1909 2009 කටු සටහනක්

 1909 2009 කටු සටහනක්

අධිරාජ්‍යවාදය යටතේ ලෝකය වඩාත් සමීප වීමත් සමඟ රට තුළට ගලා එන නව දැනුම හා තොරතුරු සම්භාරය රට තුළ බෙදාහැරෙන මාධ්‍යයක අවශ්‍යතාවය මේ යුගයේ ප්‍රබලව දැනෙන්නට පටන් ගෙන තිබිණි. ලෝකයට විවෘත වීමත් සමඟ මෙය සිදුවීම් බහුල යුගයක් ලෙස දැනෙන්නට විය.

කොස්, දෙල්, අඹ, කජු ආදිය හටගන්නා සෘතු කාලයක් ඇතිවන්නා වාගේ මේ වර්ෂය පත්‍රොත්පත්තියට හේතු ඇති අවුරුද්දක් යැයි සිතිය හැකිය...” 1909 නොවැම්බර් මාසයෙහි පළවූ ස්වජන හිතෛෂියා නමැති මාසික සඟරාව පිළිබඳ සටහනක් තබන කවට කතිකයා පුවත්පත 1910 පෙබරවාරි මස 15 වැනිදා එසේ කීවේය.

දිනමිණ පුවත්පත ආරම්භ වන්නේ එම වසරේ ඊළඟ මාසයේ දෙසැම්බරයේදීය.

එබැවින් දිනමිණ පුවත්පතෙහි පහළවීම ද මේ “සෘතු බලපෑම” යටතේම සිදුවන්නක් ලෙස සමහර අය එදා සිතන්නට ඇත. එහෙත් සියලු සෘතු විපර්යාසයන්ට මුහුණ දෙමින් ශත වර්ෂයකට ආසන්න කාලයක් මේ පුවත්පත පවතිනු ඇතැයි එදා බොහෝ අය සිතන්නට නැත. අද වුවත් මේ පැවැත්මේ රහස තේරුම් ගැනීම එතරම් සරල නොවන බැවිනි.

එකල මේ “සෘතු බලපෑම” යන සාහිත්‍යමය යෙදුමෙන් එම ලේඛකයා කුමක් අදහස් කළද, එයින් සිය වසකට පසු අද අපට ඒ පිළිබඳ බොහෝ අර්ථ දැක්වීම් කළ හැකිය.

මුද්‍රණ ශිල්පය හා ඒ ආශි‍්‍රත තාක්ෂණයෙහි දියුණුවීමත්, එහි ප්‍රචලිත වීමත් මේ “සෘතු බලපෑමේ” ප්‍රධාන සාධකයන් වුවද ඒ පසුබිමෙහි තවත් සාධක ගණනාවක් ක්‍රියාත්මක විය.

අධිරාජ්‍යවාදය යටතේ ලෝකය වඩාත් සමීප වීමත් සමඟ රට තුළට ගලා එන නව දැනුම හා තොරතුරු සම්භාරය රට තුළ බෙදාහැරෙන මාධ්‍යයක අවශ්‍යතාව මේ යුගයේ ප්‍රබලව දැනෙන්නට පටන් ගෙන තිබිණි.

ලෝකයට විවෘත වීමත් සමඟ මෙය සිදුවීම් බහුල යුගයක් ලෙස දැනෙන්නට විය. රජ පවුලේ ඕපාදූපවල සිට කැරළි කෝලාහල, යුද ගැටුම්, ව්‍යාපාරික තොරතුරු ඇතළු බොහෝ දේ ඒ අතර විය.

අනෙක් අතින් මෙවැනි තොරතුරු පිපාසාවෙන් පෙළෙන නාගරික හා ග්‍රාමීය උගත් පැලැන්තියක් ද මේ අතර බිහිවෙමින් සිටියහ.

මතුපිටින් පෙනෙන මේ සියලු සාධක විනිවිද ගැඹුරට ගිය සාධකයක් ද ඒ අතර විය. එනම් දේශපාලන සාධකයයි.

එය වර්තමාන සුලබ අර්ථයෙන් කියැවෙන දේශපාලනයක් නොවේ. බොහෝ විට එහි තිබුණේ ආගමික මුහුණුවරකි. සමහර විට එය සංස්කෘතික හෝ සදාචාරාත්මක මුහුණුවරක් ගෙන තිබිණි. තවත් අවස්ථාවක අමද්‍යප මුහුණුවරක් ගෙන තිබිණි.

මේ කුමන මුහුණුවරකින් සැරසුනද ඒ සැරසිල්ල යට කිසියම් දේශපාලනයක් ක්‍රියාත්මක විය. එම දේශපාලනයේ ආරම්භය හා මෙරට මුද්‍රණ ඉතිහාසයේ ආරම්භය යනු දෙකක් නොව, එකකි.

ලන්දේසි පාලනය යටතේ මේ රටේ මුද්‍රිත සන්නිවේදනය ආරම්භ වන්නේම ආගමික කෘතියකිනි. ඒ 1937 පළවූ ලන්දේසි යාච්ඤා පොතයි. එතැන් සිට එක් අතකින් තම පාලන කටයුතු සඳහා මුද්‍රිත සන්නිවේදනය උපයෝගි කර ගන්නා යටත් විජිතවාදීහු අනෙක් අතින් ආගමික ප්‍රචාරය සඳහා එය යොදා ගත්හ. එක් අතකින් රයිපලයත් අනෙක් අතින් බයිබලයත් රැගෙන ආ යටත් විජිතවාදියා පිළිබඳ කතාව මීට මැනවින් ගැළපේ.

ඒ කතාවට පසුබිමක් මෙහි තිබේ. අවි බලයෙන් ලංකාව තම ආධිපත්‍යයට නතුකර ගත් පසු යටත්විජතවාදය මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වන්නේ ලාංකික සමාජයෙහි මතවාදී ආධිපත්‍ය දිනාගන්නේ කෙසේද යන්නයි. දකුණේ දී ඊට ප්‍රධාන බාධකය වූවේ සිංහල බෞද්ධ මතවාදයයි. උතුරේදී එම බාධකය හින්දු ආගමයි.

මේ සම්ප්‍රදායික බලයන් අභිභවා ලාංකික සමාජයේ මතවාදී ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට නම් විකල්ප මතවාදී යාන්ත්‍රණයක් යටත්විජිතවාදීන්ට අවශ්‍යව තිබිණි.

කිතු දහම ප්‍රචාරය කිරීම තේමා කොටගත් අධ්‍යාපන හා සන්නිවේදන ක්‍රියාවලියක් දියත් වන්නේ එම අවශ්‍යතාවය වෙනුවෙනි.

මෙම ප්‍රවාහයට ඔරොත්තු දීම කොතරම් දුෂ්කර වූවේද යන්න පැහැදිලි කෙරෙන ප්‍රකාශයක් පසු කලක බද්දේගම සිරිපාද ගොඩැල්ලේ විසූ බඹරැන්දේ රේවත හිමිගෙන් මෙසේ පළවිය.

”බුද්ධාගමේ අයට අච්චු කන්තෝරු නැති නිසා මීට ප්‍රතිවිරුද්ධව ඔවුන්ට කුමක් කළ හැකිද? ක්‍රිස්තියානින් ලක්‍ෂ ගණනින් පොත් පිටකරද්දී බෞද්ධයන් අතින් පොත් ලියා ඒ තරගයට කෙසේ මුහුණ දෙන්නද?”

එහෙත් සිංහල බෞද්ධයන් මේ දුක්ගැනවිල්ල නඟමින් වැඩි කලක් නිහඬව සිටියේ නැත. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ඔවුහුසටනට ප්‍රවිෂ්ට වූහ. ඒ මගින් ක්‍රිස්තියානි සන්නිවේදන ව්‍යාපෘතියට එරෙහිව බෞද්ධ සන්නිවේදන ව්‍යාපෘතියක් හරි හරියට ක්‍රියාත්මක වන අයුරු පසු කාලීනව දක්නට පුළුවන.

”සෘතු කාලය” පිටිපස ඇති දේශපාලන සාධකය ක්‍රියාත්මක වීමට පටන් ගන්නේ එසේය.

