ජාතියේ පිනෙන් උපන් නායකයා

ජාතියේ පිනෙන් උපන් නායකයා

අවුරුදු දෙදහස් පන්සීයක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ඇති, වින්ගීස් අයිත්මාතව් නම් සෝවියට් ලේඛකයා විසින් ඉන්දියාව නම් කිරි බුරුල්ලෙන් වැහුණු කිරි බිංදුවකට සමාන කළ පුංචි දිවයිනක් 1815 මාර්තු දෙවන දා ඉතිහාසයේ පළමු වරට විදේශීය ජාතියකට සම්පූර්ණයෙන් යටත් විය. පෙර අපර දෙදිග ප්‍රබල ආක්‍රමණිකයන් සමඟ ඉතිහාසය පුරා බලවත් අරගලයක යෙදෙමින් ලක්මව රැකගත් ස්වාධීනත්වයේ කිරුළ ඇගේ හිසින් ගැලවී ගියේ ය.

එදා සිට මවුබිමේ මහා ප්‍රණිධානය වූයේ නිදහසයි. 1818 නිදහස් අරගලයත්, 1848 නිදහස් අරගලයත් ඒ අතර වූ අප්‍රකට ජනතා නැගිටීමි ගණනාවකුත් මවුබිම දුටු එම නිදහස් සිහිනයේ ප්‍රකාශනයන් ය. 1948 පෙබරවාරි 4 දා අප දිනාගත් නිදහස ද ඉහත කී උත්තම ජීවිත පූජාවන් ගේ එක් ප්‍රතිඵලයක් ලෙස සැලකීම අසාධාරණ නොවේ.

අප ලද නිදහසත් මවුබිමේ දුටු නිදහසේ පළල් සිහිනයත් කිසිවිටෙක එකිනෙක සමපාත වූයේ නැත, මාතෘ භූමිය දුටු සිහිනය වූයේ දෙදහස් පන්සිය වසරක් මේ පොළොවේ පතුලට කිදා ගිය ශක්තිමත් මුදුන් මුල් තේරුම්ගත්, ඒවාට ආදරය කරන ඒවා ශක්තිමත් කරමින් අනාගත ගමන් මඟ සැලසුම් කරන නායකත්වයකි, දේශයේ සියලු ශක්තීන් එක්සත් කොට පළල් චින්තනයක් සහිතව ඉදිරියට ගමන් කොට ලබා ගන්නා දේශපාලන , ආර්ථික, සංස්කෘතික නිදහසකි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරට නායකත්වය භාර ගත්තේ ඉන්දියාව නම් කිරි බුරුල්ලෙන් වෑහුණු කිරි බින්දුව ආසියාවේ කඳුළු බින්දුව බවට පත් වූ මොහොතක ය. කුප්‍රකට අසාර්ථක රාජ්‍ය නාමාවලියේ ලේඛන ගතකොට රට පරාධීනත්වයෙන් මුවපිටට තල්ලු කොට තිබූ මොහොතක ය. සැබෑ නිදහස වෙනුවෙන් සිහින දුටු දේශයට ආදරය කළ සියලු බලවේග දේශයේ විමුක්තිය පතා නායකයෙකු ඉල්ලා සිටි මොහොතක ය. ඉතිහාසයේ පැරැණි අරුතින් ගත් විට රටට රජෙකු ඉල්ලා සිටි මොහොතක ය. පරාධීනත්වයේ ආගාධයට වැටී සිටි රටක ජනතා ප්‍රාර්ථනාව ලෙස එදා දෙගල්දොරුවේ හිමියන් ගේ මුවින් පිට වූයේ ද එම අපේක්ෂාවයි.

අනේ කුඹියනේ - කොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ - අපේ කරුමේ එහෙම වන්නේ

රජෙක් ලැබුනෝතින් - කැවුම් කිරි බත් කඤ්ඤං
පෙරහැරක් කරඤ්ඤං - සාධු නාදෙන් ගිගුම් දෙඤ්ඤං

එම ප්‍රාර්ථනාවේ අරුත වූයේ හුදු වැඩවසම්වාදි පාලකයකු පත්කොට ගෙන සැනසීම නොවේ. දේශයේ උතුම් ප්‍රාර්ථනා රන් කරඬුවක ලා වඩම්වන තේජස් වී ජනතා පුත්‍රයකු ගේ ආගමනයයි. එය ඉටු වූ විට ජන හදින් නැගෙන සතුට, උත්තමාචාරයක් ලෙස ප්‍රකාශ වූයේ සාධුකාරයෙනි. මෑත කාලයේ ජන හදින් නැඟුණු ඒ පාරිශුද්ධ උත්තමාචාරය ලද යම් නායකයකු වී නම් ඒ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා ය.

වසර තිහක් පුරා මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව පීඩනයට පත් කළ ප්‍රජාපීඩක ත්‍රස්තවාදය දේශීය , විදේශීය සියලු බලවේග වල ආශිර්වාදය මැද ශක්තිමත් වී තිබිණි. ත්‍රස්තවාදීන් මාවිල් ආරු අමුණ වසා දැම්මේ අක්කර තිස් හය දහසක පැළ ගොයම මැරෙන්නට ඉඩ හරිමිනි. ඒ පැළ ගොයමට වැටුණු කඳුළට ජාතියක් නොවී ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ දෑස්වලින් නැඟුණු කඳුළු පැළ ගොයම මත වැටුණි, ගිරුවාපත්තුවේ ගොවි දුක හොඳින් හඳුනන මහින්ද රාජපක්ෂ නම් නායකයාට රිදවිය හැකි හොඳම නිලය මේ යැයි ත්‍රස්තවාදීන් සිතුවා විය හැකි ය.

