පතට දිරි දුන් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක

පතට දිරි දුන් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක

‘මිනිසුන් තනන සැබෑ මිනිසෙකු වශයෙන් ස්වකීය ප්‍රෞඩ ජීවිත ග්‍රන්ථයේ ප්‍රස්ථාවනාව පුරා ගුරු වෘත්තියෙන් නීතිවේදී පදවියටත් නීතිවේදී පදවියෙන් අමද්‍යප සටනටත් අමද්‍යප සටනින් දේශපාලනයටත් සංක්‍රමණය වෙමින් ඒ සංක්‍රමණය වන අතරතුරදීම සිංහල භාෂාවටත් ධර්ම ශාස්ත්‍රයටත් අත්‍යුදාර සේවයක් සිදු කරමින් මහා ජාතික සංග්‍රාමයක යෙදුණු මෙම වෘද්ධවීරයා මාර සංග්‍රාමයෙන් පරාජය වී ස්වකීය ජීවිත ග්‍රන්ථය අවසන් කළේ ය. 1944 වසරේ මැයි 29 වැනිදාය.

මේ ආකාරයට සඳහන් වන්නේ වර්ෂ 1944 ජූනි අට වැනිදා සිංහල බෞද්ධයා නම් පුවත්පතෙහි පළවු ලිපියකය. මෙහි සඳහන් වෘද්ධ වීරයා නම් ජාතියේ පිනෙන් මෙරට පහළ වූ ශ්‍රීමත් ඩී. බී . ජයතිලක මැතිඳුන්ය. ඉමහත් ප්‍රසිද්ධියක් සමඟ මහත් ජනාදරයක් ද දිනා ගත්තේ මොහු එදා ප්‍රපාතයෙනුත් ප්‍රපාතයට ඇද වැටී පැවැති දෙස බස හා රැස බබළවන්නට ගත් උත්සාහය නිසාය.

1868 පෙබරවාරි 13 වෙනිදා කැලණියේ උපත ලැබූ දොන් බාරොන් ජයතිලකයන්ගේ පියා වූයේ මධ්‍යම පෙළේ කොන්ත්‍රාත්කරුවෙකු වූ ඩී. බී. ජයතිලකයි. මව එලිසිනා වීරසිංහයි. සත් හැවිරිදි වියෙහි දී බාරොන් දරුවා වත්මන් ශාස්ත්‍රාභිවර්ධනයෙහි පහන් ටැඹක් වන විද්‍යාලංකාර පිරිවෙනෙහි නිර්මාතෘ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහ ස්ථවීර හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු බවට පත් විය.

ඒ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව බුදුදහම , සිංහල , පාලි සංස්කෘත හා ඉතිහාසය හැදෑරූ මොහු පිරිවෙන් අධ්‍යාපනය ලබන අනතුරදීම වරාගොඩ බැස්ටිස් පාසලෙන් ද අධ්‍යාපනය ලැබීය. 1881 වසර වන තෙක් මෙහි අධ්‍යාපනය ලැබූ බාරොන් දරුවා එම වසරේ දීම වැඩිදුර අධ්‍යාපනය සඳහා එවකට මරදානේ පැවැති වැස්ලි කොලිජියට ඇතුළත් විය. මෙහි ඉගෙනුම ලබන අතරතුර ජ්‍යෙෂ්ඨ සහිතක පත් පරීක්ෂණයන්ගෙන් සමත්වීමට ද මොහුට හැකි විය.

විසි දෙහැවිරිදි තරුණ ජයතිලකයන් 1896 දී කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී (බී.ඒ) උපාධිය දිනා ගත්තේ ය. මෙරට බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටවීමේ මහා කර්තව්‍ය ඇරැඹූ හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාගේ වැඩකටයුතුවලට අත දුන් ජයතිලක තරුණයා මහනුවර ධර්මරාජ විද්‍යාලය ඇරැඹීමේ වැඩ කටයුතුවලට ඉමහත් කැපවීමෙන් ක්‍රියා කෙළේ ය. 1

890 වසරේ දී ආරම්භ කළ එම විදුහලෙහි සමාරම්භක විදුහල්පති වූයේ ද ජයතිලක තරුණයාමය. එදා මෙම විදුහල හඳුන්වනු ලැබුයේ මහනුවර උසස් බෞද්ධ පාඨශාලාව ලෙසයි.

1898 දී යුග දිවියට එළඹී ජයතිලකයන්ගේ සහකාරිය වූයේ මල්ලිකා බටුවත්තුඩාවේ මැතිණියයි. එතුමියගේ අකල් මරණය වන තෙක්ම පැවැති මෙම යුග දිවිය සැබැවින්ම ආදර්ශමත් විය. පසුව 1910 දී තවදුරටත් ඉගෙනීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වූ මොහුනීතිය පිළිබඳ උපාධිය ද ලබා ගෙන 1913 දී පෙරළා මෙරටට පැමිණියේ ය.

ධර්මරාජ විදුහලෙහි විදුහල්පති වූ මෙතුමා සිය පූර්ණ කාලය හා ධනය වැය කරමින් එම විදුහල දියුණු කිරීමට නොගත් උත්සාහයක් නැත. අප්‍රතිහත ධෛර්යකින් යුතුව ඉටු කළ මෙම උදාර සේවය පිළිබඳ පැහැදීමට පත් පරම විඥානාර්ථ බෞද්ධ සංගමය 1898 දී කොළඹ ආනන්ද විදුහලේ උප විදුහල්පති තනතුරට ජයතිලකයන් පත්කරනු ලැබීය.

1900 දී බුල්ජන්ස් මහතාගේ් හිස් වූ ආනන්දයේ විදුහල්පතිධූරයට පත් කරනු ලැබුයේ ද ජයතිලකයන්මය. මෙම විදුහල ඉංග්‍රීසි ලතින් ග්‍රීක් සහ බ්‍රිතාන්‍ය ඉතිහාසයට වැනි විෂයයන්ට සීමා නොකර පාලි , බුද්ධ ධර්මය , සහ ලංකා ඉතිහාසය වැනි විෂයන්ටද තෝතැන්නක් කළහ.

ප්‍රථම ආණ්ඩුවේ ශිෂ්‍යත්වය ආනන්දයට හිමි වූයේ ජයතිලක සූරීන් එහි ආධිපත්‍යය දැරූ කාලයේ දීමය. ඒ භාග්‍ය සම්පන්න ශිෂ්‍යයා වූයේ පසු කලෙක ඉන්දියාවේ වෙළෙඳ කොමසාරිස් ධූරය දැරූ අධිනීතිඥ ජී. කේ. ඩබ්ලිව්. පෙරේරා මහතාය.

කෘතහස්ත අධ්‍යාපනඥයෙකු ලෙස කීර්තියට පත් ජයතිලකයෝ තම සේවය ආනන්දයට ම සීමා නොකර මුළු මහත් රට වෙනුවෙන් ම කැප කිරීමේ අභිලාෂයෙන් පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ පාඨශාලා සාමාන්‍යාධිකාරී ධුරය භාර ගත්හ.

එම නිලයේ පැවැති කාර්ය බහුලත්වය නිසාම මෙතුමාට ආනන්ද විදුහල්පති ධූරය අත් හැරීමට සිදුවිය. පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ද මෙතුමා ප්‍රසංශනීය ප්‍රතිසංස්කරණ ඇති කළේ ය. විද්‍යාලංකාර පිරිවෙනෙහි ශාඛාවක් ලෙස ධර්මාලෝක ඉංග්‍රීසි විද්‍යාලය බිහි වූයේ ද මෙතුමාගේ මාර්ගෝපදේශකත්වයෙනි.

රටේ සංවර්ධනය සඳහා අධ්‍යාපනය නැතිවම බැරි අංගයක් සේ සැලකූ® ජයතිලකයන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උප සභාපතිවරයා වශයෙන් ඉදිරිපත් කළ අය වැය ලේඛනයෙහි අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුදල අධිකයක් නොවන බවට තර්ක කරමින් කියා සිටියේ ‘රටකට නූගත් ප්‍රජාතන්ත්‍රවාදය තරම් හානිදායක දෙයක් තවත් තිබේ දැයි මට සිතා ගන්නවත් බැරිය’ යනුවෙනි.

1918 සිට අවුරුදු තිහකට අධික කාලයක් ලේක්හවුස් හි වගකිව යුතු උසස් නිල ඉසුලු හුලුගල්ල සහ පියසේන නිශ්ශංක යන සූරීන් දෙදෙනා ලියූ ඩී. ආර්. විජයවර්ධන චරිතාපදානයෙහි මෙසේ සඳහන් වෙයි’

‘එච්. එස්. පෙරේරා මහතා අසාධ්‍ය රෝගයකින් ඔත්පල විය. ඔහුට අයත් පත්‍රය .... ගැන සැලැකූ® ඩී. බී. ජයතිලක මහතා ඒ පිරිමැසෙන්නට පත්‍රය හොඳින් පවත් ගෙන යෑමේ ශක්තිය ඇති කෙනෙකු මිලට ගෙන දීමට අදහස් කළේ ය. ඒ ගැන හිතන විට ජයතිලක මහතාට පෙනී ගියේ ඩී. ආර්. විජයවර්ධන මහතාය... විජයවර්ධන මහතාට මේ ගැන කතා කළ විට ඔහු ඊට කැමැති විය....... ‘’

එදා ජයතිලක සූරීන් මෙම දූරදර්ශී ක්‍රියාමාර්ගය නොගන්නට එච්. එස්. පෙරේරා මහතා සමඟම ‘දිනමිණ’ පත්‍රය ද අභාවයට යන්නට ඉඩ තිබුණි.

බෞද්ධ කටයුතු සඳහාද ජයතිලකයෝ උනන්දුවක් දැක් වූහ. මොහුගේ සේවාව ගැන පැහැදුණ එංගලන්ත රජු 1932 දී මොහු ‘නයිට්’ නාමයෙන් පිදීය. එතැන් පටන් ශ්‍රීමත් ඩී. බී. ජයතිලක විය.

නදීකා දිල්හානි ඩයස්

දරුවන් නැති මට මේ දේපොළ මොකටද ඒවා ජනතාව සතුවිය යුතුයි. කියූ ශ්‍රීමත් ජයතිලක විශාල පොල්වතු දෙකක් සහ බුලර්ස් පාරේ පිහිටි සුවිශාල මැදුරක් ජනසෙත සඳහා මහා භාරකාරු වෙත පැවරීය.

මැලේරියා උණෙන් පෙළුණ ජයතිලක ප්‍රතිකාර සඳහා එංගලන්තයට ගියේය තරමක් සුවවීමෙන් පසු ලංකාවට ඒමට අදහස් කළ විට ඔහු වෙනුවෙන් විශේෂිත අහස් යානයක් ලබා දුන්නේ මවුන්ට් බැටන් සාමිවරයාය, ඒ එන ගමනේ දී විඩා හරින්නට බැංගලෝරයේ ටිකක් නැවතී යළි අහසට නැග්ගේය.

හදිසියේ යානයේ දීම රෝගී වී 1944 මැයි 29 වෙනිදා ඒ පාළු අභ්‍යවකාශයේ දීම මේ මහා විද්වතා ජනනායකයා, බෞද්ධෝපාසකයා සිය අවසන් සුසුම් වාතලයට මුසු කළේ ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්