මං රටට නිවැරැදිව සේවය කළා

මං රටට නිවැරැදිව සේවය කළා

ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ
- කේ. ඩී. ආරියදාස

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 35ක කාලයක් සේවය කර ඇති කේ. ඩී. ආරියදාස මහතා එවකට උපකෘත පාසලක් වූ රත්නපුරයේ සීවලී විද්‍යාලයේ ගුරුවරයකු ලෙස අධ්‍යාපන සේවය ආරම්භ කළේය. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ ඒ මහතා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු දැරීය.

තරුණ වියේදී

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ ලේකම් ලෙසත්, පසුව විෂය මාලා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා ලෙසත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන්ද සේවය කළේය.

විවිධ ග්‍රන්ථ රැසක් ලියා පළකර ඇති ආරියදාස මහතා, 2001 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළමනාකරණ හා පුහුණු ගුරුවරුන්ගේ සේවාව පිළිබඳ ඒ මහතා ලියූ ග්‍රන්ථ යුනෙස්කෝව මගින් පිළිගෙන පළකර තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතියට සිතට එකඟව සියලු බලපෑම්වලින් මිදී විශාල සේවයක් කළ ඒ මහතා, 1979 වසරේදී රාජකාරිය ඉටු කිරීමට ඉදිරියට තවත් වසර 4ක් තිබියදී විශ්‍රාම ගැනීමට ගත් තීරණය එදා සිටි අධ්‍යාපන ඇමැතිවරයාට දුන් කනේ පහරකි.

සිය වරද නිවැරැදි කර ගෙන ඇමැතිවරයා ආරියදාස මහතාට යළිත් සේවයට ඇරැයුම් කළද එය පිළිගත්තේ නැත. පසුව ඒ මහතා පෞද්ගලික අංශයේ වසර 15ක සේවා කාලයක් ද ඉටු කර දැන් විශ්‍රාම ගොස් සිටී.

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බී. ඒ. ගෞරව පළමු පන්තියේ උපාධියක්ද, එම්. ඒ. (ශාස්ත්‍රපති) උපාධියක් ද, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (ලංකා) සහතිකයක් ද හිමි ආරියදාස මහතා දැනට 92 හැවිරිදි වියේ පසුවේ.

ආරියදාස මහතා සිය මතක සටහන් මෙසේ සිහිපත් කළේය.

“මම ඉගෙන ගත්තේ පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාල පද්ධතියට අයත් පිරිමි පාසලේ එහි කොලීජියට ගියේ වත්පොහොසත් කම් ඇති අයයි. Boys school නමින් හැඳින්වූ පිරිමි පාසලේදී මට වසර තුනකදී ඩබල් ප්‍රමෝෂන් ලැබුණු නිසා, කනිෂ්ඨ පාඨශාලා සහතික විභාගයෙන් සමත්ව කොලීජියට යාමට ශිෂ්‍යත්වයක් ලැබුණා.

එහිදී ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයෙන් පළමු පෙළ සාමාර්ථයක් ලබාගත් මම ලන්ඩන් ඉන්ටර් ආර්ට්ස් විභාගයට පෙනී සිටියේ තනිව පුද්ගලිකව අධ්‍යාපන කටයුතු කරලයි. පසුව මට ශාන්ත ජෝන් විදුහලේම ඉගැන්වීමට අවස්ථාව ලැබුණා.

රජයේ ලිපිකාර සේවා විභාගය සමත් වූ පසු ස්වදේශ කටයුතු භාර ඇමැති කාර්යාලයේ මාස කිහිපයක් සේවය කළා. ලන්ඩන් ඉන්ටර් ආර්ට්ස් විභාගයට මළ භාෂාවක් ඉගැනීම අනිවාර්ය වූ නිසා, මහානායක ධුරයට පත් ලබුගම ලංකානන්ද මාහිමියන්ගෙන් මම පාලි භාෂාව ඉගෙන ගත්තා. අනෙක් විෂයයන් වූයේ ගණිතය, යුරෝපා ඉතිහාසය හා සිංහලයි.

ඇබෑර්තුවක් ඇති බවට සඳහන් දැන්වීමකට අනුව අයදුම් කර මා රත්නපුරේ සීවලී විද්‍යාලයේ සිංහල හා පාලි ඉගැන්වූවා. ඒ 1944 සිට 47 යුද්ධ කාලයේ. කෞතුකාගාර පුස්තකාලය කොළඹ සිට පැල්මඩුල්ලට රැගෙන ඒම මට වාසනාවක් වුණා.

සෙනසුරාදා හා ඉරිදා මම පැල්මඩුල්ලට ගොස් පොත් කියැවූවා. මේ වනවිට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බී. ඒ. (ගෞරව) උපාධිය හදාරමින් සිටියේ. 1947දී මම උපාධිය දිනා ගත්තේ පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් සමඟයි. මෙය කිසිවකු අපේක්ෂා නොකළ තත්ත්වයක්.

මා ලද සමාර්ථය හා මගේ අධ්‍යාපන පසුබිම ගැන දන්වා ඒ කාලයේ ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටි ශ්‍රීමත් අයිවර් ජෙනිංස් මහතාට ලිපියක් ලියා ශාස්ත්‍රපති උපාධියට ඉගෙන ගැනීමට අවස්ථාවක් ඉල්ලා සිටියා. මට ඊට අවස්ථාව ලැබුණා. මෙහිදී, පසුකලෙක මහාචාර්යවරුන් වූ ඩී. ඊ. හෙට්ටිආරච්චි හා නන්දදේව විජේසේකර යන මහත්වරුන් ඇසුර මට බොහෝම ඉවහල් වූවා.

මේ වනවිට මුදල් අග හිඟකම් දැනෙන්නට වූ නිසා කොළඹ රැකියාවක් කළ යුතුය කියන අදහස ඇති වුණා. ඉංග්‍රීසි, සිංහල භාෂාවල හසල දැනුමක් ඇති අය ලේක්හවුස් ආයතනයේ ඩේලිනිව්ස් පුවත් පතට බඳවා ගන්නා බව සඳහන් දැන්වීමකට අනුව මමත් අයැදුම් කළා. සම්මුඛ සාකච්ඡාවකට කැඳවා තිබුණේ මමත්, ටාර්සි විට්ටච්චි මහතාත් පමණයි.

එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා අප ඩී. ආර්. විජේවර්ධන මහතා ළඟට රැගෙන ගියාම වැටුප කීයක් අපේක්ෂා කරනවාද කියා විමසීමක් කළා.

විට්ටච්චි මහතා පැමිණ සිටියේ බැංකුවක නිලතල අතහැර නිසා ඔහු දුන් පිළිතුරු සලකා බලා මුල් වැටුප ලෙස රුපියල් 430ක් ප්‍රමාණවත් ද කියා විජේවර්ධන මහතා ඇසුවා. ඒ 1947දී. ඉමහත් ප්‍රීතියට පත් අප ඊට කැමැති වූවා.

කිසියම් දිනෙක කර්තෘ ධුරයට පත් කිරීමේ අදහසින් මා ලේක්හවුස් ආයතනයට බඳවා ගත් බව තේරුම් ගියා. ලොකු මුදලක් ලැබුණත් ඉගැන්වීමට මා ප්‍රිය කළ නිසා, මා ගුරු පත්වීමක් ලබාගෙන නුගවෙල මධ්‍ය මහා විදුහලට පත්වීමක් ලබා ගෙන ගියා. එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා මගේ තීරණයට දොස් කීවා.

ඒ කාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වූයේ වොල්වින් ඒ. ද සිල්වා මහතායි. දිනක් මා උගන්වමින් සිටියදී පන්තියට පැමිණ මගේ සුදුසුකම් විමසා සිටියා. එතුමාත් පානදුර ශාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලබා තිබූ නිසා, සතුට පළ කළා.

දැන්වීමකට අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාඨශාලා පරීක්ෂක ධුරයකට අයැදුම් කළා. මා තෝරාගෙන පුත්තලමට පත්කළා. මේ වනවිට මගේ වයස අවුරුදු 25ක් පමණ ඇති. ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ පුත්තලමට විශාල පාසල් ප්‍රමාණයක් අයත් වුණා.

1950දී මා පානදුර මණ්ඩලයට මාරුකළා. ඊට පසු ගම්පහ කොළඹ වැඩ කළා. මම පුත්තලමේ සිටි කාලයේදී දිගන්නෑව පාසලට ගියා. වේලාව 11.30ට පමණ ඇති. යනකොට දකින්නට ලැබුණේ පාසලක් නොව, දන්සලක්. පාසල් දරුවන් ඉතා හොඳ එනම් බත් එළවළු සහිත ආහාර වේලක් කමින් සිටි නිසා, විදුහල්පතිවරයාගෙන් ඒ ගැන විමසුවා. මේ දුප්පත් ළමයි මොකුත් කාලා නොවෙයි එන්නේ. කෑම නැතිනම් ළමයින් එන්නෙ නැහැ.” කියා විදුහල්පති සේනාරත්න මහතා පිළිතුරු දුන්නා.

“බත් දෙන්න දෙපාර්තමේන්තුව මුදල් දෙන්නේ නැහැ නේද” කියා විමසූවිට “අපට ළමයින් නැහැ. අපේ කුඹුරුවලින් ගන්න හාල් මේ ළමයින්ට දෙන්නේ” කියා විදුහල්පතිවරයා කීවා.

පසුකලෙක කොළඹ අලුත්කඩේ විදුහලක විදුහල්පතිවරයකුට විරුද්ධව නාගරික මන්ත්‍රී ආර්. ප්‍රේමදාස මහතා එවා තිබූ පෙත්සමක් වි‍භාග කිරීමට ගිය විට එහි සිටියේ සේනාරත්න මහතායි.

පාසල් රජයට පවරා ගැනීමේ කටයුතුවලට සක්‍රීයව දායක වූණා. අපට තර්ජනත් තිබුණා. නමුත් එවකට අධ්‍යාපන ඇමැතිව සිටි බද්උද්දීන් මොහොමඩ් මහතා සෘජුව සිටි නිසා අපට ශක්තියක් වුණා.

අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස මාතර සේවය කළ සමයේ විදුහලක ලොග් ප්‍රශ්නයක් මතුවුණා. ප්‍රශ්නය විසඳීමට පරීක්ෂණයක් කිරීමට දින පැමිණි පණිවිඩකරුවෙක් පරීක්ෂණයට යාමට පෙර තමා හමුවීමට එන‍ ලෙස එවකට ඇමැතිවරයකු වූ මහානාම සමරවීර මහතා දන්වා සිටියා.

සිදුවන්නේ කුමක්දැයි අවබෝධ වීම නිසා මා ඇමැතිවරයා හමුනොවී විදුහලට ගොස් පරීක්ෂණය පවත්වා අවශ්‍ය පියවර ගෙන මාතර තානායමට පැමිණියා. ඇමැතිවරයා මුණ ගැසුනෙමි. ඇමැතිවරයා මා හඳුනා ගැනීමට හැකි තත්ත්වයක නොවූ අතර කිසිවක් විමසුවේද නැහැ.

එදිනට පසුවද මේ පිළිබඳ ඇසුවේ නැහැ. මා එදින ගත් ක්‍රියාමාර්ග නිසා මේ පාසල යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වූණා. මම හලාවත සිටියදී විදුහල්පතිවරයකුට පහරදුන් උප ගුරුවරයකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වලා, ඔහු මාරු කළා. ඊට එරෙහිව මේ චූදිත ගුරුවරයා සිය ඥාතියකු වූ හිටපු කථානායකවරයකු මගින් මට බලපෑම් කළා.

මා ඊට යටවූයේ නැහැ. පසුව මා කොළඹට මාරු කළද යළිත් අවස්ථාවක අධ්‍යාපන ඇමැති ඊරියගොල්ල මහතා මා හලාවත අධ්‍යක්ෂවරයා ලෙස පත් ක‍ළා. මට බලපෑම කළ දේශපාලකයා පසුව සුහදව කටයුතු කළා.

අධ්‍යාපන සියවස සැමරුම් උත්සවය සංවිධානය කිරීමේදී මට ඊරියගොල්ල ඇමැතිතුමා සමඟ ගැටෙන්න සිදු වුණා. වරක් ඇමැතිවරයා මගේ ඇඟට කඩාපැන්නා. ඊට හේතුව අනෙක් නිලධාරීන් මෙන් මා හවසට ඇමැතිවරයාගේ නිවෙසට නොයාමයි. නිලධාරින් එසේ නොකළ යුතු බවයි මගේ අදහස.

රාජකාරි අවශ්‍යතාවකට ‍හැර ඇමැතිවරයාගේ නිවෙස්වලට යාම සුදුසු නෑ. එහෙත් ඊරියගොල්ල මහතා දෙන නියෝග වැරැදි බව පෙන්වා දුන්විට, නිහඬව සිටි අතර, නිලධාරීන් පසුපස හඹා ගියේ නැහැ.

කළුතර අධ්‍යක්ෂවරයාව සිටියදී තැපැල් කාර්යාලවල පැවැති වැඩ වර්ජනයක් නිසා ගුරු වැටුප් ගෙවීම ප්‍රශ්නයක් වුණා. මම විදුහල්පතිවරුන් කැඳවා විදුහලේ සියලු ගුරු වැටුප් එක චෙක්පතක් මගින් ගෙවීමට පියවර ගත්තා. ඊට බැංකුවේද සහාය ලැබුණා.

මුදල් ගෙවීමේදී කිසිදු ප්‍රශ්නයක් ඇති වුණෙත් නෑ. ප්‍රධාන ගණකාධිකාරිවරයාගෙන් උපදෙස් ලබා නොගැනීම ගැන ප්‍රශ්න කළේ අනව‍ශ්‍ය වගකීමක් ගත්තේ ඇයි කියා විමසමිනුයි. මම ඔවුන්ට කරුණු පැහැදිලි කළා. පසුව මගේ ක්‍රියාව ප්‍රශංසා කර අමාත්‍යාංශයේ ලේකම් ඩී. ජී. දයාරත්න මහතා ලිපියක් නිකුත් කළා.

අගලවත්ත ප්‍රදේශයේ විදුහලක මුල් ගුරුවරයෙක් පැමිණ වෙනත් විදුහලක නමක් කියා ඊට මාරුවක් ඉල්ලා සිටියා. අසනීප තත්ත්වය නිසා කඳු නැගීමට නොහැකි බවට ඔහු කරුණු දැක්වූවා. කඳු පහළක විදුහලක් ලබාදීමෙන් පසු පැමිණි පිරිසක් ඇමැතිවරයා නියමයෙන් දී ඇති මාරුව වෙනස් කළේ ඇයි දැයි විමසුවා.

අපි බලාගන්නම් කියා මේ පිරිස් ගිය පසු ඊරියගොල්ල මහතාම දුරකථනයෙන් අමතා මම නියම කරන මාරු මගෙන් අහන්නේ නැතුව වෙනස් කරනවා නේදැයි ප්‍රශ්න කළා. විදුහල්පතිවරයා 55 හැවිරිදි හෘදයාබාධිත පුද්ගලයකු බව මා කීවිට, 55 ඉක්මවා සිටී නම් මාස 3ක් කල්දී ඔහු විශ්‍රාම ගන්වන්න කියා ඇමැතිවරයා අණ කළා.

මේ බව දැනුම් දුන් විට විදුහල්පතිවරයා හඬාවැටෙන්නට වුණා. ඇමැතිවරයාගේ අණ පසෙක දමා මේ විදුහල්පතිවරයාට පානදුරේ පාසලකට මාරුවක් හදා දී, ඉදිරියේ සිදු වන දේ පිළිබඳ බලා සිටියා. ඒත් ඇමැතිවරයා මේ පිළිබඳ පසුව විමසීමක් කළේ නෑ.

දිනක් රාජකාරි කටයුත්තකට විදේශගතව පැමිණෙද්දී, කටුනායක ගුවන්තොටුපොළේදී තවත් පිරිසක් මා අසලට පැමිණියා. තරුණයෙක් “මා හඳුනනවාදැයි” විමසුවා.

මා කිසිවක් කියාගත නොහැකිව සිනාසෙද්දි, ‘ආරියදාස මහතා තමයි මට මුල් පත්වීම දුන්නේ මං දැන් නියෝජ්‍ය ඇමැතිවරයෙක් කියා ඔහු කිව්වා. ශිෂ්‍ය ගුරු පත්වීමක් ලබා ගැනීමට හලාවත අධ්‍යාපන කාර්යාලයට පැමිණියාම සර් මගේ සුදුසුකම් බලලා එවේලේම මගේ අතට පත්වීම දී යන්න පාසලක් ලබාදුන්නා යැයි නියෝජ්‍ය ඇමැතිවරයා නිහතමානීව කිව්වා.

එම ප්‍රකාශය ගැන මට ඇත්තේ සතුටක්. මගේ එම ක්‍රියාව නිසා ගුරුවරුන්ට නිලධාරින් පසුපස යාමට අවශ්‍ය වුණේ නෑ. අත්දැකීම මත මා ගත් එම ක්‍රියාමාර්ගයට විරුද්ධවීමට කිසිම හේතුවක් තිබුණෙත් නෑ.

නිශ්සංක විජේරත්න මහතා ඇමැතිවරයා ලෙස සිටියදී පුද්ගලයන් මාරුකරන, වැඩ තහනම් කරන නියෝග පිළිබඳ ප්‍රශ්න මතුවුණා. ඇමැතිවරයකුගේ වැරැදි නියෝග පිළිබඳ කරුණු වටහා දී ඒවා නිවැරැදිකර ගැනීමට මම කටයුතු කළා. බොහෝ ඇමැතිවරු කරුණු පිළිගෙන වැරැදි නියෝග හකුලා ගත්තා.

එසේත් බැරිම අවස්ථාවේදී, විශ්‍රාම ගෙන ඉන් ඉවත් වුණා. ඇමැතිවරුන්ගේ අණ නොතකා අවදානමට මුහුණ දෙමින් ගුරුවරුන්ට අවැඩක් නොවන පරිදි හිතට එකඟව නිවැරැදිව ක්‍රියා කිරීම නිසා මට දීර්ඝායුෂ විඳීමට හැකියාව ලැබුණා.

එහිදී මගේ බිරිය හේමා ආරියදාස මහත්මියගෙන් ලද සහයෝගය මිල කළ නොහැකියි. පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ අධ්‍යාපනය ලත් ඇය ගුරුවරියක්. ඇය හමුවනතුරු විවාහ පත්වීම ගැන මා තුළ සිතුවිල්ලක් තිබුණේ නෑ. පුත්තලමේ සිට මා පානදුරයට මාරු කරන ලද්දේ ඇය මුණගැස්වීමටදෝයි මට නිතර සිතුණා.

දරුවන් සිව් දෙ‍නකුගේ පියකු වූ මා දරුවන් මුනුබුරන් පමණක් නොව මුනුබුරු මිනිපිරියන්ගේ දරුවන් දැකීමට තරම් වාසනාවන්ත වූයේ හිතට එකඟව නිවැරැදිව කටයුතු කළ නිසායි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා