අපේ තියරිය රඟ නොපා රඟපෑම

අපේ තියරිය රඟ නොපා රඟපෑම

ශමික දිල්හාන්, රෙජී චන්දිම

යොවුන් නාට්‍ය උළෙල 27 සිට 29 දක්වා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායමේ නවතම කර්තව්‍ය වන බ්ලැක් බොක්ස් යොවුන් නාට්‍ය උළෙල මේ මස 27,28,29 දිනවල පස්වරු 3.00ට සහ 7.00ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. නූතන ජර්මානු යොවුන් නාට්‍ය නිෂ්පාදන ත්‍රිත්වයක් රැගත් මේ නාට්‍ය උළෙලේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් වන ශමික දිල්හාන් සහ රෙජී චන්දිම මේ නාට්‍ය උළෙල පිළිබඳ ‘රසමංජරිය’ ට අදහස් දැක්වූයේ මෙසේය.

බ්ලැක් බොක්ස් යොවුන් නාට්‍ය උළෙලේ දී වේදිකා ගතවන නාට්‍ය මොනවාද?

‘ඔබ සහ මම’, ‘කැම් ඇන්ඩ් ප්‍රෙඩා’, ‘බොක්සර්’ කියන වේදිකා නාට්‍ය ත්‍රිත්වයයි මෙහිදී වේදිකා ගතවෙන්නේ. ‘ඔබ සහ මම’ කියන්නේ ingeborg von Zadow ’s ගේ Me & You කියන නාට්‍යයේ සිංහල පරිවර්තනයයි.

එය අධ්‍යක්ෂණය කරන්නේ ඩී.කේ. ආටිගලයි. ‘කැට් ඇන්ඩ් ප්‍රෙඩා’ කියන්නේ ingeborg von Zadow ’s ගේ Katte & Freadha නාට්‍යයේ පරිවර්තනයක් වන අතරම එය අධ්‍යක්ෂණය කරන්නේ ශාමික දිල්ශාන්. අනෙක් නාට්‍ය වන්නේ The Hart of Boxer නාට්‍ය ඇසුරෙන් රෙජී චන්දිම කරන ලද බොක්සර් නාට්‍යයයි. මේවා පිළිවෙළින් 27,28,29 කියන දිනවලදී වේදිකා ගත වෙනවා. මේ සියලුම නාට්‍ය පරිවර්තනය කරන ලද්දේ ජර්මානු නාට්‍ය ආශ්‍රයෙන්.

යොවුන් නාට්‍ය නිෂ්පාදන ලෙසින් කරළියට පිවිසෙන අපගේ මේ නිර්මාණ එළි දකිනතුරු අප සිටින්නේ නොඉවසිල්ලෙන්. ඒ වගේමයි මේ නාට්‍ය ත්‍රිත්වය අපට ලෝකයේ ඕනෑම රටකට ගිහින් පෙන්වීමටත් හැකියි. ඒ සඳහා අවසරය ලැබීම අප ලැබූ ජයග්‍රහණයක්.

නවක අධ්‍යක්ෂවරු ලෙස බ්ලැක් බොක්ස් වේදිකාවේ කටයුතු කිරීමේ දී ඔබ මුහුණ පෑ ගැටලු මොනවාද?

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ ප්‍රොසීනියම් වේදිකාව මත කෙරෙන රංගනය නරඹන්නයි. නමුත් බ්ලැක් බොක්ස් වේදිකාවේදී සිදු වෙන්නේ ප්‍රේක්ෂකයා හා රංගය අතර ඇති හිඩැස අවම කිරීමයි.

එතනදි අපි කරන දේ ප්‍රේක්ෂකයාට සමීපව දැනෙනවා. එහි වේදිකා රංගනයේදී අපි භාවිත කරන්නේ රඟ නොපා රඟපෑම කියන නන් ඇක්ටින් මෙතඩ් එකයි. මේ නිසා නළු නිළියන්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් මේ ක්‍රමය අලුත්ම අත්දැකීමක්. ඒ වගේම මේ ප්‍රේක්ෂාගාරයක ඉන්නේ ප්‍රේක්ෂකයන් සියයක් පමණ කුඩා පිරිසක්.

එතනදි අපට කතා කරන්නට වෙන්නේ ඔවුන්ටයි. ඒ විතරක් නෙවෙයි අධ්‍යක්ෂකවරු විදියට අපිටත් ඒක අලුත් අභියෝගයක් වුණා. මෙතෙක් කල් ප්‍රොසීනියම් වේදිකාවත් සමඟ කටයුතු කළ අයව කොහොමද බ්ලැක් බොක්ස් වේදිකාවට රැගෙන එන්නේ කියන අභියෝගය අපට තිබුණා.

ඒ වගේම මේ නාට්‍යවලට අප නළු නිළියන් තෝරා ගත්තේ වැඩමුළුවක් තියලා. අපට ඔවුන්ව මේ වේදිකාවට අනුගත කිරීම ලෙහෙසි පහසු වුණේ නැහැ. අවසානයේ අපට තරමක් හෝ ඒ පිළිබඳ ජයක් අත්කර ගැනීමට හැකි වූ බවක් සිතෙන්නේ මේ නාට්‍ය දෙස හැරී බලන මොහොතෙයි. අනෙක් කාරණය වෙන්නේ අධ්‍යක්ෂණය කියන්නේ අපට නුහුරු නුපුරුදු කාර්යයක් වීමයි.

මේ නාට්‍ය උළෙලට ජර්මානු නාට්‍ය පමණක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?

ලංකාවේ ඉන්න අපට ලෝකයත් සමඟ ගනුදෙනු කරන්න හැකි වෙන්නේ සෆීර් සර් නිසා. ඒ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල ඔස්සේයි. ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ජර්මානු නාට්‍යකරුවන්ගේ නාට්‍ය පිටපත් ලබා දෙන්නේ මේ හරහායි.

ඒ ලැබුණු පිටපත් අපට ලබා දෙන්නට අපේ ගුරුතුමා තීරණය කරනවා. ඒ විදියටයි ජර්මානු නාට්‍ය අපට ලැබෙන්නේ. අධ්‍යක්ෂණය ගැන සිහින දකිමින් සිටින අපට මේ තීරණය අපූරු අවස්ථාවක් උදා කළා.

ඒ වගේම මේ නාට්‍ය පිටපත්ම තෝරා ගැනීමට හේතුවුණු අනෙක් කාරණය වෙන්නේ නාට්‍ය පුහුණුවීම් මධ්‍යස්ථානයයි. අද වනවිට ලංකාවේ නාට්‍ය පුහුණු වීම් කරන්න ස්ථානයක් නොමැති අවස්ථාවක පුහුණුවීමේ මධ්‍යස්ථානයක් විදියට ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය අපට ලැබෙනවා.

ඒ නිතරක් නොවෙයි නාට්‍ය උළෙල තැබීමටත් ඒ ස්ථානයම නොමිලේ ලබාදීමත් අගය කළ යුත්තක්. සෆීර් සර් මේ ස්ථානයත් සමඟ කටයුතු කරන්නේ වසර දාහතරක් තරම් කාලයක සිටයි. ඒ කාරණාත් සමඟ ලැබුණු මේ අවස්ථාව ඔහු අපට ලබා දෙනවා. ඔහු මේ නාට්‍ය උළෙල හරහා පසු පෙළක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම තරුණ පරපුරට අතදීමක් ලෙසයි ඔහු මේ කටයුතුවල නියැළෙන්නේ.

මේ නිර්මාණ අපේ සමාජයට අදාළ වෙන්නේ කොහොමද?

මේ නාට්‍ය ත්‍රිත්වයෙන්ම කතාබහට ලක්වෙන්නේ තරුණ ගැටලු පිළිබඳයි. අද බොහෝ විට නොවන දෙයක් ලෙස අප දකින්නේ තරුණයන් හා ඔවුන්ගේ ගැටලු ඉලක්ක කර ගනිමින් නිර්මාණ බිහිවීමයි. ඒ නිසා මේ නිර්මාණ කුමන රටකට අයත් වුවත් යෞවනයන් නියෝජනය කිරීමම අපේ සමාජයට ගැළපීමට ඇති මූලික හැකියාව ලෙසයි අප දකින්නේ. අවසානයේ අපට කියන්නට තිබෙන්නේ එන්න අප සමඟ එකතුවෙලා යෞවනයන්ගේ ගැටලු පිළිබඳ කතා කරන යොවුන් නාට්‍ය උළෙල නරඹන්න කියලයි. ඒ අලුත් අත්දැකීම විඳගන්න කියලයි.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා