‘දිනමිණ’ බිහිවූ සමාජ පසුබිම

‘දිනමිණ’ බිහිවූ සමාජ පසුබිම

ගතවූ ශත වර්ෂයකට මඳක් වැඩි කාලය තුළ මේ රටේ ප්‍රසිද්ධියට පැමිණ වූ සිංහල පුවත්පත් හා සඟරාවල සංඛ්‍යාව පන් දහසකටත් අධික වෙතැයි කියතොත් එය විශ්වාස කරන්නට පිළිවන්ද? පිළිවන් වුවත් නැතත් එය සම්පූර්ණ ඇත්ත ය.

කළුකොඳයාවේ ප්‍රඥාශේඛරාභිධාන මහනායක ස්ථවිරයන් වහන්සේ සිය සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය ග්‍රන්ථාවලියේ ප්‍රථම කාණ්ඩය ප්‍රකාශයට පත් කරමින් 1965 දී ප්‍රකාශ කළහ. අද 2008 වන විට මේ සංඛ්‍යාව තවත් ඉහළ ගොසිනි.

එහෙත් සත්‍ය නම්, බොහෝ පුවත්පත් හා සඟරා පළ කිරීම ඇරඹුව ද අඛණ්ඩව සාර්ථකව ඒවා පවත්වාගෙන යන්නේ අතළොස්සක් පමණක් වන බවයි. මේ අයුරින් සලකා බලන විට සියවසක් පුරා අඛණ්ඩව හා සාර්ථකව ‘දිනමිණ’ පුවත්පත පළ කර පවත්වා ගෙන යාම ඓතිහාසික සංසිද්ධියකි.

වර්තමානයේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින් ප්‍රකාශයට පත් කරන ‘දිනමිණ’ ආරම්භය 1909 දෙසැම්බර් 17 ලෙස වාර්තා වේ. එකල එහි හිමිකාරත්වය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සතු නොවී ය. 1909 දෙසැම්බර් 1 වන දා සිංහල ජාතිය පුවත්පතේ දක්වා ඇති පරිදි මෙම පත්‍රය එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් බටුවන්තුඩාවේ මහතුන් සම්බන්ධව පවත්වන එකකි.

බලසම්පන්න දිනපතා පත්‍රයක් නැතිකම සිංහල ජාතියට අගෞරවයකි. අවශ්‍යයෙන් උවමනාව තිබූ මේ වැඩේ මෙසේ ඉෂ්ට වනු දැක්ම අපට බලවත් පී‍්‍රතියකි. එම විස්තරයට අනුව එවකට පැවැති කර්තෘ සංස්කාරක මූලික පුවත්පතක් ලෙස ‘දිනමිණ’ අරඹා ඇත.

පුවත්පත මුද්‍රණය කර ඇත්තේ බටුවන්තුඩාවේ පඬිතුමා ද සම්බන්ධ කොට ගෙන කොළඹ පළමු වන හරස් වීදියේ ලඞ්කාභිනවවිශ්‍රැත යන්ත්‍රාල යේ ය.

‘දිනමිණ’ මුල් පුවත්පතේ හැඳින්වීමේ වාක්‍යයේ දක්වන්නේ, ‘පනස් අවුරුද්දකට වැඩි කාලයක් සිංහල මහජනයා ප්‍රවෘත්ති පත්‍රවලින් ගත හැකි විපුල ප්‍රයෝජන ලබා ගත් නමුත් විසිතුන් ලක්ෂයක් පමණ වූ ඔවුන් අතර එකම දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් මෙකල නැතිවීම ගෞරවයට කරුණක් යැයි කිව නොහැකි යි.

අපගේ මේ ආරම්භය බොහෝ සෙයින් දුෂ්කර වූවත් කාලයක් ප්‍රවෘත්ති පත්‍ර පාලනයෙහි නියුක්ත වීමෙන් ලබන ලද මනා පලපුරුද්දක් අපට ඇති හෙයින් ස්වදේශ වාසීන්ගේ චිත්තාරාධනය වන පරිදි අපගේ යුතුකම් සිද්ධකරලීමට අපට පිළිවන් වේ යැයි සිතමු.’ යන අපේක්‍ෂාවෙනි.

මීට අමතර ව පුවත්පතක තිබිය යුතු දර්ශනය ගැන ද එහි දක්වයි. තවද කිසියම් නිකායකට, පක්ෂයකට හෝ සමාගමකට බැඳීමක්වත්, යටත්වීමක්වත් නොමැති හෙයින් කවර කරුණකදී වුවත් සත්‍යයත් යුක්තියත් පමණක් භාජනය කිරීමෙන් සාධාරණ ගුණයෙහි පිහිටා ස්වෛරී බලයෙන් යුක්තව ලෝකාභිවෘධිය සඳහා යථා ශක්තින් ක්‍රියා කිරීමට අපට අවකාශ ඇතිවීමත්, අපගේ කෘත්‍ය සාඵල්‍යයට අනල්ප උපකාරයක් වේ යැයි හඟිමු.

මෙලෙස උදාර අරමුණු ඇතිව ඇරැඹූ දිනමිණ පුවත්පතේ එකල වාර්ෂික දායකත්වය කොළඹ ප්‍රදේශයට රු. 8.00 ක් වූ අතර, පිට පළාත්වලට රු. 14.00 ක් විය. වාර්තා වී ඇති පරිදි එච්. එස්. පෙරේරා මහතා ‘දිනමිණ පවත්වා ගෙන ගියේ ආර්ථික දුෂ්කරතා මැද ය. අසාධ්‍ය ලෙස ඔහු රෝගාතුර වූයෙන් මේ ව්‍යාපාරය විකුණා දැමීමට සිදු විය. ඩී. ආර්. විජේවර්ධන මහතා මෙම පුවත්පතේ අයිතිය මිල දී ගත්තේ එවකට ජාතික ව්‍යාපාරයේ නකායකයෙකු වූ ඩී. බී. ජයතිලක මහතාගේ යෝජනාවක් අනුව බව සඳහන් ය.

‘දිනමිණ’ ශීඝ්‍ර දියුණුවකට පත් වූයේ විජේවර්ධන මහතාගේ හිමිකාරත්වයෙන් ඉක්බිතිව ය. පුවත්පත අරඹා අවුරුදු හතකට පසු එනම් 1915 දී උඩරට ගිවිසුමේ පළමු සියවස සිහිකිරීමේ උළෙල වෙනුවෙන් නිකුත්කළ ‘දිනමිණ’ විශේෂ අතිරේකය එහි කූඨ ප්‍රාප්තිය දැක්වීය.

එය යටත් විජිතයක විසූ ජනතාවගේ ජන විඥානය පිළිබිඹු කිරීමක් විය. ප්‍රවීණ මාධ්‍යවේදී එච්. ඒ. ජේ. හුළුගල්ල මහතා දක්වා ඇති පරිදි ඩී. ආර්. විජේවර්ධනයන් වනාහී පුවත්පත් ව්‍යාපාරයෙන් සශ්‍රීකත්වය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ය.

එංගලන්තයේ සුප්‍රකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් ලැබූ විජේවර්ධනයන් ලංකාවට පැමිණ නීති වෘත්තියට පිවිසියේ ‘දිනමිණ’ අරඹා අවුරුදු හතරකට පසු 1912 දී ය. එවකට ඔහු අවුරුදු විසි හයක තරුණයෙකි. ඔහු 1918 දී  ‘Daily New s’ පුවත්පත ද පසුව පුවත්පත ද ඇතුළු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පළවන පුවත්පත් රැසක හිමිකරුවා බවට පත් විය.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ) ආරම්භ කළ ඔහු පුවත්පත් හිමිකරුවෙකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළේ දේශපාලන නිදහස් අරගලය පිළිබඳ දැවෙන නොතිත් ආශාවක් පැවැති හෙයිනැයි හුළුගල්ල මහතා සිය The Life and the Times of D. R. Wijewardene කෘතියේ දක්වයි .

දේශපාලන නිදහස් අරගලය පිළිබඳ නොනිත් ආශාව , ‘දිනමිණ’. බිහි වූ යුගයේ ශශ්‍රී ලංකාවේ සිහිනය වූ බවට අපමණ සාක්‍ෂි ලැබේ.

විසිවන සියවසේ මුල් භාගයේ ඇති වූ ලාංකික ජාතිවාදී Nationalist ව්‍යාපාරයත්, ආණ්ඩු ක්‍රම පිළිබඳ උද්ඝෝෂණයක් දහ නව වන සියවසේ ලංකාවෙ මධ්‍යම පංතියක් බිහිවීමේ සංසිද්ධිය සමඟ බැදී පවතින බව සාමාන්‍ය පිළිගැනීම යයි පවසන ආචාර්ය මයිකල් රොබට්ස් මානව වර්ග රාශියකින් ද ඥාති සම්බන්ධතා විස්තීර්ණ පවුල් සැලැස්ම හා කුල පදනම යන මේවා මත ගොඩනැඟුණු සමාජ ව්‍යුහයකින් ද යුක්ත වූ නිවර්තන කලාපීය යටත් විජිතයක මෙම මධ්‍යම පංති සංකල්පය යොදා ගැනීම මහත් අන්තරාදායක බව ද කියයි.

මෙකල බිහිවූ ප්‍රභූ පෙලැන්තිය මෙම දේශපාලන ව්‍යාපාරයේ පෙරමුණ ගත් බවයි ඔහුගේ අදහස වන්නේ.

මධ්‍යම පංතිය හෝ ප්‍රභූ පෙලැන්තිය හෝ වේවා යටත් විජිත ක්‍රමයේ ම නිශ්පාදනයක් ලෙස නව සමාජ බලවේග ඇරඹුණු බවත් ඒ බලවේගවල අවශ්‍යතා මත ‘දිනමිණ’ ආදී පුවත්පත් ආරම්භ වූ බවත් පිළිගැනීම දුෂ්කර නො වේ.

මෙම බලවේග ගොඩනැඟුණේ 1831 කෝල්බෲක් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලෙසිනි. පැවැති කුලවැඩවසම් ක්‍රමයේ ඇගයුම් හා නව ධනවාදී ක්‍රමයේ ඇගයුම් අතර ගැටුම් වුවත් පුවත්පත ඒ සමාජ වාතාවරණයෙ කැඩපත බවට පත්වීමට ඒවා බාධා නො වී ය.

වැවිලි ආර්ථිකය ශශ්‍රී ලංකාවේ ධනේශ්වර ආර්ථිකයේ පදනම බවට පත් වූයේ මෙකල ය. විශාල කාර්මික ධනවාදයක් ඇති නොවුණ ද, රජයේ කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත ශාලා ද යම් ප්‍රමාණයක් බිහි විය.

ධනපති පංතියක් මෙන්ම කම්කරු පංතියක් ද ප්‍රථම වරට ලංකාවේ මතු වූයේ මෙකල ය. බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයට අවශ්‍ය ලිපිකරුවන් ඇතුළු නිලධාරින් සැපයීමට තරම් සුදුසු බව අධ්‍යාපන ක්‍රමයක් ද හඳුන්වා දෙනු ලැබූ අතර, පිරිවෙන් ආශි‍්‍රත දේශීය අධ්‍යාපනය ද අනුප්‍රාණය ලබමින් තිබුණි. මේ සියල්ල සමාජ නවීකරණයට මං පාදනු ලැබීය.

අධ්‍යාපනයේ ව්‍යාප්තිය නිසා කෙටි කලක දී සාක්ෂරතාව ඉහළයාම පුවත්පත් පාඨක සමාජ බිහි කිරීමට හේතුවක් විය. මුද්‍රණ කර්මාන්තය පෙරලා අධ්‍යාපනයට උපකාරී විය. 1868 වන විට ලංකාවේ පැවැති පාසල් සංඛ්‍යාව 915 ක් වූ අතර ශිෂ්‍ය සංඛ්‍යාව 34,617 ක් විය. 1871 ජන සංගණනයට අනුව එවකට ජනගහනය 24,06,262 කි. එයින් 38,355ක් (1.6%) පාසල්වල ඉගෙනුම ලැබූහ.

1901 වන විට ජනගහනය 35, 65,954 දක්වා වර්ධනය වූ අතර පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව ද 2,18,474 දක්වා ද වර්ධනය විය. 1911 වන විට ජනගහණය 4,10’367 ක්දක්වා ද පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 3,56,675 දක්වා ද වර්ධනය විය.

