සිසිර - අහස් වියන යටින්

සිසිර - අහස් වියන යටින්

විසි පස් වසරකට ඉහත දී ගැයූ “දන ගාද්දි ඇවිදින්නට” ගීතයෙන් රසික හදවත් දිනූ ගායක සිසිර ප්‍රනාන්දුගේ එම “අහස් වියන යටින් ගී ඇල්බමය අද 21 වැනි දින සවස 6.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්වීමට නියමිත ය.

විශාරද නන්දා මාලනී, වික්ටර් රත්නායක, ටී.එම් ජයරත්න, අමරසිරි පීරිස්, චන්ද්‍රිකා සිරිවර්ධන යන ප්‍රවීණ ගායක ගායිකාවන්, කලාකරුවන් සහ විද්වතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් නවතම ගී ඇල්බමය එළි දැක්වීමට කටයුතු සූදානම් ය.

දන ගාද්දි ඇවිදින්නට, වසන්තයේ මලක්, අහස් වියන යට,යන්න ලෝබයි, දිය ඇල්ල වගේ, කිරිකෝඩු පෙම්වතී, සුවඳ දෙතොල් පෙති, ඔබේ ලඟින්, සුවඳ මාත්‍රයක්, මල් පොහොට්ටුවක්, ගණදුරට සඳ, දිනකදි හමුවුණා, ගඟ හිනා නගන්නේ, නිල් ගගණ තලෙන්, සිතට නැගෙන, දේවතාවියේ, ආදරයට සීමා නෑ..යන ගීත සිසිර ප්‍රනාන්දුගේ හඬින් ශ්‍රවණය කිරීමට ගීත රසිකයින්ට අවස්ථාව ලැබී ඇත.

සමන් අතාවුදහෙට්ටි, ප්‍රේමකීර්ති ද අල්විස්, සෙනරත් දයානන්ද, ශාන්ත කුමාර විතාන, බණ්ඩාර ඇහැලියගොඩ, කැලුම් ශ්‍රීමාල්, සනත් කුමාර පියතුමා, සමන් ඒකනායක, බන්දුල නානායක්කාරවසම් ඇතුළු ගී පද රචකයන්ගේ ගීත සිසිර ප්‍රනාන්දුගේ ගී ඇල්බමයේ ඇතුළත් වෙයි.

රෝහණ වීරසිංහ, මහින්ද බණ්ඩාර, කලනි පෙරේරා, සුරේෂ් මාලියද්ද, තිස්ස සිරි පෙරේරා, නාලක අංජනකුමාර, දිනූෂ පීරිස්, අමරසිරි පීරිස් ඇතුලු ප්‍රවීන සංගීතඥයන් විසින් ‍නව ගී ඇල්බමය සඳහා සංගීතය නිර්මාණය කර තිබේ.

“මට ගුවන් විදුලියෙන් ආරාධනයක් ලැබුණා ‘හඳ මාමා’ වැඩසටහන් සංවත්සරයට සහභාගී වන ලෙසට. දන ගාද්දි ඇවිදින්නට ගීතය ගායනා කිරීමෙන් වසර ගනණාවකට පසුව මම එහි දී ගීත ගායනා කළා. එදා ලැබුණු ප්‍රතිචාරයෙන් නැවත ගීත ගායනා කළ යුතු යැයි මට සිතුනා.

වත්මන් ගී රැල්ලට හසු නොවී, 70 සහ 80 දශකයේ තිබුණු සංගීත රසය නැවතත් රසිකයින්ට අසන්නට සැළැස්විය යුතු යැයි මට සිතුණා. විශේෂයෙන්ම කිව යුතුයි මේ ගී ඇල්බමය නිකුත් කිරීමෙහි කිසිඳු වානිජ පරමාර්ථයක් මා තුළ නැති බව. නව ගී ඇල්බමයේ “අහස් වියන යට “ වෙනස් මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය වී තිබීම ද විශේෂත්වයක්.”

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා