අධ්‍යාපනය සහ දිනමිණ

අධ්‍යාපනය සහ දිනමිණ

සමාජයේ පවතින අධ්‍යාපනික කාරක අතරට ජනමාධ්‍යයද ඇතුළත් ය. අත්පත්‍රිකා, පොත්, පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය මෙන්ම විද්‍යුත් හා ඉලෙන්ට්‍රොනික සන්නිවේදන උපකරණ ඒ යටතට ගැනේ. එහි දී පුවත්පතට මුද්‍රිත මාධ්‍ය ක්‍ෂේත්‍රයෙහි ප්‍රමුඛ තැන හිමිවේ.

නූතන අධ්‍යාපනඥයෝ දැනුම, කුසලතා, හා ආකල්ප සංවර්ධනය අධ්‍යාපනය යනුවෙන් විග්‍රහ කරති. පුවත්පතකින් කැරෙනුයේ ද සිය පාඨක ජනතාවට අනුබල දීමය. අධ්‍යාපනය විධිමත් හා නොවිධිමත් යනුවෙන් දෙයාකාරය. යම් විෂය නිර්දේශයකට අනුව සිදුකරන්නේ විධිමත් අධ්‍යාපනයයි.

ඒ සඳහා පාසල් යනාදී ශාස්ත්‍ර ශාලා තිබේ. නොවිධිමත් අධ්‍යාපනය ලබාදෙන ප්‍රධානතම මාර්ගයක් වන්නේ ජනමාධ්‍යයි. එයිනුදු මුද්‍රිත මාධ්‍යට තවමත් සුවිශේෂ තැනක් හිමිවේ. පුවත්පත මුද්‍රිත මාධ්‍යයේ ප්‍රමුඛ තැන ගන්නා අධ්‍යාපන කාරකයා ය. පුවත්පත දිනපතා ම නැවුම් අත්දැකීම් සමඟ පාඨකයා අතරට පිවිසෙන ඔවුනගේ මිතුරකු වැන්නය.

නූතන අධ්‍යාපනඥයන්ගේ විග්‍රහයට අනුව දැනට කුසලතා ආකල්ප සංවර්ධනයෙහිලා පුවත්පතක් ඉටු කරන්නේ මහගු සේවයකි. පුවත්පත සමාජ සංස්කෘතික ආර්ථික දේශපාලනික පද්ධතිය සමඟ පවතින සම්බන්ධතාවය මෙන් ම අධ්‍යාපනයට ද මෙවැනිම සම්බන්ධයක් පවතී.

සියවසක කාලයක් පාඨක ජනතාවගේ දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනයට ‘දිනමිණ’ ඉටුකළේ අති අනර්ඝ සේවයකි. අධ්‍යාපනය නිසා පොදු හික්මීමක්, තීරණගැනීමේ ශක්තියක් මෙන් ම සමාජයීය වගකීම් පිළිබඳ අවබෝධයක් ඇතිවිය යුතු බව එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ පෙන්වා දෙයි.

පුවත්පතක් වශයෙන් සියවසක කාලයක් දිනමිණ එම කාර්ය ඉටුකර ඇත. දිනමිණ ඒ සඳහා කළ කැපවීම පුළුල් ගවේෂණය හැර මෙවන් කුඩා ලිපියකින් කෙසේවත් විස්තර කිරීම උගහට ය.

අධ්‍යාපනයෙහිලා ප්‍රමුඛත්වය හිමි විය යුතු පොදු පරමාර්ථ හතරක් ඇත.

1. ජාතික සංවර්ධනය

2. චරිත සංවර්ධනය

3. පොදු නිපුණතා සංවර්ධනය

4. සුවිශේෂ නිපුණතා සංවර්ධනය

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන විට මෙන්ම විවිධ ප්‍රතිපත්ති සිදුකළේද ඉහත පොදු පරමාර්ථ සාධනය පිණිසය. ‘දිනමිණ’ තම සියවස තුළ ඒ හැම අවස්ථාවකටම එක් විය. පොදු පරමාර්ථ සාධනයෙහිලා පොදු නිපුණතා කිහිපයක් තිබේ.

එම පොදු නිපුණතා අතර සන්නිවේදන නිපුණතා මුල්තැනට සඳහන් කළ හැකිය. සන්නිවේදන නිපුණතාවෙහි කොටස් තුනකි. එනම්, සාක්‍ෂරභාවය, ගණනය හා මාණනය සහ රුපණය යනුවෙනි. සාක්‍ෂරභාවයට ඇතුළත් වන්නේ සවන්දීම, අර්ථය පිණිස කියැවීම, කල්පනාව පැහැදිලි උච්චාරණය, නිවැරැදි හා පැහැදිලි ලිවීමයි.

ගණනය හා මාණනයට ඉලක්කම් භාවිතය කාලය අවකාශය ගණන් කිරීම ගණන්බැලීම යනාදිය ද රූපණයට රූපසටහන් භාවිතයෙන් අදහස් පිළිබිඹු කිරීමද ඇතුළත් වේ. සන්නිවේදන නිපුණතා වර්ධනය පිණිස දිනමිණ පළමුවැනි පත්‍රයේ සිට මේ දක්වා කටයුතු කර ඇත. මේ සන්නිවේදන නිපුණතා වර්ධනය සඳහා පුවත්පතක් විසින් අනුගමනය කළ යුතු හා අවධානය යොමුකළ යුතු අංශ කිහිපයක් ඇත.

* භාෂා භාවිතය

* සමබර ප්‍රවෘත්ති හා විශේෂාංග

* දෙස් විදෙස් තොරතුරු

* ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සඳහා උසස් රූපණ භාවිතය

( ඡායාරූප, චිත්‍ර රූප සටහන්, අකුරු)

* නව සොයාගැනීම් හඳුන්වාදීම

* සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික ප්‍රවණතා හඳුනා ගැනීම

ඉහත අංශ ගැන අවධානය යොමු කරමින් දිනමිණ සියවසක කාලය පුරා ප්‍රවෘත්ති, විශේෂාංග යනාදිය දිනපතා නැවුම් බවින් ඉදිරිපත් කර තිබේ.

විද්‍යාව සිංහලයෙන් උගන්වන්නට බැරියැයි ඇතැමුන් කෙඳිරිලි නගන විට හැටේ දශකයේ ආරම්භයේ ම “විද්‍ය සංග්‍රහය” නමින් විශේෂාංගයක් ආරම්භ කළේ ය. විද්‍යාවට තැන දෙන අතර සාහිත්‍ය සංග්‍රහයක්ද ශාස්තශ්‍රීය සංග්‍රහයක් ද කළේය.

සිංහල භාෂාවට හිමිවිය යුතු තැන දිය යුතු බවත්, පාසල් හි ඉගැන්වීමත් පාර්ලිමේන්තුවේ සිංහලෙන් කතා කළ යුතු බවටත් ‘දිනමිණ’ කතුවැකි ලීවේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා කතුවරයාව සිටි හතළිහේ දශකයේ ය.

සිංහලෙන් විශ්වවිද්‍යාලය දක්වා ඉගැන්වීමටත්, පාර්ලිමේන්තුවේදී සිංහලෙන් කතා කිරීමත් අවුරුදු දහයකින් පහළොවකින් විධිමත්ව සිදුකළ යුතු බව ඒ කතුවැකිවලින් පෙන්වා දී තිබිණි. එමෙන්ම හතළිහේ දශකයේ සෙනසුරාදා දිනමිණේ කෙටි කතාවක් පළ කැරුණේ ද සිංහල හා සාහිත්‍ය ප්‍රබෝධය පිණිසය.

පාසල් රජයට පවරා ගැනීම 1960 දී සිදුවීමෙන් පසු ක්‍රමයෙන් අධ්‍යාපනය තරගකාරීවන්නට විය. අදවන විට පවතින්නේ දැඩි තරඟයක් හා ඉල්ලුමකි. ජාතික පාසල්, පළාත් සභා පාසල්, ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල, උපාධි පිරිනමන ආයතන ඇත. එමෙන්ම උපකාරක පංති, මෙරටදී ම විදේශ උපාධි ලබාගත හැකි ආයතන ද තිබේ. අද අධ්‍යාපනය ද විභාග කේන්ද්‍රිය වී ඇත.

මේ බව වටහා ගන්නා ලද ‘දිනමිණ’ ඒ සඳහා ද අත්වැලක් වූයේ ය. පළමුවෙන් ම ශිෂ්‍යත්ව විභාගයට හා අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට ද උපකාරක පාඩම් පළකරයි. පුනරීක්‍ෂණ වැඩමුළු පවත්වයි.

අසූව දශකයේ දී ශශ්‍රී ලංකාවේ ජනපි‍්‍රය පාසල් තේරීමේ තරගයක් ද දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වනු ලැබීය. එය පාසල් ප්‍රජාව අතර අතිශය ජනපි‍්‍රය විශේෂාංගයක් විය. පාසල්හි ගුණාත්මක සංවර්ධනයට එය පිටිවහලක් විය.

දයා පෙරේරා

හැටේ දශකයේ ‘දිනමිණ’ පළකළ චිත්‍රකතා ද කිසියම් අධ්‍යාපන දැනුමක් ලබා දුන්නේය. ජාතක කතා, සද්ධර්මරත්නාවලියේ කතා වස්තු, ගී‍්‍රක සාහිත්‍යයේ මෙන්ම සංස්කෘත කාව්‍යයේද වස්තු විෂයකොට චිත්‍ර කතා නිර්මාණය කැරිණි. වර්තමානයේ පවත්වන තරගකාරී විභාග සඳහා ද පාඩම් පළකරමින් දිනමිණ උසස් මෙහෙයක් කරයි. තොරතුරු තාක්‍ෂණ විෂයය සඳහා මෙන්ම ජනතාවගේ ඉංගී‍්‍රසි භාෂා සංවර්ධනයටද දිනමිණ කැපවී සිටියි.

අධ්‍යාපනය පිළිබඳ එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන සදහන සාක්ෂාත් කිරීමට ‘දිනමිණ’ කැපවුණේ එක්සත් ජාතින්ගේ සංවිධානය පිහිටුවීමටත් කලකට පෙර ය. අද වන විට ‘දිනමිණ’ රටේ ජාතික අරමුණ සාක්ෂාත් කරගැනීමෙහි ප්‍රධාන බලවේගයක් වශයෙන් ජනතාවගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනයට කැපවී සිටිති.

ජාතියේ සමාජයීය, හා ආර්ථික වර්ධනයට හේතුකාරක වන අධ්‍යාපනයෙන් මානව සම්පත සංවර්ධනය පිණිස දිනමිණ සියවසක් ගමන් කර තිබේ. තවත් සියවස් ගණනාවක් එමෙඟහි ගමන් කරනු ඇත. ඒ සඳහා අද තබන පියවර යෝධ පියවරකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්