දිනමිණ පුබුදු කළ මගේ කවි මල

දිනමිණ පුබුදු කළ මගේ කවි මල

බුද්ධදාස ගලප්පත්තිගේ මතකය

‘දිනමිණ හා හාපුරා කියා පුවත්පතක මගේ නිර්මාණයක් පළවූයේ නවසිය හැට ගණන් ආරම්භයේ සිළුමිණ කමලා ළමා සමාජයේ ය. සඳ පහන් රැයක් නම් වූ එය ඉතා කෙටි රචනාවක් විය. තනි තීරුවක පළ වූ රචනාව යටින් ඒ.පී.ජී. බුද්ධදාස – සාන්ත සර්වේෂස් විද්‍යාලය, මාතර යනුවෙන් ද පළවී තිබෙණු දුටු මසිත උපන් සතුට පාසල් සිසුවකු ලෙස මා ලද ඉහළම සතුට විණියැයි අද සිතේ.

ඒ සතුට හැටේ දශකයේ දීම යළිත් වරක් දෙගුණ තෙගුණ වී දැනුණේ නවසිය හැටහතේ දෙසැම්බරයේ ය.ඒ මගේ ප්‍රථම කාව්‍ය නිර්මාණය ‘දිනමිණ’ පුවත්පතෙහි කවි පිටුවක පළ වී තිබෙණු දැක්මෙනි. දිනය 1966, දෙසැම්බර් පස්වන සඳුදායි. කාව්‍ය නිර්මාණය ‘හද පිපිමල’ යනුවෙන් මා විසින් නම් කොට තිබිණ. ගංගොඩවිල, ඒ.පී.ජී. බුද්ධදාස යනුවෙන් මගේ නම සඳහන් වී තිබුණේ එතෙක් මා බුද්ධදාස ගලප්පතිති ලෙස භාවිතා කිරීමට පටන් නොගෙන සිටි බැවිනි.

බුද්ධදාස ගලප්පත්ති

පාසල් සිසුවකු ලෙස සිළුමිණ කමලා ළමා සමාජයෙන් පුවත් පතක මුද්‍රිත පිටුවකට එක් වූ මගේ නම, ප්‍රථම වරට කවියකු ලෙස ‘දිනමිණ’ හඳුන්වා දී තිබුණු අවස්ථාවේ සරසවි සිසුවකුගේ නමක් බවට පත්ව තිබිණ. එදා නවසිය හැට හයේ දෙසැම්බරයේ දී ‘දිනමිණෙ’හි පළ වූ “හද පිපි මල” සමඟ පිපුණු කවි කැකුල, දශක පහකට ආසන්න කාලයක් පුරා කවි මලක් ලෙස පිපෙමින් පවතිනු දැනෙන මා හට ‘ දිනමිණ’ පුවත්පත කෙසේ නම් අමතක කළ හැකි වේද ? ‘දිනමිණ’ හි කර්තෘ තුමා හෝ කිසිදු කර්තෘ මණ්ඩල සාමාජිකයකු හෝ හඳුනා නොගෙන සිටි මා වැනි ආධුනිකයෙකු ගේ නිර්මාණයක් පළ වූයේ, ඔවුන් විසින් එම නිර්මාණයෙහි කිසියම් හෝ ගුණයක් හඳුනාගෙන තිබූ නිසා වන්නට ඇතැයි මට සිතේ. එබැවින් ශත සංවත්සරය සමරන ‘දිනමිණ’ ට වසර හතළිස් තුනකට පසුව වුව මෙලෙස කෘතවේදීත්වය පළ කරන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.

එදා හැටේ දශකයේ දී දිනමිණෙහි , සාහිත්‍ය කලා හා නිර්මාණ පිටු සමඟ බැඳුණු සමීප සම්බන්ධය අද දක්වාම නොබිඳී පවත්නා නිසා විය යුතුය. මා හට මෙවැනි මතක සටහනක් ලිවීම සඳහා ආරාධනයක් ලැබෙන්නේ යයි මම සිතමි. ‘දිනමිණෙ’හි ප්‍රධාන කර්තෘ පුටුව වරින්වර වෙනස් වුණද, කර්තෘ මණ්ඩල සාමාජිකත්වය වෙනස් වුණද දිනමිණ හා බැඳුණු බැඳීම අදත් ළංව පවතින්නේ දිනමිණ කෙරෙහි එදා උපන් භක්තිය නිසාම යයි මට සිතේ.

දිනමිණ සෑම කල්හිම නිර්මාණශීලී නවක තරුණ තරුණියන් සඳහා කැපවී කටයුතු කළ දිනපතා පුවත්පතක් වී යයි මටසිතේ. නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා විශේෂ පිටුවක්, සාහිත්‍යය සඳහා පිටුවක් ග්‍රන්ථ විචාර, නාට්‍ය හා චිත්‍රපට විචාරය සඳහා වෙන් වූ පිටු අතීත ‘දිනමිණෙ’හි අප වඩාත් සිත් ගත් විශේෂාංග සේ සිහිපත් කරමි. ජයවිලාල් විලේගොඩ ගේ චිත්‍රපට විචාරය ඩී.බී.කුරුප්පුගේ නාට්‍ය විචාරය අපට තවමත් මතකය. කාලානුරූපව ‘දිනමිණ’ තම පුවත්පත් කලාව වෙනස් කළ බවද අපට සිහිපත් කළ හැකිය. පෙරමුණේ තිලක, මෙරට පුවත්පත් කලාවේදීන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකි.

ඔහු රසවාහිනී සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධූරය දැරූ අවධියෙහි (හැත්තෑව දශකයෙහි) සඟරාව විසින් මාසිකව පවත්වනු ලබන ආධුනික කාව්‍ය තරග විනිශ්චයක් සඳහා තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් සඳහා මමද ඇතුළත්ව සිටියෙමි. අනෙක් දෙදෙනා වූයේ මොනිකා රුවන්පතිරණ කිවිඳිය හා සුනිල් ආරියරත්නයි’ අප තිදෙනා පෙරමුණේ තිලක මහතා සමඟ සම්බන්ධ කරන ලද්දේ තරුණ නිර්මාණකරුවන්ගේ ශක්‍යතා, දක්ෂතා ඉවෙන් මෙන් හඳුනාගෙන ඔවුනට නිරතුරුවම අතහිත දුන් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේය. ගමගේ අයියාගෙන් පෙරමුණේ තිලක මා හඳුනාගත්තේ එලෙසය. ඉතා කෙටි කාලයක් තුළ පෙරමුණේ තිලක මහතා හා මා අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගිණ. ඔහු ඉතා අපූරු චරිතයකින් හෙබි කරුණාවන්ත, නිහතමානී පුද්ගලයෙකැයි මට සිතිණි.

1974 පෙබරවාරි මාසයේ දිනෙක මාහට දුරකතන ඇමතුමක් ලැබේ. දුරකතනයේ එහා කෙළවරේ සිටිනා ඔහුගේ ගැඹුරු කටහඬ මට හඳුනාගත හැකිය. සුදුවතින් සැරසුණු ආරෝහ පරිණාහ දේහයකින් යුතු ඔහුගේ රුව මසිත මැවේ. “බුද්ධි මම පෙරමුණේ.....දැන් දිනමිණේ” ඔහු දිනමිණෙහි ප්‍රධාන කර්තෘවරයා ලෙස පැමිණි පුවත අසා සතුටට පත් වූ මම දුරකතනයෙන්ම ඔහුට සුබ පැතීමි. “කවි කෙටිකතා වගේ නිර්මාණ කරන තරුණ අය වෙනුවෙන්ම අලුත් පිටුවක් එකතු කරන්ට මම සැලසුම් කරනවා.

බුද්ධිලාගේ මොනිකලගෙ සහයෝගය මට දැන් ඕන කරනවා. “ඔහු පවසයි. “අපි පෙරමුණේ තිලක මහත්තයට උදව් කරන්නම්. බය වෙන්න එපා ඒ ගැන.” 1974 මාර්තු හතරවෙනි සඳුදා. දිනමිණ ‘තරුණ අරුණ’ නමින් තරුණ නිර්මාණකරුවන් වෙනුවෙන් විශේෂ පිටුවක් අරඹයි. තරුණ නිර්මාණ කරුවන්ගේ අගය දිනමිණ කර්තෘවරයා හඳුනාගෙන ඊට නිසි තැන ලබාදෙන්නේ මෙම පිටුව කර්තෘ වාක්‍ය පිටුවට (editorial page) පිටුවටම එක් කිරීමෙනි.

