දිනමිණ සහ වෘත්තීය සමිති

දිනමිණ සහ වෘත්තීය සමිති

‘දිනමිණ’ ජනසතුවෙන් පසු මෙරට කම්කරු ජනතාවට සහ වෘත්තීය සමිති ව්‍යාපාරයට හිතවත් ආකාරයටත් එම කොටස් වල ආරක්ෂකයා ලෙසත් කටයුතු කෙළේ ය. එහෙත් එක්දහස් නවසිය හැත්තෑහතේදී සිදු වූ දේශපාලන පෙරැළියත් සමඟ ‘දිනමිණේ ‘ ගමන් මගෙහි යළිත් පරිවර්තනයක් සිදුවිය.

නමිණ’ කියූ සැනෙන් අපේ මතකය දුර අතීතයකට දිවයයි. එක් දහස් නවසිය නවයේදී ආරම්භ වූ ‘දිනමිණ’ වසර අනූ නවයක් වූ දීර්ඝ කාල සීමාවේ සුවිශේෂී වූ ජාතික ආගමික සහ සංස්කෘතික මෙහෙවරක යෙදුණි. එම මෙහෙවර මෙරට මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂ ලෙස සටහන්ව තිබෙන යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ පීඩනයට එරෙහිව හඩ නැංවිය හැකි ජාතික මාධ්‍යයක් නොතිබි එම කාලයේදී ‘දිනමිණ’ දේශීය ජනමතය ගොඩනැගීමටත් අධිරාජ්‍ය විරෝධී සටන ශක්තිමත් කිරීමටත් දායකත්වය ලබා දුන්නේ ය. ඒ අනුව ‘දිනමිණ’ එච්.එස්.පෙරේරා මහතා ගේ කර්තෘ ධූරය යටතේ ආරම්භ වූ අතර එක් දහස් නවසිය නවයේ සිට එක් දහස් නවසිය දාහතර තරම් කාලය දක්වා මෙරට ප්‍රගතිශීලි ජනමතයක් ගොඩනැගීමට දායකත්වය ලබා දුන් ජාතික පුවත්පත වූයේ ‘ දිනමිණ’ යි. මන්දයත් එවකට සංවිධානාත්මක දේශපාලන පක්ෂ නොතිබූ අතර අවිධිමත්ව ගොණුවී සිටි අධිරාජ්‍ය විරෝධීන්ට සවිය සපයන්නට මේ පුවත්පතට පුළුවන්කම ලැබී තිබිණි.

1914 දී ඩී.ආර්.විජයවර්ධනයන් ‘දිනමිණ’ පුවත්පත මිලදී ගැනීමත් සමඟ එහි තිබූ අන්තර්ගතයේ සහ ජනපි‍්‍රයත්වයේ ඉහළ යාමක් දක්නට ලැබුණු අතර 1948 වර්ෂයේදී මෙරට නිදහස ලැබීම දක්වා කාල වකවානුවේදීත් ‘දිනමිණ’ පුවත්පත කැපී පෙනෙන ප්‍රගතිශීලි මෙහෙවරක නියැළිණි. එම යුගයේ ඇති වූ විවිධ අධිරාජ්‍ය විරෝධී අරගලවලදී ජනමතය මුවහත් කළ සිංහල මාධ්‍ය වූයේ ‘දිනමිණ’ යි.

එහෙත් නිදහසින් පසු ‘දිනමිණ’ පුවත්පත පොදුජන මතයට පිටුපා කටයුතු කරන ආකාරයක් දක්නට ලැබිණ. විශේෂයෙන්ම එම කාලයේදී වෘත්තීය සමිති සහ කම්කරු පන්තිය අමතක කර ධනපති ආණ්ඩුවට ආධාර කරන ස්ථාවරයකට ‘දිනමිණ’ පුවත්පත තල්ලු වී ගොස් තිබිණි. විශේෂයෙන්ම ඩී.ආර්.විජයවර්ධන මැතිතුමා ගේ අභාවයත් සමඟ මේ තත්ත්වය වඩාත් නරක ආකාරයට ඉස්මතු විය. එම කාලයේදී ‘දිනමිණ’ පුවත්පත ඇතුළු ලේක්හවුස් ආයතනය පාලන බලයේ සිටි ධනපති එජාප ආණ්ඩුවේ පාර්ශවය ගෙන කටයුතු කළා මිස පීඩිත පන්තියේ පැත්ත ගෙන කටයුතු කෙළේ නැත. ඔවුන්ගේ එම ප්‍රතිපත්තිය කුමක් වුවද ‘දිනමිණ’ පුවත්පත එම යුගයේ ලක්ෂ ගණනින් අලෙවි වූ ජාතික පුවත්පත වී තිබිණි. ඒ අනුව අප පිළිගත යුතු යථාර්ථය වන්නේ ‘දිනමිණ’ විසිවන සියවසේ මැද භාගයේදී මෙරට ප්‍රකාශනයට පත් වූ ජනපි‍්‍රයතම පුවත්පත බවය. එයින් අපට තහවුරු කර ගත හැකි යථාර්තය වන්නේ එවකට ‘දිනමිණ’ ට මෙරට ලක්ෂ ගණනකගේ මතය හැසිරවීමේ ශක්තිය තිබූ බවයි. පුවත්පත් රැසක් මුද්‍රණය වන මෙවැනි සමයක වුවද ‘දිනමිණ’ ට ජනමතය හැසිරවීමේ සුවිශේෂ හැකියාවක් ලැබී ඇත්තේ එදා තිබූ විරාජමාන තත්ත්වය නිසා ය.

එක්දහස් නවසිය පනස් තුනේදී මෙරට ප්‍රගතිශීලි දේශපාලන පක්ෂ වෘත්තීය සමිති හා පොදු ජනතාව එක්ව සාර්ථක හර්තාල් ව්‍යාපාරයක් මෙහෙය වූ අතර එම හර්තාලය නිසා රටේ දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. එහෙත් මේ හර්තාල් ව්‍යාපාරය පිළිබඳ එවකට තරගකාරි ප්‍රධාන පුවත්පත් වූ ‘ දිනමිණ’ සහ ‘ලංකාදීප’ වාර්තා කරන්නේ පරස්පර ආකාරයට ය. ‘දිනමිණ‘ තම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හර්තාලය අසාර්ථක වූවක් බවට පළ කරද්දී ‘ලංකාදීපය‘ වාර්තා කෙළේ හර්තාලය සාර්ථක වූවක් බව ය. එහෙත් හර්තාලය පිළිබඳ මෙරට පොදු පිළිගැනීම වී තිබුණේ් හර්තාලය සාර්ථක වූවක් බව ය. එහෙත් ‘ දිනමිණ ‘ ට අනුව එම අරගලය අසාර්ථකය. මේ අනුව ‘ දිනමිණ ‘ වැඩ කරන පන්තිය කෙරේ එවකට දැරූ ස්ථාවරය අපට පැහැදිලි කර ගත හැකිය.

ඩී.ආර්.විජයවර්ධන මැතිතුමාගේ ඇවෑමෙන් ‘ දිනමිණේ’ දේශපාලන හැසිරීම කම්කරු අරගල, වෘත්තීය සමිති අරගලවලට එරෙහි වූවක් ලෙස හඳුන්වාදීම ‘දිනමිණට’ සිදු කරන චෝදනාවක් නොවේ. එවකට තිබූ යථාර්ථය පෙන්වා දීමක් පමණි.

මේ සියලු පෙළගැසීම්වල ප්‍රතිඵලය බවට පත්වූයේ මෙරට ප්‍රගතිශීලි කොටස් සහ කම්කරු බලවේග ‘ දිනමිණ’ පුවත්පතෙන් වියෝවීමය. එහෙත් ‘ දිනමිණ’ පරිපාලනය එවැනි අදහසක සිටියද එම පුවත්පතේ කටයුතු කළ විශිෂ්ට ගණයේ මාධ්‍යවේදීන් පරිපාලනයේ දේශපාලන මතයේම එල්බගෙන සිටියේ නැත. ඔවුන් හැකි හැම විටම මෙරට ප්‍රගතිශීලීන්ට, කම්කරුවන්ට ලබාදිය හැකි සහයෝගය ලබා දුන්නේ ය.

මේ සිදුවීම් මාලාවේ අවසානය බවට පත්වන්නේ එක්දහස් නවසිය හැත්තෑ තුනේදී ‘ දිනමිණ’ පුවත්පත ඇතුළු පුවත්පත් රැසක් ප්‍රකාශයට පත් වූ ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීම ය.

මාධ්‍ය ආයතනයක් රජයට පවරා ගැනීම අප අනුමත නොකළද එවකට පැවැති සමගි පෙරමුණු රජය එය කෙළේ ය. එයට හේතුª වූයේ ‘ දිනමිණ’ දේශපාලනික වශයෙන් කටයුතු කළ ආකාරයයි.

‘දිනමිණ’ ජනසතුවෙන් පසු මෙරට කම්කරු ජනතාවට සහ වෘත්තීය සමිති ව්‍යාපාරයට හිතවත් ආකාරයටත් එම කොටස්වල ආරක්ෂකයා ලෙසත් කටයුතු කෙළේ ය. එහෙත් එක්දහස් නවසිය හැත්තෑහතේදී සිදු වූ දේශපාලන පෙරැළියත් සමඟ ‘දිනමිණේ ‘ ගමන් මගෙහි යළිත් පරිවර්තනයක් සිදුවිය. එවකට අභිනවයෙන් බලයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එක්සත් ජාතික පක්ෂ රජයේ දේශපාලනය වූයේ මෙරට වැඩ කරන ජනතාව සහ වෘත්තීය සමිති මර්දනය කර තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමය. ඒ මොහොත වන විට ‘දිනමිණ’ ද ‘ලේක් හවුසිය ‘ නම් රාජ්‍ය සමාගමේ ප්‍රකාශනයට පත්ව තිබූ අතර ඒ අනුව එජාප රජය සිදුකළ සියලු වෘත්තීය සමිති විරෝධී කම්කරු විරෝධී ක්‍රියාකාරකම් සාධාරණීයකරණය කිරීමේ පසුගාමී ස්ථාවරයක පසුවිය.

මෙරට වෘත්තිය සමිති සහ කම්කරු සටන්වල අප කීර්තිමත් සිදුවීමක් වන ‘සෝමපාල සහෝදරයාගේ ඝාතනය’ එජාප රජයට සම්බන්ධ මැරයන් විසින් සිදුකළ අපරාධයක් වුවද එය තෙරපීම නිසා ඇති වූවක් බවට සඳහන් කිරීමට ‘දිනමිණ’ එදා කටයුතු කෙළේ ය. එවකට බලයේ සිටි එජාප රජයේ අදහස වූයේ ද එයයි. මේ අනුව ‘දිනමිණේ’ මුල් හිමිකරුවන් වූ ඩී.ආර්.විජයවර්ධන, එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්වරුන් බලධාරීත්වය දැරූ සමයේදීවත් ‘දිනමිණ’ මෙතරම් ඒක පාක්ෂිකව කටයුතු කෙළේ නැත. එක්දහස් නවසිය හැත්තෑහතේ සිට අනූහතර දක්වා ක්‍රියාත්මක වූ එජාප පාලන කාලයේ දී ‘දිනමිණ’ පුවත්පතේ සමස්ත කාර්ය භාරයම ඒ හා සමාන මුහුණුවරක් ගත්තේ ය.

එම තත්ත්වය වෙනස් වී ‘ දිනමිණ’ කම්කරුවාගේ වෘත්තීය සමිතියේ පැත්ත ගෙන තමන්ගේ මාධ්‍ය මෙහෙවර ඉටු කරන්නට අවස්ථාව ලැබුණේ 1994 ආණ්ඩු පෙරැළියත් සමඟ ය.

එයට හේතු වන්නේ 1994 දී බලයට පත් වන්නේ කම්කරු පන්තිය වෘත්තීය සමිති පදනම් කරගත් ආණ්ඩුවක් වීම නිසාය. එදා සිට අද දක්වා දේශපාලන කරළියේ විවිධ වෙනස්කම් සිදු වුවද ‘දිනමිණ’ පුවත්පතේ කම්කරු පන්තික හිතෛෂි භාවය බිඳකුදු අඩුවී නැත. එයට හේතුවී ඇත්තේ අද ‘දිනමිණ’ පරිපාලනය සිදු කරන්නේ වැඩකරන ජනතාව සමඟ සබඳතා පවත්වන එම පන්තිය නියෝජනය කරන පිරිසක් වීම ය.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්.පියදාස

ඒ නිසා අද ‘දිනමිණ’ වෘත්තීය සමිති සමඟත් කම්කරු පන්තිය සමඟත් සමීප සබඳතාවක් ගොඩනඟා ගෙන තිබේ. ඇත්තෙන්ම අද වැඩ කරන ජනතාවගේ හඬ බවට පත්ව තිබේ.

වසර සියයකදී ‘දිනමිණ’ පුවත්පත දේශපාලනික සහ වෘත්තීය සමිති අරගල පැත්තෙන් කුමන ස්ථාවරයක සිටියද සමස්තයක් වශයෙන් ගත්කළ මෙරට භාෂා, ආගමික , ජාතික හා ආගමික වෙනස්කම් සඳහා ‘දිනමිණ’ ඉටුකළ සේවය අපරිමිතය. ඒ නිසා මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයේ දිනමිණට අවශ්‍ය උපරිම ගෞරවය ලබාදිය යුතුය. මන්දයත් මෙරට මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයෙ ‘දිනමිණ’ තරම් යුග කාර්ය භාරයක් ඉටුකළ වෙනත් පුවත්පතක් නොමැති නිසාය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්