ජනතාවට ‘දිනමිණ’ අරගෙන යන්නේ අපි

ජනතාවට ‘දිනමිණ’ අරගෙන යන්නේ අපි

‘දිනමිණ’ පුවත්පතක් ලෙස සිය වසක් පුරා පැමිණි ගමනේදී අපගේ ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් හා අප අතර සබඳතා පාලමක් ගොඩනැගුවේ අපගේ අලෙවි නියෝජිතයන්ය. අලෙවි නියෝජිතයන් පසුගිය සියවස පුරා ඔවුන්ගේ එම යුතුකම ඉටු නොකළේ නම් ‘දිනමිණ’ ට මෙතරම් සාර්ථක ගමනක් යාමට නොහැකි වීමට ඉඩ තිබිණ. අද අප ‘දිනමිණ’ පාඨකයන් අතට පත් කරන වෙළෙඳ නියෝජිතයන් සොයා ගියෙමු. මේ ඔවුන් අප සමඟ පළ කළ අදහස්ය.


‘දිනමිණ’ ට සුවිශේෂ අනන්‍යතාවක් තිබෙනවා

- ජී. සුසිලා

‘දිනමිණ’ පුවත්පත කියන්නේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් තිබෙන පුවත්පතක්. මාත් හා පුරා කියලා පුංචි කාලේ කියෙව්වේ ‘දිනමිණ’ පුවත්පත.

එදා ඉඳන් මම අද දක්වාම කියවන්නේ ‘දිනමිණ’ පුවත්පත. එදා ‘දිනමිණ’ කියවපු මම අද ‘දිනමිණ’ අලෙවි නියෝජිතවරියක් තාත්තා තමයි මුලින්ම ‘දිනමිණ’ පුවත්පත අලෙවි කලේ. දැන් මම ‘දිනමිණ’ වෙළෙඳාම් කරනවා.

‘දිනමිණ’ පුවත්පතට වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මම දකින විදිහට අනෙක් පත්තර අතරින් ‘දිනමිණ’ පුවත්පතට සුවිශේෂ අනන්‍යතාවයක් තියෙනවා.

‘දිනමිණ’ පුවත්පත මිලදී ගන්නේ සමාජයේ එක්තරා මට්ටමක පිරිසක් රජයේ සේවකයෝ, පාසල් ශිෂ්‍යයෝ වගේම විවිධ මට්ටම් වල පිරිස් දිනමිණ මිලදී ගන්නවා.


පාඨකයන්ගේ විශ්වාසය ඉහළයි

රධික ජයවර්ධන

අපිත් ‘දිනමිණ’ පුවත්පත ඉතාමත් කැමැත්තෙන් විකුණනවා. ඒ විතරක් නෙමෙයි පාඨකයන්ගෙන්ද ඉතාමත් ඉහළ පිළිගැනීමක් ‘දිනමිණට’ තියෙනවා.

ඉස්කෝලේ යන ළමයාගේ ඉඳලා විශ්‍රාමික වැඩිහිටියා දක්වා සියල්ලගේ අවධානය දිනා ගත්තු ආදරය දිනා ගත්තු පත්තරයක් තමයි ‘දිනමිණ’ කියන්නේ. ඒ ආදරය ගෞරවය අවුරුදු සීයක් ගියත් තාම අඩුවෙලා නැහැ.

ඇත්තෙන්ම පුවත්පතක් අවුරුදු සීයක් තියෙනවා කියන්නෙම ආශ්චර්යක්. වෙළෙඳ නියෝජිතයෝ විදිහටත් අපිට විශාල සංතෝෂයක් තියෙනවා ‘දිනමිණ’ වගේ ඓතිහාසික පුවත්පතක් අලෙවි කිරීමට ලැබීම පිළිබඳව.

පුවත්පතේ අන්තර්ගතය පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්. ඒත් තව ටිකක් පත්තරය සමබර වෙනවා නම් හොඳයි. එහෙම වුණොත් අදට වඩා පුවත්පතේ අලෙවිය ඉහළට යා හැකියි.

මම මේ කතාව කියන්නේ දිනමිණ ට ආදරය කරන පාඨකයෙක් වෙළෙඳ නියෝජිතයෙකු විදිහටයි.

