‘දිනමිණ’ කතන්දරේ

‘දිනමිණ’ කතන්දරේ

සාමාන්‍යයෙන්, පුවත්පතක් මුද්‍රණ වාර කීපයක්වෙයි. ‘දිනමිණ’ ද ප්‍රාදේශීය මැදියම් හා අළුයම් වශයෙන් මුද්‍රණ තුනකි. කොළඹ හා ඒ අවට රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ සිදුවන සිදුවීම් බොහෝවිට එකතු වන්නේ අළුයම් මුද්‍රණයට ය. රාත්‍රී කර්තෘ මණ්ඩලය වෙහෙසවන්නේ මේ අළුයම් මුද්‍රණය සඳහා ය.

ජරකථනය නොනවත්වා නද දෙයි. නෙත යොමාගෙන සිටින ලියැවිල්ලෙන් හිස නොඔසවාම රිසිවරය ගන්නා ප්‍රවෘත්ති කර්තෘවරයා ඊට සවන් දෙයි. එහා කෙළවරින් ඇසෙන ආරංචියෙන් ඔහුගේ දැහැන බිඳෙයි. ඊළඟට ඔහුගෙන් විධානයකි.

‘රත්මලානේ බෝම්බයක් පුපුරලා ඔයා ඉක්මනට එතනට යන්න’

ඒ විධානයෙන් ඉක්මන් වන මාධ්‍යවේදියෙක් සහ ඡායාරූප ශිල්පියෙක් කඩිමුඩියේ සිද්ධිය වූ ස්ථානයට යෑමට පිටත් වෙති. ඇතැම් මාධ්‍යවේදියෙක් තවත් දුරකථනයෙකින් ප්‍රවෘත්තියක් පිළිබඳ තොරතුරු විමසති. ඇතැමෙක් කිසිවක් ලියති. අධිකරණයට රෝහලට මාධ්‍ය සාකච්ඡාවලට ගිය මාධ්‍යවේදීහු ද ඡායාරූප ශිල්පීහු ද දහවල් වන විට කාර්යාලයට පැමිණෙති. ඔවුන්ගේ පෙනුම විටෙක විඩාබරය. තවත් විටෙක ජයග්‍රාහී සතුටු සිනාවකි. ගිය කාර්යය, ලැබුණු ප්‍රවෘත්තිය අනුව ඒ ඒ අවස්ථා වෙනස් වේ. මේ සියල්ල අතරේ ගලා යන විහිලු තහලු සතුටු සිනා මෙන් ම ඇතැම් විට කෝපය උපහාසය මුසු දෑ ද විරල නොවේ.

මේ සාමාන්‍යයෙන් දිනපතා පුවත් පතක ප්‍රවෘත්ති අංශයේ වැඩකටයුතු කෙරෙන ආකාරයය. තොරතුරු සොයා නොයෙක් තැන්වල ගොස් දහවලේ ආපසු කාර්යාලයට එන මාධ්‍යවේදීන්ට හොඳ ප්‍රවෘත්තියක් ලැබුණු පසු එය ගලපා, ගොඩනගා ලියා ප්‍රවෘත්ති කතුවරයාට බාර දෙනතුරු ඔවුන් සිටින්නේ කිසියම් නොයිවසිල්ලකිනි.

දිනපතා පුවත්පතක හදවත බඳු තැන වන්නේ ප්‍රවෘත්ති අංශයයි. මාණ්ඩලික වාර්තාකරුවන්, ප්‍රාදේශීය වාර්තාකරුවන් ආදිහු ප්‍රවෘත්ති අංශය පෝෂණය කරන්නෝ වෙති. සාමාන්‍ය පුවත්පතකට මෙන් දිනමිණට ද ඒ තත්ත්වය පොදුය.

පාඨක ඔබ අතට පත්වන ‘දිනමිණ’ ඒ අයුරින් සැකසීමට බොහෝ පිරිසක් වෙහෙසවෙති. ‘දිනමිණ’ වත්මන් ප්‍රධාන කතුවරයා වනුයේ ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා ය. චන්ද්‍රානි මාරසිංහ මහත්මිය ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති කතුවරියයි.

රත්නසිරි පතිරණ මහතා ප්‍රවෘත්ති කතුවරයායි. දුමින්ද ගුරුගේ, ජයසිරි මුණසිංහ යන නියෝජ්‍ය ප්‍රවෘත්ති කතුවරුන්ගේ සහය ද ඔවුනට ලැබේ. විවිධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා කරන මාධ්‍යවේදීහු දිනපතා ම තමන්ට අදාළ ප්‍රවෘත්ති පිළිබඳ අවධානයෙන් සිටිති.

එසේ ලියැවෙන ප්‍රවෘත්ති සියල්ල එම අංශ ප්‍රධාන කතුවරුනගේ අධීක්ෂණයෙන් පසු යැවෙන්නේ උපකර්තෘ අංශයටය. පුවත්පතට ඉතාම වැදගත් මෙහෙයක් මේ අංශයෙන් සිදුවේ.

මන්ද සෑම අතින් ම ලැබෙන විවිධාකාරයේ ප්‍රවෘත්ති ඇතැම්විට නැවත සකසමින් වියරණ දොස් ඇතොත් නිදොස් කොට ගැළපෙන ශීර්ෂ පාඨ යොදා පිටුසකසන්නේ එම අංශයෙන් වන බැවිනි. දිනමිණ උපකර්තෘ අංශයේ නැතහොත් ‘සබ් ඩෙස්ක් එකෙහි’ ප්‍රධානීන් වන්නේ සම කතුවරිය පුෂ්පා රොවෙල් මහත්මිය සහ සම කර්තෘ සම්පත් දිප්පිටිගොඩ ප්‍රධාන උප කර්තෘ නලීන් දිල්රුක්ෂ යන මහත්වරුන් ය.

හෙට ඔබ අතට පත්වන පත්‍රයේ වැඩකටයුතු රාත්‍රිය පුරාම සිදුවෙයි. කර්තෘ මාණ්ඩලිකයන් කිහිප දෙනෙක්වත් මධ්‍යම රාත්‍රිය දක්වා සේවයේ යෙදෙති. එහි දී ප්‍රවෘත්ති අංශය භාරව රාත්‍රී නියෝජ්‍ය ප්‍රවෘත්ති කතුවරයා ලෙස රංජිත් පද්මසිරි මහතා ද රාත්‍රී කතුවරයා ලෙස එඩ්මන් ගුණසේන මහතා ද කටයුතු කරති. රාත්‍රි නියෝජ්‍ය උප කතුවරයා වන්නේ ආසිරි මල්ලවාරච්චි මහතාය.

සාමාන්‍යයෙන්, පුවත්පතක් මුද්‍රණ වාර කීපයක්වෙයි. ‘දිනමිණ’ ද ප්‍රාදේශීය මැදියම් හා අළුයම් වශයෙන් මුද්‍රණ තුනකි. කොළඹ හා ඒ අවට රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ සිදුවන සිදුවීම් බොහෝවිට එකතු වන්නේ අළුයම් මුද්‍රණයට ය. රාත්‍රී කර්තෘ මණ්ඩලය වෙහෙසවන්නේ මේ අළුයම් මුද්‍රණය සඳහා ය.

මාධ්‍යවේදීන් අතින් ලියැවී උපකතුවරුන් අතින් හැඩවුන ප්‍රවෘත්ති පරිගණක අකුරුකරණය සඳහා යැවේ.

ප්‍රවෘත්ති අංශයට සමගාමීව ‘දිනමිණ’ට විශේෂාංග ලිපි සැකසීම සිදුවන්නේ විශේෂාංග අංශයෙනි. සමකර්තෘ ගාමිණී ජයලත් මහතා සහ විශේෂාංග කර්තෘ අයන්ති විතාන මහත්මිය එහි කටයුතු අධීක්ෂණය කරති.

විශේෂාංග අංශයට ලැබෙන ලිපි සහ එම අංශයේ ලේඛක ලේඛිකාවන් විසින් ලියන ලද ලිපි එම අංශයේ උපකතුවරුන් අතින් හැඩවෙයි. ලිපියට ගැලපෙන ශීර්ෂපාඨ, උපශීර්ෂ, ඡායාරූප යෙදීම ද ඔවුන්ගේ වගකීමයි. එම ලිපි ද ඊළඟට යැවෙන්නේ පරිගණක අකුරුකරණයට ය. ඒ කටයුතු සිදුවන්නේ ‘දිනමිණ’ වී. ඩී. ටී. අංශයෙනි. එහි ප්‍රධාන අධීක්ෂක බී. එච්. එල්. ජී. මෙන්ඩිස් මහතා එහි කටයුතු අධීක්ෂණය කරයි.

එසේ පරිගණක මුද්‍රණ පිටපතක් බවට එහි දී පත්වන ප්‍රවෘත්ති හා විශේෂාංග ලිපි ඊළඟට යැවෙන්නේ සෝදුපත් කියැවීමේ අංශයටය. මුල්පිටපත හා සසඳමින් පරිගණක පිටපතේ නිවැරැදිතාව තහවුරු කිරීම එහි දී සිදුවේ.

එහි අධීක්ෂණය සිදුවන්නේ ඩබ්ලියු. ජයසුමන සහ කේ. ගුණසිල් පෙරේරා යන අංශ ප්‍රධානීන් වෙතිනි. උපකතුවරුන් විසින් තෝරාගත් පිටුවට අවශ්‍ය ඡායාරූප වර්ණ සංයෝජනය හා ග්‍රැෆික් නිර්මාණ ආදී සියලු කටයුතු කරමින් නිසිලෙස සකසා දෙන්නේ පෙරමුද්‍රණ දෙපාර්තමේන්තුවේ ‘ස්කෑන් ඇන්ඩ් ග්‍රැෆික් සෙක්ෂන්’ ලෙස හඳුන්වන අංශයෙනි. දීපාල් වීරසිංහ මහතා එහි අංශ ප්‍රධාන ලෙස කටයුතු කරයි.

සාමාන්‍යයෙන් පුවත්පතකින් පිටු සැලසුම් කැරෙන්නේ දැන්වීම් අංශයෙන් ලබා දෙන ඩමියක් මතය. පුවත්පතේ අඩංගු පිටු ප්‍රමාණය පවා තීරණය වන්නේ ඒ මතය. එම පිටු දැන්වීම් හා ප්‍රවෘත්ති පිටු වශයෙන් දෙයාකාරය. මේ සියලු දැන්වීම් මගින් පත්‍රයේ අලෙවිය වැඩිකර ගැනීමෙහිලා දැන්වීම් කළමනාකරුවන්ගෙන් ලැබෙන්නේ අමිල මෙහෙයකි. පෙරමුද්‍රණ අංශය නැතහොත් නිෂ්පාදන අංශය මේ සියලු පිටු සැකසීමෙහිලා මූලික දායකත්වයක් ලබා දෙයි.

උපකතුවරුන් විසින් ගළපා පිළියෙළ කළ ලිපි හා ප්‍රවෘත්ති ද අදාළ ඡායාරූප ද එක්තැන් කර දිනමිණ පත්තරයේ ප්‍රවෘත්ති හා විශේෂාංග පිටු නිර්මාණය වන්නේ කර්තෘමණ්ඩල පිටුසැලසුම් අංශයෙනි. එය ද පෙර කී ඩමියට අනුරූපවය.

පිටු සැලසුම් කර්තෘ රෙක්ෂි වසන්ත මහතාගේ අධීක්ෂණයෙන් එහි කටයුතු සිදුවේ. එම අංශයේ දී පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය වන පුවත්පත් පිටු පරිගණක මුදු‍්‍රිත පිටපතක් ලෙස ලබා ගැනේ.

ඒවා නැවත වරක් උපකතුවරුන්, අංශ ප්‍රධාන කතුවරුන් හා ප්‍රධාන කර්තෘවරයාගේ පරීක්ෂාවට ලක්වේ. ඒවා මුද්‍රණය සඳහා යැවීමට අනුමැතිය ලැබෙන්නේ ඉන් පසුවය. මේ දක්වා කටයුතු නිසිලෙස ඉටුකර ගැනීමට වාර්තාකරුවන්, ඡායාරූපශිල්පීන්, කාටූන් ශිල්පීන් ආදීන්ගෙන් ලැබෙන සහය අති විශාලය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් පුවත්පතකට ලැබෙන ප්‍රවෘත්ති හා විශේෂාංග ගඟකට උල්පත් මෙනි. ‘දිනමිණ’ ට ලැබෙන ප්‍රාදේශීය පුවත්, ලිපි, අදාළ මුද්‍රණවාර සඳහා වෙන් කර වෙනම ම ප්‍රාදේශීය පිටු සැකසීම සිදුවන්නේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයෙනි. එහි අංශ ප්‍රධාන ලෙස රම්‍යතිලක තල්පිට මහතා කටයුතු කරයි.

මේ හැරුණු විට ඕනෑම පුවත්පතක ක්‍රීඩා පිටුවට හිමිවන්නේ විශේෂත්වයකි. දිනමිණට ද වෙනම ක්‍රීඩා අංශයක් තිබේ. දෙස් විදෙස් කෙළි බිමේ තොරතුරු අලංකාර ඡායාරූප සමඟින් දිනමිණට එක් කරන්නේ් ක්‍රීඩා කර්තෘ වර්ණන් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමයි. මේ කටයුතුවලින් අනතුරුව කර්තෘ මාණ්ඩලිකයන් ගේ කටයුතු බොහෝසෙයින් අවසන් ය. ඊළගට සිදුවන්නේ පුවත්පතේ මුද්‍රණ කටයුතු ය. ඒ සඳහා ද බොහෝ පිරිසකගේ වෙහෙස කැපවීම ඇල්ම බැල්ම ලැබේ.

දැන්වීම් පිවිසුම් කාර්යාලයට ලැබෙන දැන්වීම් පරිගණක අකුරුකරණය වන්නේ නිෂ්පාදන අංශයේ දැන්වීම් වී. ඩී. ටී. අංශයෙනි. සෝදුපත් කියැවීමෙන් අනතුරුව ඒවා ද ඊළඟ පියවර සඳහා දැන්වීම් පිටු සකසන අංශයට ලැබේ. ඩමියට අනුකූලව පිටු ගලපා පුවත්පත සැකසෙන්නේ පෙරමුද්‍රණ හෙවත් නිෂ්පාදන අංශයෙනි.

කර්තෘ මාණ්ඩලිකයන් අතින් නිමැවුනු පුවත්පත් සෙසු පිටපත් හා දැන්වීම් පිටු පරිගණක ආශ්‍රයෙන් ඊළඟට යොමු කැරෙන්නේ නිෂ්පාදන පාලන අංශයටය. (Monitoring unit) සියලුම පිටුවල නිරවද්‍යතාව, වර්ණ සහ කළු සුදු පිටුවල නිවැරැදි බව තවදුරටත් අධීක්ෂණය කෙරෙන්නේ මෙහිදීය. ඉන්පසු එම පිටුවල ඍණ පටල  (Negatives) ගැනීමට Imegin Section නමින් හඳුන්වන අංශයට යොමු කැරේ.

පසුව එම ඍණ පටල මුද්‍රණ තහඩුවලට ලබා ගැනීම සඳහා සැලසුම් සහ මුද්‍රිත තහඩු අංශයට (Planing & plate Making Section) යැවේ. එහි දී පත්‍රය මුද්‍රණය විය යුතු ආකාරයට සැලසුම් කළ ඍණ පටල, ආලෝක ධාරාවක් ඔස්සේ මුද්‍රණ තහඩුවලට ලබා දෙයි.

ස්වයංක්‍රීය මුද්‍රණ තහඩු නිෂ්පාදන යන්ත්‍රයෙන් මේ ආකාරයට අංගසම්පූර්ණ මුද්‍රණ තහඩු ලබා ගැනේ. පත්‍රය මුද්‍රණය වන අවස්ථාවේ දී එහි අඩංගු ප්‍රවෘත්ති හා දැන්වීම්වල තත්ත්ව පාලනය ද මේ අංශයෙන් සිදුවේ. ආර්. එස්. ඒ. රංගල මහතා මේ අංශය භාරව කටයුතු කරයි.

මෙම නිෂ්පාදන කාර්යාවලිය තවදුරටත් කාර්යක්ෂම ව සිදු කිරීම සඳහා තව නොබෝ කලකින් නවතම සි. ටි. පී. තාක්ෂණය (Computer to plate) හඳුන්වා දීමට නිෂ්පාදන අංශය සූදානම් ව සිටී. මෙසේ නිමැවෙන මුද්‍රණ තහඩු ඊළඟට මුද්‍රණ අංශයට යැවේ. නිෂ්පාදන අංශයේ සියලු අධීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙනි.

මුද්‍රණ අංශය රොටරි මුද්‍රණ අංශය ලෙස ද හැඳින්වේ. පෙර මුද්‍රණ හෙවත් නිෂ්පාදන අංශයෙන් ලබා දෙන මුද්‍රණ තහඩුව මුද්‍රණ යන්ත්‍රයට සවිකැරීමත් අනතුරුව මුද්‍රණය ආරම්භ කිරීමත් එහි දී සිදුවේ. පිටුවල ඇති ඡායාරූපවල වර්ණ ගැළපීම හා සමපාත කිරීම, පිටු නැවීම, කැපීම ආදිය ක්‍රමාණුකූලව යන්ත්‍රානුසාරයෙන් සිදුවන්නේ මෙහිදී ය. එසේ මුද්‍රිත පුවත්පත ‘කන්වෙයාර් පටයක්’ මතට යොමු කෙරේ.

මැදියම් රැයේ සිට එළිවනතුරුත් මේ කාර්ය ඉටු කිරීමට මේ අංශයේ සේවක මහතුන් වෙතින් ඉටුවන්නේ මහත් මෙහෙයකි. කැපවීමකි. එම අංශය භාරව, මුද්‍රණ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආර්. පී. ජයතිලක මහතා ය.

එයින් අනතුරුව ‘ඩිස්පැච්’ හෙවත් පසු මුද්‍රණ අංශයට යැවෙන්නේ සම්පූර්ණ වූ පුවත්පතකි. අලෙවි අංශයෙන් ලැබෙන ඇණවුම්වලට අනුව ඒ ඒ පත්‍ර නියෝජිතයන්ට අවශ්‍ය පුවත්පත් ප්‍රමාණය පාර්සල කර ප්‍රවාහන අංශයට යැවෙන්නේ මෙහිදී ය.

පුවත්පත පාඨකයා අතට පත්කිරීමට විශාල මෙහෙයක් නොපෙනී ඉස්මතු නොවී ඉටු කැරෙන්නේ මේ අය මගිනි. කිසියම් හේතුවකින් එහි එක් තැනෙක සිදුවන බිඳ වැටීමකින් මුළු පද්ධතියේ ම ක්‍රියාකාරිත්වය ඇණහිටිය හැකි ය. ඔවුන්ගේ සේවාව එතරම්ම වැදගත් වන්නේ එහෙයිනි. පසු මුද්‍රණ අංශයේ සියලු කටයුතු සහකාර සාමාන්‍යාධිකාරි කේ. ජී. එස්. ගාමිණී මහතා සහ සහකාර කළමනාකරු (පාලන) ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් සිදුවේ.

රසිකා සෝලංගආරච්චි

මුද්‍රණය වූ පුවත්පත රටපුරා බෙදා හරින්නට උදවු වන්නේ ප්‍රවාහන අංශයයි.

පාඨක ඔබ අතට අද පත්වන දිනමිණ නිර්මාණය කිරීමට ඊයේ සිට දීර්ඝ ක්‍රියාවලියක් මගින් විශාල පිරිසකගේ දායකත්වය ලැබේ. එවැනි සාමූහික වෑයමක ප්‍රතිඵල ලෙසින් වසර සියයක් පුරාවට පාඨකයන් අතට පත් වූ දිනමිණ තවත් දිගු කලක් එසේ ම පවතිනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්