කතා බිඳු, කාව්‍ය නිර්මාණ, තරුණ දස්කම්, මිනිස් මහිම ආදී අනු ශීර්ෂ යටත් තරුණ අරුණ සැරසිණ. ප්‍රියානන්ද විජේසුන්දර, ජයලත් මනෝරත්න, කුමුදු කුසුම් කුමාර, අමරවංශ අතපත්තු, සමරරත්න කළුගම්පිටිය, තිලක් සේනානායක, චන්ද්‍රසිරි දොඩන්ගොඩ, උදේනි සරච්චන්ද්‍ර හා තවත් බොහේ තරුණ නිර්මාණ කරුවන් හා නිර්මාණ කාරියන්ගේ නව නිර්මාණවලින් තරුණ අරුණ පිටුව සැරසුණු බව අදත් සිහිපත් කළ හැකිය.

තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ පාඨක ලොවට හඳුන්වාදීම ‘දිනමිණ’ අත්වැල සැපයූ අයුරින්ම සාහිත්‍ය, නාට්‍ය කලා, මාධ්‍ය පිළිබඳ කාලීන සාකච්ඡා හා සංවාද සඳහාද ‘දිනමිණ’ තරුණ අදහස් එක් කොට ගත් බව සිහිවේ. බොහෝ විට එවැනි සංවාද සඳහා දිනමිණ තම කර්තෘ වාක්‍ය පිටුව වෙන් කරන්නේ එවැන්නත් සඳහා ලැබිය යුතු පාඨක අවධානය නොමඳව ලබාදෙන අටියෙනැයි මට සිතේ.

ජනමත මණ්ඩපය 1988 අගෝස්තු හතරවෙනි බ්‍රහස්පතින්දා වෙන්වන්නේ ‘අද සිංහල සාහිත්‍යය” නම් කාලීන මාතෘකාව වෙනුවෙනි. එම මණ්ඩපයට අදහස් දක්වන්නෝ කවුරුන්ද, ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය කුලතිලක කුමාරසිංහ, ආර්.එම්.ආර්. අමරරත්න, රඹුකන සිද්ධාර්ථ හිමි ආදීන්ය. සාහිත්‍යය පිළිබඳ ආචාර්ය පල්ලියගුරුගේ අදහස් ද කෙටිකතාව පිළිබඳ ආර්.එම්.ආර්.අමරසේන නාට්‍ය පිළිබඳ ආචාර්ය කුමාරසිංහ, ගීතය පිළිබඳ රඹුකන සිද්ධාර්ථ හිමි හා කවිය පිළිබඳ මා පළකළ අදහස් ද මෙම ජනමත මණ්ඩපයේ විය. දිනමිණට දායකත්වය පළකිරීමට ඉදිරිපත් වූ හා ඇරයුම් ලද අවස්ථා රැසක ඊට සහභාගී වූයේ දිනමිණ සමඟ අප බැඳුණු ලෙන්ගතුකම නිසාමය.

මුද්‍රණ ශිල්පයේ නව තාක්ෂණය යටතේ දිනමිණ පිටු සැලසුම් (Layouts) විශේෂාංග (features) පෙර දිනට වඩා සිත්ගන්නා, ආකර්ෂණිය ලෙස නිමැවීම වර්තමාන දිනමිණෙහි අප දකින මූලික වෙනසයි. එහෛත් පෙරදා දිනමිණෙහි වූ අන්තර්ගතයේ ශාස්ත්‍රීය බව, ගාම්භීර ස්වභාවය අද වේදැයි ප්‍රශ්න කරන්නෝ ද වෙති. රාජ්‍ය මාධ්‍යයක් වීම නිසා දේශපාලනික ප්‍රවෘත්ති හා විශේෂාංග ඇතුළත් වෙනත් ලිපි පක්ෂග්‍රාහී වෙතැයි නැගෙන චෝදනාව දිනමිණට ද පොදු වූවත් මෙරට කලා ක්ෂේත්‍ර පිළිබඳ, ඒවායේ නිරත ප්‍රබුද්ධ, ප්‍රවීණ මෙන්ම ආධුනික නිර්මාණකරුවන් පිළිබඳ දිනමිණ විසින් ඉටුකරනු ලබන අනගි මෙහෙවර පැසසුම් කටයුතුය. දිනමිණ වැනි පුවත්පතකින් පළමු කවිය පාඨකයන් අතට පත්කොට අදත් දිනමිණ හා බැඳී සිටින්නට ලැබීම වාසනාවක් කොට සලකමි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්