මා ළඟට එන පාරිභෝගිකයන්ගෙන් බහුතරයක් පුවත්පතේ විශේෂාංග ගැන ප්‍රවෘත්ති ගැන විශාල උනන්දුවකින් කතා කරන්නේ. පසුගිය කාලයේදී තිබූ යුද වාතාවරණය තුළ දිනමිණ ජනතාවට ඉතාමත් හොඳින් ප්‍රවෘත්ති ආවරණය කළා.

ඒ විතරක් නෙමෙයි යුද්ධය පිළිබඳව හොඳ විශේෂාංග පළ කළා. ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ පළ කළ අතිරේකයත් මෑත ඉතිහාසයේදී පුවත්පතක පළ වූ විශේෂ අතිරේකයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.


‘දිනමිණ’ මම කියවපු මුල්ම පත්තරය

සංඝදාස කලංසූරිය

මගේ පත්තර ලෑල්ලෙත් ‘දිනමිණ’ ට හොඳ තැනක් ලබාදීලා තියෙනවා. රජයේ සේවකයෝ, දුම්රියෙන් බැහැල එන මගීන් මගේ පත්තර කඩෙන් ‘දිනමිණක්’ අරගෙන තමයි බස් එකට නගින්නේ.

මාත් පුංචි කාලේ මුලින්ම පත්තරයක් කියලා බැලුවෙ ‘දිනමිණ’ තමා. අදටත් ඒ මතකය මගේ හිතේ තැන්පත් වෙලා තියෙනවා.

අදත් මට ‘දිනමිණ’ පත්තරයක් දැක්කහම විශාල සතුටක් ඇති වෙනවා. මම පුවත්පත් අලෙවි කරුවෙකු විදිහට ‘දිනමිණ’ මාධ්‍ය සම්ප්‍රදායට ගරු කරනවා.


‘දිනමිණ’ කියවනවා කියන්නේ රටේ ඉතිහාසය කියවනවා වගේ

ආර්. පී. බන්දුසේන

මගේ පත්තර කඩෙත් ‘දිනමිණ’ ට ඉතාමත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. මම ලබා ගන්න පත්තර සියල්ලම දහවල් දොළහ වෙද්දී ඉවරයි. එයින්ම පේනවා දිනමිණ පත්තරයට තියෙන ඉල්ලුම කොච්චරද පිළිගැනීම කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන්.

මට පත්තර ලෑල්ල දමා ගන්න අවශ්‍ය කරන කුටිය ලැබුණෙත් ලේක්හවුස් එකෙන් ඒ නිසා මේ වෙලාවේ මම ‘දිනමිණ’ ට ඉත සිතින් සුබ ප්‍රාර්ථනා කරනවා. දිනමිණ පුවත්පත කියවනවා කියන්නේ රටක අතීතය අනාගතය කියවනවා වගේ දෙයක්.


‘දිනමිණ’ ට බැඳුණු ස්ථිර පාඨකයන් ඉන්නවා

ආර්. එම්. රණතුංග

මගේ පත්තර කඩයට ‘දිනමිණ’ ඇතුලු ලේක්හවුස් පත්තර සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙනවා. ඒ අතර ‘දිනමිණ’ පත්තරයට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ හින්දා තමයි මම ලේක්හවුස් ආයතනයට මේ තරම් කැමැත්තක් දක්වන්නේ.

‘දිනමිණ’ විතරක් නෙමෙයි ලේක්හවුස් ආයතනයේ අනෙක් පත්තර වලටත් මගේ පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් තියෙනවා.

ඒ වගේම ‘දිනමිණ’ පුවත්පතට එදා තිබුණ ඉල්ලුම අද දක්වාම නොවෙනස්ව තිබෙනවා. වෙනත් පත්තර එහෙම නෙමෙයි කාලයෙන් කාලයට අලෙවිය වෙනස් වුණා.

මට පෙනෙන විදිහට පාසල් ශිෂ්‍යයන්ගෙන් ‘දිනමිණ’ ට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ අය ප්‍රශ්න පත්‍ර දිනමිණේ පළ වෙනවට කැමැතියි. ඒ විතරක් නෙමෙයි ගැසට් එක තියෙන දවසත් ‘දිනමිණ’ පාඨකයන්ගෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්