නීතියට ජනතාවට ගරු කළ පුවත්පත

නීතියට ජනතාවට ගරු කළ පුවත්පත

අධිකරණවල විවිධ දේ සිදුවේ. ඒවා පුවත් පත්වලට හොඳ සාරවත් රසවත් ප්‍රවෘත්ති බවට පත් කරන්නේ අධිකරණයේ වාර්තාකරුවන් ය. පුවත්පතක ඔවුන්ට සුවිශේෂී තැනක් හිමිවේ.

අධිකරණ වාර්තා ද පුවත්පතක වැඩි පිරිසක් රඳවා ගන්නා බව කිවයුතු නොවේ. ‘දිනමිණ’ට වසර 100 පිරෙන මේ මොහොතේ ඊට අධිකරණ වාර්තා සැපයූ මාධ්‍යවේදීන් විශාල පිරිසක් සිටී.

නඩු වාර්තා පමණක් කියැවීමට පුවත්පත් ගන්නා පිරිසක් ද රටේ සිටිති. උසාවි වාර්තාව සියයට 100ක්ම නිවැරැදිය සත්‍යය. එය ලියන පුද්ගලයාට හෝ වෙනත් අයකුට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි කතාවක් නොවේ.

එම නිසා ම අධිකරණයේ නඩු වාර්තාව කියැවීමට බොහෝ දෙනා පෙළඹී සිටී. උසාවියේ නීරස සිද්ධිය ඉතා රසවත්ව කුතුහලය දනවන අයුරුන් ලිවීම අධිකරණ වාර්තාකරුවන්ගේ යුතුකමකි. අධිකරණයකට ඉදිරිපත් කරන වාර්තාවක්.

එහි අඩංගු කරුණු ඊට අදාළව ලබා ගන්නා නියෝග ඉල්ලීම් පිළිගැනීම් හා ප්‍රතික්‍ෂේප කිරීම් ආදි සියලු ක්‍රියාකාරකම් ප්‍රවෘත්තියක් කර ගත හැක. නඩුවට අදාළ වන පුද්ගලයින් සිද්ධියේ ඇති භයානක බැරෑරුම්භාවය කුතුහලය වසංකිරීම වැනි කරුණු එහි වටිනාකම වැඩි කරයි.

අපරාධ හා සිවිල් අංශ දෙකේ නඩු මෙන් ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ව්‍යාපාරික හබ වැනි නඩු පිළිබඳව ද ජනතාව උනන්දුවක් දක්වති. අතීතයේ දී මිනීමැරුම් නඩු මහත් ප්‍රසිද්ධ විය. ඒවා කියැවීමට මිනිසුන් තුළ තිබුණේ පුදුම උනන්දුවකි.

පුවත් පත් නඩුව කියවා ගමේ කඩේ වැඩපොළේ ගෙදර දී එම නඩුවේ සිද්ධීන් නැවත නැවත කතා කිරීම සිරිතක් ව පැවැතිනි. නඩුව අධිකරණයේ අසා තීන්දුව දීමට පෙර පුවත්පත්වල වාර්තා කියවා විත්තිකරුවන්ට අධිකරණයට පෙර ජනතාව සිය තීන්දුව දීම සිදු කළේය.

මේ රටේ මහත් ප්‍රසිද්ධියට පත් නඩු විභාග රැසක් තිබේ. ‘දිනමිණ’ ට වසර 100ක් පිරෙන මේ මොහොතේ මේ රටේ නඩු රැසක් ජනතාව හමුවට ගෙන ආවේ ජනතාව එවැනි වාර්තා කියැවීමට ගන්නා උනන්දුව නිසාය.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අපරාධ නඩු අතර ප්‍රැන්සිස් ආටිගල මහතාගේ ඝාතනය, සෙනවිරත්න මහත්මිය ඝාතන නඩුව වෛද්‍ය අසරප්පා මහතාගේ දික්කසාද නඩුව වීරවිල මිනීමැරුම් නඩුව, බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතන නඩුව, 1962 හමුදා කුමන්ත්‍රණ නඩුව, 1967 කුමන්ත්‍රණ නඩුව, කුලරත්න නඩුව කතරගම රූපසුන්දරි ඝාතන නඩුව ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන යාමේ නඩුව මහත් ප්‍රසිද්ධ විය.

ඊට අමතරව හමුදා නිලධාරින්ට එරෙහි ව චෝදනා විභාග කරන යුද්ධාධිකරණ වල විභාග කෙරෙහි ඇතැම් නඩු ද කියවීමට ජනතාව කැමැතිය. අගමැති රජිව් ගාන්ධි මහතාට පහරදුන් නාවික භටයාට එරෙහි නඩුව මෑත කාලයේ ජනතාව කියවූ එවැනි නඩුවකි.

‘දිනමිණ’ ආරම්භයේ දී එහි කර්තෘ එච්. එස්. පෙරේරා මහතා නඩුවකට සම්බන්ධ වී තිබේ. ‘දිනමිණ’ පටන් ගැනීමට පෙර පෙරේරා මහතා වසර 19ක් සරසවි ‘සදරැස’ පත්‍රයේ කතුවරයා ලෙස කටයුතු කළේය. එහෙත් පරිපාලනය සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් ඒ මහතා එම කතු ධූරයෙන් ඉවත් වන්නට සිදුවිය.

පෙරේරා මහතා අලාභ ඉල්ලා නඩු‍්‍ර පැවැරූ අතර දිසා විනිසුරු ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා නඩුව විභාග කර රුපියල් 150ක් අය කර දී තිබේ.

මේ පුවත 1910 දෙසැම්බර් 24 දින දිනමිණේ පළ කර ඇත. ‘දිනමිණ’ ට වසර 100ක් පිරෙන මේ මොහොතේ ගත වූ සියවසර තුළ ‘දිනමිණ’ ට අධිකරණ වාර්තා සැපයූ මාධ්‍යවේදීහු බොහෝ වෙති. ඔවුන් ගෙන් බොහෝ දෙනකු දැනට ජීවතුන් අතර නැත.

ආරම්භයේ දී ‘දිනමිණ’ අධිකරණ වාර්තා ඉතා රසවත් අයුරින් පළකර ඇත. එහෙත් අධිකරණය වාර්තා කිරීමට ගිය ස්ථිර වාර්තාකරුවෝ ද නොවූහ. බොහෝ විට සිය සහෝදර ඩේලිනිව්ස් පත්‍රයේ පළවන අධිකරණ වාර්තාව සිංහලට පරිවර්තනය කර දිනමිණේ පළ කළහ.

ඊට හේතු රැසක් විය. අධිකරණයේ භාෂාව ඉංග්‍රීසි වීම නිසා ඉංග්‍රීසියෙන් ලියන මාධ්‍යවේදීන් ගේ කාර්යක් ලෙස උසාවි ලිවීම සැළකිණි.

එහෙත් කලක් ගතවන විට අධිකරණ වාර්තාව කෙලින් ම ලියා ගෙන ඉක්මනට මුද්‍රණයට යැවීමේ අවශ්‍යතාවය මතු වන විට ‘දිනමිණ’ තමන්ගේ වාර්තාකරුවකු අධිකරණයේ වාර්තා ලිවීම සඳහා යොදා ගෙන තිබේ.

ජනතාව මහත් උනන්දුවක් දැක් වූ නඩු සිංහල භාෂාවෙන් ඉක්මනට ලියා ගැනීම ‘දිනමිණ’ ට අවශ්‍ය විය. ඒ අනුව අතීතයේ දී කපිල පියදාස, ඩී. සී. කරුණාරත්න වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දිනමිණට උසාවි වාර්තා ලියූ බව පෙනේ.

මෑත කාලයේ පියරත්න කොළඹගේ, ඩබ්ලිව්. ජී. ගුණරත්න, එම්. ඩී. එච්. සිරිසේන, උපාලි ධර්මබන්දු, ගුණසිරි විතානගේ, වර්ණන් ගුණසේකර, ධනසිරි සූරසේන යන මහත්වරු ‘දිනමිණ” ට අධිකරණ වාර්තා ලියූහ. ඊට අමතරව හදිසියක දී ගාමිණි අබේනායක, කමනි අල්විස් වාර්තාවක් ලිවීමට උසාවි පැමිණියහ.

පසු කලක දී ලංකාදීප දවස වැනි පුවත් පත් සිය මාධ්‍යවේදීන් අධිකරණවල රඳවා දිනපතා අධිකරණ වාර්තා පළ කිරීම නිසා දිනමිණ ද ස්ථිර අධිකරණ වාර්තාකරුවන් පත් කිරීමට පියවර ගත්තේ ය. විජයානි එදිරිසිංහ, සඳුන් ජයසේකර, ශිරෝමි පෙරේරා ඒ අතර වූහ.

ඔවුන් සිය ජ්‍යෙෂ්ඨයින්ගේ ගුරුහරුකම් සමඟ උසාවියට පැමිණියහ. පසුව තත්ත්වය තවත් පුළුල් වෙමින් කුමුදු සුරවීර, රන්ජිත් පද්මසිරි, ස්ටැන්ලි සමරසිංහ, රුවන්ති කාරියවසම්, නෙල්කා මැදගෙදර, රෝෂන් තුෂාර ස්ථිර ලෙස අධිකරණ වාර්තා කිරීමේ කාර්යයේ නිරත වූහ.

රන්ජිත් පද්මසිරි

අධිකරණයට එන නඩු ප්‍රවෘත්තියක් බවට පත් කර ගැනීම අධිකරණ වාර්තාකරුවා ගේ වගකීම වේ. අධිකරණ වර්තාකරුවා අධිකරණයට ගොස් සිටිය ද ප්‍රවෘත්ති ඔහු අතට ලැබෙන්නේ නැත. ප්‍රවෘත්තිය සොයා ගැනීම ඔහුගේ වගකීම වේ.

අධිකරණයට එන පුද්ගලයින් කවුදැයි දැන හඳුනා ගැනීම ඔහුට ඒ කාර්යය සහායක් වේ. නඩු විභාගයක දී වාර්තාකරුවන් සියලු දෙනා වාඩි වී එකම කතාවක් අසා ගෙන සිට ලියා ගත්තත් එය පුවත්පතකට ඉදිරිපත් කිරීමේ දී තම ප්‍රතිභාව පෙන්වා හොඳින් ලියන අයද සිටී. අදත් අධිකරණ වාර්තා කියවන පාඨක පිරිස අඩු නොවේ. ඔවුන් පුවත්පතකට අත්‍යවශ්‍ය පිරිසකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්