1910 වන විට රජයේ ආධාර ලැබූ පාසල් වර්ධනය වීම නිසා දිවයින පුරා පාසල් සංඛ්‍යාව ද ශිෂ්‍ය සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වර්ධනය වුණි. 1873 දී කොළඹ මාලිගාවත්තේ විද්‍යොදය පිරිවෙන ද, 1875 දී කැලණියේ විද්‍යාලංකාර පිරිවෙන ද ඇරැඹුණි.

1837 දී 85 ක් වූ පිරිවෙන් සංඛ්‍යාව 1944 වන විට 106 දක්වා වර්ධනය විය. ලංකාවේ බොහෝ පුවත්පත් කලාවේදියෝ මෙකල පිරිවෙන් අධ්‍යාපනයෙන් ද සිය භාෂා හැකියාවන් වර්ධනය කරගත්හ.

ඉංගී‍්‍රසිය රාජ්‍ය භාෂාව වීම නිසා එය ද අනිවාර්යෙන් උගත්හ. මේ නිසා බහු භාෂික මාධ්‍යවේදී පරපුරකට සුදුසු වාතාවරණයක් ද මෙකල උදා විය.

ඉහළ ආර්ථික මට්ටමක් පැවැති පවුල්වල අය වැඩිදුර අධ්‍යාපනය සඳහා සිය දරුවන් බ්‍රිතාන්‍යය ඇතුළු විදේශ රටවලට යොමු කළහ. මෙය ඔවුන්ගේ පර්යාවලෝකනයන් පුළුල් කිරීමට හේතු විය.

දිනමිණ ඇතුළු විශාල පත්‍ර සංඛ්‍යාවක, හිමිකරු වු විජේවර්ධනයන් අයත් වූයේ ද විදේශීය අධ්‍යාපනය ලද ප්‍රභූ පැලැන්තියට ය.

ඔහුගේ පියා සේදවත්තේ විසූ තුඩුගලගේ දොන් විජේවර්ධන පරපුරේ දැව ව්‍යාපාරිකයෙකි. මව හෙලේනා විජේවර්ධන මැතිනිය ප්‍රකට ඩෙප් වීරසිංහ ව්‍යාපාරික පවුලෙන් පැවත ආ අතර කැලණිය රජමහා විහාරයේ ප්‍රමුඛ දායිකාවක වූවා ය.

විජේවර්ධන පවුලේ හැමෝම අවාහ විවාහ මඟින් උඩරට හා පහතරට ප්‍රභූ පවුල් සමඟ සම්බන්ධකම් පැවැත්වූහ. මේ අය අතරින් ඇතැම් අය වෘත්තිකයන් වූහ.

සමහරු දේශපාලනඥයෝ වූහ. මේ කරුණ ‘දිනමිණ’ ට හොඳ ආර්ථික ස්ථාවරයක් මෙන් ම දේශපාලන ස්ථාවරයක් ද ගොඩනඟා ගැනීමට මං පෑදී ය. ‘දිනමිණ’ ඇතුළු ලේක්හවුස් පුවත්පත් ප්‍රබල බලපෑම් කණ්ඩායමක් මෙන් ක්‍රියා කළ බවට විවේචන ද එල්ල වී තිබේ.

‘දිනමිණ’ ආරම්භ වන විට මේ රට පුවත්පත් කලාවේ බොහෝ අත්හදා බැලීම් සිදු කොට තිබීම එක් අතකට පුවත්පත් ක්‍රීඩාවට හොඳින් පිටිය සැකසීමක් බඳු විය. 1802 මාර්තු 15 ඇරැඹි Government Gazette පත්‍රයෙන් ඇරඹි මෙරට ඉංගශ්‍රීසි පුවත්පත් කෙටි කලකදී ශීඝ්‍ර දියුණුවකට පත් විය.

රැඩිකල් මතධාරියෙකු වූ ක්‍රිස්ටෝපර් එලියට් The Colombo Observer පුවත්පත මගින් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පෙන්වා දුන් අතර මේ බලපෑම සිංහල හා දෙමළ පුවත්පත්වලට ද දැනෙන්නට විය.

