දිනේ දිනමිණ

දිනේ දිනමිණ

‘දිනමිණ” අද සිය සියවස් උපන්දිනය සමරයි. දිනමිණ “ පුවත්පත් කලාව“ යන්නට පර්යාය පදයක සේම ඒ හා එකට බැදී පවතී.

“ දිනමිණ” එහි පරිසමාප්ත අර්ථයෙන්ම උදාහිරු සංකේතවත් කරමින් රට වටා, ලොව වටා තොරතුරු රැගෙන ගමේ නිවසට, සිදාදියට , රජයේ ආයතනයට හිමිදිරි පාන්දර අවතීර්ණ වෙයි. පාඨකයෝ එය වැළඳ ගනිති. එයින් ඔවුන් ලබනුයේ ඉමහත් තෘප්තියකි.

පුවත්පත් කලා ඉතිහාසය පිළිබඳ තතු විමසන විට “දිනමිණ” පුවත්පතින් හෙළ සාහිත්‍යය ක්ෂේත්‍රයට සිදු වූ සේවය වෙසෙසින්ම සිහිකළ යුතුය. ශාස්ත්‍රීය මතවාද, සාහිත්‍යය ලිපි, කෙටිකතා හා කවි පිළිබඳ නවෝදාවක් ඇති කොට එහි නව නැම්මක ගමනාරම්භයක් සඳහා පුරෝගාමි වූයේ ‘දිනමිණ” පුවත්පතයි.

කාලීන වූ උණුසුම් ශාස්ත්‍රීය සංවාදවලට හා විවාදවලට බොහෝ විට වේදිකාවක් වූයේ ද “ දිනමිණ’ යි, පාඨක ලොවේ බාල, මහලු සියල්ලන්ගේ බුද්ධි ප්‍රබෝධයට හා පෝෂණයට එයින් ලැබුණු රුකුල ඉමහත් ය. ප්‍රබුද්ධ වියත් පිරිසකගේ ඇසුර නිරන්තරයෙන්ම ලැබීම මාධ්‍ය අම්බරය පුරා “ දිනමිණ” ජෝතිමත් වීමට වෙසෙසින්ම හේතුකාරක විය. නවක ලේඛක පිරිසකට එය බෙහෙවින්ම සරුසාර වූ තෝතැන්නක් ද විය.

කවිය - වෙසෙසින්ම කොළඹ කවිය - ජන හද කරා ළංකර වීමට ද අමිල මෙහෙයක් ඉටුකළේ අවිවාදයෙන්ම “දිනමිණ” පුවත්පතයි. කොළඹ කවියෙහි මුල් යුගයෙහි දැවැන්ත කවීහු “දිනමිණ” ට නිතර කවි ලියූහ.

ශ්‍රී රූපදේව, ආනන්ද රාජකරුණා, බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා, ඇස්.මහින්ද හිමි, පිළිකුත්තුවේ කමලා, හක්ගල්ලේ පී.කේ.ඩී.සෙනෙවිරත්න, කොල්ලුපිටියේ පී.බී.අල්විස් පෙරේරා, මීතොටමුල්ලේ යූ.ඒ.ඇස්.පෙරේරා, නාරම්පනාවේ විමලරත්න කුමාරගම, කළුතර එච්.එම්.කුඩලිගම, ජී.මලල්ගොඩ කරුණාරත්න අබේසේකර හා චිත්‍රානන්ද අබේසේකර ඔවුන්ගෙන් සමහරෙකි. මෙම කවි කිවිඳියන්ගේ නිර්මාණ නිසා එ දවස “දිනමිණ” ට ලැබුණේ අමුතු ආලෝකයකි. කවි අතිරේකයක් සඳහා සතියකට වරක් හෝ එක් පිටුවක් වෙන් කිරීමට එදා “දිනමිණ” අමතක කළේ නැත. පසු කලෙක කෙටිකතා චක්‍රවර්තී යන උපනමින් හඳුන්වනු ලැබූ ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා ද එකල ‘ දිනමිණ’ පුවත්පතෙහි ඇසුර නිතර පැතූ අයෙකි. කේ.ජයතිලක හා කේ.ලයනල් පෙරේරා වැන්නෝ ද ඒ අතර වූහ.

සිය සුපුරුදු සේවය “දිනමිණ” පුවත්පතින් අඛණ්ඩව ඉදිරියටත් ඉටුවේවා ය යන්න අපගේ නිසැක බලාපොරොත්තුවයි.


සබැඳි පුවත්