රටට පත දුන් එච්. එස්. පෙරේරා

රටට පත දුන් එච්. එස්. පෙරේරා

පුවත්පත් කලාවේදියකු වීමේ සිහිනය අතර සැරිසරමින් සිටි හීන්දෑරී තරුණයෙක් පිටකොටුව බෞද්ධ මන්දිරයේ මහ පඩි පෙළ නැග උඩුමහලට ගොඩ විය. පෙනුමෙන් උඩරැටියකු නොවූවද ඔහු ආයේ මහනුවර අම්පිටියේ සිටය. උඩු රැවුල යන්තම් වැවී තිබේ. පස් විසි විය පසු කොට නැති තරම්ය. තමන් කැඳවනු ලැබූ විදුලි පණිවිඩය පාමින් ඔහු හඬ අවදි කෙළේය.

....කොළඹ දී වේලක් හැර වේලක් කන්න දීමනාවකුත් බූරු ඇඳක් එළාගන්න පුළුවන් තරමේ කාමරයකට කුලියත් ලැබුණාම ඇති...

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම් ප්‍රධානීන් තරුණයාගේ ඍජු ප්‍රකාශයෙන් අමන්දානන්දයට පත් වූ සෙයකි. දෙවරක් සිතන්නටවත් කල් ගත නොකළ ඔවුහු සරසවි සඳරැස පුවත්පතේ කළමනාකාර ධුරයට ඔහු පත් කිරීමට ඒකමතිකව තීන්දු කළහ.

දිනමිණ මංගල පත්‍රයේ මුල් පිටුව

1893 වසරේ බක්මහේ දිනෙක වූ මේ සංසිද්ධිය අපට ඓතිහාසික වශයෙන් වැදගත් වනුයේ එය මෙරට පුවත්පත් කලා ඉතිහාසයේ අතිදැවැන්තයෙකුගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කළ බැවිනි.

ඔහු අනෙකකු නොව දිනමිණ පුවත්පතේ නිර්මාතෘ සහ ප්‍රථම කර්තෘවරයා වූ හේමේන්ද්‍ර සේපාල පෙරේරාය.

එච්. එස්. පෙරේරා නමින් වඩා ප්‍රකට මේ පුරෝගාමී පුවත්පත් කතුවරයා ගේ පරපුර පෙර රජ දවස කඩුවෙන් හරඹ පෑ රණසුරුවන් බවට ඉතිහාසගතය.

ඔහුගේ මුතුන් මිත්තෝ පුරාණ සිංහල රජුන්ගේ හේවා හමුදාවේ ප්‍රධාන මුලාදෑනිකම් දැරුවෝ වෙති.

මුල් ගම ලෙසින් සඳහන් වන්නේ කොළඹට නුදුරු හංවැල්ලය. එච්. එස්.ගේ මීමුත්තා අභයකෝන් සහබන්දු ජයවීර සේනානායක මන්ත්‍රීශ්වරයා පරංගීන් හා සටනේදී සිංහල හමුදා මෙහෙය වූ අති දක්ෂ සෙන්පතියෙක් වීලු.

එහෙත් ලක්දිව ඕලන්ද ප්‍රතිකාල් බලය වර්ධනය වීමත්් සමඟ ම බොහෝ දෙනකු මෙන් ඔහුගේ මුනුපුරෙක් ද කිතු දහම වැළඳ වෙලුන් පෙරේරා යන අපර නාමය ගෙන මහනුවර අම්පිටියේ පදිංචියට ගියේය. ඔහුගේ පුත් ජොහානස් පෙරේරා අප කථානායක එච්. එස්. පෙරේරාගේ පියාණන්ය.

පවුලේ කුළුඳුල් දරුවා ලෙසින් 1868 නොවැම්බර් 22 වැනිදා මෙලොව දුටු එච්. එස්ට වූයේ එක් බාල සොයුරියක පමණි. මහනුවර මධ්‍යම උසස් පාසලින් අකුරු කළ ඔහු අනතුරුව මහනුවර අධිකරණයේ ලිපිකරුවකු ලෙස සේවයට එක් විය.

උපතින් ක්‍රිස්තු ලබ්ධිකයකු වුව එම ඉගැන්වීම් පිළිබඳ සැක සංකා පළ කළ එච්. එස්. තරුණ වියේදීම බුදුදහම වැලඳ මහනුවර පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ උද්යෝගීමත් සාමාජිකයෙක් බවට පත්විය.

කිතු සමයේ නිස්සාරත්වය හුවා දක්වමින් සරසවි සඳරැස පුවත්පතට නිතර නිතර ලිපි සැපයූ මේ ද්වී භාෂික උගතා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ අවධානයට ලක්වීම පුදුමයක් නොවේ. සඳරැස ප්‍රධානීන් මුණ ගැසීමට කොළඹ පැමිණෙන්නැයි ඔහුට විදුලි පුවතක් ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

පුවත්පත් කලාව කෙරෙහි තුබූ කැමැත්තේ බලවත්කම නිසාම මහනුවර පදිංචිය අතහැර අගනුවර පැළපදියම් වන එච්. එස්. සඳරැස කළමනාකාරධුරයට පත්ව මුලින් කෙළේ පත්‍රයේ ප්‍රමාණය සහ එහි මුද්‍රණ පිළිවෙළ වෙනස් කිරීමයි.

අත්හදා බැලීම සාර්ථක වූයේ ඔහුගේ කළමනාකරණ නිපුණතාව ප්‍රකට කරමිනි. එහි අනිවාර්යය ප්‍රතිඵලය 1903දී හෙතෙම සඳරැස කර්තෘ ධුරයෙන් පිදුම් ලැබීමයි. දේශපාලන ක්‍රමාදිය සම්බන්ධව ලිවීමෙහි කීර්තිධර එච්. එස්ගේ සම්ප්‍රාප්තියත් සමඟ ම පත්‍රයේ අලෙවිය පිටපත් 5000ක් දක්වා ඉහළ නැංගේය.

එහෙත් කල් යත්ම පරම විඥානාර්ථ බෞද්ධ සංගම් ප්‍රධානීන් හා මත ගැටුමක පැටළෙන ඔහුට සඳරැස හැරපියා යන්නට සිදුවේ. පරම විඥානාර්ථ බෞද්ධ සංගමේ බල අරගලය පිළිබඳ ඒ කතාන්තරය අපට වැදගත්ය. මන්ද යත් දිනමිණ උත්පත්තියේ පසුබිම් කතාව ද එය වන බැවිනි.

1909 නොවැම්බරයේ පැවති කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමෙන් පසු - ඉන්ඩිපෙන්ඩන්ට්- පත්‍රයේ ඒ පිළිබඳ වාර්තාවක් පළ කෙරිණි. සොයිසා - ජයතිලක සටනින් ජයතිලක පරාජය වූ බව කියැවුණු එම ප්‍රවෘත්තිය අපහාසාත්මක ස්වරූපයක් ගත්තේය.

දිනමිණ ප්‍රථම කර්තෘ එච්. එස්. පෙරේරා

මෙකල සඳරැසෙහි ඉංගී‍්‍රසි පිටුව සංස්කරණය කළ බාරොන් ජයතිලක මීට පිළිතුරු ලිපියක් සකස් කොට මුද්‍රණ ශිල්පී ඒ. බී. පීරිස් අතට දෙන ලෙස පවසා හිතවතකු අත යැවීය. පීරිස් නොවූයෙන් ඔහු එය සඳරැස කළමනාකරුට බාර දී පීරිස්ට දෙන ලෙස පවසා ආයේය.

මෙය ජයතිලකගේ ඉංගී‍්‍රසි පිටුවේ ලිපියක් බව දත් කළමනාකරු එය අකුරු ඇමුණුම් අංශයට යැවීමේ අරමුණින් කියවා බැලුවේය. සමාගමේ ලේකම් රොබට් ද සොයිසාගේ හිතවතකු වූ ඔහු ලිපියේ අන්තර්ගතය පිළිබඳ ලේකම්වරයා දැනුවත් කිරීමට ද අමතක නොකළේය.

සොයිසාගේ ක්ෂණික තීරණය වූයේ ලිපිය පළකිරීම අත්හිටු විය යුතු බවයි. නොබෝ වේලාවකට පසු කාර්යාලයට ආ එච්. ඇස්ට මේ කාරණාව දැනගැනීමට ලැබුණු අතර කර්තෘ හා පත්‍රය අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන්නා ලෙස මීට බලවත් විරෝධය පෑ ඔහු පත්‍රය මුද්‍රණය කිරීම වහා නතර කෙළේය.

එදින රාත්‍රී බෞද්ධ මන්දිරයට රැස් වූ පරම විඥානාර්ථ සමාගම් නිලධාරීහු එච්. ඇස්. සඳරැස කර්තෘධුරයෙන් පහ කිරීමට තීන්දු කළහ.

හිස මත හදිසියේ කඩා වැටි මේ අලකලංචියෙන් අකම්පාල නොවූ එච්. එස්. නව ජවයකින් නැඟී සිටීමට පිඹුරුපත් සකස් කෙළේය.

සිය කල්‍යාණ මිත්‍ර අධිනීතිඥ ඩී. බී. ජයතිලකයන් සමඟ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට පැමිණි ඔහු එවක එහි අධිපතිව වැඩ හුන් ප්‍රමුඛ පෙළේ පැවිදි පඬිවරයාණ නමක වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම මාහිමියන් බැහැ දැක අලුත් පුවත්පතක් ඇරැඹීමේ අදහස හෙළි කෙළේය.

සිංහල ශබ්ද ශාස්ත්‍රයටත් අක්ෂර විද්‍යාවටත් අනුකූල වූ ද පුවත්පතකට අන්වර්ථ වන අන්දමේ අරුතකින් යුක්ත වූ ද දිනමිණ යන නම ඊට යෝජනා කළෝ උන්වහන්සේය.

දිනමිණ ප්‍රථම පත්‍රයේ සියලු කටයුතු සිදු කෙරුණේ ප්‍රවීණ නැකැත් ඇදුරන්ගේ හා පඬි හිමිවරුන්ගේ උවදෙස් පරිදිය. අකුරු ඇමිණීම, යන්ත්‍රගත කිරීම, යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමාදිය සියල්ලේදී පුරාණ චාරිත්‍රවිධි අනුගමනය කෙරිණි.

මුල් ම කතුවැකිය ලියන ලද්දේ ද ඉෂ්ටාර්ථ සිද්ධිය සැලසෙන අක්ෂරයකිනි. බොරැල්ල කනත්ත සමීපයේ වැඩහුන් තංගල්ලේ නායක හිමියෝ නැකැත් සාදාදීමෙහි යුහුසුලු වූහ.

ඒ අනුව සුබ නැකැතින් දි න මි ණ යන අකුරු සතර අමුණන ලද්දේ කැලණිය හුනුපිටියේ ඒ. බී. පීරිස් විසිනි. හුනුපිටිය විජයසුන්දරාරාම විහාරස්ථානයේ භක්තිමත් දායකයකු හා ඩී. බී. ජයතිලකගේ සමීපතමයකු වූ පීරිස් මුලින් වැඩ කෙළේ සරසවි සඳරැසේ මුද්‍රණ ශිල්පියා වශයෙනි.

එච්. ඇස්. සඳරැසින් ඉවත් කිරීමත් සමඟම ඉන් එළියට ආ ඔහු එතැන් සිට විසි වසකට ආසන්න කාලයක් පුරා දිනමිණට සිය දායකත්වය සැපයීය.

කොළඹ පළමුවැනි හරස් වීදියේ නොම්මර 29 දරන ලිපිනයේ වූ රොබට් බටුවන්තුඩුවේ මහතාට අයත් ලංකාභිනව විශ්‍රැත යන්ත්‍රාලයේ දිනමිණ මුද්‍රණය වූ අතර, 1909 දෙසැම්බර් 17 වැනිදා සිකුරාදා පත්‍රයේ මංගල කලාපය නිකුත් කෙරිණි. එය අඟල් 19½ය13 ප්‍රමාණයේ පිටු හතරකින් යුක්තය. පිටපතක් සත තුනකි. අවුරුද්දකට දායක මිල රුපියල් අටකි.

සැමවිටම කාලයට ඉදිරියෙන් සිටි පත්‍ර කර්තෘවරයකු වූ එච්.එස්.ගේ අදහස වූයේ හැකිතාක් අඩුමිලට මහජනයා අතට පුවත්පතක් ලබාදීමය. පාඨකයා පුවත්පතේ ජීවනාලිය යන්න ඔහු තරයේ ඇදහූවක් විය. 1910 ජනවාරි 31 දා සඳුදා දිනමිණ තුන්වැනි පිටුවේ පළවූ නිවේදනයක් මෙසේය.

“අද පත්‍රයට පිළියෙල කළ දැන්වීම් හා ආරංචි කීපයක් ඉඩ නොමැත්තෙන් අනික් පත්‍රයට තබන්නට සිදුවිය. පිටකොටුවේ පෙරහර විස්තරය ද හෙට පත්‍රයේ ප්‍රසිද්ධ කරනු ලැබේ.

එස්.එච්.හැමවිට ම කල්පනා කළේ පාඨකයාගේ පැත්තේ සිටය යන්නට මීට වැඩි නිදසුනක් වුවමනා නොවේ.

වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ස්වාධීන හා ප්‍රවෘත්ති පත්‍රයක තිබිය යුතු සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ වූ පුවත්පතක් බිහිකිරීමට දිවා රෑ වෙහෙසුණු එච්.එස්. තම කාර්ය භාරය ඉන් හමාරය යැයි සිතා අත පිසදාගන්නා වර්ගයේ පත්‍ර කර්තෘවරයෙක් නොවීය.

තම දහදිය මහන්සියේ ප්‍රතිඵල රැගත් පුවත්පත කලට වේලාවට මහජනයා අතට පත්වන්නේ ද යන්න ගැනත් ඔහු නිරන්තර අවධානයෙන් යුතුවිය.”

“කොළඹ පළාතේ අප දායක මහතුන්ගේ පත්‍රය සැමදා උදය කාලයේ ලැබිය යුතුය. යම් කෙනෙකුට පත්‍රය ප්‍රමාදව ලැබුණු විට කරුණාකර අප වෙත ඒ බව දන්වන මෙන් ඉල්ලමු.”

මුල්කාලීන ‘දිනමිණ’ පුවත්පත අතර නිරතුරුව ඇස ගැටෙන මේ නිවේදනයෙන් පුවත්පත් කතුවරයකු මතු නොව පුවත්පත් කළමනාකරුවකු ලෙසින් ද එච්.එස්. ලබාසිටි පරිචය විශද කෙරේ එකල විසිතුන් ලක්ෂයක් පමණ වූ සිංහල ජන සමූහයා කෙරෙහි ඔහු තැබූ මේ අචල විශ්වාසය පාඨකයෝ ද ඒ අයුරින් ම සුරකිමින් ද ඉතා කෙටිකලකදී ම දිනමිණ වටා රොද බැඳ ගත්හ.

පත්‍රයේ අලෙවිය දිනෙන් දින ඉහළ ගිය අතර සය මසක් ගතවීමට මත්තෙන් ආණ්ඩුවේ ඒ ඒ දෙපාර්තමේන්තුවලින් දැන්වීම් පවා ලැබීම එහි ශීඝ්‍ර වර්ධනය කියාපායි.

එච්.එස්. ගේ ජයග්‍රහණ එපමණකට සීමා නොවේ. තමන් අත්තනෝමතික ලෙස සඳ රැසින් ඉවත් කිරීම අභියෝගයට ලක්කළ ඔහු ඊට එරෙහිව නඩු මඟට පිවිසියේ ය. හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධනගේ පියාණන් වූ එවක කොළඹ දිස්ත්‍රික් උසාවියේ විනිශ්චයකාර තැන්පත් රාජනීතිඥ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා හමුවේ නඩුව අඬ ගැසිණි.

සඳරැස කතු පදවියෙන් නෙරපා හැරීමෙන් එච්.එස්.ට සිදුව ඇති අපහාසය බලවත් බවත් ඊර්ෂි්‍යා සහගත බවත් තීන්දු කළ අධිකරණය ඊට අලාභ වශයෙන් රුපියල් 150ක මුදලක්ද නඩු ගාස්තුද ගෙවන ලෙස විත්තියට නියම කළේය.

මෙරට බෞද්ධයන්ගේ සම්මාදමින් ගොඩ නැගුණු පරම විඥානාර්ථ සමාගමේ වන්දි මුදල් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම පිළිකෙව් කළ එච්. එස්. එය අනුරාධපුර රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණ අරමුදලට පරිත්‍යාග කෙළේ තමා සටන්කාමී පුවත්පත් කතුවරයකු මතු නොව ප්‍රතිපත්තිගරුක බෞද්ධයකු බව ද විදහා පෙන්වමිනි.

එහෙත් දෛවයේ සරදමකට මෙන් මේ අසහාය පුවත්පත් කලාවේදියා 1914 ජුනි මාසයේදී රාජකාරියට පැමිණිය නොහැකි තරමට ගිලන් වූයේය. ලෙඩ ඇඳේ සිටියදීම විදුලි පුවත් ආදිය එවීම මඟින් පුවත්පතේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම ඔහුගේ චිත්ත ධෛර්යය කියාපායි.

එකල ආරම්භ වී තිබූ මහ යුද්ධයෙන් පසු යුරෝපයේ ලේ වැගිරීම, මැයෙන් ලෙඩ ඇඳේ සිටියදීම අංක පිළිවෙළින් ලිපි පෙළක් සම්පාදනය කළ ඔහුට එය නතර කිරීමට සිදුවූයේ වෛද්‍ය උපදෙස් නිසාය.

එහෙත් ඔහු නොදැනීම රෝගය දිනෙන් දින උත්සන්න වූ අතර ඒ හැමකකටම වඩා ආර්ථිකය පිරිහීම හේතුවෙන් දිනමිණ සුපුරුදු පරිදි කරගෙන යාම දුෂ්කර කටයුත්තක් බවට පත්වෙමින් තිබුණි.

කවදත් දිනමිණට ඇලුම් කළ ඩී. බී. ජයතිලක අත්වන්නට යන ඉරණමෙන් එය ගලවා ගැනීමට මෙහිදී පෙරට ආයේ ඉටු දෙවියකු ද කැඳවා ගෙනය. ඔහු ඩී. ආර්. විජයවර්ධනයන්ය. එච්. ඇස්. ගොදුරු වී සිටි රෝගී තත්ත්වයත්, ඔහුගේ ආර්ථික අපහසුතාවත් සැලකිල්ලට ගත් ඩී. බී. දිනමිණ මිල දී ගැනීමට ඩී. ආර්. පොළඹවාලීය. එය දිනමිණේ නව යුගයක ආරම්භය විය.

මෙරට පුවත්පත්කලා ඉතිහාසයේ යෝධ පිම්මක පළමු පියවර තැබූ දුන් එච්. එස්. 1914 දෙසැම්බර් 10 වැනිදා අලුයම 2.20ට සදහට ම නෙත් පියා ගත්තේ සිය පුරෝගාමී මෙහෙවරින් ඉසුඹු ලබමිනි.

දෙසැම්බර් 12 වැනිදා සෙනසුරාදා පස්වරුවේ ඔහුගේ මෘතදේහය ශෝභමාන පෙට්ටියක බහා සුදු අශ්වයකු යොදන ලද රථයකින් බෑන්ඩ් තූර්ය සහිතව කොළඹ කනත්ත සුසාන භූ®මියට රැගෙනවිත් අවසන් කටයුතු සිදු කෙරුණි.

සියම් අමරපුර දෙනිකායෙන් භික්ෂුන් වහන්සේ 25 නමක් ආගමික වතාවත් සඳහා වැඩම කොට සිටි අතර බෝරුක්ගමුවේ රේවත මාහිමියෝ මහසඟරුවන වෙනුවෙන් අනුශාසනාවක් පැවැත් වූහ. ඩී. බී. ජයතිලක, පියදාස සිරිසේන, පී. බී. රත්නායක යන විද්වත්හු අවමඟුල් සභාව ඇමතූ අය අතර වෙති.

සම්පත් දිප්පිටිගොඩ

හැඳල රණවක ආරච්චිගේ අල්විස් ජයතිලක මහතාගේ දියණිය සමඟ විවාහ වී සිටි එච්. ඇස්. ට වූයේ දූවරුන් දෙදෙනෙකි. ඔහුගේ අභාවය පිළිබඳ වාර්තා කළ පුවත්පත් මේ කාරණය සිහිපත් කරමින්, එනම් ඔහුගේ පරම්පරාව පෙරට ගෙන යාමට සහ ලේ නෑයකු නොමැතිවීම සංවේගයට කරුණක් සේ විශේෂයෙන් දක්වා තිබිණි.

සිය ගෝත්‍ර නාමය පෙරට ගෙනයාම සඳහා පුත්‍ර ලාභයක් නොලැබූවද සියවස් ගණනාවක් පුරා සිය ශ්‍රී නාමය පවතින අයුරින් පුත්‍රරත්නයක් ඇතිදැඩි කොට හදා වඩා ගැනීමට එච්. ඇස්. සමත්වූයේය.

ඒ අද මෙරට ජනී ජනයා අතර දිවමතුරක් බවට පත්ව ඇති දිනමිණ දිනපතා ප්‍රවෘත්ති පත්‍රයයි. ඔහුගේ දහදිය කඳුළ සිනහව හා දිරිය ලියැවුණු දිනමිණ තිබෙන තුරා එච්. ඇස්. පෙරේරා නාමයද සදාකල්හි නොමැකී පවතින බවට සැකයක් නැත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්