පොත පතේ සඳහන් ඉතිහාසය සේ ම, තවමත් අප ජීවත් වන මෙකළ පසුගිය 30 වසර තුළ ශ්‍රී ලාංකිකයන්ට නිදහස අහිමි වූ ඒ දීර්ඝ කාලයේ සිදු වූ අත්දැකීම් අපට අමතකව නොමැත. එකළ මිනිසුන් අත්විදි අමිහිරි සිදුවීම්, බියෙන් සැකයෙන් මුළුගැන් වී අසරණව සිටි ඒ තිස් අවුරුදු කාලපරිච්ඡේදය ජීවිත කාලය පුරාවට ම අමතක නොවන්නකි.

එදා මහ මගට පිවිසි තම ස්වාමියා, භාර්යාව හෝ දරුවා ත්‍රස්තවාදයේ ගොදුරක් නොවී ආපසු නිවසට පැමිණේ දැයි යන සැකය භීතිය තුරුලු කොටගෙන වසර ගණනාවක් පරාජිතයන් ලෙස ජීවත් වන්නට සිදු වූහ. නිදහස හුදු වචනයක් ම පමණක් විය. රටේ ආර්ථික මර්මස්ථානය විනාශ කිරීම නිසා ආර්ථිකය අඩාල වීමට පටන් ගත්තේ ය.

එකල බලයට පත් කිසි ම නායකයෙකුට මේ ජාතික ව්‍යසනයට එරෙහි වීමට නොහැකි වූ අතර, බොහෝ නායකයන්ට රටේ නිදහස රැකගැනීමට වඩා තම ජීවිතය විනාශ වීම වළක්වා ගැනීමට කටයුතු කිරීමට සිදු විය. සමහර ප්‍රබල පුද්ගලයන්ට ද ඉන් ගැල වී සිටීමට නොහැකි වූ අතර, කුරිරු ත්‍රස්තවාදය ඔවුහු බිලි ගත්හ. රටෙන් කොටසක් ලබා දී හෝ මේ මහා කුරිරු ආගාධයෙන් ගැලවීමට යෝජනා කිරීමට තරම් සමහර නායකයෝ දීන වූහ.

කැබිතිගොල්ලෑවේ බස් බෝම්බයේ මිය ගිය දරුවා තුරුලු කොටගත් පියා විමසුවේ ‘ගරු ජනාධිපතිතුමනි, මේ මිනීමරු ත්‍රස්තවාදයෙන් රට බේරාගන්නේ කවදා ද?’ යනුවෙනි. ඒ තරමට රටවැසියන් දරාගත නොහැකි ශෝකයෙන් අසරණ වී සිටියහ. රටේ කිසිවෙකුට මේ ප්‍රශ්න නිරාකණය කළ නොහැකි ය යන්න සිතන තරමට ම ජනමතය විකෘති කර තිබුණි.

මවුබිමේ නිදහස පතා

‘ලෝකයේ දරුණු ම ත්‍රස්තවාදියා’ ‘කිසිදා විනාශ කළ නොහැකි’ වැනි අතිශයෝක්තියෙන් යුත් පුරාජේරු වදන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට හිතැති මාධ්‍ය ගැත්තත් විසින් ලොව පුරා ප්‍රචාරය කර තිබුණි.

ජාතික හා ජාත්‍යන්තර ජාලයත්, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ස්වරූපයත් එහි පැරැණි ක්‍රියාකාරීත්වයත් මැනවින් ග්‍රහණය කරගත් අතිගරු ජනාධිපතිතුමා මානුෂික මෙහෙයුම දියත් කළේ නොසැලෙන අධිෂ්ඨානයෙනි.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින්...

නිදහස යළි කවදා අත්වේදැයි යන සැකයෙන් පීඩිතව සිටි ශ්‍රී ලාංකිකයින්ට නවමු බලාපොරොත්තු එක් කරමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පටන්ගත් අධිෂ්ඨාන සහගත වික්‍රමය ජයග්‍රහණය කළේ බහුතර ජනතාව බලාපොරොත්තු නොවූ පරිදි ය. ලෝකයේ බලවත් රටවල්වලට පවා තවමත් විසදුම් සොයා ගැනීමට නොහැකි වූ ත්‍රස්තවාදය සහමුලින් ම පරාජයට පත් කළේ විශ්වය ම විශ්මයට පත් කරවමිනි.

 ඒ ලබාගත් අතිවිශිෂ්ට ජයග්‍රහණයය දීර්ඝ, අත්දැකීම් ඇති රට ගැන හිතන නායකයෙකු ගේ නොසැලෙන අධිෂ්ඨානයේ ශක්තිය පුංචි ශ්‍රී ලංකාවෙන් ලොවට ප්‍රකට කළ අවස්ථාවක් විය. රටේ දියුණුවට මෙන් ම පුද්ගල දියුණුවට නිදහස ලබා දී ම ප්‍රථම කොට ම රජය ඉටු කළේ ය. මන්ද නිදහස් වටපිටාවකින් තොරව රටක දියුණුවක් අපේක්ෂා කළ නොහැකි නිසාය.

හෙට ගැන සිතන පරපුරක ආරම්භය

කලක් මුළු ගැන් වී පරාජිතයන් ලෙස අසරණ වූ ජනතාව අභිමානයෙන් නැ¼ඟී සිටියේ ය. මවුබිම ගැන ආඩම්බරයෙන් කථා කරන්නට විය. රට ගැන හිතන රටට ආදරය කරන රටේ දියුණුව පතන පරපුරක් බිහි විය. රටට අනාගතයක් තියෙන බව මිනිසුන් ගේ හිත් තුළට කා වැද්දුවේ මේ මහින්ද චින්තනය බව කීම නිවැරදි ය.

ත්‍රස්තවාදයට එරෙහි ව යුද්ධයක නිරතව සිටිය ද රටේ සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු යෙදීමට හැකි වන්නේ අනාගතය විනිවිද දැකිය හැකි නායකයෙකුට පමණි.

රටේ ඉදිවන ගුවන් පාලම්, මංතීරු හතරේ අධිවේගී මාර්ග, කොන්‍්‍රක්‍රීට් කණු මත දිවෙන අධිවේගී මාර්ග නව යුගයකට මග කියනු ඇත.

මහජන සුබ සිද්ධිය වෙනුවෙන් විවිධාකාරී වූ සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක ය. එහිලා අධ්‍යාපනය, සෞඛ්‍ය, වාරිමාර්ග වැනි අංශ මෙන් ම, මිනිසුන් ගේ අධ්‍යාත්මය වර්ධනය කරන ආගමික පුනර්ජීවනය වැඩි දියුණු කරන අධ්‍යාත්මික වැඩසටහන්වලට ප්‍රමුඛතාවය ලබා දී තිබේ.

නවීන තාක්ෂණය හා මුසුවූ  ජනමාධ්‍යයක්

ජනමාධ්‍ය ආයතනය මෙන් ම ජනමාධ්‍යවේදීන් සඳහා වූ සුවිශේෂී අනුග්‍රහයක් සැපයීමට රජය කටයුතු සම්පාදනය කර ඇත්තේ මේ ජනමාධ්‍ය රටේ අනාගතයට ප්‍රබල දායකත්වයක් ලබා දිය හැකි නිසා ය. සමස්ත රට වැසියන්ට ම පැහැදිලි, නිරවුල් විද්්‍යුත් මාධ්‍යය උදෙසා අධි තාක්ෂණයෙන් යුත් ච්ඍඕ 2 ක්‍රමවේදය අපේ විද්්‍යුත් මාධ්‍යයට අන්තර්ගත කිරීම නුදුරු කාලයේ දී සිදු වේ. එසේ ම ටෙලි සිනමා කර්මාන්තයේ ප්‍රගමණය උදෙසා ආරම්භ කළ මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා ගම්මානය දෙස් විදෙස් ටෙලිසිනමාකරුවන්ට සුවිශේෂී මෙහෙයක් සලසනු ඇත.

ජාත්‍යන්තරය සමඟ එක්වීම

නිදහස් චින්තනය හා රටේ එකමුතු බව වර්ධනය වීම තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රගතියක් ආරම්භ විය. රටේ විවිධ පළාත්වල ඉදිවන ජාත්‍යන්තර ක්‍රීඩාංගන නිසා ශ්‍රී ලංකාව ක්‍රීඩා ලෝකයේ පහසුකම් පිරි රටක් වනු ඇත. එය රටේ ගෞරවයටත්, සංචාරක කර්මාන්තයටත් මනා පිටුවහලක් ම වන්නේ ය.

අතීතයේ දී විවිධ ආක්‍රමණවලින් රට එක්සේසත් කළ රජවරු ඉන් නොනැවතී රට සමෘද්ධිය කර යොමු කළහ. ඉතිහාසයේ ලිය වී ඇති සමෘද්ධිමත් යුග ආරම්භ වීමට පන්නරය වී ඇත්තේ දිගු කලක් පීඩා විදි ආක්‍රමණයන් පරාජය කර ලබාගත් නිදහසයි. නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව ලෝකයේ සමෘද්ධිමත් දේශය වනු ස්ථිර ය. එහි නිර්මාතෘවරයා මෙන් ම මඟ පෙන්වන්නා ද වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් බව අනාගතයේ දී දරුවෝ මහත් ආඩම්බරයෙන් පවසනු නිසැක ය. ධම්මපදයේ සඳහන් වී ඇති පරිදි

දුල්ලභෝ පුරිසාජන්ඤෙඤා
නසෝ සම්බත්ථ ජායතී
යත්ථ සෝ ජායතී ධීරෝ
තං කුලං සුඛ මේධතී

ශ්‍රේෂ්ඨ පුරුෂයා දුර්ලභ ය. සැම තැන් හි, සැම කල්හි නූපදී. යම් කලෙක එවන් පුරුෂයන් උපදී ද ඔහුගෙන් රටට සමාජයට අභිවෘද්ධියක් ම වන්නේ ය.

අතිගරු ජනාධිපතිතුමනි ඔබට චිරං ජයතු වේවා
 

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

කෙහෙලිය රඹුක්වැල්ල

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්