සිය වසරක ‘දිනමිණ’

සිය වසරක ‘දිනමිණ’

යටත් විජිත යුගයෙහි මෙරට ප්‍රධාන බලවේග දෙකක් මතු විණි. එකක් අලුතින් හඳුන්වා දෙනු ලැබූ යුරෝපීය චර්යාවන් හා ක්‍රිස්තියානිය පදනම් කර ගත්, පාලක පන්තියයි. එය පසුපස අලුත් ලෝකයට යාමට රුචිය දැක්වූවෝද, දේශීය පාලක පිරිස් ද වැටුණහ. දෙවැන්න බුද්ධාගම, පන්සල් හා ගැමි ශ්‍රමිකයන් අයත් වුණු ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර උගත් පන්තියයි.

දහනව වන ශත වර්ෂයේ අග කාර්තුව වන විට මේ පන්ති දෙක අතරින් මතු වුණු ගැටුම් මැද විදේශීය අධ්‍යාපනය ලැබූ අන්තර්ජාතික රාජ්‍ය තන්ත්‍ර ගැන අවබෝධයක් ද ලත් නව දේශීය ධනවත් ප්‍රභූ පන්තියක් පහළ විය. ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ද අයත් වුණේ ඒ පන්තියටයි. 1909 දෙසැම්බර් 17 වැනි දින ආරම්භ කළ මුල් “දිනමිණ” පුවත්පතේ කතුවරයා වූයේ හේමේන්ද්‍ර සේපාල පෙරේරා ය.

අභිමානවත් ලේක්හවුස් මන්දිරය

ඩී. ආර්. විජයවර්ධන “දිනමිණ” මිල දී ගැනීමෙන් ආරම්භ වුණු අලුත් පුවත්පත් කලාව නොකඩවා ශත වර්ෂයක් පවත්වාගෙන යාමට හැකි වීම ආසියාකරයේ විශේෂයකි.

ශශ්‍රී ලංකාව යටත් විජිත ආසියාවේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ඉංගශ්‍රීසි, සිංහල සහ දමිළ පුවත්පත් කලාවකට හිමිකම් කියන රටවල් අතලොස්සෙන් එකකි.

විසිවැනි සියවසේ ජනමත ගොඩනැඟීමේ පුරෝගාමී මෙහෙවරක යෙදීමට “දිනමිණ” පත්‍රයට අවශ්‍ය පසුතලය, යටිතල පහසුකම්, තාක්ෂණික සේවා, කාර්ය මණ්ඩල හා කර්තෘ මණ්ඩලය ද, අන්තර්ජාතික සම්බන්ධතා ද සහිතව සියලු අවශ්‍යතා මේ නායකයා විසින් සපයන ලදී. එහෙයින් ආරම්භයේ සිට අද දක්වා සේවය කරන කර්තෘ මණ්ඩල හා අනිත් කාර්ය මණ්ඩල ද මගින් යාවත්කාලීන භාවයට පත්කරන ලද පත්‍රයක් අප අතට පත්වීම අගය කළ යුත්තකි.

ජනසන්නිවේදන විද්‍යාව හෝ ජනමාධ්‍යය වැනි නූතන පද ව්‍යවහාර නොවුණු, නොඉපදුණු පසුබිමක, අමෙරිකානු හා යුරෝපීය පුවත්පත් කලාව හා එහි සම්මුති සියල්ලන්, චින්තනයන් හිමිකර ගන්නට සමත් වුණු ලේඛක පිරිස් “දිනමිණ” පත්‍රය දේශීයකරණය කළහ.

