පුවත්පත් ලොවේ කිරුළු පළන් ‘දිනමිණ’ දිනේවා

පුවත්පත් ලොවේ කිරුළු පළන් ‘දිනමිණ’ දිනේවා

‘ දිනමිණ” පුවත්පතට සිය වසක් පිරීම නිමිත්තෙන් ලිපියක් ලියන්නැයි මට කළ ඇරියුම මා පිළිගත්තේ ඉමහත් සොම්නසිනි. 1966 මාර්තු මාසයේ “ ජනතා” පුවත්පතේ සේවයට බැඳුණු මම ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු “දිනමිණ“ කතු මඩුල්ලේ සේවාව ඇරැඹුවෙමි.

“දිනමිණ“ විශේෂාංග අංශයේ සේවයේ යෙදී සිටි මම කාලීන මාතෘකා ගැන ලිපි ලිවීම ද විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් සමඟ සාකච්ඡාකැර ලිපි ලිවීම ද කෙළෙමි.සමඟි පෙරමුණු රජය කාලයේ “දිනමිණ” ප්‍රධාන සංස්කාරක ධූරය හෙබැවූ පෙරමුණේ තිලක සූරීන් සමඟ සාකච්ඡාකැර “දිනමිණ” කතු වැකිය ලිවීම ද දිගු කලක් කෙළෙමි. “දිනමිණ“, ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතාණන් විසින් එම ආයතනයෙන් නිකුත් කැරුණු පළමුවැනි සිංහල පුවත්පතයි.

“දිනමිණ“ යන නම ද පසුව ඇරැඹුණු “ සිළුමිණ” පත්‍රයේ නම ද රත්මලානේ සිරි දම්රම් නාහිමිපාණන් විසින් තබන ලද බව කවුරුත් දනිති. පරිණත පත්‍රකලාවේදී පියසේන නිශ්ශංක මහතා “දිනමිණ” , “සිළුමිණ” පත්‍ර දෙකේ මැ ප්‍රධාන සංස්කාරක ධූරය දිගු කලක් මැ දරා ඇත. ඒ අවදියේ මැ “ දිනමිණ “ සංස්කාරක ලෙස මාර්ටින් වික්‍රමසිංහ සූරීන් පත්වී ඇත. පියසේන නිශ්ශංක, මාර්ටින් වික්‍රමසිංහ දෙදෙනා ළෙන්ගතු මිතුරෝ වූහ. ඒ යහළුකම ගැන මාර්ටින් වික්‍රමසිංහ සූරීහු ඔහු ගේ “උපන් දා සිට“ පොතේ මෙසේ සඳහන් කරති.

මා “සිළුමිණ” , දිනමිණ” පත්වල වැඩ කළ කාලයේ පියසේන නිශ්ශංක මගේ හිතවත් යාළුවෙක් විය. ඔහු මගේ සිත් ගත්තේ තලතුනා ගැමියකු ලෙසිනි. ත්‍රස්තාවෝචිත නුවණ, තැන්පත් ගතිය, කූට බුද්ධිය, ලෝඛකම හා ගැමියන් නිසා උපන් දයාව ද ගැමි පරිසරයෙහි වැඩුණවුන්ගෙන් සියයට අනූ දෙනකුන් තලතුනා වියේදී ලබන ගුණාංගයන් යැයි මම සිතමි. නිශ්ශංක එවැනි ගුණාංගයන්ගෙන් අනූන ගැමියකු ලෙස මම සැලකුවෙමි.”

“දිනමිණ” පත්‍රයේ සේවය කළ කාලය ගැන වික්‍රමසිංහ සූරීන් සඳහන් කරන්නේ ඉමහත් සොම්නසිනි. “උපන් දා සිට” පොතේ හෙතෙම මෙසේ සඳහන් කරයි. “ දිනමිණෙහි මා වැඩ කෙළේ ආසාවෙනි ..... මා කන්තෝරුවෙන් යන්නේ රෑ අටට හෝ අටහමාරට පමණය. දුම්රිය පොළ ඉදිරියෙහි වික්ටෝරියා හෝටලයට ගොස් දවසක බිරැණ්ඩි වීදුරු බාගයක් බී දුම්රියපළට ගොස් දුම්රියෙහි නැඟුණෙමි. වෙහෙස හෝ කෙඩෙත්තුව හෝ නොදැනෙයි. මා රැයෙහි ගෙදර ගියේ සන්තෝෂයෙනි.”

ලේක් හවුස් ආයතනයේ හිමිකරු ඩී. ආර්. විජයවර්ධන මහතාණන්ගේ දුර දක්නා නුවණ ගැන ද වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කරයි.

“මා කසාද බැන්ද පසු විජේවර්ධන මගේ පඩිය දෙගුණයකින් වැඩි කෙළේය. ඔහුගේ දුර දක්නා නුවණත් ශූරකමත් මට වැටහුණේ එයින් පසුය.”

1983 වසරේ දී ලේක් හවුසියෙන් අස්වූ මම මහජන එක්සත් පෙරමුණේ පූර්ණ කාලීනයකු ලෙස සේවය ඇරැඹුවෙමි. එහෙත් වසර තුනක් ඇවෑමෙන් එතැනින් අස්වූ මම “ ඉරිදා ලංකාදීප “ පත්‍රයේ දෙ වසරෙක සේවා කාලයෙන් පසු යළිත් ලේක්හවුස් ආයතනයට බැඳී “ දිනමිණ” පත්‍රයේ විශේෂාංග අංශයේ සේවය ඇරැඹුවෙමි. ජී. එස්. පෙරේරා මහතාණන් ප්‍රධාන සංස්කාරක ධූරය හෙබැවූ කාලයේ වසර කිහිපයක් මැ ‘ දිනමිණේ’ සේවාව කෙළේ ඉමහත් සොම්නසිනි.

“ දිනමිණ “ අනභිභවනීයයි

හෙළ බස් මිණිඅනඳපිය කුඩාතිහි

පුවත්පත් අතර දිගු කලක් පැවැතෙන්නේ “ දිනමිණ” යි. එ කලැ වෙනත් දිනපතා පුවත්පත් නොතිබිණි. සති අන්ත පුවත්පත් කිහිපයක් තිබුණද පත්තර ලොවේ අබිසෙස් ලැබුවේ “ දිනමිණ” යි.

මා කුඩා අවදියේ “ දිනමිණ” පත්‍රයක මිල සත පහක් බවයි මට මතක. ඒ කාලයේ ගම්වලට පාපැදියෙන් ගොස් පුවත්පත් අලෙවි කළ අය සිටියහ. දේශපාලනය, ආගම දහම , සාහිත්‍යය, කලාව, ක්‍රීඩා ආදී විෂයයන් අළලා වාර්තා සැපැයීම ද ලිපි සහ ඡායාරූප මගින් තොරතුරු ඉදිරිපත් කිරීම ද පුවත්පත් සතු කාර්යයන් ය. “ දිනමිණ” සියවසක් ඉටු කළ මාහැඟි සේවාව සදා සැමැරෙනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්