ඒකාලෝක කළ ‘දිනමිණ’

ලාංකීය සමාජය ඒකාලෝක කළ ‘දිනමිණ’

1909වසරේ දෙසැම්බර් 17 වැනි දින ආරම්භ කළ ‘දිනමිණ’ පුවත්පතට අද සියවන වසරට පා තබන මොහොතේ මහා සංඝරත්නය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් ගෙන ඒමට අවස්ථාවක් ලැබීම ඉමහත් සතුටට කාරණයක් මෙන්ම, භාග්‍යක් ලෙසද මම සලකමි.

නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි උතුරු මධ්‍යම දිසාවේ නුවරගම් පළාතේ ප්‍රධාන සංඝනායක,

මෙයට වසර ගණනකට පෙර ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් මෙම පුවත්පත ආරම්භ කෙළේ රටේ තොරතුරු ඉතා ඉක්මනින් ජනතාවට නිවැරැදිව සැපයීමටත් බෞද්ධ ජනතාවගේ ආගමික දැනුම වැඩිදියුණු කිරීමටත් අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව ය.

‘දිනමිණ’ පුවත්පත මා දන්නා කාලයේ පටන් කියවීමෙන් ආගමික වශයෙන් සහ සමාජික වශයෙන් විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකිවිය. එම දැනුම උපයෝගී කරගෙන බෞද්ධ ජනතාවට එය තේරුම් කර දීමට මට හැකිවිය.

වෙසක් - පොසොන් වැනි ආගමික උත්සවවලදී ‘දිනමිණ’ පුවත්පත අතිරේක සහ විශේෂ ලිපි සැපයීමෙන් පාඨකයා බලාපොරොත්තු වන දේ ලබා දීමට කර්තෘ මණ්ඩලය සහ ප්‍රාදේශීය වාර්තාකරුවන් මහත් දායකත්වයක් ලබාදීම අපි අගය කළ යුතුය.

ශීª‍්‍ර ලාංකික ජනතාවට වසර 99 ක්ම මහත් වූ මිළ කළ නොහැකි සේවයක් සැලසීම සඳහා ‘දිනමිණ’ පුවත්පත හැඩ වැඩ කිරීමට විශේෂයෙන් ම දායකවූයේ ප්‍රාදේශීය වාර්තා කරුවන්ය .

ඔවුන් සිද්ධි වූ ස්ථානයටම ගොසින් ඉතා දුෂ්කරව - කරදරකාරී ව - එම තොරතුරු ඉතාමත් ඉක්මනින්ම සත්‍ය විදියටම කර්තෘ මණ්ඩලයට ලබාදී කර්තෘ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පසුදින පුවත් පත මගින් එම තොරතුරු ජනතාවට ලබාදීම එදා සිට අද දක්වාම සිදුකිරීම නිසා ජනතාවගේ ඉහළ පිළිගැනීමක් ලබාගනිමින් වසර 100 ක්ම ඉදිරියට ගමන් කිරීමට හැකිවුණා.

ජන සමාජයක ස්ථාවරභාවය – යුක්තිසහගත භාවය සාමුහිකත්වය - සුහදභාවය වැනි මනුෂ්‍ය ධර්ම පවත්වා ගෙන පැමිණි ‘දිනමිණ’ පුවත්පත එදා මෙන් අදද මහත් සේවාවක් සිදු කිරීම ජාතියේ වාසනාවක් ලෙස සඳහන් කළ යුතුය.

භාෂාවටත් අක්ෂර ක්‍රමයටත් මිහිඳු හිමියන් නිසා නවජීවයක් ලැබුවාසේම ‘දිනමිණ’ පුවත්පත මගින්ද ජනතාවට පාසල් දූ දරුවනට භාෂාව අක්ෂර ක්‍රමය හරියට කියා දීමෙන් විශාල සේවාවක් සිදු කළ බව මේ අවස්ථාවේ සිහි කළ යුතුය.

එදා සිට මේ දක්වාම රාජ්‍ය දැන්වීම් - රාජ්‍ය ගැසට් පත්‍රය - රාජ්‍ය හා පුද්ගලික නිවේදන තමාගේ නිවසටම ලබා ගැනීමට මෙම පුවත්පත මහත් පිටුවහලක් විය.

අප කුඩා කාලයේ රටේ ලෝකයේ සිදුවූ තොරතුරු විශේෂ ලිපි අප වැඩිහිටියන් එම පුවත්පතේ තිබූ ලිපි එකතු කර අපට ලබාදීමෙන් එම තොරතුරු අපද දැන ගතිමි.

මුළු ලෝකයේම තොරතුරු පාඨකයාට ලබා දුන් ’දිනමිණ’ පුවත්පත කවි ලිවීමට හැකි අයට මෙන්ම දක්ෂ අයට ලිපි සැපයීමටත් ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබිණි’ නව සිය වසකට පියවර තබා සිටින ‘දිනමිණ’ පුවත්පත ශක්තිමත් කරමු. අනාගත ලෝකයාටද ‘දිනමිණ’ පුවත්පත මගින් විශාල සේවාවක් කිරීමට හැකිවේවායි මහා සංඝරත්නය ආශිර්වාද කරමු.


සබැඳි පුවත්