1866 වන විට කොග්ගල පඬිතුමා විසින් සරසවි සඳරැස ද එම වසරේම ඇම්බ්‍රෝස් මැන්දිස් ජයවර්ධනයන් විසින් ඥානාර්ථ ප්‍රදීපය ද 1895 වන විට සී. දොන් බස්තියන් නාට්‍යවේදියා විසින් දිනපතා ප්‍රවෘත්ති ද ආරම්භකර තිබුණි.

එමෙන්ම විවිධ විෂය සඳහා වෙන් වූ පුවත්පත් හා සඟරා ද වරින් වර අරඹා තිබුණි. මේ සියල්ලට පෙර ලංකා ලෝකය පුවත්පත ජාතික ව්‍යාපාරයට රුකුලක් දෙමින් අරඹා ඇත්තේ දකුණු පළාතෙනි.

මෙම බොහෝ පුවත්පත් ජාතික හැඟීම් මෙන්ම ආගමික හැඟීම් උද්දීපනය කෙරුණි. ඇතැම් විට ජාති, කුල, ගෝත්‍ර, නිකාය භේද, ද පුවත්පත් මගින් මතු නොවූයේ නොවේ.

ලිබරල් සමාජයක අධ්‍යාපනය ලද විජේවර්ධනයන්ට එම භේදවලින් විනිර්මුක්ත අලෙවි කළ හැකි පුවත්පතක් පළ කර යුතු බව තේරුම් ගැනීම අපහසු වන්නට නැත. කෙටි කලකින් ඔහුට ව්‍යාපාරික ලෝකයේ පෙරට යාමට එය උපකාරී වන්නට ඇත.

අතීත සිංහල පුවත්පත්වලින් පාඨක සමාජයක් ගොඩ නඟා තිබීමත් පාඨකයාට උචිත භාෂා රීතියත් හා රූ රටා සැලසුම් නිර්මාණය කර තිබීමත් පහසුවක් වුවත් විජේවර්ධනයන්ගේ කළමනාකරණ දක්ෂතාවද එහි වර්ධනයට හේතු වූ බව නොකිවමනා ය.

ඔහු ව්‍යාපාරික කළමනාකරණය වෘත්තීය ලෙස හදාරා නැති මුත් සිය පවුලේ ව්‍යාපාරික පසුබිමෙන්ද, කේම්බ්‍රිජ් අධ්‍යාපනික පසුබිමෙන් ද අනුප්‍රාණයක් ලබන්නට ඇත.

ඔහුට තම කතුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල තෝරා ගැනීමටත් ඔවුන් අභිපූර්ණය කිරීමටත් තිබූ හැකියාව මාර්ටින් වික්‍රමසිංහයෝ සිය උපන්දා සිට කෘතියේ ද දක්වති.

සුගත් වටගෙදර

කර්තෘ මූලික පුවත්පතක් ලෙස ඇරඹි ‘දිනමිණ’ පසුව විජේවර්ධනයන්ගේ ප්‍රකට පුවත්පත් සමාගමේ පාලනයට නතුව විශාල වශයෙන් ලාභ ලැබූ ආයතනයක් වුවත් 1960 දශකය වන විට විශේෂයෙන් ලංකාවේ වාමාංශිකයන්ගේ විවේචනයට ලක් විය.

පුවත්පත් ඒකාධිකාරය හා එහි අනිසි ප්‍රතිඵල ගැන පුවත්පත් කොමිසම ඉදිරියේ කරුණු ඉදිරිපත් වුණි. 1973 ජූලි 20 දින සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) රජයට පවරා ගැණුනේ මේ අතර ය.

මේ පිළිබඳ විවිධ විවේචන එල්ල වුවත්, ‘දිනමිණ’ ඇතුළු පුවත්පත් යළි එහි මුල් හිමිකාර සමාගමට පැවරීම සඳහා බලයට පත් වූ කිසිදු රජයක් උත්සුක වී නැත. ‘දිනමිණ’ අදත් සිය ආරම්භක සම්ප්‍රදායේ ලක්ෂණ මුළුමණින්ම ඉවත නොදමමින් “, එහෙත් කාලානුරූපව නවීකරණය වෙමින් පෙරට ගමන් කරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්