රජරට උරුමය පවතින තුරු දිනමිණ දිනේවා

රජරට උරුමය පවතින තුරු දිනමිණ දිනේවා

ඉපදුණ කෙනෙක් සිටියොත් මෙහි මියයනවා
භවයෙන් භවය ඉපදී සසරේ යනවා
හිරු සඳු තවත් මිහිමඩලට පායනවා
දින දිනමිණක් වී ‘දිනමිණ” වැජඹෙනවා

රටක මාධ්‍යයක් ක්‍රියා කළ යුත්තේ ජනතාවට ඉදිරියෙන් ය. වඩාත් යහ පාලනයක් සඳහා මෙන්ම ප්‍රජාතන්ත්‍රීය සමාජය සක්‍රීය කිරීමට මාධ්‍ය ලබා දෙන දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. එහෙත් අද සමහර මාධ්‍ය ක්‍රියා කරන්නේ මේ සඳහාදැයි දෙවරක් සිතා බැලිය යුතුව ඇත.

ජනතාව සමඟ හෝ ජනතාවට පිටුපසින් යන මාධ්‍යයෙන් රටකට පළක් නොවේ. එහෙත් අද ක්‍රියාත්මක වන මාධ්‍යයන් ජනතාව ඉල්ලන්නේ කුමක්ද එය ලබා දෙයි. එවැනි මාධ්‍යයකට වැඩි කලක් පැවතිය නොහැක.

කෙටි කාලීන ප්‍රසිද්ධයක් හා ජනප්‍රියතාවක් ලබා ගත හැක. එවැනි තත්ත්වයට පත් නොවී ජන විඥානය අවදි කරන්නට ක්‍රියාකරන මාධ්‍යයට දිගුකාලයක් පැවතිය හැක.

අප මේ කථාකරන්නට යන්නේ එවැනි තත්ත්වයකින් ක්‍රියාකර සතවර්ෂයක් ගත කළ අපේ රටේ ජනතාවගේ මාධ්‍යයක් පිළිබඳවය.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වශයෙන් මාධ්‍ය වෙන් කළ පසු මුද්‍රිත මාධ්‍යය රටට කාලයක් තිස්සේ බොහෝ හුරු පුරුදු අංගයක් වී තිබිණි. මේ රටේ ජාතික ව්‍යාපාරයට පන්නරය ලබා දීමට මුද්‍රිත මාධ්‍යය එහෙත් නැතිනම් පුවතපත කළ සේවය අතිමහත්ය.

කිතු දහම ඉලක්ක කරගනිමින් මෙරට පළවු මුල්ම සඟරාව වූ මාසික තෑග්ගයි. මිෂනාරි පාසල් සිසුන් අතර බෙදා දීමට ක්‍රියාකළ මේ සඟරාව බයිබලයේ උපුටා ගැනීම්වලින් අඩංගු වූවකි.

“ලංකා නිධානය” (1840) ශාස්ත්‍ර නිධානය (1846) වැනි සඟරාව ඉන් අනතුරුව බිහිවූ අතර එහි අරමුණ වූයේද ක්‍රිස්ත්‍රියානි දහම ඉගැන්වීමයි. සිංහල සඟරා ඉතිහාසයේ වෙනසක් කරමින් බිහි වූ “කවට කථිකයා” (1872) සඟරා ක්‍රමවේදයේ වෙනසක් ඇති කළේය.

අධිරාජ්‍ය විරෝධී අදහස් පතුරවමින් බිහි වූ “සිංහල ජාතිය” (1903) සඟරාව නව පෙරළියක් ඇති කළේය.

වාර ප්‍රකාශන එසේ විකාශය වෙද්දී 1860 ජුනි මස ආරම්භ වූ “ලංකාලෝකය” පුවත්පතෙන් ආරම්භ වූ සිංහල පුවත්පත් කලාවේ මුලින්ම රාජ්‍ය ලේඛණාගාරයේ ලියාපදිංචි කරන ලද “ලක්මිණි පහන” පුවත්පත 1862 සැප්තැම්බර් 11 දා පළවූයේය. පුවත්පතක තිබිය යුතු ගුණාංග බොහොමයක් එහි සතුවිය. එසේ ආරම්භ වූ සිංහල පුවත්පතේ නව පෙරළියක් ඇති කළේ 1909 දෙසැම්බර් 17 වැනි එච්.එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ වූ “දිනමිණ” පුවත්පතයි.

එදා මෙදාතුර වසර සියයක් තිස්සේ “දිනමිණ” මේ සමාජයේ සිංහල දෙමළ මුස්ලිම්, බර්ගර් ජනවර්ගයන්ට මෙන්ම බෞද්ධ ක්‍රිස්තියානි, ඉස්ලාම් හින්දු සෑම සියලු දෙනාටම එකසේ සමානව සැලකුවේය. දුප්පත්, පොහොසත්, තරුණ මහලු ළමා සියල්ලන් දෙසම අවධානයෙන් බැලීය.

“දිනමිණ” පුවත්පත වසර සියයක් ගත කරද්දී හද්දා වන්නියේ අපි “දිනමිණ”ට ආදරය කළේ වසර සියයක් ගත කළ මේ රටේ එකම ජාතික පුවත්පත නිසාවෙන් නම් නොවේ.

ඒ තුළ තිබූ දැනුම් සම්බාරය මෙන්ම වන්නියේ නුවර කලාවියේ ගොඩයන් සේ සලකන අපට දැක්වූ නොවෙනස් ලැදියාව නිසාමය. අපේ, බත, බුලත, කුඹුර තුනත්ත, හේන පැල, ඇළදොළ, සතා සීපාවා, අපිටම උරුම වූ ජීවන චරියාවට දිනයේ හිරුපායන උදෑසන දිනමිණ එක්වූයේ දරුවකුට මවක් දක්වන සෙනෙහසින් මෙනි.

චූල බණ්ඩාර කුලසේකර

අපේ ජන දුක කථා කළේ “දිනමිණ” අපට දැක්වූ ආදරය නිසාවෙන්මය. පහත් රසයෙන් යුත් කිසිවක් එහි නොතිබිණි. ‘දිනමිණ’ පුවත්පත පුවත්පත් විශේෂාංග, වෙළෙඳ දැන්වීම්වලින් පෝෂණය වී තිබුණේද අපේම රුචි අරුචිකම් තේරුම්ගෙන ආහාර සැපයූ සූපවේදියකු ලෙසිනි.

කලා වැවේ පෝෂණය අපේ උරුමයයි. නුවර වැවේ උරුමය අපිව පෝෂණය කරයි. පදවි වැවේ උරුමයෙන් පෝෂණය වන අපි කලා නිර්මාණ බිහි කරන්නෝ වූහ. ශ්‍රී මහා බෝධිය ලෝවාමහාපාය රුවන්මැලි සෑය ඇතුළු අපේ උරුමයන් පවතින තාක්කල් ‘දිනමිණ’ කිසදු අතුරු ආන්තරාවක් නැතිව දිගු කලක් වැජඹෙන බව නිසැකය. බුදුදහමට අනුව සියලු දේ අනිත්‍යය. ලොව පවතිනා තුර දිනමිණ දිනේවා රජරැටියාගේ ප්‍රාර්ථනයයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්