නිරවුල්ව බස හැසිරවීමේ අපූර්වත්වය

නිරවුල්ව බස හැසිරවීමේ අපූර්වත්වය

මා පාසල් ගිය වකාවානුවේ මගේ ගුරුවරුන් හා ගුරුවරියන් නිරන්තරයෙන්ම පැවැසුවේ ‘ දිනමිණ ‘ පුවත්පත බලා එහි ඇති ‘ කතුවැකිය’ හා අන්තර්ගත ලිපි කියවන ලෙස ය. ඒ අනගි උවදෙස් මත මම නිතරම පරිිශීලනය කෙළේ ‘ දිනමිණ’ පුවත්පතය. සැමදා උදෙන්ම පුල පුලා මා බලා සිටින්නේ ‘ දිනමිණ’ මාතට පත්වනතෙක්ය.

පුවත් පත අතට ගත් මගේ නෙත් එකවිටම යොමුවන්නේ කතු වැකියට ය. කාලීන ප්‍රශ්නයක් ප්‍රස්තුත කොටගෙන ලියැවුණු වැකිය හා එහි අන්තර්ගත භාෂාව කදිම ය. සැමදා එම කතුවැකියෙන් එක වදනක් මගේ වාක් කෝෂයට (Vocabulary) ඇතුළත් විය. සැමදා අඛණ්ඩවම එම කතු වැකි කියවීම අනුව මගේ වාක් කෝෂය ප්‍රවර්ධනය වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ‘ දිනමිණ’ පුවත් පතටය.

එමෙන්ම එහි අන්තර්ගත කාලීන ලිපි කියවීමෙන් මගේ විෂය ඥානය පරිපාකයට හා ආරෝහණ ගමන් මාර්ගයට පිවිසීම මත ‘දිනමිණ’ නිවැරැදි බස් වහරක් අපට හුරු කෙළේය. භාෂාව අයාලේ යන්නට ඉඩ නොතබා කිසියම් සම්මතයක පිහිටා ලියන්නට හුරු කෙළේත් ‘ දිනමිණ’ යි.

සෙසු පුවත් පත්වලට වඩා ‘දිනමිණ ‘ නිවැරැදිව භාෂාව හැසිර වීමට හුරු කිරීම මත මම නිවැරැදිව ලියන්නට උත්සහ ගත්තෙමි. ඒ අනුව පරිස්සමින් භාෂාව හසුරු වන්නට මේ වනතෙක් මම උත්සහ ගන්නෙමි.

වාද - විවාද

යම් යම් ගුරුකුල හා නිකායයන්හී භාෂා ‘ රීති ‘ හා සම්ප්‍රදායයන් ‘ දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන්ද ‘ දිනමිණ ‘ වාද - විවාද පැවැත්වුණි. ඒ වාද - විවාද අතිශයින් ම අපේ භාෂා ඥානය ප්‍රගුණ කර ගැනීමට බලපෑ බව පවසන්නේ ආඩම්බරයෙනි.

විශ්විවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව මා ගුරු වෘත්තිය තෝරා ගත්තද මගේ ජීවිතයේ මහත් ගැටලුකාරී තත්ත්වයක් වූයේ ගුරුකම දිගටම පවත්වාගෙන යනවාද එසේ නැත්නම් ලේඛන කලාව තෝරා ගන්නවාද යන්නයි. අතීරණයක සිටි මා පසුව ලේඛන වෘත්තිය තෝරා ගත්තේ මා පාසල් යන වියේදීත් , විශ්වවිද්‍යාල ජීවිතයේදීත් ලියන්නට පුරුදු වූ හෙයිනි.

මගේ විෂය ඥානය හා භාෂා ඥානය ප්‍රගුණ කරගන්නට හොඳම මඟ ලේඛන වෘත්තීය බැවින් කෙටි කාල පරාසයක් ගුරුකමේ සිට ඉන් අනªතරුව 1974 පත්තර කලාවේ මහගෙදර හෙවත් ලේක්හවුස් ආයතනයට එක් වූයේ ජීවිතයේ තවත් කඩඉමක් ඉක්මයාමේ අරමුණෙනි.

පත්තර මහගෙදරට මා පිවිසීමේ සුවිශේෂිත අවස්ථාවක් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී වීමය. විජයවර්ධන පාලන කාලයෙන් රාජ්‍ය පාලන කාලයට පරිවර්තනය වීමත් සමගම පත්තර මහ ගෙදරට පිවිසීම මා ලත් තවත් අත්දැකීමකි.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
(බි. ඒ. එම්. ඒ. පී. එච්. ඩී)

භාෂා හා විෂය ඥානය

වසර 18ක් පුරා ‘ දිනමිණේ‘ සේවය කොට එයින් ලත් අනුභූතිත් භාෂා ඥානය හා විෂය ඥානයත් ප්‍රාගුන්‍ය හා පරිපාකයට පත්වීමත් මත පාඨකයන්ට හොඳ පුවත්පතක් උදෙන්ම පත්කිරීමේ පරමාර්ථය, අදිටන හා අරමුණ පෙරැදිරිකරගෙන කටයුතු කිරීමත් මහිමයකි.

යුග තුනක් ‘දිනමිණේ‘ සේවය කිරීමත් අතිශය ආනන්දයට හේතු භූත වන්නකි. මා ‘ දිනමිණට’ එක්වූයේ උත්තල (Lodlow ) සමයේදීය. අද්‍යතන අවදියේ මෙන් ඕනෑම අක්ෂරයෙක් එදා පත්තරයේ නොතිබුණි. ඒ අක්ෂර සඳහන් කළහොත් 18 - 24 - 36 - 48 60 - 72 - 96 වශයෙනි නිර්මාණය වී තිබුණේ. 120 ලීයෙන් තැණු ලොකු අකුරක්ද තිබුණි. තීරු ගණනට (Coloums) අකුරු අප සඳහන් කළ යුතුය.

උපකතුවරුන් නියමිත තීරු අනුව අක්ෂර යෙදිය යුතුය. 5/C, 6/C, 7/C, 8/C ආදි වශයෙන් ලිපිවල හා ප්‍රවෘත්තිවල සඳහන් කොට යැවිය යුතුය. එසේ සඳහන් කොට (නිවැරැදි අයුරින්) Lodlow අංශයට නොයැව්වොත් ඒ අංශය භාර අයගෙන් අපට හොඳට බැණුම් අසන්නට ලැබේ. ඒ හේතුව නිසාම නිවැරැදිව ප්‍රවෘත්ති හා ලිපි Sub කොට යැවීම අපගේ කාරිය විය.

පත්‍ර කලාවේ සරසවිය

පුවත්පත් කලාවේ මගේ, විශ්වවිද්‍යාලය වූයේ මහගෙදරයි. ඒ සඳහා මට කිසිදු ගුරුවරයෙකු නොවීය. ස්වඋත්සහායෙන් ඉතා ඕනෑකමින්, ඇල්මෙන් යුතුව කටයුතු කිරීම මත කතුවරුන්ගෙන් මට දොසක් අසන්නට නොලැබුණි. වගකීමෙන් හා නිවැරැදිවත් ඕනෑකමින් යුතුවත් මාහට අයත් සේවය ඉටු කිරීම මත පත්‍ර කලා විෂයයේ ඉදිරියට යන්නට මට හැකියාව ලැබුණි.

මට ‘ දිනමිණේ’ එඩ්මන් රණසිංහ, සිරිපාල සුබසිංහ, පෙරමුණේ තිලක, වැ. බ. මෙත්තානන්ද, ජී. එස්. පෙරේරා බඳු ප්‍රාගුන්‍යයෙන්, පරිචයෙන් උපයුක්ත කතුවරුන් යටතේ සේවය කිරීම මත නිවැරැදිව භාෂාව හැසිරවීමේ ශක්‍යතාව ඇතිවිය.

එදා ‘ දිනමිණ ‘ කර්තෘ මණ්ඩලයේ සුවිශේෂිත අංශය වූයේ Sub Desk  (උප කර්තෘ අංශයයි) එකයි. එය හැඳින්වූයේ Cream එක ලෙසිනි. එදා එම අංශයේ සිටියේ බී. ඒ. එම්. ඒ. උපාධිධාරීන්ය. වාර්තාකරුවන් හා මාණ්ඩලික වාර්තාකරුවන් ලියූ වාර්තා හා ලිපි කපා, කොටා, සකසා ඔපමට්ටම්කොට ආකර්ෂණීය වූ සිරස්තල යොදන්නේ උප කර්තෘ අංශයෙනි. ඒ හේතුව නිසාම එම අංශය ගාම්භීර ස්වරූපයක් ගත්තේය.

දිවා කාලය මෙන් නොව රාත්‍රි කාලයේ සේවය කරන්නේ අතළොස්සකි. එබැවින් රාත්‍රි කාලයේ සේවය කරන අය ඔරලෝසුව බලමින්, කඩියන් මෙන් පුවත්පතේ වැඩ කිරීම ස්වරූපයයි.

Last halt Coloum  ( අන්තිම තීරුව ) ලෙස එදා හැඳින් වූ Lodlow අංශයේ එම වෙලාවෙන් පසු කොපි බාර ගැනීම අත්හිටුවන ලදි. ඒ හේතුව නිසාම නියමිත වේලාවට කොපි යැවීම අපේ පිළිවෙතයි.

රාත්‍රියේ විශාල කාර්යභාරයක් ඉටුකොට නිවසට යන්නේ උදේට ප්‍රධාන කතුවරයාගෙන් කුමන හෝ වරදකට බැණුම් අසන්නට සිදුවේද යන හැඟීමෙනි. අකුරක, වදනක , ශිරස් තලයක කිසියම් වරදක් වූයේ නම් උදේම ප්‍රධාන කර්තෘවරයා කොරිඩෝවේ සිට දොස් කියා ගෙන එන්නේ ‘ හොඳ පත්තරයට’ මොකක්ද මේ කෙළේ යන්න පවසමිනි. එතරමටම හොඳ එමෙන්ම නිවැරැදි ‘ දිනමිණ ‘ පුවත්පතක් දීම අභිප්‍රේථාර්ථය විය. ඒ අතින් සෙසු පුවත්පත්වලට වඩා නිවැරැදි බස මත නිකුත්වන එකම පුවත්පත වූයේත් ‘ දිනමිණ’ ය.

දිනක් පින්තූරයක කැප්ෂන් (Caption) එකක එක් අකුරක් මා අතින් වැරැදී එම අදහස මුළුමනින්ම විකෘත වී රුපියල් 25ක දඩයක් කන්නට සිදුවිය.

අච්චු කිරීමක්

එවකට කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කෙළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරුවරයකු වූ ඩී. කිව්. එම්. සිරිමාන්න මහතාය, මේ සිද්ධිය ඔහු විභාගකොට , මාහට කීවේ මේ වරදට ‘අච්චුකරනවා’ කියාය.

මගේ වැරැද්ද හොඳට සොයා බලා සාධාරණ අන්දමින් ඒ මහතා විනිශ්චයක් කරන ලදී. ඒ අනුව කැප්ෂන් එකේ එක ‘ අක්ෂරයක’ වැරැද්දට රුපියල් 25ක දඩයක් නියම කැරිණි. ඉන් පසු එක අක්ෂරයකටත් වැරැදි නොවන ලෙස ඉතාම පරිස්සමින් කටයුතු කිරීමට මම වගබලා ගත්තෙමි.

රාත්‍රියේ දිනක මා සමඟ වැඩ කෙළේ බ්‍රයන් ගෝමස් ය. අද මෙන් නොව එදා විදේශ ප්‍රවෘත්ති පැමිණියේ කේබල් එකේය. එදින රාත්‍රියේ ‘රජිව් ගාන්ධි’ ඝාතනය කළ පුවත බ්‍රයන්ට කෙසේ හෝ මඟ හැරුණි. පසුදා උදේ සියලුම පුවත්පත්වල ‘රජිව් ගාන්ධි ඝාතනය’ කළ පුවත සිරස්තලය විය.

එහෙත් අපේ ‘ දිනමිණේ’ එබන්ඳක් නොවීය. එවකට සභාපතිවරයා ලෙස කටයුතු කෙළේ රණපාල බෝධිනාගොඩ මහතා ය. වෙනදාට වඩා ඔහු පාන්දරින්ම පැමිණ මේ පුවත නොමැතිකම සම්බන්ධව කතුවරුන්ට දොස් කීවේය. එම සිද්ධියෙන් පසු සභාපතිවරයා රාත්‍රි 9 සිට අලුයම 5 දක්වා වැඩ මුරයක් අපට නියම කෙළේය. මෙය ද අප ලත් තවත් දඬුවමකි.

සම්මත සිංහලය

අයි. එම්. ආර්. ඊ. ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන අවදියේ ‘ සම්මත සිංහලයක්’ හඳුන්වා දෙන ලදී. සම්මත සිංහලයක් අවශ්‍යද? නැද්ද? යනුවෙන් මහ වාදයකට මුල පිරුවේද ‘දිනමිණ ‘ යි. එදා වියතුන් උගතුන් මේ සම්බන්ධයෙන් වාදයක පැටලීම අනුව එක පැත්තකින් අතිශය වින්දනයක් ලැබූ අතර තවත් පැත්තකින් භාෂාව හසුරුවන අන්දම ද මම ඉගෙන ගත්තෙමි.

මේ සම්මත සිංහල වාදය සම්බන්ධයෙන් දීර්ඝ අයුරින් වාද - විවාද වූ සමයේ ඊළඟ දවසේ වියතුන් - උගතුන් පවසන්නේ කුමක්ද යන්න සම්බන්ධව කුහුලෙන් පසුවීම තවත් වැදගත් සිදුවීමකි. මෙයද ලොකු අත්දැකීමකි. ‘ දිනමිණ’ නිවැරැදි අන්දමට භාෂාව හසුරු වන්නට ගත් පරිශ්‍රමය මෙයින්ම සනාථ වේ.

පුවත් පත එදිනෙදා පාඨකයන් කියවන බැවින් එකිනෙකාට අවශ්‍ය පරිදි ලියුවාට ප්‍රශ්නයක් නැතැයි යමකුට ප්‍රශ්නයක් නඟන්නට පුළුවන. එහෙත් සරල බසක් එහි අන්තර්ගත වුවද එම බස නිවැරැදි විය යුතුය යන නියතයේ ‘ දිනමිණ’ සිටියේය.

න-ණ-ල-ළ ප්‍රයෝගය

න - ණ - ල - ළ අක්ෂර ගැන ‘ දිනමිණ ‘ වැඩි සැලකිල්ලක් දැක්වූයේය. සීගිරි ගී වල න - ණ - ල - ළ නිසි පරිදි නොදැක් වූ නිසා එම භාෂා ප්‍රයෝගය බැහැර කිරීමට ‘ දිනමිණ ‘ උත්සුක නොවීය. නිසි අර්ථය මතුවන සේ න - ණ - ල - ළ යොදන්නට අමතක කෙළේ නැත. මළ - මල , පැල - පැළ , දන - දණ , බල - බළ , පන - පණ , දල - දළ , නිල - නිළ , පල - පළ , පිළ - පිල , රල - රළ , ගුණ - ගුන , ගණ - ගන ආදි වශයෙන් යෙදීමේදී අර්ථය මතු කිරීමට දිනමිණ නිසි අයුරින් මේ ප්‍රයෝගය භාවිතයට ගත්තේය. මාර්ටින් වික්‍රමසිංහ (දිනමිණ ) පත්‍රයේ ප්‍රධාන කතුවරයා සිටි අවදියේ පටන් ‘ උළෙල’ යන වදන ලියන ලද්දේ මේ අයුරෙනි. එහෙත් පෙරමුණේ තිලක (දිනමිණ) කතුවරයා ලෙස පැමිණි විගස ඔහු අනුගමනය කළ සම්ප්‍රදාය ‘ දිනමිණ’ ට ආරෝපණය කෙළේය.

මාර්ටින් වික්‍රමසිංහ අනුගමනය කළ ‘උළෙල‘ වෙනුවට ‘උලෙළ ‘ භාවිතයට ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් එදා ‘ දිනමිණේ’ ප්‍රබල වාදයක්ද ඇතිවිය. මූර්තජ අක්ෂරයක් ‘ හල්’ වන්නේ නැතැයි පඩිවරු පවසති. ඒ අනුව ‘ උලෙළේ’ යනුවෙන් මුර්තජ අක්ෂරය හල් නොවන්නේ යයිද සමහරු කියති. ‘ දිනමිණේ ‘ මේ සම්ප්‍රදාය හා නිවැරැදි භාෂා නීතිය නොබිඳ තවදුරටත් රැකෙන්නේ වික්‍රමසිංහ නිවැරැදි සම්ප්‍රදායයි.

ඉවසීම හා නිහතමානිකම

මාහට ඉගැන්වූ තවත් දෙයකි ‘ ඉවසීම ‘ හා ‘ නිහතමානි’ ගුණය. කතුවරුන් අපට දොස් පවරන්නේ, එදා පැවරුවේ හොඳ පත්තරයක් ‘ පාඨකයන් අතට පත්කිරීමටත්, පිරිපුන් පුවත්පත් කතුවරයෙක් තැනීමටත් ය. මෙය ඉතාම නිවැරැදි පිළිවෙතකි. එම දොස් ඇසීමට තරම් අප කෙරෙහි ඉවසීම තිබිය යුතුය.

නිතරම ‘ නොදන්නා’ බව හඟවමින් කටයුතු කිරීම සැබෑ පත්‍රකලාවේදියාගේ කාරියයි. නොදන්නා නිසාම වැරැදි අවම කර ගැනීමට හෝ නිවැරැදිව ලියන්නට හැකියාවක් ඇතිවේ.

දන්නා බව හිතට ගත්තොත් ඔහු හෝ ඇය අතින් වැරැදි බොහෝමයක් සිදුවේ. මා නිතරම ගුරුකොට ගන්නේ ‘ නොදන්නා ‘ නියතයයි. නොදන්නා බව හඟවා නිවැරැදි ලෙස භාෂාව හසුරුවන්නට මම නිතරම උත්සහ ගතිමි. වදනක කිසියම් ගැටලුවක් මතුවුවහොත් ශබ්ද කෝෂයක් කරා පිය නැඟීම හෝ භාෂා ඥානයකින් උපයුක්ත පඬිවරයකුගෙන් එය නිවැරැදි කරගැනීම මගේ සිරිතයි. එය දිනමිණේද පිළිවෙතයි.

‘ දිනමිණ’ට නම තැබුවේ රත්මලානේ ධර්මාරාම නාහිමියන්ය. සිංහල - පාලි - සංස්කෘත - ප්‍රාකෘත ඉංගී‍්‍රසි ආදි භාෂාවන්හී ගැඹුරට ගිය නාහිමියන් එදා පාලකයන්ට කීවේ නිවැරැදිව ‘ දිනමිණ’ භාෂාව හසුරුවන්නට කටයුතු කරන ලෙසය. ‘ දිනමිණ’ට වසර සියයක් පිරෙන එමෙන්ම තවත් වසර සියයකට ප්‍රවේශවන මොහොතක නිවැරැදිව භාෂාව හසුරුවන්නට කටයුතු කිරීම ධර්මාරාම පඬිහිමියන්ට කරන උසස්ම උපහාරයයයි මම සිතමි.

කොට්ඨා(ශ)ය හා කොට්ඨා(ස)ය සම්බන්ධයෙන්ද ‘ දිනමිණේ’ එදා වාදයක් ඇතිවිය. අල්ප’ස ‘ යන්න හා තාලුජ ‘ශ’ යන්න සම්බන්ධයෙන් වාදයකට මුල පිරී ඒ මගින් එක්තරා අශ්වාදයක් ලැබූ අතර ‘ස’ යන්නද එසේ නැත්නම් ‘ශ’ යන්න ද යන්න ගැනත් ‘ දිනමිණ’ පාඨකයන් දැනුවත් කෙළේය. ඒ අනුව ‘ස’ යෙදීම වඩාත් යෝග්‍ය බව බහුතරයේ මතය විය. ‘දිනමිණ’ අදත් අනුගමනය කරන්නේ ඒ පිළිවෙතයි.

හිරු ලොව පවතින්නේ කිසියම් කාල පරාසයක්ද ‘ දිනමිණ’ ද ඒ අයුරින්ම පවතී. එයයි ලෝක ස්වභාවය

‘ සමතල’ට නැඹුරුවීම

දිනමිණ ‘ උත්තල ‘ (Lodlow) පැත්තෙන් මිදී ‘සමතල‘ (offset) පැත්තට යොමු කිරීමට රණපාල බෝධිනාගොඩ මහතාට දැඩි අවශ්‍යතාවක් විය. ඒ අනුව සෙසු පත්තර ‘ සමතල’ පැත්තට නැඹුරු වන්නට පෙරාතුව දිනමිණ ප්‍රථමයෙන්ම සමතල පුවත්පතක් බවට පරිවර්තනය කෙළේය. එයද ‘ දිනමිණ’ ලත් තවත් විජයග්‍රහණයකි.

සමතල පැත්තෙන් තවත් ඔබ්බට ගිය දිනමිණ ‘ පරිගණක’ තත්ත්වයට පත්ව වසර එක්සියයක තවත් පරිච්ඡේදයක් පුළුල්කොට ඇත. මේ අනුව දිනමිණ දෙසිය වසර පිරෙන විට මොනයම් පෙරැළි සිදුවේදැයි කාට නම් කිව හැකිද ?

‘ දිනමිණ’ ට වසර සියයක් ගෙවී යන තැන ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන බන්දුල පද්මකුමාර මහතා විෂයාර්ථ, භාවාර්ථ, සමයයාර්ථ, දෘෂ්ටියාර්ථ විඥානාර්ථ භාවයෙන් උපයුක්ත සභාපතිවරයකු ලෙස මා හඳුන්වන්නේ උගතුන්ගේ අගය දන්නා අයකු ලෙසය. මේ ආයතනයේ පැවැත්ම රඳා පවතින්නේ උගතුන් මතය. උගතුන්ගෙන් වැඩ ගැනීමේ විඥානයක් සභාපතිවරයා සතුය. ‘ දිනමිණ’ ලැබූ තවත් ජයග්‍රහණයකි එය. පෙර පරිදි නිවැරැදි භාෂාවෙන් සමෝද්ගත පුවත්පතක් පාඨකයන් අතට පත්කිරීමට අවකාශ සැලැසීම තවත් කඩඉමකි. සභාපතිවරයාට ඒ ඕනෑකම අනවරතයෙන්ම තිබේ. එමෙන් ම එය යහපත් ප්‍රවණතාවකි. භාෂාව හසුරුවන්නට මැනවින් දත් තැනැත්තා කෙරෙහි විනයක්ද ඇත. ශික්ෂණයෙන් යුත් පුද්ගලයකු බවට පත් කරන්නේ නිවැරැදි භාෂාවයි. නිවැරැදිව භාෂාව හසුරුවන ‘දිනමිණ’ කරන්නේත් ඒ භාරදූර කාර්යයි.

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙස කටයුතු කළ ජී. එස්. පෙරේරා මහතා ග්‍රන්ථයක් එළි දැක්වීමේ උළෙලකදී මට හමුවිය. එම අවස්ථාවේදී මම ඔහුට මෙවන් අදහසක් , පැවැසුවෙමි. ‘ එදා ඔබ අපට ‘ දිනමිණ’ පුවත් පතේ වැරැදි සම්බන්ධයෙන් දොස් පැවැරුවා නේද? ‘ එවිට ඔහු ගත් කටටම කීවේ ‘ හොඳ පුවත් පතක් පාඨකයන් අතට පත්කිරීමටත්, පිරිපුන් එමෙන්ම නිවැරැදිව කටයුතු කරන පුවත්පත් කතුවරයන් තැනීමටත්ය’ යන්නය. මේ දෙකරුණම නිවැරැදිය. එහි පරම සත්‍යයක් ද ගැබ් වී ඇත.

නිවැරැදිව භාෂාව හසුරුවීමේ හැකියාව ‘ දිනමිණෙ’න් සිදු නොවුණහොත් එය ‘ දිනමිණ’ට කරන බරපතළම වරදකි. මේ යථාර්ථය තේරුම් ගැනීම එක්සියවැනි කඩඉමට පිවිසෙන මේ අවස්ථාවේදී අප සියලු දෙනාම සිතට ගතයුතු වැදගත්ම කරුණය. එය සමස්ත සමාජයටම සිදුකරන විශිෂ්ටතම මෙහෙවරකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්