පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ‘දිනමිණ’ වසර සියය

පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ‘දිනමිණ’ වසර සියය

කෝල්බෲක් කොමිෂන් සභාව මෙරට විධිමත් පාලන ක්‍රමයේ ආරම්භය ලෙස සැලකෙයි. යටත්විජිත යුගයේ මුල් වකවානුවේ වූ මේ කොමිෂන් සභාව ව්‍යවස්ථාදායකය සහ විධායකය යනුවෙන් මන්ත්‍රී මණ්ඩල දෙකකින් පිහිටුවා තිබිණි. ඒවායෙහි පත්වීම් කරනු ලැබුවේ ආණ්ඩුකාරයා විසිනි. විධායක සභාවට පත්වූයේ රාජ්‍ය නිලධාරීන්ය. ඒ නිල බලයෙනි.

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රථම මන්ත්‍රීවරයා පත්කර ගනු ලැබුවේ 1912 සිට 1920 දක්වා පැවැති ව්‍යවස්ථාදායක සභාවට ය. ඒ මැතිවරණයේදී සර්වජන ඡන්ද බලයක් ක්‍රියාත්මක නොවීය. ඡන්ද බලය හිමිවූයේ උගත් ශ්‍රී ලාංකික පිරිසකටය. ව්‍යවස්ථාදායක සභාවට මහජන ඡන්දයෙන් නියෝජිතයකු පත්කර ගැනීමට ලද ප්‍රථම අවස්ථාව වශයෙන් එය ඉතිහාසගත වේ.

1920 දී රාජාඥ පනතක් මගින් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා ඒ සඳහා මන්ත්‍රීන් 37 ක් තෝරා ගැනිණි. එයින් 23 ක් මහජන නියෝජිතයන් වූ අතර නවදෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත්කරනු ලැබ ඇත. 1931 සිට 1947 දක්වා ක්‍රියාත්මක වූයේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයයි. ඡන්ද දායක කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරු 50 ක් රාජ්‍ය්‍ය මන්ත්‍රණ සභාවට අයත් වූහ.

චන්ද්‍රානි මාරසිංහ

1946 පාර්ලිමේන්තු මැතිවරණ පනතින් මැතිවරණ පැවැත්වීම පිළිබඳ සියලු අනපනත් සම්මත කරගෙන තිබේ. 1948 දී අප රට නිදහස් වීමෙන් පසුව ලංකා රටවැසි පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිණි. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය බ්‍රිතාන්‍ය වැසියන්ට එරට ඡන්ද බලය අහිමි විණි.

ගාලු මුවදොර පාර්ලිිමේන්තු මන්දිරය ස්ථාපිත වූයේ 1930 ජනවාරි 29 වැනිදා ය. එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි විසින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මන්දිරය ලෙස එය විවෘත කෙරිණි.

1931 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහාත්, 1947 සිට 1972 දක්වා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහාත් 1972 සිට 1978 දක්වා ජාතික රාජ්‍ය සභාව සඳහාත් මේ මන්දිරය භාවිතා කෙරිණි. 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වීම සමඟ එය පාර්ලිමේන්තු මන්දිරය බවට පරිවර්තනය විය.

මෙහි පැවැති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව සලසා දී තිබිණි. සභා ගැබේ ප්‍රධාන දොරටුව දෙපස ඉදිකොට තිබූ කුටි මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන් විය.

1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීන් ගණන 101 ක් දක්වා වැඩිවීම හෙයින් අවශ්‍ය ඉඩකඩ සපයා ගැනීමට මාධ්‍යවේදීන්ගේ කුටි ඉවත් කොට ඔවුන් සඳහා මහජන ගැලරියේ කොටසක් වෙන් කෙරිණි.

1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්වාධීනව සිය අදහස් ප්‍රකාශ කිරීමට හා සභා ගැබෙහි විවාදවලට සහභාගිවීම සඳහා වරප්‍රසාද සලසා දී තිබේ. ජනමාධ්‍ය කටයුතුවලට අදාළව මේ පනත යටතේ් යම් යම් සීමාවන් පනවා තිබේ.

සභාවේ හෝ කමිටුවක යම් විවාදයක් හෝ කරුණකට අදාළ අසත්‍ය හෝ නොමග යවන ආකාරයේ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කිරීම සහ මන්ත්‍රීවරයකු කරන ලද කතාවක් හිතාමතා ඕනෑකමින් වැරැදි ලෙස මතුකර දැක්වීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි. අනෙකුත් වගන්ති වන්නේ, සභාව හෝ කමිටුව විසින් ප්‍රසිද්ධියට පත්කිරීම තහනම් කර ඇති යම් විවාදයක් හෝ කරුණක් පිළිබඳව වාර්තා හිතාමතා ප්‍රසිද්ධියට පත් කිරීම, සභාවේ කටයුතු විවේචනය කරන්නා වූ අපහාසාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත් කිරීම,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හැසිරීම පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්කිරීම, පාර්ලිමේන්තු කමිටුවක යම් කටයුත්තක් සභාවට වාර්තා කිරීමට ප්‍රථමයෙන් ප්‍රසිද්ධියට පත් කිරීම, රජයේ මුද්‍රණයාලාධිපති විසින් මුද්‍රණය කළ යුතු යම් පුවතක්, වාර්තාවක් හෝ රැස්වීමක වාර්තාවක් යනාදියේ පිටපත් මුද්‍රණය කිරීම සහ ඉහත කිසියම් වරදක් සඳහා ආධාර අනුබලදීම දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් දක්වා තිබේ. වගන්තියට අනුව වරප්‍රසාද උල්ලංඝනය වූ අවස්ථාවක විභාගයක් පවත්වා දඬුවම් පැමිණවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුවේ.

හැටේ දශකය තෙක්ම පුවත්පත් වාර්තාකරුවන් වූයේ ඉතා සුළු සංඛ්‍යාවකි. 60 දශකයේදී ද පාර්ලිමේන්තු වාර්තා කෙළේ ‘දිනමිණ’ සහ ‘ලංකාදීප’ පුවත්පත් මාධ්‍යවේදීන් පමණකි. එවකට පාර්ලිමේන්තු වාර්තාකරුවන්ට විශාල වගකීමක් පැවරී තිබුණි. පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ස්ථාවර නියෝගයන්ට අනුව සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමාන ප්‍රචාරයක් ලබාදිය යුතුවේ. සියලු මන්ත්‍රීවරුන්ගේ කතා වාර්තා කළ යුතුය. ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් මන්ත්‍රීවරුන්ට එක හා සමාන ඉඩකඩක් ලැබුණ නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අකුරටම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට සිදුවුණි.

ඉතිහාසයේ සිදුවූ මහා පෙරැළි, ආණ්ඩු වෙනස්වීම්, ආණ්ඩු කඩා වැටීම්, පක්ෂ මාරු කිරීම් ආදි ක්‍රියා වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන්ට ඉතා වගකීමෙන් කටයුතු කරන්නට සිදුවිය. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කෙළේ පාර්ලිමේන්තු ක්‍රමයට, සම්ප්‍රදායවලට නියෝගයන්ට පුරාණයේ බයිබලය, ත්‍රිපිටකය මෙන් ගරු කරන මන්ත්‍රී පිරිසකි.

එන්. එම්. පෙරේරා, ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, කොල්වින් ආර්. ද සිල්වා, සී. පී. ද සිල්වා, සිරිමාවෝ බණ්ඩාරනායක, බර්නාඩ් සොයිසා, ලෙස්ලි වැනි මන්ත්‍රීවරු එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ අය වෙති. කිසිවෙකුට පාර්ලිමේන්තුව නොමග යැවීමට අවස්ථාවක් නොලැබිණි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, සම්ප්‍රදායයන් නියම ලෙස ක්‍රියා කිරීම නිසා පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන්ට ඉතා වගකීමෙන් වාර්තා කිරීමට සිදුවිය. පාර්ලිමේන්තු රැස්වීම් ගැන විවේචනාත්මකව හෝ තමන්ගේ මත හෝ විවිධ න්‍යාය පත්‍රයන්ට අනුව වාර්තා කිරීමට කිසිම ඉඩක් ලැබුණේ නැත. පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීම යනු එවකට ඉතා වගකීම් හා බැරෑරුම් කාරියකි. ඒ හේතුව නිසාම පාර්ලිමේන්තු වාර්තා කිරීමට යොදවනු ලැබුවේ ඉතා පරිණත මාධ්‍යවේදීන්ය.

පාර්ලිමේන්තු රැස්වීම් හා සම්බන්ධව තීරු ලිපි ලිවීම සිදුවූයේ හැටේ දසකයේදීය. පාර්ලිමේන්තු නීති-රීති පමණක් නොව මන්ත්‍රීවරුන් පිළිබඳව ද මනා දැනුමක් ඇති මාධ්‍යවේදීන් විසින් තීරු ලිපි ලියනු ලැබූ අතර එය ඉතා ගැඹුරු ලිපියක් වූයේය.