මෙරට දේශපාලනික දිසානතිය හා නිදහස් ලංකාවක ගමන් මඟ ද පෙන්වා දීමට ක්‍රියාකිරීම “දිනමිණ” පත්‍රය කළ ප්‍රධාන සේවයකි. එහිලා වරින් වර පාලක පක්‍ෂවල අණපනත්වල නියමයන්ට හිස නැමීමට සිදුවීම සංවර්ධනය වන රටවල පුවත්පත් කලාවට කරන අනිවාර්ය බලපෑම ද අමතක නොකළ යුතුයි. දෙවැනිව මෙරට දේශීය කලා ශිල්ප වර්ධනයට අවශ්‍ය කරන සම්ප්‍රදායට ගරු කරන අතර, ජාත්‍යන්තර වශයෙන් අපට අපේ සම්ප්‍රදායයන් පෝෂණය කිරීමට මඟපෙන්වීම අතින් කෙරුණු සේවයක් ද තිබේ. මෙරට දේශීය නර්තනය ලෙස ගැනුණු තොවිල්, කංකාරි, බත්මාලා, සොකරි හා කෝලම් වැනි ශාන්තිකර්මවල පැවැතුණු දේශීය ලක්ෂණ ජාත්‍යන්තරයට ගෙන යාමට මඟපෙන්වීම “දිනමිණ” හා “ඩේලි නිව්ස්” පත්‍ර දෙකින් ම සිදුවිය.

1920 – 35 කාල වකවානුව ඇතුළත අපේ රටේ පන්සලක, තොවිල් පලක, පිංකමක බෙර ගැසීමට රජය තහනම් කොට නීති පනවා, දඩ ගසා, දඟ ගෙයි ලෑම වැනි දඬුවම් දෙද්දී, 1934 දී රබීන්ද්‍රනාත් තාගෝර් ගේත්, 1935 දී උදය ශංකර්ගේ හා මේනකාගේ ද පසුව ඒ ළඟ ළඟම ලංකාවට ආ ගෝපිනාත්, තාරා චවුද්රි, මෘනාලිනී සාරාබායි, සුබෙන්ද්‍ර දත් හා රාම් ගෝපාල් හඳුන්වා දුන් නව නර්තන කලාවට අප හුරුකර වීමට අපේ චින්තනය හැඩගැස්වීමට “දිනමිණ” පත්‍රය ක්‍රියා කළාය.

තුන්වැනිව නිවැරැදි භාෂා ව්‍යවහාරයෙන් තොරව, පුවත්පත් කලාවක උසස් ප්‍රමිති රැකගැනීම දුෂ්කර බව පැහැදිලිව වටහා ගෙන කළ “දිනමිණ” පත්‍රය වාර්තාකරණය, ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති රචනය වැනි අංශවල ප්‍රමිතිකරණ බිහිකරන්නට පසුතලය සකස් කළ බවද පෙනේ.

හතරවැනිව අද ජීවත්ව සිටින බොහෝ ලේඛකයන්ට අත්පොත් තබන්නට උදව් කළ “දිනමිණ” පත්‍රය නෑ මිතුරුකම්, නොසොයා නොබලා යෞවනයන්ටද උපකාර කෙළේය. හද්දා පිටිසර ගම්මානයක උපන් අපගේ රචනාවක්, කවි පන්තියක් පළකොට පසුව නවකතා විචාරය නමින් සාහිත්‍ය සංග්‍රහයේ වසර තුනක් පමණ ලිපි පළකිරීමට අවස්ථාව සලසා දීම ගැන සඳහන් කරන්නේ ද කෘතඥතාවෙනි.

මහාචාර්ය තිස්ස කාරියවසම්

පස්වැනිව මුද්‍රණ තාක්ෂණයේ සහ පුවත්පත් මුද්‍රණයේ දියුණුව පළමුවෙන් ම ඇද වැළඳ ගත් ලේක්හවුස් ආයතනය, අන්තර්ජාලයට පිවිසීමට ද ක්‍රියා කිරීම නූතන ප්‍රගතියකි.

බොහෝ අංශවලින් නවීකරණය වීම පුවත්පතකට අත්‍යවශ්‍යයි. එහෙයින් සියවස සපිරෙනදා උද්දාමයට පත් වන අතරම, ඒ ගුණාංග අද අමතකව ඇත්නම් යළි ඒවා විකසිත කිරීමට තැත්කිරීම ද අවශ්‍ය වෙයි.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්