1980 වසරේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ශශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ මෙම බෞද්ධ ජාතිකවාදී සන්නිවේදන ව්‍යාපෘතිය නව මුහුණුවරකින් වේගවත් වර්ධනයක් අත්කර ගනී. ඕල්කට්තුමාගේ නායකත්වයෙන් යුත් පරම විඥානාර්ථ සමාගමේ අනුග්‍රහයෙන් පළකෙරෙන සරසවි සඳරැස මේ ගමනේ වැදගත් මංසන්ධියක් සළකුණු කරයි. පසුකලක විවිධ අභියෝග මධ්‍යයේ සරසවි සඳරැස අර්බුදයට පත්වූවද එහි උරුමය මුළුමනින්ම යටපත් වූවේ නැත.

සරසවි සඳරැස හිටපු කර්තෘවරයෙකු වූ එච්. එස්. පෙරේරා මහතා 1909 දෙසැම්බර් 17 වනදා දිනමිණ පුවත්පත ආරම්භ කෙළේ සරසවි සඳරැසෙහි උරුමයෙන් පමණක් නොව, මෙරට සියලු ජාතිකවාදී බලවේගවල පෝෂණය ලබමිනි. එසේ ආරම්භ කළ ගමන එච්. එස්. පෙරේරා මැතිතුමාගේ දරුණු රෝගී තත්ත්වය හා මරණය හේතුවෙන් අවසන් වීමට නියමිත වූවද ඊට ඉඩ නොදුන්නේ ඩී. ආර්. විජේවර්ධන මහතාය. ඒ වන විටත් ඔහු මෙරට දේශපාලන වේදිකාවේ තීරණාත්මක භූමිකාවකට ප්‍රවිශ්ටව සිටියේය.

එක් අතකින් ඔහු ලංකාවේ නිදහස පිළිබඳ සිහිනයක් දුටු අතර අනෙක් අතින් ඒ නිදහස් සටන උදෙසා කැප වූ පුවත්පතක් පිළිබඳ සිහිනයක් දුටු අයෙකි. එවැනි පුවත්පතක් පිළිබඳ අදහස ඔහුට මුලින්ම ලැබුණේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ නීතිඥ එෆ්. එච්. එම්. කෝබට් ගෙනි. විජේවර්ධන මහතා වැඩිකල් නොගොස්ම පුවත්පත පිළිබඳ ඒ සිහිනය අති සාර්ථක ලෙස සැබෑ කර ගත්තේය. නවසිය තිස් ගණන් වන විට ඩී. ආර්. විජේවර්ධන මහතා පත්තර ලෝකයේ පමණක් නොව, දේශපාලන ලෝකයේ ද තීරණාත්මක චරිතයක් විය. පුවත්පත් ලෝකයේ ඔහු ලැබූ සාර්ථකත්වය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධක තුනක් ඩී. ආර්. විජේවර්ධනයන් පසුබිමෙහි දක්නට පුළුවන.

1. දේශපාලන සවිඥාණිකභාවය.

2. සාර්ථක ජනමාධ්‍ය භාවිතය.

3. ව්‍යාපාරික කුසලතාවය.

මේ අතරින් දේශපාලන සාධකය පසු කලෙක තියුණු විවාදයට ලක්වූ මාතෘකාවක් බවට පත් විය. ඒ ආශි‍්‍රතව ම ජනමාධ්‍ය භාවිතයේ ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු ද මතුවිය. මීට අදාළ සිදුවීම් ගණනාවක් ඉතිහාසයෙහි සටහන්ව ඇති අතර එක් උදාහරණයක් ලෙස විද්‍යාලංකාර පිරිවෙන සහ විද්‍යාලංකාර සභාව අතර භික්ෂු දේශපාලනය අරබයා හටගත් ගැටුමේදී ලේක්හවුස් පුවත්පත් ක්‍රියා කළ ආකාරය දැක්විය හැකිය.

1946 දී විද්‍යාලංකාර පිරිවෙන සහ විද්‍යාලංකාර සභාව අතර භික්ෂු දේශපාලනය අරබයා හට ගත් මතගැටුමේදී භික්ෂු දේශපාලනයට එරෙහි බලකණු ලෙස ද ක්‍රියා කර ඇත්තේ ඩී. එස්. සේනානායක හා ජේ. ආර්. ජයවර්ධන වැනි නායකයන් ය.

අවසානයේ ගුටි බැට හුවමාරුවක් පවා සිදු වූ අතර 1946 නොවැම්බර් 24 දා සිළුමිණ පුවත්පත හා 25 දා දිනමිණ පුවත්පත එම ගැටුම වාර්තා කළේ භික්ෂු විරෝධී ස්ථාවරයකින් බවත්, සිංහල ජනයා වෙනුවෙන් නව පුවත්පතක අවශ්‍යතාව ඩී. බී. ධනපාල මහතා තුළ ඇතිවූයේ එම අවස්ථාවේදී බවත්, “ඩී. බී. ධනපාලගේ විප්ලවය” කෘතියේ ගුණදාස ලියනගේ කියයි.

ජාතිකවාදීන් අරබයා එවැනි ප්‍රතිචාරයක් දක්වන අතර කම්කරු/ වාම දේශපාලන ප්‍රවණතා හමුවේ මෙම ස්ථාවරය මීටත් වඩා දැඩි විය.

ක්‍රමයෙන් මෙම තත්ත්වය සමස්ත ජනමාධ්‍යයෙහි හැසිරීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සමාජයේ පුළුල් සංවාදයට බඳුන් වූ මාතෘකාවක් බවට පත් විය. 1956 ජයග්‍රහණයෙන් පසු ලංකාවේ පුවත්පත් යොදවන ලද්දේ එක්තරා පන්තියකට අයත් වූවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර දීමට යැයි ජනතාව අතර මතයක් පැතිර ගිය බව පුවත්පත් කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ද සඳහන් කරයි.

”ලේක්හවුස් අල්ල ගනිව් - සමසමාජෙ අච්චු ගසව්” වැනි සටන් පාඨ දක්වා ඉදිරියට ඇදුනේ එසේ ගොඩනැගුණු සමාජ ආන්දෝලනයයි. අවසානයේ ලේක්හවුසිය රජයට පවරා ගැනීම දක්වා වර්ධනය වන්නේ මේ සියලු කරුණු ආශි‍්‍රතව මතු වූ සමාජ බලපෑමය.

දැන් එතැන් සිට තවත් තිස්පස් වසරක් ගෙවී ගොස් ඇත.

* මේ තිස්පස් වසර තුළ ලාංකික දේශපාලනයේ හෝ සමාජ සංවර්ධනයේ හෝ යහපත උදෙසා මේ රටේ ජනමාධ්‍ය මැදිහත් වූ ආකාරය පිළිබඳ අද ලාංකික සමාජයට තෘප්තිමත් විය හැකිද?

* තිස්පස් වසරකට පෙර ජනමාධ්‍ය පිළිබඳ සමාජයේ පැවති සංවාදය එතැන් සිට ඉදිරියට නොපැමිණීමේ හේතුව කුමක්ද?

* විජේවර්ධන ව්‍යාපෘතිය අවසාන භාවයේ මතු වූ අර්බුදයෙහි සැබෑ ස්වරූපය කුමක්ද?

* ඊට විසැඳුමක් වශයෙන් එම ව්‍යාපෘතිය රාජ්‍ය ව්‍යාපෘතියක් බවට පත්කිරීමෙන් ලාංකික සමාජයට සිදුවූ යහපත හෝ අයහපත කුමක්ද?

සී. දොඩාවත්ත

* දැන් අපට ඉතිරිව ඇත්තේ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු විවේචනය කරමින් සිටීම පමණද?

* පවතින තත්ත්වයෙන් වඩා යහපත් තත්ත්වයකට මෙම ව්‍යාපෘතිය ගෙන යා හැකි මගක් තිබේද?

* එසේ නම් ඒ මඟ කුමක්ද?

* මේ රටේ සමස්ත ජනමාධ්‍ය භාවිතය මගින් අද ලාංකික සමාජ අවශ්‍යතා කොතරම් දුරට ඉටුවන්නේද?

සියක් ආයු ලැබ, තවත් දිගු ගමනකට “දිනමිණ” පුවත්පත සැරසෙමින් සිටින මේ මොහොතේ එවැනි ප්‍රශ්න ගණනාවක් අප හමුවේ ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්