වන්දනාවක් බරට කරලියට මල් පිපේවි

වන්දනාවක් බරට කරලියට මල් පිපේවි

ජේම්ස් ලී හන්ට් නම් කවියා විටෙක ‘අබු බෙන් ඇඩම්’ නමැති මිනිසෙකු ගැන කවියක් ලිව්වා. ඔහුට අනුව අබු වෙන් ඇඩම් යහපත් දිවියක් ගෙවූ අයෙක්. දිනෙක එක් දේවදුතයෙක් දෙවියන්ට පේ‍්‍රම කරන්නන්ගේ නම් ලැයිස්තුවක් රැගෙන අබු බෙන් ඇඩම් හමුවීමට පැමිණියා. ‘ඔය ලැයිස්තුවේ මගේ නමත් ඇත්දැයි ඔහු දේවදූතයාගෙන් විමසූ විට දේවදූතයා නැතැයි කීවා.

එහෙමනම් දිනෙක අසල්වැසියන්ට පේ‍්‍රම කරන්නවුන්ගේ නම් ලැයිස්තුවක් සකස් කළහොත් ඊට මගේ නම ඇතුළත් කරන්නැයි ඇඩම් ඉල්ලීය. දේවදූතයා යන්නට ගියේය. පසුදාත් ඔහු සොයා පැමිණි දේවදූතයා පෙරදා රැගෙන ආ අසල්වැසියන්ට පේ‍්‍රම කරන්නවුන්ගේ නම් ලැයිස්තුව ඇඩම්ට පෙන්වීය. එම ලැයිස්තුවේ මුලින්ම තිබුණේ ඇඩම්ගේ නමයි.

එම කවිය තුළින් ජේම්ස් ලී හන්ට් අප හට අවධාරණය කරන්නේ මිනිසා වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමයෙන්, මිනිස් වර්ගයා සඳහා වන පේ‍්‍රමයෙන් ක්‍රියාකිරීම තම තමාගේ දේවකාර්ය බවයි. එවන් වූ මානව සද්කාර්යයකට සුදුසුකම් ලබන්නේ බොහෝවිට සංවේදී මිනිසුන්. අප අනුදැන ඇති කරුණ නම් මනුෂ්‍යා වෙනුවෙන් බොහෝ සංවේදී වන පරහිතකාමිත්වය කලාකරුවෙකු වීමට මහත් සුදුසුකමක් බවයි.

එවන් සංවේදී භාවයන් ලබා ගැනීම බොහෝ පිං කළ යුතුව තිබෙනවා. පිං මද වූ ගෙවුණු අතීතයේ අසංවේදී මිනිසුන් අතින් කෙලෙසුන මනුෂ්‍යත්වය ගැන කථා බොහෝ අපිට ඇසී, දැනී තිබෙනවා. මුදල් දෙවියන් වූ සමාජයේ මනුෂ්‍යත්වයට ලැබුණේ ඉතා පහළ අගයක්. කලාවද විකුණුනේ මුදලේ අගය මත පමණක් වෙන්දේසි වෙමින්. රාෂ්ට පාලකයන්ටද කලාව ගැන එතරම් බරක් පතළක් තිබුණේ නැහැ.

උඩු යටිකුරු වූ සමාජ දේශපාලන ප්‍රවාහය තුළ ඔවුන්ද ඔහේ යනතක ගහගෙන ගියා. මුදල් මත සියල්ල විසඳෙන විට ගොමරිටි මතුවී, මිනිමුතු යටගියා. මින් මා කීමට උත්සහ කළේ රාෂ්ට පාලකයෙකු වීමට වඩා කලාකරුවෙකු වීමට බොහෝ පිං අවැසි බවයි. එසේ නම් කලාවට හිතැති, කලාව හා බැඳුණු උණුසුම් හදවතක් ඇත්තෙකුට රාෂ්ට පාලකයෙකු වීමට කුමක් අනුදත යුතුද යන්න ගැඹුරින් සලකා බැලිය යුත්තක්. එහෙත් ඒ යථාර්ථය අපි, අපේ ඇස් පනාපිට එළිවෙනු දැකීමට වාසනාවන්ත වුණා.

මහින්ද රාජපක්ෂ යනු අප දන්නා කියන කාලයේ පටන් දේශපාලනඥයෙක්. පාරම්පරික උරුමයෙන්ම දේශපාලකයෙක්. එහෙත් ඉඩ හසර ලැබුණ ඇසිල්ලෙන් සිය සංවේදී ආධ්‍යාත්මය විසින් කැටුව විත් රූපන කලාවටද පය ගස්සවනු ලැබුවෙක්. කොටි වලිගයෙන් සිනමාවේත්, උදාගිරෙත් රූපවාහිනියේත් රංගනයෙන් දායක වන්නට එතුමා වාසනාවන්ත වුණා.

එසේම රටේ ප්‍රථම පුරවැසියා වීමට ආයිත්තම් සරසනවිට අප සතුටු වූයේ කලාකරුවන් අතර සිටින රංගන හැකියාවන් දක්වා ඇති අපේ සිත් බැඳි දැනමුත්තා මහා දැනමුත්තෙකු වන නිසාය. එහෙත් එදා ලාංකේය කලාකරුවන් අතරින් එතුමා සමඟ අත්වැල් බැඳගත්තේ සුළු පිරිසක් පමණි. පිරිසක් නිහඬ වූ අතර, පිරිසක් විරුද්ධ විය.

අපට නම් ඔහු මහෝඝයක් වූයේ කලාවට හිතැත්තෙක් රජවන නිසාම නොව, එවකට අප රට මුහුණ දී සිටි බෙදීවෙන්ව යාමේ මහා ඛේදවාචකය මුවවිටේ ගලායන ලේ ගංගා දැකීමෙන් කම්පිතව වූ සිත් සතන් එතුමා සුවපත් කරනු ඇතැයි යන ධනාත්මක සිතුවිල්ල පෙරදැරිවය.

එතුමා අප සිහිනය යථාර්තවත් කළෝය. දශකත්‍රයක් පීඩා කළ වාර්ගික යුද්ධය නිමාවිය. නන්දිකඩාල් කලපු දෑලේ අවසාන දුම්රොටුවත් නිවී ගිය පසු තැළුණු දැවුනු හදවත් සුවපත් කිරීමට කලාකරුවන්ට මහත් කාර්යභාරයක් ඉතිරිව ඇති බවත් සුබ අනාගතයක් කරා යන ගමනේ පෙර ගමන්කරුවන්වීමට මෙන්ම ප්‍රදීපස්ථම්භ වීමටද කලාකරුවන්ට ඇති යුතුකම මතක් කොට නිහඬ නොවූ එතුමා එමතු පමණනොව රන්මිහිතැන්න සිනමා රූපවාහිනි ගම්මානය ඉදිකරමින් කලාකරුවන් තවත් මතුමහලකට ඔසවා තැබූහ.

ජෝන් ද සිල්වා රඟහල අසල ඉදිකෙරෙන සුවිසාල රඟමඩල දකින අපට හැඟෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ රංග කාර්ය සාධනය සඳහා කරලියට තවත් උදෑසනක් එළඹෙමින් තිබෙන බවයි. අපගේ පරපුරට බොහෝ නොවුනත් අනාගත පරපුරේ රංගධරයන්ගේ ඥාණනය පුළුල්ව මහත් රසවින්දනයකින් එපිට ප්‍රඥාව ඔවුන්ට තරණය කළ හැකි බවයි. එවන් බරසාර නායකයා ආසියාවේ ආශ්චර්ය වෙත අප රට අවදිකොට තිබෙන අවධියක එතුමාගේ දෙවන ධූර කාලය වෙනුවෙන්, නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ලෙස පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

මගේ මතකයට නැඟෙනවා එක්දහස් නවසිය හැත්තෑනවයේ නොවැම්බර් ටයිම් සඟරාව, සිය කවරයේ කථාවට වස්තුකොට ගත්තේ හොලිවුඩය හරහා දේශපාලනයට පිවිසි රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාවයි. ඇමෙරිකානු ඒබීසී රූපවාහිනියේ බිලි මෝයස්ගේ සටහනක් ලිපිය ආරම්භයේ මෙසේ සටහන් වුණා. ‘අප දේශපාලනය ආගමක් හැටියට ඇදහූ ජාතියක් වීමු, එහෙත් අපගේ සියලුම දෙව්වරු අසාර්ථක වූහ.’ සිව් වසරක් ඇවෑමෙන් රේගන් නැවත ජනාධිපති වූවද ඔහුට පෙර වූ ජනප්‍රියත්වය එවකට පල්ලම් බැස තිබුණි.

බිලි මෝයස්ගේ ඉහත වැකිය අමෙරිකාවට වඩා අපට ගැලපෙන්නේ නොවේද. අපද දේශපාලන ආගමේ දෙවියන් සොයා බොහෝ කාලයක් අකාල යාත්‍රිකයන් මෙන් වන්දනා කළා නොවේද. එහෙත් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ආඛ්‍යායනය ඊට සපුරාම වෙනස් මඟක් ගත් බව පසුගිය දේශපාලන ආගමනයෙන් ඔහු ලොවට ප්‍රකාශ කළේය. එතුමා කලාකරුවන් ඇසුරෙන් ලැබූ පන්නරය, අවබෝධය, ජන විඥානයේ ඉල්ලුම ඊට යම් පමණ හේතුප්‍රත්‍යයද වන්නට ඇත.

අවර සමාජ දේශපාලන හැලහැප්පීම් නිසා කඩා ඉහිරුනු ලාංකීය කරළියේ තෙවන සීනුව මහත් වූ ප්‍රබෝධමත් හඬින් නාද වනු අපට දනවන්නේ වසන්තයට හඬන කොහාගේ කූජනය මෙනි නලු කෙලියෙහි යෙදී ඇවිදින්නෝ පෙර පිං කලාහූ යන පැරණි ශ්ලෝකයට අනුව නලු කෙලියෙහි යෙදුනෙකු රාෂ්ට පාලකයා වීම සමස්ත නාට්‍යවේදීන්ගේම දුෂ්කර බන්ධනයන් ලිහිල් වීමට හේතුප්‍රත්‍ය වීමට රුකුල් වූ බව සැබෑය.

වන්දනාවක්බරට මල් පිපෙන්නේ තුටුපහටු වූ වන්දනා සමයට යයි වන්නි හත්පත්තුවේ කථාවක් වෙයි.

එහෙනම් ගාන්ධර්වයාත්, ධනුර්ධරයාත් එකළු වූ සමයක වේදිකාව සිසාරා වන්දනාවක් බරට මල්පිපී තිබෙන්නේ සෞන්දර්යේ වන්දනාවට අපට ඉඟිකරන්නට බව සැබෑ සත්‍යය. මෙලෙස අද දින එතුමාගේ දෙවන ධුර කාලයට ශුභාශිංසනය ගෙනෙන අතරම එම කාලයද කරළියට සුබකාලයක්ම වන බව අපද ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති සැබෑ සත්‍යයයි. ඒ වූ සත්‍යයට චිරාත් කාලයක් ආවඩා ආයුබෝ වේවා.

 

ශ්‍රියන්ත මෙන්ඩිස්

සභාපති - නාට්‍ය අනු මණ්ඩලය

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්