පුවත්පත් සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ කතා එක සමාන ලෙස පිටු ගණනින් වාර්තා කරනු ලැබූ අතර ‘ලොබි කොලම’ යනුවෙන් තීරු ලිපි ලියන වාර්තාකරුවෝ වූහ. පාර්ලිමේන්තු ලොබිය යනු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටවන විට හමුවන ආලින්දයයි. මාධ්‍යවේදීන්ට එහිදී මන්ත්‍රීවරුන් නිදහසේ හමුවන්නට අවස්ථාව තිබුණි. සභා ගැබේදී සහ ලොබියේදී සිදුවන දේවල් ගොනු කිරීමෙන් තීරු ලිපිය සකස් කිරීමට වාර්තාකරුවන්ට හැකිවිය. එහෙත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා වන අන්දමට ඉතා පරිස්සමෙන් තීරු ලිපිය ලිවිය යුතුවේ.

එවැනි ලිපි ඇතැම්විට ඉතා රසබර විය. බී. ඒ. සිරිවර්ධන, අජිත් සමරනායක, ජේ. ද එස්. කැල්ලපත, ඩබ්ලිව්. ජී. ගුණරත්න, මහින්ද අබේසුන්දර යන මාධ්‍යවේදීහු මුල් කාලයේ තීරු ලිපි ලිවූහ. ආරක්ෂක තත්ත්වයට අනුව ලොබියට යාමට මාධ්‍යවේදීන්ට තිබූ අවස්ථාව වැළකී ගියේය.එමෙන්ම එදා මාධ්‍යවේදීන්ට ද රීති ප්‍රශ්නය ගැන ලොකු වැටහීමක් තිබුණි. රීති ප්‍රශ්න පුවත්පත් සඳහා මහත් ආසාවෙන්, උනන්දුවෙන් වාර්තා කෙළේ එය රීති ප්‍රශ්නයක්ම නිසාවෙනි. මන්ත්‍රීවරුන්ට රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අනිවාර්යයෙන්ම කථානායකගේ නියෝගය අවශ්‍ය වේ. රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට නැගී සිටින මන්ත්‍රීවරයාට කිසිම විදියකින් බාධා කළ නොහැකිය.

1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූයේය. මන්ත්‍රීන් ගණන 108 දක්වා වැඩිවූ හෙයින් සභා ගර්භයේ අවශ්‍ය ආසන ඉඩකඩ ලබාගැනීම සඳහා ආසන එකිනෙක අතර වූ ඇඳි ඉවත් කෙරිණි.

පාර්ලිමේන්තු මන්දිරයේ ඉදිරිපස මුදුනේ වූ බ්‍රිතාන්‍ය ලාංඡනය ඉවත් කොට ශ්‍රී ලංකා ලාංඡනය යොදනු ලැබීය

1978 සැප්තැම්බර් 7 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විණි. මන්ත්‍රීන් සංඛ්‍යාව 196 දක්වා වැඩි කෙරිණි.

1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නව පාර්ලිමේන්තු මන්දිරය උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. වසර 52 ක් පුරා රැස්වීම් පැවැති ගාලු මුවදොර පාර්ලිමේන්තු මන්දිරයේ සභා ගර්භයේ අවසන් රැස්වීම පැවැත්වූයේ 1982 මාර්තු 26 වැනි සිකුරාදාය. එදින රැස්වීම විනාඩි 43 කට සීමා කෙරිණි.

80 දශකය පමණ වන තෙක්ම පාර්ලිමේන්තුවේ රැස්වීම ගැන කථානායකගේ විශේෂ අවධානයක් යොමු කොට තිබුණි’ කථානායකගේ නියෝග ඉතා ප්‍රබල මෙන්ම දැඩි ලෙස ක්‍රියාත්මක කෙරුණි.

වාචික ප්‍රශ්නවලදී ප්‍රශ්නය ඇසූ මන්ත්‍රීවරයාට අතුරු ප්‍රශ්න තුනක් ඇසිය හැකිය. එය ප්‍රශ්නයක්ම විය යුතු අතර ප්‍රශ්නය එක් වාක්‍යයකින් සමන්විත යුතු වේ. එනම් අතුරු ප්‍රශ්න තුන යනු වාක්‍ය තුනකි. එමෙන් ම මන්ත්‍රීවරයෙක් කතාව පවත්වන අතරතුරදී රීති ප්‍රශ්නයක් මතුකරන්නේ නම් එය රීති ප්‍රශ්නයක්ම විය යුතුය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නොවේ නම් රීති ප්‍රශ්නය නැවැත්වීමට කථානායක වරයාට නියෝග කළ හැකිය.

1978 දේශපාලන වෙනස්වීමත් සමඟ පාර්ලිමේන්තු සංයුතිය ඇතුළුව බොහෝ සෙයින් වෙනස්වීමට ලක්වී තිබේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය, නීති-රීති ඒ අයුරින්ම සිදුවෙනු දකින්නට නොලැබිණි. ස්ථාවර නියෝග, වරප්‍රසාද රීති ප්‍රශ්නවලට මුවාවෙලා මන්ත්‍රීවරු ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමෙහි යෙදෙති. නීති-රීති නියමාකාර ලෙස ඉටු නොවන තැන ඇතිවන හිඩැස රිසිසේ යොදා ගත හැකිවේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, සම්ප්‍රදාය, නීතිරීති නියමාකාර ලෙස ක්‍රියාත්මක නොවන විටදී සිදුවන්නේ ද එයමය.

වරප්‍රසාදවලට මුවා වී නොයෙකුත් අවශ්‍යතාවන්ට අවස්ථාව යොදා ගනිති. කථානායක නියෝග දැඩි නොවීම මෙන්ම නියෝග නොපිළිපැදීමත් වනවිට ගුණාත්මකභාවය අඩු නොවන්නේ යැයි කිව නොහැකිය.

මේ තත්ත්වය මාධ්‍ය වාර්තාවන්ට ද මේ වනවිට බලපා තිබේ. විද්‍යුත් මාධ්‍ය බිහිවීමත්, පුවත්පත් ආයතන බිහිවීමත්, මාධ්‍ය ආයතන ගණනාවක් නියෝජනය කිරීමත්් හේතුවෙන් පෙර තිබූ පාර්ලිමේන්තු ගාම්භීරත්වය අඩුවී ගියේය. කෙටි තරංග නාලිකා බිහිවීමත් සමඟ ඇතිවූ මාධ්‍ය තරගකාරීත්වය නිසා පාර්ලිමේන්තු වාර්තාවල නිවරැදිභාවය, ගුණාත්මකභාවය, වගකීම අඩුවී ගොසිණි. මේ වනවිට ඕනෑම තරාතිරමක මාධ්‍යවේදියකුට පාර්ලිමේන්තු රැස්වීම වාර්තා කිරීමට අවස්ථාව සැලසී තිබේ. මාධ්‍ය පරිණතභාවයක්, දැනුමක් අවශ්‍ය නොවේ.

80 දශකය පමණ වනතෙක් කළ මාධ්‍ය ආවරණවලට වඩා හාත්පසින්ම වෙනස් වූ මාධ්‍ය ක්‍රමවේදයක් මේ වනවිට පවතී. එවකට පාර්ලිමේන්තු ආවරණය කළ මාධ්‍යවේදීන් ලද අත්දැකීම් අති විශාලය. වර්තමානයේ දේශපාලන උවමනාවන් සහ විවිධ න්‍යාය පත්‍ර අනුව මාධ්‍ය ආයතන බිහිවීම නිසා පාර්ලිමේන්තු මාධ්‍ය ආවරණය පිළිබඳ ජනතාව කෙරෙහි පැවති විශ්වාසය ද අඩු වී නැතැයි කිව නොහැකිය.

සභා වාරයක් අරම්භයේදී පැවැත්වෙන ප්‍රතිපත්ති ප්‍රකාශය වෙනුවට 1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමට පෙර පැවැත්වුණේ රාජාසන කතාවකි.

පැරැණි පිළිවෙත අනුව රාජාසන කතාව ඉදිරිපත් කිරීම ගැන ආණ්ඩුකාර වරයාට හෝ අග්‍රාණ්ඩුකාර වරයාට ස්තුති කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි. දින හයක් මුළුල්ලේ විවාදයට ගනු ලබන එම යෝජනාව විවාදය අවසානයේදී ඡන්දයක් පැවැත්වේ. ඡන්ද විමසීමෙන් රජය පරාජය වුවහොත් රජය විසුරුවා හැරිය යුතුවේ. 1960 අප්‍රේල් 22 එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ රජයත්, 1964 දෙසැම්බර් 3 දින එවකට අගමැතිව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයත් රාජාසන කතාව පිළිබඳ විවාදවලදී පරාජයට පත් වූයේය.

