පුවත් පත් කලාවට තිබිය යුතුම දේ...

පුවත් පත් කලාවට තිබිය යුතුම දේ...

පුවත්පතක ප්‍රවෘත්ති අංශය මෙන්ම විශේෂාංග අංශයට ද හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. පුවත්පතක සේවය කිරීම විශේෂයෙන් ම කර්තෘ මණ්ඩලයේ සේවය කිරීම අන් රැකියාවලට වඩා බෙහෙවින්ම වෙනස් ය. කතු මඩුල්ලේ සේවය කරන්නා ප්‍රවෘත්ති අංශයේ වැඩ කළත් විශේෂාංග අංශයේ වැඩ කළත් උප කර්තෘ අංශයේ වැඩ කළත් රටේ ලෝකයේ සිදුවන දේ ගැන නිරන්තර අවබෝධයෙන් සිටිය යුතු ය.

ඔහුගේ ඇස නිතරම සමාජ දේශපාලන වෙනස්කම් දෙස යොමු වී තිබීම වැදගත් ය. පුවත්පතක වැඩ කිරීම තුළින් අන් රැකියාවලට වඩා ආත්ම තෘප්තියක් ලබාගත හැකිය.

අයන්ති විතාන

මාර්ටින් වික්‍රමසිංහ මහතා ද ‘දිනමිණ’ පුවත්පතේ කර්තෘවරයකු ලෙස සේවය කළේ ය. කොග්ගල ප්‍රාඥයා සිය ජීවිත කථාවෙහි එනම් “උපන් දා සිට” ග්‍රන්ථයේ දිනමිණට එක් වූ අයුරු මෙසේ සටහන් කරයි.

“මම ඉතා ආසාවෙන් දිනමිණ පුවත්පතේ වැඩ කරන්නට පටන් ගතිමි. මම යළිත් “හේතුවාදී” නමින් සතියකට වරක් ලිපියක් ලියන්නට පටන් ගතිමි. ගතානුගතික අදහස් විවේචනය කරන සමහර ලිපි වාද විවාදවලටද විවේචනය විය” යනුවෙන් උපන්දා සිට ග්‍රන්ථයෙහි දැක්වේ. එකල පුවත්පත ප්‍රබලතම මාධ්‍ය වූ නිසා මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ විශේෂාංග ලිපි සමාජයේ ප්‍රබල කතාබහකට ලක්විය.

එක් අවස්ථාවක වික්‍රමසිංහ මහතා “හේතුවාදි” නමින් දිනමිණට ලියූ ලිපියකින් ජනකවි වර්ණනා කිරීම ගැන උරණ වූ අයෙක් වෙනත් සඟරාවකට ලිපියක් ලියමින් “පැදුරු මාලාකාරයා” ලෙස සරදම් කළ බව ‘උපන් දා සිට’ කෘතියේ සටහන් කර ඇත.

කතුවැකිය තුළින් පුවත්පතේ අනන්‍යතාවය මෙන් ම පුවත්පතේ දෘෂ්ඨීයද කියැවේ. කතුවැකිය ලියන්නේ කර්තෘතුමා නො වේ නම් එය රචනා කිරීමට පැවරෙන්නේ විශේෂාංග අංශයේ ප්‍රධානියා හෝ එම අංශයේ අයෙකුට ය. ප්‍රකට ලේඛක ජී. බී. සේනානායක මහතා දිනමිණට බඳවා ගන්නා ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ මහතා විසිනි.

වික්‍රමසිංහ මහතා කර්තෘවරයා ලෙස තමාට කර්තෘ වාක්‍ය ලියන ලෙස නියම කරන ලද බව සේනානායක මහතා විසින් රචිත “මම එදා සහ අද” ග්‍රන්ථයේ සඳහන් කර ඇත. දිනක් වික්‍රමසිංහ මහතා සේනානායක මහතා කැඳවා ගම්වල ඉඩම් බෙදීමෙන් විය හැකි අනර්ථය පෙන්වා දෙන කතු වැකියක් ලියන ලෙස දැනුම් දී ඇත.

එහෙත් සේනානායක මහතා මෙහිදී කියා ඇත්තේ තමාට මේ ගැන අවබෝධයක් නොමැති නිසා වෙනත් දෙයක් ගැන ලිවීමට අවසර දෙන ලෙසයි. එහෙත් එයින් පසු සමාජයේ නොයෙක් ප්‍රශ්න ගැන පළවන ලිපි ද මහජන ලිපි ද පරිපාලන වාර්තා ද කොමිෂන් සභා වාර්තා ද අනෙක් පුවත්පත්වල කතුවැකි ද සොය සොයා කියවූ නිසා තමාට හොඳින් සමාජ ප්‍රශ්න ගැන ලිවීමට හැකි වූ බවත් එයින් පසු කිසි දිනක යම් ප්‍රශ්නයක් ගැන අවබෝධයක් නැතැයි පැවසීමට සිදු නොවූ බවත් සේනානායක මහතා “මම එදා සහ අද” ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

මා ඉහතදී සඳහන් කළ ආකාරයට ප්‍රවෘත්ති අංශය වේවා විශේෂාංග අංශය වේවා සෑම දෙනා සමාජයේ සිදුවන සෑම දෙයක් පිළිබඳ හොඳ ඉවකින් සිටිය යුතුව ඇත.

‘දිනමිණ’ විශේෂාංග අංශය සැමවිටම සමාජය ගැන හොඳ ඉවකින් සිටි බව සිංහල ලේඛක පරපුරේ පතාක යෝධයින් ද එහි සාමාජිකයන් වී සිටි නිසා හොඳින් ම පැහැදිලි වේ.

විශේෂාංග ලේඛකයාට තමන් ගේ ස්වාධීන මතය සමාජයට ඉදිරිපත් කළ හැකිය. ප්‍රවෘත්ති අංශයේ සේවය කරන්නෙකුට එවැනි අවස්ථා සුලබ නැත. දේශපාලන, ආර්ථික, සමාජ සංසිද්ධීන් ගැන පැහැදිලි විග්‍රහයක් කිරීමේ නිදහස් අයිතිය තිබෙන්නේ විශේෂාංග ලේඛකයාට ය.

දේශපාලනය පමණක් නොව සිනමාව ද නාට්‍ය ද , ගීතය ද විචාරයට ලක් කෙරෙන්නේ විශේෂාංග අංශය මගින් සම්පාදනය කෙරෙන විවිධ අතිරේක හෝ පිටු හරහා ය. අද මාධ්‍ය ලෝකය පුළුල් ව ඇත. මුද්‍රිත මාධ්‍යයට වඩා විද්‍යුත් මාධ්‍යයට ජනතාව නැඹුරු වී ඇතැයි යම් අයෙකුට තර්ක කළ හැකිය. එහෙත් පුවත්පතට එහි ප්‍රබල තැන තවමත් එසේ යැ.

එහි ප්‍රබලත්වය වැඩි දියුණු කිරීමට ප්‍රමුඛව ඉවහල් කරගත හැක්කේ විශේෂාංග අංශයයි. මා පෙර සඳහන් කළාක් මෙන් විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කරන තැනැත්තා නොයෙක් ඇසූ පිරූ තැන් ඇති හසල දැනුමක් ඇති අයෙකු වීම වඩා වැදගත් ය. ඒ ගැන “විනි විඳිමි අඳුර” ග්‍රන්ථයේ ජී. බී. සේනානායක මහතා මෙසේ සටහන් කරයි.

“මා ප්‍රවෘත්ති ලේඛකයකු වශයෙන් ද ප්‍රසිද්ධව සිටි කාලයක් විය. මා කරන අනෙක් බොහෝ දේ සේ ම ප්‍රවෘත්ති සඳහා ද ලිපි ලිවීම ද මා කළේ දැනුමක් පොතින් පතින් ලැබීමෙන් පසුව ය. ඒ පිළිබඳ කියවිය යුතු පොත් ගණන විශාල ය. මෙයින් වැඩි කොටස සාමාන්‍ය දැනීම පිළිබඳව ය.

පුවත්පතක වැඩ කළ යුත්තේ ආශාවෙනි; කැමැත්තෙනි. එවිට කොතරම් වැඩ කළත් වෙහෙසක් දැනෙන්නේ නැත. වෙනත් රැකියාවල ආශාවෙන් වැඩ කිරීමට නොහැකි වූ වත් පුවත්පතක ආශාවෙන් වැඩ කළහොත් එය තමන් ගේ ආත්ම තෘප්තියට ද හේතු වේ.

දැන් පුවත්පත්වල මුල් පිටුවේ ලිපි පළවන්නේ නැත. සැම විටම පළ වන්නේ ප්‍රවෘත්ති පමණකි. එහෙත් අතීතයේදී දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ විශේෂාංග ලිපි ද පළ වී ඇත. 1934 දී තාගෝර් තුමා ලංකාවට පැමිණි දිනයේ දී තමා ජේ. ජේ. තොම්සන් දේවගැතිතුමා ගේ “තාගෝර් චරිතය” හා තවත් ග්‍රන්ථ කිහිපයක් ආශ්‍රය කරගෙන දිනමිණ මුල් පිටුවේ තීරු හතරක ලිපියක් පළ කළ බව වික්‍රමසිංහ මහතා “උපන්දා සිට” ග්‍රන්ථයේ සඳන් කර ඇත.

කවර නමුත් විශේෂාංග ලේඛකයා ගේ සමාජය, ලෝකය පිළිබඳ දැනුම මෙන්ම භාෂාව හා විවරණ පිළිබඳ දැනුම ද ඉතා වැදගත් ය. මන්ද වර්තමානයේ බස වනසන්නෝ බොහෝ සිටින නිසාවෙනි. තීරු ලිපි රචකයෝ ද විශේෂාංග අංශයේ වැඩ කරති.

සමහර තීරු ලිපි රචකයෝ පුවත්පතට සම්බන්ධ නොවී පිටත සිට ලියති. තීරු ලිපි මගින් බොහෝ විට නිරූපනය වන්නේ හාස්‍ය හා උපහාසයයි.

ද්වේෂ සහගත දෘෂ්ඨියකට වඩා සානුකම්පිත දෘෂ්ඨියකින් කරුණු පැහැදිලි කිරීම තීරු ලිපියේ ස්වභාවයයි. කෙසේ වෙතත් තීරු ලිපි වඩා ජනපි‍්‍රය වන්නේ රචකයා ගේ නිර්මාණ කුසලතාවය අනුව ය.

කලින් කලට දිනමිණ පුවත්පතේ විශේෂාංගවල වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයකි. මන්ද පාඨකයා වඩාත් ඇද බැඳ තබා ගැනීමට නව සාහිත්‍යාංග දේශපාලන කතා බහ ආගමික පුවත් විශේෂයෙන් බොදු පුවත් සමාජයේ ප්‍රකට යතිවරුන් ගේ ලිපි සම්මුඛ සාකච්ඡා පළ කිරීම මගින් පාඨක අවධානය දිනාගත හැකි සේ ම එය පුවත්පතේ අළෙවිය වර්ධනය වීමටත් හේතු වේ.

වර්තමාන දිනපතා ‘දිනමිණ’ පුවත්පතේ විවිධ ක්ෂේත්‍ර අළලා සකස් කෙරුණු විශේෂාංග රැසක් සතිය පුරා පළ වේ. ධර්ම සභාව, ගවේෂණ, මහඋළුගෙදර දුක්බර කථා, කතිකා, ලිවිසැරිය, කැකුළු කොදෙව්ව, හරස් පාර, ජනතා මණ්ඩපය, දියවන්නාවේ නෑදෑයෝ, අපි වවමු, මට තාම මතකයි, ඉන් කිහිපයකි. උදාහරණයක් වශයෙන් අපි “දියවන්නාවේ නෑදෑයෝ” විශේෂාංගය ගැන බැලුවහොත් එහි පළ වන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගේ පුද්ගලික ජීවිත පිළිබඳ කතාන්දර ය.

මේවා දැනගැනීමට සාමාන්‍ය පාඨකයා බෙහෙවින් උනන්දු ය. ධර්ම සභාව මගින් සතිපතා දිවයිනේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේගේ සම්මුඛ සාකච්ඡා පළ කෙරේ. මේ හරහා සමාජයට ඵලදායි යහපත් පණිවිඩයක් දිය හැකි සේ ම මෙම විශේෂාංගය බෞද්ධ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රියය.

සිරකරුවෝ මනුෂ්‍යයෝ ය; යන ප්‍රකට කියමනක් ඇත. සිරකරුවන් ගැන අප දිනමිණ පුවත්පතේ ද “මහඋළුගෙදර දුක්බර කථා” නමින් විශේෂාංගය ආරම්භ කරන ලද්දේ මෑතකදී ය. එයද පාඨකයන් අතර බොහෝ ජනප්‍රිය තවත් විශේෂාංගයකි.

මෙම ලිපි මාලාව ආරම්භ වූ දා පටන් පළවන සෑම ලිපියක්ම එකතු කරන පාඨකයෝ බොහෝ බව අපට දැනගන්නට ලැබී ඇත. සමහරු අපට ඒ පිළිබඳ දුරකථනයෙන් ද දැනුම් දී ඇත.

වසර 30ක ත්‍රස්තවාදී යුද්ධය අවසානයේ ප්‍රභාකරන් ද නන්දිකඩාල් කලපුවේ මැරී වැටී සිටිනු දුටු මුළු මහත් ශශ්‍රී ලංකාවාසීහුම ජාති, ආගම්, භේදයකින් තොරව සතුටු වූහ. ප්‍රභාකරන්ගේ මරණයත් ජාතියේ විජයග්‍රහණයත් අළලා දිනමිණ මඟින් පළ කළ “ජනඝාතක ප්‍රභාකරන්” මැයෙන් වූ අතිරේකය අළෙවි වාර්තා තබමින් ලක්ෂ දෙකහමාරක පිටපත් අළෙවිවීම දිනමිණට අවුරුදු සියයක් සපිරෙන මේ අවස්ථාවේ විශේෂයෙන් සටහන් කළ යුතු ය.

අවසන් වශයෙන් විශේෂාංග අංශය පුවත්්පතේ හදවත බඳු යැයි කිවහොත් ඒ ගැන කිසිවෙකුත් උරණ නොවනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්