රුවන්මැලි සෑ බිමේදී දයාබර මවකගෙන්
ලැබූ ආශීර්වාදය...

දේශීය, විදේශීය බලවේග විසින් මවා තිබුණේ කිසිදා සුණු - විසුණු කළ නොහැකි මහමෙරුවකි.

“ කුළුගෙඩි පහර එකපිට එක පොළොව මත

පළු පළු නොවන හොරහැඩි කළුගලක් නැත.” යනුවෙන් එස්. මහින්ද හිමියන් ලියූ නිදහසේ කවිය එතුමාට මතක් වන්නට ඇතුවා නිසැක ය.

මානුෂීය මෙහෙයුම ඇරඹිණි. මෙහෙයුමට ඇවැසි පිරිස් බලය නොමැත. මවුපියෝ තම දරුවන් හමුදාවට භාර නොදෙති. එතුමා පළමුවෙන් ම තම දරුවා හමුදාවට භාර දුන්නේ රටටම ආදර්ශයක් දෙමිනි, මුලින් ම එතුමා දුටුවේ අවියක් පසුපස හුදෙකලා වූ සෙබළෙකි. එතුමා පළමුවෙන් ම ඒ හුදෙකලා සෙබළා පිටුපසින් යෝධයකු සේ සිට ගත්තේ ය. ආරක්ෂක ලේකම්තුමා, හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා, ත්‍රිවිධ හමුදාව, පොලිසිය , සිවිල් ආරක්ෂක බලකාය ඒ පසුපස පෙළ ගැසුණි.

සිදු වූයේ අසිරියෙකි.

පිරිත් නූල් ගෙන, වතුර බෝතලය , තැඹිලි ගෙඩිය ගෙන, මහා සඟ රුවන, මෙරට පොදු ජනතාව වැල නොකැඩී යුද පෙරමුණේ සිටි සෙබළාට ශක්තිය දීමට එක් විය, අම්මලා දහස් ගණනින් තම දරුවන් යුද පෙරමුණට එවූහ.

මේ රටේ ජනතාව තම ජීවිත කාලය තුළ වෙඩි හඬින් තොර රටක ජීවත්වීමේ සිහිනය සැබෑ වූ බව දැක සාධුකාර දුන්හ. උතුරේ ද නැගෙනහිර ද රටේ සෙසු පෙදෙස්වල ද සැබෑ ජන ජීවිතය යළි ඇරඹිණි, සිංහල, දෙමළ, මුස්ලිම් මිත්‍රත්වයේ පාලම යළි ශක්තිමත්ව ගොඩනැගීම ඇරඹිණි. උතුරේ තල කොළයත් - දකුණේ පොල් කොළයත් එකට තබා වියූ කළාලයක හිඳ උතුරේ - දකුණේ දරුවන් එකම කිරිබතක් වළඳන කවියන්ගේ සිහිනයට අරුතක් ලැබිණි. පන්සලේ බෝමළුවෙන් නැඟෙන මහ පිරිතේ හඬට, පල්ලියේ ඔරසන් ගායනා නාදය එක්වන, කෝවිලේ සීනු නාදයට, අල්ලාහු අක්බාර් ( දෙවියන් ශ්‍රේෂ්ඨය) යන යාඥා හඬ එක්වන ජාතියේ මහා චන්දනා ගමන ඇරඹී ඇත. මිනිස් ඉතිහාසයේ ඇති පැරැණි ම ලියවිල්ලක් සේ සැලකෙන සෘග් වේදයේ එන එක් සඳහනක් වන්නේ රටක පාලකයා සෑම රාත්‍රියක ම රට වෙනුවෙන් සිහින දැකිය යුතු බවයි.

අතිගරු ජනාධිපතිතුමා සැමදා රට වෙනුවෙන් සිහින දකින නායකයෙකි. එතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ අද රට හමුවේ තබා ඇති පියවරෙන් පියවරට සැබෑ වන සිහිනයකි.

අද එතුමා දේශය හමුවේ තබා ඇති මහා ප්‍රණිධානය මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ සිහිනයයි. ගුවන්, නාවුක, වාණිජ, තාක්ෂණ හා දැනුම යන පංච බල කේන්ද්‍රයන් බල ගැන්වීම මගින් එම අනාගත ගමනේ ශක්තිමත් පෙරගමන්කරුවන් බිහි කිරීමේ කටයුත්ත මේ වන විට ආරම්භ වී තිබේ.

මෑත දී තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කරමින් එතුමා කියා සිටියේ අද අප බිහිකරන සංවර්ධනයේ මිහිරි ඵල භුක්ති විඳීමට රටට ආදරය කරන යහපත් අනාගත පරපුරක් බිහි කර ගතයුතු බව යි.

දරුවන් පිළිබඳ මේ තරම් සංවේදි වූ නායකයෙකු මෑත ඉතිහාසයේ මෙරට පහළ වී නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා ය.

හේනේ කුරහන් සුවඳ හඳුනන, කෙතේ කරල් සුවඳ, මැඩුවන් සුවඳ හඳුනන, මේ පොළොවේ හැම චලනයකට ම සංවේදී නායකයෙකු මෙරට පහළ වී නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා ය.

සියවස් ගණනාවක් තිස්සේ මවුබිම දුටු සුබ සිහින රන් කරඬුවක ලා වඩම්මන මවුබිම ආදරයෙන් සිප ගත් නායකයෙකු මෙරට පහළ වී නම් ඒ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා ය.

එතුමා දේශයේ පිනෙන් උපන් නායකයෙකු වන්නේ එබැවිනි.

උතුරු මැද පළාත්

ආණ්ඩුකාරවර

කරුණාරත්න දිවුල්ගනේ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්