එදින පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කරන මාධ්‍යවේදීන්ට අමතරව මාධ්‍ය ආයතන හිමිකරුවෝද පුවත්පත් ගැලරියේ අසුන්ගෙන සිටියහ.. රාජාසන කතාවට ස්තුතිය පළ කිරීමේ යෝජනාව පරාජයට පත් කරන බව එම මාධ්‍ය ආයතන හිමිකරුවන් දැන සිට ඇත. එහෙත් අවසන් මොහොත වනතෙක්ම රැස්වීම ආවරණය කරන මාධ්‍යවේදීන් දැන සිටියේ නැත. ඒ තරමටම එය ප්‍රබල කුමන්ත්‍රණයකි. එවැනි අත්දැකීම් වර්තමාන මාධ්‍යවේදීන්ට නොවේ.

මහජන නියෝජිතයන් වූ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී විශාල වගකීමක් පැවරුණි. එම නියෝජිතයන් සම්භාවනීය වුයේය. ඔවුන්ගේ කාර්යභාරය පූජනීය ලෙස සැලකිණි. එයින් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සුරැකිණි. පාර්ලිමේන්තු රැස්වීම ආවරණය කළ මාධ්‍යවේදීහුද ඒ උත්තරීතරභාවය ආරක්ෂා කිරීමෙහි කොටස්කරුවෝ වූහ.

1983 දී ආරම්භ වූ රූපවාහිනී මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු වාර්තා ලබාගැනීමට අවස්ථාව සැලසුන ද ඡායාරූපගත කිරීමට කිසිම මාධ්‍යයකට ඉඩක් නොලැබුණි. සිරස ගුවන් විදුලිය ආරම්භ කිරීමෙන් පසුව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ පිටත සිට පාර්ලිමේන්තු රැස්වීම් කතා වාර්තා කිරීමක් සිදු කළේය. ර්‍ණභබ ඉඪඤඥ ඕධචපඤ යනුවෙන් පාර්ලිමේන්තු රථ ගාලේ වාහනයක් නවතා ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනු ලැබීය.

එම ක්‍රියාපද්ධතිය අනෙක් සියලු මාධ්‍යයට අභියෝගයක් කළ ද එම කර්තව්‍යයට සියලු සහාය එවකට එජාප ආණ්ඩුවෙන් ලැබිණි. පාර්ලිමේන්තුව කෙරෙහි පැවැති මහජන ගෞරවය, ප්‍රසාදය අඩුවීම ආරම්භ වූයේ එතැනිණි. පාර්ලිමේන්තු සභා ගර්භය රූපවාහිනිගත කිරීමෙන් පසුව එම කැසට්පට මාධ්‍ය වෙත ලබා ගැනීමට ද හැකිවිණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ව්‍යවස්ථාව ඉරා දමා එජාප මන්ත්‍රී පිරිසක් පුළුස්සා දැමීම, කථානායක තේරීමේ අවස්ථාවේදී සිදුවූ ඝෝෂාකාරී තත්ත්වය, සභා ගර්භය මැද පවත්වන උද්ඝෝෂණ වැනි සිද්ධි පිළිබඳ පාර්ලිමේන්තු කැසට් පට මාධ්‍ය මගින් විකාශය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබාදෙන ලදී. මන්ත්‍රීවරුන්ගේ කතා ලබා ගැනීමේ හැකියාව නිසා මාධ්‍ය ආයතන න්‍යාය පත්‍රයන්ට අනුව වාර්තා කිරීම් සිදු වේ.

පාර්ලිමේන්තුව උත්තරීතරය, සැබෑ මහජන නියෝජනය, සැබෑ දේශපාලන නායකත්වය පිළිබිඹු වනවිට උත්තරීතර බව ආරක්ෂා වේ. පාර්ලිමේන්තු වරප්‍රසාද, ස්ථාවර නියෝග, නීති-රීති නිවැරැදිව ක්‍රියාත්මක වනවිට ගෞරවනීය වේ. කථානායක නියෝග දැඩිවීම, නියෝග දීම, පිළිපැදීම නිසි පරිදි සිදුවන විට ගාම්භීරත්වය ඇතිවේ.

මුල් අවදියේ වූ උත්තරීතර, ගෞරවනීය, ගාම්භීරත්වයෙන් පිරි පාර්ලිමේන්තු සභා ගර්භයක් ඇති කරන්නට මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් පැවරී තිබේ. පටු න්‍යාය පත්‍රයන්ට අනුව නොව පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ සැබෑ වාර්තාවක් ජනතාව වෙත ඉදිරිපත් කරන්නට ස්වාධීන වෙමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්