සම්මත ශිෂ්ටත්වයේ රැඳුණු ‘දිනමිණ’

සම්මත ශිෂ්ටත්වයේ රැඳුණු ‘දිනමිණ’

දිනමිණ’ පුවත්පතට පමණක් නොව ඕනෑම මාධ්‍යයකට විවෘත හෝ සැඟවුණු දර්ශනයක් තිබේ. එමෙන්ම ඕනෑම මාධ්‍යයකට දේශපාලන පක්ෂපාතිත්වයක් ද ඇත. භාවිතයේ දී එය අඩු හෝ වැඩි වීමේ ප්‍රවණතාව දක්නට ලැබීමත් යන කාරණාව මාධ්‍ය භාවිතයේම සාමාන්‍ය තත්ත්වයකි.

ඩී. ආර්. විජේවර්ධන මහතා විසින් මිලදී ගත් මෙම පුවත්පත් ආයතනය ඔහුගේ ශ්‍රමය, කැපවීම තුළින් මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතනයක් බවට පත් විය. එහිදී දිනපතා පුවත් පතක් ලෙස ආරම්භ කළ ‘දිනමිණ’ පුවත් පතද මෙරට ජනතාවගේ ප්‍රමුඛතම පුවත් පතක් ලෙසින් වැජඹිණි.

1960, 70 දශක දක්වා දිව ආ මේ ගමනේ කිසියම් පරිහානිමය ලක්ෂණ ඉන් අනතුරුව දක්නට ලැබුණි. ඊට ප්‍රධානතම හේතුවක් ලෙසට මා දකින්නේ තරගකාරී වෙළෙඳ පොළ විසින් පුවත්පත් ආයතන ආක්‍රමණය කිරීමයි. මේ අතර ප්‍රධාන දහරාවේ සහ විකල්ප දහරාවේ පුවත්පත් පෙන්වා දිය හැකිය.

අනෙක් සුවිශේෂී කාරණාව ලෙසින්, දැක්විය හැක්කේ 1975 දී ලේක්හවුසිය රජයට පවරා ගැනීමෙන් අනතුරුව, බරපතල දේශපාලනීකරණයකට ලක්වීමයි. ‘දිනමිණ’ පුවත් පතද රජයේ අධිකාරියට යටත් කරගන්නා තුරු මූලික වශයෙන් පෙනී සිටියේ මෙරට ධනපති පංතිය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයයි. එහිදී දේශපාලනමය මතවාදී ක්ෂේත්‍රයේ දී ජාතිවාදී බලවේග, වාමාංශික පක්ෂ සහ කම්කරු ව්‍යාපාර අරබයා දැක්වූයේ සතුරු සහ වෛරී සහගත දේශපාලන ආකල්පයකි.

ප්‍රවීණ මාධ්‍යවේදී
මොහාන් සමරනායක

ඒ කෙසේ වෙතත් ‘දිනමිණ’ පුවත්පත අප රටේ විශිෂ්ට දිනපතා පුවත් පතක් ලෙස හඳුන්වා දීමට පැකිලීමට කිසිදු කාරණාවක් නොමැත. කාලීන තොරතුරු සම්පාදනය, නව දැනුම බෙදාදීම, සංස්කෘතික පෝෂණය, සාහිත්‍ය කලාවන්ගේ උන්නතිය සහ භාෂා පෝෂණය වෙනුවෙන් දක්වන ඉඩ ප්‍රස්තාව ඉතාමත් අගය කළ යුතු අංගයකි.

එමෙන්ම මෙරට පුවත්පත් කලාවේ වර්ධනය වෙනුවෙන් හිතකර සම්මතයන් සහ ප්‍රමිතීන් වෙනුවෙන් මුල පිරීම විශිෂ්ටතම සාධකයකි. එපමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයේ නොයෙක් අත්දැකීම් හා ගුරුහරුකම් ලබමින් කුසලතා පිරිපුන් මාධ්‍යකරුවන් පිරිසක් රටට දායාද කිරීමේ තිඹිරිගෙය ලෙසටද ‘දිනමිණ’ පුවත්පත හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම මුල් කාලයේ දිනපතා පුවත්පතක් වශයෙන් ඈත දුෂ්කර ජනතාව වෙත ළඟා වෙමින් කළ සන්නිවේදන කාර්ය භාරය ඉතාමත් ඉහළ ය. කුමනාකාර දේශපාලන හිතෛෂීභාවයකින් කටයුතු කළ ද සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කළ සන්නිවේදන කාර්ය භාරය කාගේත් පැසසුමට ලක් වේ. ඒ තුළින් සමාජය පිළිබඳ ලෝකය පිළිබඳ පමණක් නොව කෙටි කතා, නව කතා ඇතුළු වෙනත් සාහිත්‍යාංගවලින් මෙරටේ සාහිත්‍ය පෝෂණයට අපූරු වේදිකාවක් විය.

මේ සියලු කාරණා සමඟින් සමාජය විසින් පිළිගත් ශිෂ්ට බවේ ප්‍රමිතීන් සුරැකීම ද ඉතා අගය කළ යුතු සාධකයකි. එක්තරා කාල වකවානුවක දී අපේ රටේ ජන ජීවිතයට ඉතා තදින් ‘දිනමිණ’ පුවත්පත බද්ධව තිබිණි. ‘දිනමිණ’ පුවත්පත භාවිත කළ ‘භාෂාව‘ දැනුුම සහ බුද්ධිය සපයන පාසලක් මෙන් විය. පසුකාලීනව බිහි වූ පුවත්පත් හා සසඳා බැලූ කළ ‘දිනමිණ’ පුවත්පත භාවිත කළ භාෂාව එතරම් ඉහළ මට්ටමක තිබිණි. එපමණක් නොව මෑතක් වන තුරුම එකදු ව්‍යාකරණ දෝෂයක්වත් සොයා ගැනීම අසීරු කටයුත්තක් විය. මෙයින් අපට ඉතාමත් හොඳින් ගම්‍ය වන කාරණාව වන්නේ එකල පත්‍රය වෙනුවෙන් දායක වූ කර්තෘවරයාගේත් සෙසු මාධ්‍ය කරුවන්ගේත් සහ සේවකයන්ගේත් රැකියාව සහ වගකීම පිළිබඳ මනා වැටහීමක් හා සැළකිල්ලක් පැවැති බවයි.

එමෙන් ම ඉතිහාසය දෙස බලන විට අපේ රටේ ජාතික වශයෙන් ගැටලුකාරී වාතාවරණයන් පැන නැගි අවස්ථාවන්හිදී ජාතික පුවත්පතක් ලෙසින් ජාතිය වෙනුවෙන් ඉටු කළ අගනා මෙහෙය ඉතාමත් ප්‍රසංශනීයයි. රට වෙනුවෙන් බරපතල ගැටලුවක් පැන නැගි විට රට වෙනුවෙන් පෙනී සිටීම දිනපතා පළ වූ ‘දිනමිණ’ පත්‍රයේ සුවිශේෂී ස්වභාවය විය.

මෙය පුවත්පත් රජයට පවරා ගැනීමෙන් පසුව වූවත් දක්නට ලැබූ කාරණාවකි. එපමණක් නොව වත්මන් අවධියේදී ද ජාතික ගැටලුව, ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම, සංස්කෘතික කලා ශිල්ප පෝෂණය යනාදී පාර්ශ්වයන්ගෙන් එවැනි මෙහෙයක් ඉටු කිරීමේ කාර්යය පැහැදිලිවම දක්නට ලැබෙන්නකි. තවද මෙරට තරුණ පරපුර සහ ශිෂ්‍ය පරපුර වෙනුවෙන් යහපත් ලෙස හැඩ ගැන්වීම සඳහා කරන බලපෑම අගය කළ යුත්තකි.

ඒ කෙසේ වෙතත් 1960 ගණන් වල පත් කරන ලද පුවත්පත් කොමිසමේ එක්තරා තැනෙක ‘දිනමිණ’ පත්‍රය එක් කාලයකදී අශ්ලීල ඡායාරූප පළ කළ බවක්ද සඳහන්ව ඇත. සමස්ථයක් වශයෙන් බැලූ කළ මා ‘දිනමිණ’ පුවත්පත ඇසුරු කළ මුළු කාලය තුළම සම්මත ශිෂ්ටත්වයේ සීමාව තුළ රැඳෙන්න ‘දිනමිණ’ හැමවිටම සමත් විය.

‘දිනමිණ’ පුවත්පත පමණක් නොව සමස්ත මාධ්‍යයකටම ප්‍රධානතම කාර්යයන් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මුර බල්ලාගේ සේවය මෙන් බලයේ සිටින දේශපාලන පක්ෂය හෝ ආණ්ඩුව මෙන්ම බලයට පැමිණීමට අපේක්ෂා කරන පක්ෂ සහ කණ්ඩායම් පිළිබඳ විශේෂත්වයකින් තොරව නිර්දය ලෙස තොරතුරු ජනතාවට හෙළි කිරීමයි.

දෙවැන්න වන්නේ සමාජයක් මුහුණ දෙන ගැටලු සහ අභියෝගයන් හඳුනාගෙන ඒවා ජය ගැනීම පිණිස සමාජ කතිකාවතක් ඇති කිරීමයි. ‘දිනමිණ’ පුවත්පත පිළිබඳව සමස්තයක් ලෙස ගත් කළ සමාජ සේවාවක් සිදු වී තිබේ. නමුත් පත්‍රය අනුගත වී සිටින දේශපාලන මතවාදයන් සහ හිතවත්කම්වලින් තවමත් ඔබ්බට ගොස් නොමැත.

‘දිනමිණට’ වසර සියයක් සැපිරෙන මේ මොහොතේ දී වූවත් පාඨකයන්ගේ විශ්වාසය රැක ගනිමින්, ගුණාත්මක සංවර්ධනයකට යෑමට තවමත් ශක්‍යතාවක් ඇත. ආපසු හැරී බලන්න මේ ‘දිනමිණට’ හොඳම කාලයයි. පාලක, සේවක පැලැන්තියට තමාට වැරැදුණු තැන් දෙස ආපසු හැරී බලා නිවැරැදි ගමන් මාර්ගයකට එළඹිය හැකියි. ‘දිනමිණ’ සතුව පැවැති අගය කළ වත්කම් නැවතත් අත්පත් කර ගැනීමට ද මෙය හොඳම කාලයක් ලෙසද පෙන්වා දිය හැකියි.


සබැඳි පුවත්