යුද ගිනි නිවූ අසිරිමත් නායකත්වය

යුද ගිනි නිවූ අසිරිමත් නායකත්වය

“රියල් ස්ටාර්” දැන් පැමිණ ඇත. ඒ අපේ රණවිරුවා සතු කලා හැකියාව උරගා බැලීමකි.

තම සිත කලාවට යොමු කිරීමට තරම් නිදහස් මානසික තත්ත්වයක් දැන් රණවිරුවා තුළ ඇතිවී තිබේ. ඒ මක්නිසාදයත් ත්‍රස්තවාදී යුද්ධයට ස්ථීර නැවතීමේ ලකුණ තැබූ නිසා ය.

මීට වසර තිහකට නොවේ, ඊටත් වඩා මෙහාට පැමිණ අවුරුදු 4 - 5 ක් කාලය තුළවත් ත්‍රස්තවාදයට විසඳුමක් ලැබේ යැයි මෙරට පමණක් නොවේ සමස්ත ලෝකයාම සිතුවේ නැත. ලෝකයේ ප්‍රබල ම ගරිල්ලා සංවිධානය වූ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සිහිනයක් පමණක්ම විය.

මරණ බියෙන් දවස ආරම්භ කළ මේ රටේ ජනතාව කොටි සංවිධානයට එරෙහිව වචනයක් කතා කිරීමට පවා බිය වූහ. ඉදිරි දරු පරම්පරාවන්ට පැහැදිලි අනාගතයක් නොමැතිව තිබූ නිසා වැඩිහිටියෝ ජීවත් වූයේ දරුවන් ඉපදවීමට තරම් වූ බියක් ඇතිව ය. කොයි මොහොතේ කොතනදි තම ජීවිතය නැතිවේ ද යන බිය සෑම මිනිස් ජිවිතයක් තුළ ම මුල් බැසගෙන තිබූ කරුණකි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීම කොටි සංවිධානයට තවත් එක් ජනාධිපතිවරයෙකු පත්වීමක් විය. ඊට හේතු වූයේ එතුමාට පෙර මෙරට තුළ නායකත්වය දැරු සෑම නායකයකු ම කොටි සංවිධානයේ උගුල්වලට හසු වී තිබීම යි. සාම සාකච්ඡා නමැති නූල්බෝලයේ රාජ්‍ය නායකයන්ට පැටලෙන්නට ඉඩ හැර ඒ අතරේ තම සංවිධානයේ ශක්තිය ගොඩ නගා ගැනීම කොටි සංවිධානයේ අරමුණ විය. කොටින් ගේ ඒ උපක්‍රම හොඳ හැටි අවබෝධ කරගෙන සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාම සාකච්ඡා දැල තුළ සිරකර ගැනීමට කොටි නායකයන්ට හැකි වූයේ නැත.

සාම සාකච්ඡා දැලට ජනාධිපතිතුමා හසුකර ගැනීමට නොහැකි බව දැන ගත් කොටි සංවිධානය දෙවනුව මාවිල්ආරු සොරොව්ව වසා දහස් ගණනක් ගොවි ජනතාව පීඩාවට පත්කර ඒ හරහා රජය ඔවුන් වෙත නම්මවා ගැනීමට උත්සාහ කළේ ය. එහෙත් කොටි උපක්‍රමය තේරුම්ගත් ජනාධිපතිතුමා මෙරට සේනාධිනායක වශයෙන්, රටේ නායකයා වශයෙන් ත්‍රිවිධ හමුදාවට අණ දෙමින් මාවිල්ආරුව හරහා සමස්ත කොටි බලමුළු සියල්ල වනසමින් ඉදිරියට ගොස් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට උපදෙස් දුන්නේ ය.

ත්‍රිවිධ හමුදාවට එතුමා ගේ ස්ථීර අධිෂ්ඨානය නිවැරදි නායකත්වය, අවංක කැපවීම මහා ශක්තියක් විය. චිත්ත ධෛර්යයෙන් හා ආත්ම ශක්තියෙන් තම සිත කය පුරවා ගත් ත්‍රිවිධ හමුදා රණවිරුවෝ තම දෑතට ගිනි අවිය ගත්තේ , ප්‍රභාකරන් ඇතුළු සමස්ත කොටි නායකත්වය ම විනාශ කර අවසන් කොටියා ද ඝාතනය කර රටට සාමය උදා කරගෙන මිස ගිනි අවිය බිම නොතබන බවට සිත තුළ ඇති කරගත් ස්ථීර අධිෂ්ඨානය ඇතිව ය.

ඒ නිර්භීත අවංක හැඟීමෙන් ඉදිරියට ගිය අපේ රණවිරුවෝ ප්‍රථමයෙන් නැගෙනහිරත් දෙවනුව සමස්ත උතුරු ප්‍රදේශයේම වූ කොටි බලය සුනු විසුනු කරමින් ඔවුන්ගේ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගත්හ. ඒ ෙඓතිහාසික ජයග්‍රහණය කරා යනතෙක් අපේ රණවිරුවෝ කළ කැපවීම මෙපමණකැයි කියා නිම කළ නොහැකි ය.

ඒ අභීත නායකත්වය රටට ගෙන ආවේ සාමයයි.

තම දූ දරු ඥාතීන් වෙත යාමට යුද්ධය තුළ දී විරාමයක් ලැබුණ ද ඒ විරාමය පවා නොගෙන යුද්ධයට නියැළී සිටි ඔවුන් ගේ සියලු අවශ්‍යතා ලබාදීමට ජනාධිපතිතුමා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හරහා කටයුතු කළේ ය. රණවිරුවන්ට ඒ සැලකිලි ද මහා ශක්තියක් විය.

ලෝකයේ මහා බලවේග , කුමන්ත්‍රණ හරහා මේ අවසන් යුද්ධය අතර මග නතර කර ගැනීමට කටයුතු කරන්න සිදු වුව ද ඒ සියලු බලවේගයන් නොතකා තම සිත තුළ වූ ස්ථිර අරමුණ ඉෂ්ට කර ගැනීමේ ඉලක්කය කරා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලෝකයත් මවිතයට පත් කරමින් ත්‍රස්තවාදය පරාජය කර සාමය ජයග්‍රහණය කර ගැනීමට හැකි විය. එතුමා ගේ ඒ නිර්භීත ක්‍රියාව ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් විය. ලෝකයේ නිර්භීතම රාජ්‍ය නායකයා බවට එතුමා පත් විය.

ත්‍රස්තවාදය ජයග්‍රහණය කර අවසන් වුව ද එතුමා තම ගමන් මගේ ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කිරීමට තවත් ප්‍රමාද වූයේ නැත. කොටි සංවිධානයට බිලිවී ජීවිත කාලයම අතරමං ව සිටි තරුණ ජීවිත දස දහසකට වැඩි ප්‍රමාණයක් යහ මගට ගැනීමට එතුමා ගත් පියවර සාර්ථකව අද ඒ තරුණ තරුණියන් තම සිතුවිලි යහපත් මගට හරවාගෙන රටේ ඉදිරි ගමනට සංවර්ධනයට සහාය වෙමින් සිටිති.

ත්‍රස්තවාදි ක්‍රියා නිසා විනාශ වී තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශ යුද ඉතිහාසයේ සලකුණු සම්පුර්ණයෙන් මකා දමමින් ඉහළ ම දියුණුවක් කරා ගොස් තිබේ. උතුරු නැගෙනහිර පමණක් නොවේ දකුණේ ජනතාවට ද වසර හතළිහකට ආසන්න කාලයක් දැක බලා ගැනීමට නොහැකිව තිබූ ප්‍රදේශ තුළ අද නිදහසේ සැරිසැරීමට අවස්ථාව ලැබී ඇත.

උතුරේ මෙන් ම දකුණේ ද සියලු ම ආරක්‍ෂක මුරපොලවල් මාර්ග බාධක ඉවත් කර ඇත. ප්‍රභූ ආරක්‍ෂාව අඩු කර තිබේ. රටේ ආරක්‍ෂාව ඉහළින් ම තහවුරු වී ඇති බව ඉන් ඔප්පු කර හමාර ය. රටේ ජනතාවට උපරිම නිදහසක් ලැබී තිබිය දී එම නිදහස ලබා ගැනීමට කැපවූ රණවිරුවන් රටේ නායකත්වයට අමතක වූයේ නැත. ඔවුන් සමාජයේ ඉහළින් ම ගෞරවයට පාත්‍ර විය යුතු පුද්ගලයකු බවට පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඔවුන් වෙනුවෙන් බොහෝ දේ සිදුකර තිබේ.

යුද්ධයට කැප වී සිටි බොහෝ රණවිරුවන්ට හරි හැටි නිවසක් තනාගැනීමට ඉඩක් ලැබුණේ නැත. වැඩි පිරිසක් ජීවත් වූයේ බිත්ති දෙක තුනක් තැනෙමින් පවතින නිවාසවල ය. එම නිසා ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය වූ නිවාස ප්‍රශ්නය විසඳීමට පියවර ගනිමින් නිවාස පනස්දහසේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ ය. ඉපලෝගමින් ආරම්භ වූ රණවිරු ගම්මාන ව්‍යාපෘති වැඩසටහන දැන් රටපුරා ව්‍යාප්ත වෙමින් පවතී.

“ අපි වෙනුවෙන් අපි” තවත් එහි කොටසකි. එපමණක් නොවේ යුද්ධයේදී මිය ගිය ආබාධිත, අතුරුදන් සෑම රණවිරුවකුගේම ඥාතීන්ට එම නිවසක හිමිකම් ලබා දීමට පියවර ගෙන ඇත. එසේ ම ඔවුන් ගේ දූ දරුවන් ගේ අනාගත වගකීම සම්පූර්ණයෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත් කරගෙන විවිධ වැඩ සටහන් ඔස්සේ ඒ දූ දරුවන් ගේ අනාගතය යහපත් එකක් බවට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

නිවසක් නැතත් ඉඩම් කෑල්ලක් පමණක් තිබේ නම් එම ඉඩමේ නිවසක් තනාලීමට ණය පහසුකම ලබාදීම ආදියට ද කටයුතු යොදා ඇත.

යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවා තව දුරටත් ඔවුන් ගේ ඥාතීන්ට බරක් නොවී ජීවිත කාලය ම රැක බලා ගැනීම ඔවුන්ට අවශ්‍ය ආහාරපාන වෛද්‍ය පහසුකම් හා වෙනත් අවශ්‍යතා සපුරාදීමත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදු වෙයි.

රණවිරු දූ දරුවන් වෙනුවෙන් ඉදිවෙන පාසල් පද්ධතිය මෙරට ජනතාව ගේ ඉමහත් පැසසීමට භාජනය වී ඇති යෝජනා ක්‍රමයකි.

එපමණක් නොවේ, රණවිරුවන් විදේශ රටවලට යවමින් ඔවුන්ට ඉහළ වැටුපකට සේවය කිරීමේ ශිෂ්‍යත්ව ලබා දීම, පුහුණුව ලබා දීමට අවස්ථාව සලසා දීම ඇතුළු ජාත්‍යන්තර කටයුතු ගණනාවකට ඔවුන් සම්බන්‍ධ කර තිබීම ද විශේෂත්වයකි.

සමාජයේ යම් තැනක යම් රාජකාරී කටයුත්තක්, සේවාවක් ලබා ගැනීමට ප්‍රමුඛ අවස්ථාව සලසා දෙමින් රණවිරුවා පමණක් නොව ඔවුන් ඥාති පවුල් හැත්තෑ දහසකට පමණ විශේෂ සම්මාන පදක්කමක් ලබා දී තිබීම මෙහිදී සිහිපත් කළ යුතුය.

එතුළින් ඔවුන් සමාජයේ ඉහළ ම පිළිගැනීමකට ලක්කර තිබේ. යුද්ධය අවසන් වූවත් ඉන්පසු ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාවලියට සම්බන්‍ධ කර ගැනීම තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. උතුරු නැගෙනහිර සංවර්ධන ක්‍රියාවලියට රණවිරුවා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටිති.

කොටි සංවිධානය මිනිස් ජීවිත බිලි ගැනීම සඳහා වපුරා තිබූ බිම් බෝම්බ දස දහස් ගණනක් ඉවත් කරමින් අද උතුරු නැගෙනහිර භූමිය රණවිරු දෑතින් පිරිසිදු වී ඇතැයි කිවහොත් එය නිවැරදි යි.

යුද්ධ කරනවා කියා හිල් වූ සපත්තු දෙකක් පයලාගෙන මහා ගන අඳුරේ , කැලෑ දෙබෑ කරමින් මඩ පිරුණු දිය අගල් දිගේ ගිනි අවිය දෑතලාගෙන යුද්ධ කළ රණවිරුවාගේ අවශ්‍යතා සම්පූර්ණ කර දෙමින් යුද්ධයට පිවිසීමට නිවැරදි මාර්ගය පෙන්වා දුන් ජනාධිපතිතුමා යුද්ධයෙන් පසුවත් ඔවුන්ගේ නාමය තවත් අවුරුදු සිය ගණනකටවත් අමතක නොවන ලෙස රටේ ඉහළ ම තැනක තැබීමට අවශ්‍ය පරිසරය සකස් කර ලී ඇත. එතුමා ගේ කෘතගුණ නිසා එදා අලිමංකඩ දී රට වෙනුවෙන් දිවි පිදූ හසලක ගාමිණී තිලකරත්න ප්‍රමුඛ වසර තිහක කාලයක් පුරා රට වෙනුවෙන් ජීවිතය පුද කළ සියලු රණවිරුවන් සිහිපත් කිරීම වස් රටේ ස්ථාන ගණනාවක රණවිරු ස්මාරක ඉදිකර ඇත.

එදා දුටුගැමුණු රජතුමා සොලින් පළවා හැර එක්සේසත් කළ රට මෙදා ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකයා විසින් එක්සේසත් කළේ ය. දුටුගැමුණු රජතුමාගෙන් පසු තවත් වසර ගණනාවකින් යළි මෙරට යුද්ධයක් ඇති වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකයා ත්‍රස්තවාදය විනාශ කර එතැනින් නතර නොවී ඉදිරි කටයුතු මෙහෙය වූයේ, මෙහෙය වන්නේ එදා මෙන් යළි කිසි දිනෙක මෙරට තුළ ත්‍රස්තවාදයේ බීජයක් හෝ පැළවීමට ඉඩ නොලැබෙන පරිසරය සකස් කරවමින් ය.


සබැඳි පුවත්