නැට්ටුක්කාරි මගේ උපන් දිනයට ලැබුණ හොඳම තෑග්ගක්

නැට්ටුක්කාරි මගේ උපන් දිනයට ලැබුණ හොඳම තෑග්ගක්

 - නාමෙල් වීරමුණි

නාමෙල් සහ මාලිනී වීරමුණි යුවළ විවිධ චරිත ඔස්සේ අපට හමුවන ප්‍රවීණ නළු නිළි දෙපළක්. කලක් විදෙස්ගත වී සිටියත් කලාවට තිබෙන ආදරය නිසාම ඔවුන් නිහඬව සිටියේ නැහැ. වේදිකා නාට්‍ය කලාව ඔවුන් දෙපළගේ ජීවිතය හා සමානයි. ඉදිවූ නාමෙල් - මාලිනී පුංචි තියටර් ඔවුනගේ ජීවිතයේ සැබෑ වූ සිහිනයක්. ඒ සිහිනයට තවත් අරුතක් එක්කරමින් මේ මස 29, 30, 31 යන දිනවලදී වේදිකා නාට්‍ය ත්‍රිත්වයක් ඔබ වෙත ගෙන ඒමට සූදානම් වන නාමෙල් - මාලිනී යුවළ ඒ පිළිබඳ සුවිශේෂී නිමිත්තක් ගැන ද අපට පැවසුවා. අද රසමංජරියේ ඉඩකඩ වෙන්වන්නේ ඒ වෙනුවෙන්.

කුමක්ද මේ සුවිශේෂී කටයුත්ත?

දැනට වසර 44 කට පෙර මම නිර්මාණය කළ නැට්ටුක්කාරී නාට්‍ය නැවත නිෂ්පාදනය කර රංගගත කිරීමට තමයි සූදානම් වෙන්නේ. ඒ එක්කම තවත් ඒකාංග නාට්‍ය 2 ක් වන කන්දොස්කිරියාව සහ දීගෙක ඇවිත් කියන නාට්‍ය 2 ත් වේදිකාගත කිරීමට සූදානම්. මේ මස 29, 30, 31 සවස 3.30 ට සහ 6.45 ට නාමෙල්, මාලිනී පුංචි තියටර් හිදී මේ නාට්‍ය නරඹන්න පුළුවන්. අප දෙන්නා සියලු දෙනාටම විවෘත ආරාධනාවක් කරනවා මේ අවස්ථාවට එක්වන්න කියලා.

මේ කටයුත්තට මුල් වන විශේෂ කරුණක් ගැන අපට දැනගන්න ලැබුණා....

ඇත්තටම මේ මාසේ 31 වැනිදාට මගේ 80 වැනි උපන් දිනය යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් මට දෙන තිළිණයක් ලෙස තමයි මගේ බිරිය මාලිනී මේ නාට්‍ය තුන රඟදක්වන්න සැලැසුම් කළේ.

ඒ කියන්නේ මෙය නාට්‍ය උළෙලක් ද?

මුලින් සැලැසුම් කළේ නම් එහෙම තමයි. නාට්‍ය හයක් පමණ වේදිකාගත කරන්න මුලින් හිතුවත් කාලය සහ රංගන ශිල්පීන්ව සොයා ගැනීම පිළිබඳ ගැටලු ඇතිවුණා. ඒ නිසා නැට්ටුක්කාරී, කන්දොස්කිරියාව සහ දීගෙක ඇවිත් පමණක් කරන්න තීරණය කළා.

මේ නාට්‍ය තුන තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?

1970 දී තමයි මම නැට්ටුක්කාරි අධ්‍යක්ෂණය කළේ. මෙහි තේමාව වුණේ ප්‍රේමය. බොහෝම සියුම් විදිහට හාස්‍යයත් මෙයට එක්කර ගත්තා. අවසානය දුක්ඛාන්තයක් ලෙසයි නාට්‍යය නිමවෙන්නේ. මෙහි චරිත 12 ක් ඇතුළත්. ඒ කාලේ මෙහි රඟපෑවේ උපාලි අත්තනායක, වික්‍රම බෝගොඩ, සෝමලතා සුබසිංහ, විමල් කුමාර ද කොස්තා, ප්‍රේමා ගනේගොඩ, මාලිනී වීරමුණි ඇතුළු තව කිහිප දෙනෙක්. මමත් රඟපෑවා.

අලුත් නිෂ්පාදනයේ සුරංගි කෝසලා, රුවන් වික්‍රමසිංහ, මාලිනී වීරමුණි, ගාමිණි හෙට්ටිආරච්චි, මාධව විජේසිංහ, සැනට් දික්කුඹුර, විශාකා ජයවීර, තරිඳු මධුසංඛ ඇතුළු පිරිස. දයා තෙන්නකෝන් මෙහි පළමු නාට්‍යයේ වගේම මේ නිර්මාණයටත් දායක වීම විශේෂත්වයක්.

ඒ කාලෙත් මෙය ඉතා ජනප්‍රිය නාට්‍යයක්. දර්ශන 250 ක් පමණ වේදිකාගත කළා. මෙය ප්‍රංශ නාට්‍යයක් පරිවර්තනය කිරීමක්. දීගෙක ඇවිත් නාට්‍ය ඇන්ටන් චෙකෝෆ්ගේ ද ‍ෙප්‍රාපෝසල් කියන නාට්‍යයේ අනුවර්තනයක්. මෙයට මම පසුබිම් කරගත්තේ උඩරට ජීවන රටාවක් සමඟ හැදී වැඩුණු පුද්ගලයෙක් විවාහයක් කර ගැනීමට ගිය අවස්ථාවේ අත්වින්ද අත්දැකීම්. මෙය පුද්ගල ආත්ම ශක්තියක් සමඟ සම්බන්ධ වූ මිනිස් ස්වරූපයේ එක් අවස්ථාවක් පෙන්නුම් කිරීමක්. මෙහිත් හාස්‍ය ඇතුළත්.

නැට්ටුක්කාරි නාට්‍යයෙන්

කන්දොස්කිරියාව සෝමපාල ගුණධීර රචනයක්. එය පළමුව ගුවන් විදුලි නාට්‍යයක් ලෙසයි ඉදිරිපත් වුණේ. මෙයත් දෙවෙනිවර නිෂ්පාදනයක්. මේ නාට්‍ය තුනම මා කළ නිර්මාණ අතරින් ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ නිර්මාණ. එයයි මෙය තෝරාගැනීමට හේතුව.

පළමු නාට්‍ය නිර්මාණයට වඩා දෙවන නිෂ්පාදනයේදී වෙනසක් කළාද?

ලොකු වෙනසක් කළේ නැහැ. පළමු නිෂ්පාදනයට වගේම හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා විශ්වාසයි. මට මතකයි නැට්ටුක්කාරී වේදිකා නාට්‍යයේ රුක්මණී දේවි රංගන ශිල්පිනියත් රංගනයෙන් එක්වන්න හිටියේ. නමුත් ඇයට එය මඟහැරුණා.

නාට්‍යය වේදිකා ගත කළ දිනයේ රුක්මණි දේවි, එඩී සහ මම රාත්‍රී කෑමට ගියා. ඒ අවස්ථාවේ රුක්මණි දේවි මේ නාට්‍යය පිළිබඳ ලොකු ඇගැයීමක් කළා. ඇය මට කිව්වා නාමෙල් මම කවදාහරි මේ නාට්‍යයේ රඟපානවා කියලා. ඒත් අපේ අවාසනාවකට ඇයට ජීවිතයෙන් සමුගන්න වුණා.

ඒ කාලේ නාට්‍යයක් පෙන්වලා අවසන් වූ දිනට පසුදාම පුවත්පතේ ඒ නාට්‍යය ගැන විචාරයක් යනවා. නැට්ටුක්කාරී නාට්‍ය පිළිබඳවත් හොඳ විචාර පළවුණා. එදා ඒක මට ‍විශාල ශක්තියක් වුණා ඉදිරි නිර්මාණකරණයට.

අද තත්ත්වය එයට බොහෝ සෙයින් වෙනස් නේද?

අද එහෙම විචාර පළවන්නේ හරි අඩුවෙන්. එය නිර්මාණකරුවාට විශාල පාඩුවක්. මමත් කාලයක් දිනමිණ පුවත්පතට නාට්‍ය විවේචන ලිව්වා. නාට්‍යකරුවන් දිරිගන්වන්න වගේම වැරැදි අඩුපාඩු හදාගන්නත් විවේචනය අත්‍යවශ්‍යයි.

පවතින නාට්‍ය කලාව ගැන ප්‍රවීණයෙක් ලෙස ඔබ සෑහීමකට පත්වනවාද?

කොහෙත්ම නැහැ. අද කලාව මුදලට යටවෙලා. මනුෂ්‍යත්වය ගැන ගැඹුරින් කියැවෙන නාට්‍ය බිහිවන්නේම නැහැ. ඒකාකාරී නාට්‍ය රැල්ලක් අද ති‍ෙයන්නේ. ප්‍රේක්ෂකයාගේ රසඥතාවය, රසවින්දනය මොට කරලා. දෙපිට කැපෙන කතා, ඕපාදූප, අසැබි වදන් තමයි අද හාස්‍ය කියලා තියෙන්නේ.

පවතින දේශපාලනයට හිනාවීම පමණ ද හාස්‍ය කියන්නේ. ශාලාවෙන් එළියට එන ප්‍රේක්ෂකයාගේ හිතේ මම බැලුවේ නාට්‍යයක් ද කියන එකවත් රැඳිලා නැහැ. හාස්‍ය හෝ උපහාසයේ හෝ අර්ථයක් තිබිය යුතුයි.

හාස්‍ය, උපහාසය බටහිර නාට්‍ය කලාව තුළ වුවත් ඉදිරිපත් කරන්නේ ප්‍රේක්ෂකයාට සිතන්න යමක් ඉතිරි කරමින්. අද උසස් නාට්‍ය කලාව වියපත් වෙලා. අද ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලන්න එන්නේ නළු නිළියෝ ප්‍රසිද්ධ නම් විතරයි.

ටෙලිනාට්‍යයක දෙකක රඟපෑ පමණින් වේදිකාවට එන ඇතැම් නළු නිළියන්ට වේදිකාව ගැන කිසිම අවබෝධයක් නැහැ. අද තියෙන්නේ අමුතු හාස්‍යයක්. වේදිකා නාට්‍යවලටත් ඒකාධිකාරයක් ඇවිල්ලා. නාට්‍ය පෙන්වන්න වෙලා තියෙන්නේ දෙතුන් දෙනෙකුගේ පාලනය මත.

ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටියක් කරන්න අදහසක් නැද්ද?

එහෙම ආසාවක් තිබුණත්, නිර්මාණයක් කරලා එළියට දාන්න අවුරුදු 4, 5 ක් ගතවෙන එක ගැටලුවක්. මූල්‍ය දායකයන් සොයාගන්නත් අපහසුයි. ඒ වගේම රංගන ශිල්පීන්ව සොයා ගැනීමත් අපහසුයි. පුංචි තියටර් එකත් පවත්වාගෙන යන්නෙත් මගේත් මාලිනීගේත් රක්ෂණ ආවරණයෙන් ලැබෙන මුදලින්. අඩු මුදලට තියටර් එක දෙන්නේ පුංචි කලාකරුවන්ට නැගිටින්න අවස්ථාව දිය යුතු නිසා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා