යුග මෙහෙවරක පෙරටුගාමියා

යුග මෙහෙවරක පෙරටුගාමියා

කරුණාසේන ජයලත්

යුග මෙහෙවරක පෙරටුගාමී සෙන්පතියකුවූ වියත් ගත්කතුවර ප්‍රවීණ ලේඛක අදීන පුවත්පත් කලාවේදී කරුණාසේන ජයලත් සූරීන්ගේ 20 වැනි ගුණ සමරුව අගෝස්තු 24 වැනි (ඉරිදාට) යෙදේ. 1928 ජනවාරි 10 වැනිදා කුඹුකේදී ජන්මලාභය ලැබූ කරුණාසේන ජයලත් විවිධ ක්ෂේත්‍ර කීපයක නියුක්තව සිට 66 වැනි විය පසුකරද්දී අප කිසිවකු නොපැතූ අවස්ථාවක 1994 අගෝස්තු 24 වැනිදා වැලිගම්පිටිය ‘අමරජය’ නිවෙසේදී දැයෙන් සමුගත්තේ ය.

පාසල්වියේ පටන්ම අයුක්තියට, අසාධාරණයට එරෙහිව පොදු ජන අවශ්‍යතා උදෙසා පෙරමුණ ගත් ජයලත්ගේ මුළු ජීවිතයම ගෙවුණේ පොදු ජන අරගල‍යන් උදෙසාය. පාසල් වියේදී සමසමාජ ව්‍යාපාරයට බද්ධ වූ ඔහු හොරණ තක්ෂිලා විදුහල නිදහස් අධ්‍යාපනයේ හොරණ කේන්ද්‍රස්ථානය ලෙස ගොඩනඟන්නට අභීත මෙහෙවරක නියුක්ත වූයේය.

එවකට බී. ටී. එස්. පාසලක් වූ තක්ෂිලා විද්‍යාලයේ අධීපතිවාදී පාලනයට එරෙහිව ශිෂ්‍ය සටන් ව්‍යාපාරය මෙහෙයවූ ඔහු ,තක්ෂිලා මධ්‍ය මහා විදුහල ගොඩනඟා නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරමින් මුළු ප්‍රදේශයේම දරු දැරියන්ට නිදහස් අධ්‍යාපනයේ අරුණාලෝකය හිමිකර දෙන්නට පුළුල් මෙහෙවරක නියුක්ත වූයේය.

එහෙත් ඔහුට තක්ෂිලා මධ්‍ය මහා විදුහල සෙවණේ රැඳෙන්නට ඉඩකඩ අහිමි විය. මරදානේ පෙම්බ්‍රොක් පෞද්ගලික විද්‍යායතනයට ඇතුළත්ව ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදුර හදාරා, බාධක කම්කටොලු රාශියක් මැද පුවත්පත් කලා වෘත්තියට පිවිසියේ ය.

සූරියමල් ව්‍යාපාරය ඔස්සේ වමේ ගමන් මඟට බද්ධ වූ ඔහු ,හොරණ ප්‍රදේශයේ සමසමාජ නායකයන් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගනිමින් ධනපති විරෝධී, අධිරාජ්‍ය විරෝධී, රදල විරෝධී ජන අරගලය මුවහත් කළේය. 1947 පටන් පොදුජන අරගලයේ අසහාය නියමු‍වකු වූ ජයලත්,1956 පොදුජන විජයග්‍රහණය උදෙසා හොරණ ප්‍රධානව සමස්ත දේශයේම ජනතාවගේ පෙරමුණු බල ඇණිය සිය අභීත ලේඛන කලාවෙන් සහ චතුර කථිකත්වයෙන් සවි ශක්තිමත් කළේය.

“සිංහල ජාතිය”, “පෙරමුණ”, “සරසවි සඳරැස” පුවත්පත් මඟින් ආරම්භ කළ පුවත්පත් කලා වෘත්තිය ඔස්සේ ලංකාදීප පුවත්පතට බැඳුණු ඔහු ,වාර්තාකරුවකු, භාෂා පරිවර්තකයකු, විශේෂාංග ලේඛකයකු, සිනමා විචාරකයකු වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ අභීත ,අදීන ගමන් මඟකට පිවිස, නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස ලංකාදීප පුවත්පතෙන් මුළු මහත් ලංකාදීපය පුරා සදානුස්මරණීය නාමයක් ගොඩනඟා ගත්තේය.

අවිවේකී පුවත්පත් කලා වෘත්තියේදී ලැබුණු සුළු විරාමය තුළ නවකතා ‍ක්ෂේත්‍රයට පිවිසි ජයලත් ,1962දී සුගත් - දම්මි අනුවේදනීය පෙම් කතා පුවත “ගොළු හදවත” ඔස්සේ පාඨක ලෝකයට ‍ජනගත කළේය.

1962 වසරේ විශිෂ්ටතම නවකතාව වශයෙන් 1963දී රාජ්‍ය සම්මානය හිමි කරගත් ජයලත්ගේ ගොළු හදවත බොළඳ පෙම් කතාවක් ලෙස පේරාදෙණිය ගුරුකුලවාදින් නිර්දය විවේචනයට ලක් කළ බව අපි යළිත් සිහිපත් කරමු. පසුගිය පනස් වසර තුළ (1962 – 2012) ගොළු හදවත විශේෂයෙන් යොවුන් පරපුරට කෙතරම් සමීප වීද යත් දැනට 12 වැනි මුද්‍රණය ද පොත් අලෙවිසල් තුළ දක්නට ඇත්තේ ඉතා අහම්බෙනි.

ගොළු හදවත නිසා ඉදිරි ගමන් මඟකට පිවිසි ජයලත් ,අසූව දශකය වන විට නවකතා පොත් 15ක් ලාංකේය සිංහල නවකතා ‍ක්ෂේත්‍රය උදෙසා තිළිණ ක‍ළේය. ‘ගොළු හදවත’, ‘ගැහනු ළමයි’, ‘යහළු යෙහෙළි’, ‘රිදී නිම්නය’ පොත් හතරම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. “ගොළු හදවත”, “ගැහැනු ළමයි”, “රිදී නිම්නය” සිනමා පට වශයෙන් සුවිශේෂි ජනප්‍රියතාවකට බඳුන් විය; සුවිශේෂි ඇගයුම්වලට ලක් විය.

ජයලත්ගේ නවකතා සිංහල සාහිත්‍ය ‍ක්ෂේත්‍රය තුළ කෙතරම් ජනාදරයකට ලක්වීද යත්, ජයලත්ගේ අකුරු හයේ දරුවන් පහළොස් දෙනා අදත් එක ම පොත් අලෙවිහලකින් මිලදී ගැනීමට නැති බව පාඨකයෝ පවසති. ජයලත් 1967දී ‘සාහිත්‍ය කලාව සහ ජනතාව’ පොත ලියා අපේ රටේ සමාජ දේශපාලන සංස්කෘතික අරගලයේ මූල බීජ විවරණය කළේය.

බණ්ඩාරනායක දර්ශනය කාණ්ඩ දෙකක් යටතේ පරිවර්තනය කළ ඔහු ,‘චරකය සහ ගොයම් කෙත’ ද සිංහල පාඨක ජනතාවට හඳුන්වා දුන්නේය. 1990 දී ‘කාන්තා විමුන්ති අරගලය’ පළ කළ ජයලත් ,කාන්තාවන්ගේ ශ්‍රමය සූරා කෑම පිළිබඳ විමසුමක් කළේ ය. නූතන මහාවංසය, ජයලත්ගේ ජීවිත කතාව ආදී පොත් කිහිපයක් සිය ජීවිතයේ අවසාන භාගයේදී කරුණාසේන ජයලත් ලියමින් සිටියේය.

1967දී පමණ ලංකාදීපයෙන් ජයලත් ඉල්ලා අස්වූයේ ප්‍රතිගාමිත්වය විසින් ඔහුට කරන ලද සියුම් කෙ‍නෙහෙලි ඉවසා සිටීමේ සීමාව ඉක්මයාමත් සමඟ ය. ඉන්පසු ශ්‍රී. ල. නි. ප. යේ නිල පුවත්පත වූ සිරිලක පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ධුරය දැරුවේය. එතැන්හිදීත් ඔහුට බාධක රාශියකට මුහුණ දීමට සිදුවිය.

1984 ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ විය. ජයලත් උප සභාපති ධුරයකට පත් විය. නිල පුවත්පත වූ ‘දිනකර’ කර්තෘ ධුරය ඔහු හෙබවූයේ බාධක රාශියක් මධ්‍යයේ ය. ඉන් පසු ‘ඇස’ පුවත්පත්හි ප්‍රධාන කර්තෘ ධුරය දරා එතැනින් ද ඉවත් වූයේය. ඉන් පසු ඔහු පුවත්පත් කීපයකට සතිපතා නවකතා කීපයක් ලිව්වේය. නිදහස් මතධාරියකු ලෙස ජීවත්වූයේ ය.

1947 සහ 1952 මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වූ ජයලත් ,1956 ජන අර‍ගලය ශක්තිමත් කර විජයග්‍රහණය දක්වා ඉදිරි ගමන් මඟට දායක වූයේය. රයිගම්පුරවරය ප්‍රධානව හොරණ යූ. ඇන්. පී. විරෝධි බල කඳවුර ශක්තිමත් කළ ජයලත්ට 1965 මැතිවරණයෙන් හත් හවුල ජයග්‍රහණය කිරීමෙන් පසු බාධක කම්කටොලු රාශියකට මුහුණ පෑමට සිදුවිය.

1970 සමගි පෙරමුණේ විජයග්‍රහණය උදෙසා දීපව්‍යාප්ත මෙහෙවරක නියුක්ත වූයේ සිය අදීන චතුර කථිකත්වය උපයෝගි කර ගනිමිනි. එහෙත් ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ක්‍රියාත්මක කළ සූක්ෂ්ම කුමන්ත්‍රණයකින් ජයලත් සිරභාරයට පත්විය. 1971 අසාර්ථක කැරැල්ලට ජයලත් ද සම්බන්ධ යැයි රට පුරා ප්‍රචාරය විය. ඔහු වැලිකඩ සිරගෙදරින් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සිර කඳවුරට මාරු කළේය. මාස අටක් එහි දුක් ගැහැට මැද කල්ගෙවූ ජයලත් එම විරාමය තුළ ‘රිදී නිම්නය’ සහ ‘කුල කුමරියෝ’ නවකතාව ලියා හමාර කළේය.

ශ්‍රීලනිපයෙන් මහත් ප්‍රයෝජන ගත් බොහෝ දෙනා අවස්ථාවෝචිතට 1977දී කඳවුර මාරු කරද්දී ,ජයලත් සුපුරුදු ජනතාවාදී ගමන් මඟ ශක්තිමත් කරමින් ඉදිරියේ දී මුහුණ දෙන අනතුරට අභියෝගව මුහුණ දෙමින් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ ශ්‍රීලනිපයේ ප්‍රචාරක කටයුතු උදෙසා රට වටා ගියේය.

1977 ජූලි 22 වැනිදා පැවැති මහා මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.ප. ය අන්ත පරාජයකට ලක් විය. ජයලත්ගේ දේශපාලන ගමන් මඟ ආරම්භ කළ හොරණ ආසනය ද පරාජයට ලක්වීමත් සමඟ ජයලත්ගේ දේශපාලන සතුරෝ ජයලත් සොයා පොකුණුවිට ‘අමරජය’ නිවෙසට හඹා ආහ.

නිවෙස සහ පුස්තකාලයෙන් අඩක් ද ගිනිබත්විය. කලක් නිහඬව සිටි ජයලත් යළිත් ශ්‍රී ලංකා මහජන පක්ෂය සමඟ එක්ව එම පක්ෂයේ ජනතා ජයග්‍රහණය උදෙසා ඇප කැප විය. 1987දී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත් ජයලත් ,යළිත් දේශපාලන පිටියට අවතීර්ණ වූයේ 1994 මහා මැතිවරණයේදී ය. ජයලත් කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට ඔහුගේ හිත මිතුරෝ සැලසුම් කළ ද එම ප්‍රයත්නය ද අසාර්ථක විය.

නිදහස් කලා සන්ධානය සමඟ පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා රට වටා ගිය ජයලත්, 1994 අගෝස්තු 16 වැනිදා ලැබූ විජයග්‍රහණයෙන් අසීමිත සතුටක් ලබා ගත්තේ පොදු ජන කඳවුර යළිත් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය සිහිපත් කරමිනි. ගතවූයේ හරියට ම දවස් අටක් පමණි. හදිසියේ රෝගාතුරවූ ජයලත් 1994 අගෝස්තු 24 වැනි දින නිහඬව නික්ම ගියේ දහස් සංඛ්‍යාත හිතවතුන්ගේ උණු කඳුළු මධ්‍යයේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා