චිරං ජයතු!

චිරං ජයතු!

නොවැම්බරය එනම් මෙම මස ශ්‍රී ලාංකික ජනතාව සුවිශේෂිත ය. වසර තිහක් පුරා පැවැති කුරිරු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුළුමනින් ම තුරන් කර සියලු රටවැසියනට සැබෑ නිදහස ලබා දීමට නායකත්වය ලබා දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ගේ හැටපස් වන ජන්ම දිනය හා ජනපති ධූරයේ දෙවන පදවි ප්‍රාප්තිය ද යෙදෙනුයේ මෙම මාසයේ දී ය. හැටපස්වන ජන්ම දිනය යෙදෙන්නේ 18 වෙනිදාටය. දෙවන ධූරයට පදවි ප්‍රාප්තිය යෙදෙන්නේ මේ මස 19 වෙනිදාටය. මෙය අපට සුවිශේෂීය.

හම්බන්තොට මැදමුලන අති දුෂ්කර ගම්මානයක ඉපිද තම පියා ගේ දේශපාලන ගමන් මඟ වර්ණවත් කරමින් වයස අවුරුදු විසි හතරේ දී මහින්ද රාජපක්‍ෂ නම් තරුණයා ශ්‍රී ලංකාවේ ලාබාලත ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස දේශපාලනයට එක් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අමාත්‍යවරයෙකු වශයෙන් ගෙවී ගිය කාලය තුළ තමන්ට ලැබුණු අමාත්‍යාංශ යටතේ විවිධ විෂයන් ඔස්සේ නව සංවර්ධනයන් ක්‍රියාවට නංවමින් ජනතාවට විශාල සේවාවක් සිදු කළහ.

ජනතාව ගේ දුක හඳුනන, දේශීයත්වයට ගරු කරන ප්‍රායෝගික නායකයෙකු රටේ නායකත්වයට පත් වීම රටේත්, ජනතාවගේත් භාග්‍යයකි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ගේ දෙවන පදවි ප්‍රාප්තිය එළඹෙන 19 වන දින සිදුකෙරේ. මේ වෙනුවෙන් රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන මෙන් ම පෞද්ගලිකව ජනතාව ද එක් වී විවිධ වැඩසටහන් දිවයින පුරා සංවිධානය කර ඇත.

වචනයට පමණක් සීමා නොවූ සංවර්ධනය

මේ සඳහා 18 වැනි දිනට යෙදෙන හැටපස් වන ජන්ම දිනය නිමිත්තක් කරගෙන සිටී. ගෙවී යන ජනාධිපති පළමු ධූර කාලය තුළ මහින්ද චින්තනය යටතේ ගමින් නගරයට කඩිනම් සංවර්ධනයක් ක්‍රියාවට නැංවී ය.

 ඒ සඳහා දක්‍ෂ කාර්ය ශූර අමාත්‍යවරු එක් එක් විෂයන්ට පත්කරමින් නිලධාරීන්ට ද නායකත්වය ලබා දෙමින් සංවර්ධනයේ ඉලක්කය සපුරා ගනු ලැබී ය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ ගමන් මගේ අඩක් මේ වන විට හමාර කර තිබේ.

අහසට උසට බැඳි විශාල දාගැබ් මුහුදට ගලා ගිය මහා ජලකඳ ගොවිතැන සඳහා රැස්කිරීමට වැව් බැඳි තාක්ෂණය ලොව මවිත කර වූ රජ දවස සිහිගන්වන නිර්මාණ කිරීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ද නායකත්වය ලබා දී ඇත. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, විදුලි බලාගාර, ජල උමං වැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති මේ වන විට අවසන් අදියරේ පවතී. එහි ප්‍රතිඵල නොබෝ දිනකින් ශ්‍රී ලාංකිකයින් භුක්ති විඳිනු ඇත.

අතිගරු ජනාධිපතිතුමා ගේ පළමු ධුර කාලය තුළ දී උතුරුමැද පළාත තුළ ද අති විශාල සංවර්ධනයක් සිදු විය. ගම සංවර්ධනය කර නගරය සංවර්ධනය කිරීමේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව පළාත තුළ ගම්මාන නව ප්‍රබෝධයක් ලබා ඇත. වැව් අමුණු, මංමාවත්, විදුලිය, පාලම්, බෝක්කු, පාසල් හා රෝහල් නවීකරණය කර ඊට යටිතල පහසුකම් ලබා දීමට ගෙවී ගිය ජනපති ධූර කාලයේ දී හැකි විය.

උතුරුමැද පළාත තුළ ජීවත් වන ජනතාවගෙන් සියයට 90 – 95 පමණ වනුයේ ගොවි ජනතාවයි. කෘෂිකාර්මික ප්‍රදේශයක් සංවර්ධනයේ දී මූලිකත්වය දිය යුත්තේ අබලන් වැව් අමුණු නවීකරණය හා එම ප්‍රදේශවලට ජලය ගෙන යා හැකි නව ඇළ මාර්ග ඉදි කිරීම සඳහා ය.

යුද සමයේ වසර තිහක් පමණ පුරා අබලන්ව පැවැති වැව් හා විනාශ වූ වැව් අමුණු පිළිසකර කිරීම අතිගරු ජනාධිපතිතුමා ගේ විශේෂ ප්‍රතිපාදන යටතේ සිදු වී හමාර ය. වර්ෂාව මගින් ලැබෙන ජලය නිකරුණේ මුහුදට ගලා යාම නවතාලමින් පළාතේ වැව් අමුණුවල ජලය රැස් කර කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දීමට පළාත් සභාව කටයුතු කර ඇත. කැළෑ පීරමින් ඉතා දුර පා ගමනින් ගොස් වාරි ඉංජිනේරුවරුන් සමඟ සැලසුම් නිර්මාණය කරමින් අප මේ සංවර්ධන ක්‍රියාදාමයට උර දී සිටින්නෙමු.

වී ගොවිතැනට පසු ආර්ථික භෝගයක් බවට බඩඉරිඟු වගාව පළාත තුළ ව්‍යාප්ත කිරීමට අප විසින් පියවර ගෙන තිබේ. 2002 වර්ෂයේ දී වන විට අක්කර 3000 – 5000 ක් අතර ප්‍රමාණයට සීමා වූ බඩඉරිඟු වගාව ජනාධිපතිතුමන් ගේ මහින්ද චින්තනයට අනුව වර්තමානය වන විට අක්කර 1,40,000 දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරිණි. බඩඉරිඟු නිෂ්පාදනයට අවශ්‍ය ණය පහසුකම් හොඳ වර්ගයේ බීජ, ගොවියාට ලබා දීම මෙන් ම නිෂ්පාදනයට සහතික මිලක් ලබා දීම තුළින් ගොවියා ශක්තිමත් කර ඇත.

 මේ තුළින් රටට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්‍ෂ දෙකක ප්‍රමාණය උතුරුමැද පළාත තුළ නිෂ්පාදනය කිරීම අරමුණයි. මෙවර මහ කන්නයේ දී අක්කර 1,40,000 ක් වගා කර එමඟින් පළාතේ ගොවියා අතරට රුපියල් ලක්‍ෂ අසූදහසක ආදායමක් ලබාගැනීමට අපේක්‍ෂිත ය. මීට අමතරව කුරහන්, සෝයා, මිරිස් වැනි වගාවන් සඳහා ද ප්‍රමුඛතාවය ලබා දීමට පළාත් සභාව කටයුතු කර ඇත.

පළාත තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේද දියුණුවක් ඇතිකර තිබේ. ආදර්ශ ප්‍රාථමික විද්‍යාල පිහිටුවා ඉතා දුෂ්කර පාසල් ද ඇතුළත්ව පරිගණක පහසුකම් පාසල් 500 කට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පස් මහල් වාට්ටු සංකීර්ණ ඉදිකර වකුගඩු ඒකක පිහිටුවා මෙන් ම තඹුත්තේගම, කැබිතිගොල්ලෑව, කැකිරාව ප්‍රදේශවල මහ රෝහල් ඇතිකර ග්‍රාමීය රෝහල්වල සියලු යටිතල පහසුකම් හා මානව සම්පත් ලබා දී ඇත. මධ්‍යම රජයේ සහාය ඇතිව ප්‍රධාන මාර්ග ද පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ අතුරු මාර්ග ද සංවර්ධනය කර කෘෂි නිෂ්පාදන අලෙවියට පහසුකම් ලබාගැනීම මෙන් ම ඒ තුළින් ගම සංවර්ධනයට ද පිටුවහලක් ලැබී තිබේ. පළාත තුළ කළ යුතු සියලු සංවර්ධනයන් ඉතා කෙටි කාලයක් තුළ දී ඉහළ ප්‍රගතියක් ලබාගැනීමට මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඉවහල් විය.

රටේ සුබ අනාගතය වනුයේ අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවන ධූර පදවි ප්‍රාප්තියෙන් පසුවයි. නිසැකව ම එසේ සිදුවන බවට සියලු ජනතාව දනී. ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් එතුමන් ගේ දෙවන පදවි ප්‍රාප්තියෙන් පසු සිදු වනු ඇත. දේශීය මුදල් පිටරටට ගලා ගිය අවදිය හමාර කර විදේශීය මුදල් රටට ගලා ඒමේ කාලය තවත් ඉතා කෙටි කාලයක දී සිදු වේ.

ඉතිහාසයේ දී අපේ රටේ අගනුවර බලා දියුණු තත්ත්වයට පත් සිංගප්පූරුවට මහින්ද පාලන යුගයේ සිදුකරන සංවර්ධනය ආදර්ශයට ගත යුතු කාලය එළඹෙන බව නිසැක ය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ සංවර්ධන අරමුණු ඉතාමත් නුදුරේදීම සිදු වේවායි අප ප්‍රාර්ථනා කරමු.

බර්ටි ප්‍රේමලාල් දිසානායක

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය


සබැඳි පුවත්