ඍජුව සිටගත හැකි මිනිසකු බිහිකිරීමට ‘දිනමිණ’ සූදානම්ද?

ඍජුව සිටගත හැකි මිනිසකු බිහිකිරීමට ‘දිනමිණ’ සූදානම්ද?

‘දිනමිණ’ පුවත්පත ද ඇතුළුව පොදුවේ ලේක්හවුස් පුවත්පත් රාජ්‍ය මතවාදයේ ප්‍රකාශන බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. රාජ්‍ය මතවාදය වුවද වඩා නිර්මාණශීලී ලෙස වෙනත් මතවාද හා ගැටීමට ඉඩ සලස්වා පාඨකයා තුළ තුන්වන සංස්කරණයක් ඇති වීමට අවස්ථාව සැලසීම වඩාත් ඵලදායී වේ.

‘ දිනමිණ’ පුවත්පතේ ආරම්භය සනිටුහන් වන්නේ ලංකාව ද ඇතුළුව පොදුවේ ආසියාතික රටවල අධිරාජ්‍යවාදය ව්‍යාප්ත වී ස්ථාවර වී එහි යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මතුවෙමින් පවත්නා යුගයකදීය.

එනම් යටත් විජිත රාජ්‍යයන්වල අධිරාජ්‍ය විරෝධී අරගලය ආගමික හා ජාතිකවාදී ස්වරූපයන්ගෙන් ඉස්මතුවෙමින් පැවති අවධියකදීය. අනෙක් අතට ජාත්‍යන්තර වශයෙන් සලකා බලන විට 1 වන ලෝක යුද්ධයට පසුබිම් වූ හේතු සාධක වර්ධනය වෙමින් පැවතියා සේම රුසියාව ඇතුළු නැඟෙනහිර යුරෝපීය රටවල සමාජවාදී විප්ලවයකට කොන්දේසි සපිරෙමින් තිබුණි.

මෙවැනි ලෝක වටපිටාවක අධිරාජ්‍යවාදයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ සුළු ධනේශ්වර පංතියක් බිහිවී පැවති අතර ඔවුනගේ දරුවන් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි යුරෝපීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරා යුරෝපයේ පැවති යම් යම් ලිබරල් දේශපාලන මතවාද ද සමඟින් පෙරලා ලංකාවට පැමිණෙමින් සිටියහ. පසුකලෙක ‘දිනමිණ’ පුවත්පතේ හිමිකරු වූද, ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘවරයාවූද ඩී. ආර්. විජේවර්ධන මහතා ද මේ අයුරින් යුරෝපයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

‘දිනමිණ’ පුවත්පත ආරම්භ වන විට ලංකාවේ පැවතියේ මුද්‍රිත මාධ්‍ය පමණි. ඥානාර්ථ ප්‍රදීපය, සිංහල බෞද්ධයා, සිංහල ජාතිය, සරසවි සඳරැස ආදී පුවත්පත් පැවතිය ද ඒවා ජාතිය හෝ ආගම ප්‍රධාන කරගත් අධිරාජ්‍ය විරෝධී ස්වරූපය පිළිඹිබු වූ යම් පමණකට සීමා සහිත වූත් පටුවූත් පාඨක පිරිසක් ඉලක්ක කර ගත් ඒවා විය.

ඒ නිසාම ජාතිය හා ආගම හෝ හුදු අධිරාජ්‍ය විරෝධයෙන් ඔබ්බට ගිය පුවත්පතකට තිබූ ඉඩකඩ ‘දිනමිණ’ මගින් සැපිරිණි. එහි අර්ථය ‘දිනමිණ’ පුවත්පත තුළින් ජාතිකත්වය, ආගමික හැඟීම් අධිරාජ්‍ය විරෝධී අදහස් නියෝජනය නොකෙරුණු බව නොවේ.

ඒ සඳහාම පමණක් සීමා නොවුණු බවයි. එනම් ‘දිනමිණ” තුළින් ජාතික, ආගමික, අධිරාජ්‍ය විරෝධී අදහස් හා මතිමතාන්තර ප්‍රකාශයට පත් කෙරෙන අතර ම අධිරාජ්‍යවාදයේ යහපත් දේද සමඟ අධිරාජ්‍යවාදී පාලනයේ තොරතුරු ද ඉදිරිපත් කෙරිණි.

එබැවින් ‘දිනමිණ’ට ප්‍රථම යම් පටු සීමාවක සලකුණු වී තිබුණු සිංහල පාඨක පිරිස පුළුල් සංවිධානාත්මක ස්වරූපයකට ගෙන ඒමට ‘දිනමිණට’ හැකිවිය.

මේ සඳහා ඩී. ආර්. විජේවර්ධන මහතා ගේ නිදහසට ගරු කරන ලිබරල්වාදී චින්තනය බලපෑ බැව් කිවහැකිය. එසේ වුවද ඔහු ගේ ලිබරල්වාදී චින්තනයේ යම් යම් අඩුලුහුඬුකම් නොතිබුණාද නොවේ. ඒ නිසාම ඇතැම් විටෙක ජනයාගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දෙස පවා ඔහු වෙනස් දෘෂ්ටි කෝණයකින් බැලූ අවස්ථාද දක්නට ඇත. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ සර්වජන ඡන්ද බලය යෝජනා වන විට ඩී. ආර්. විජේවර්ධන මහතා ඊට එරෙහි වීමත්, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේ එහි යම් යම් ලක්ෂණවලට එරෙහි වීමත් ඊට නිදසුන්ය.

එසේම ඔහු කොමියුනිස්ට් දර්ශනයට ද එරෙහි විය. 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පසු නැඟෙනහිර යුරෝපීය රටවල සමාජවාදයේ උණුසුම පැතිර ගියද ‘දිනමිණ’ හෝ එහි හිමිකාරීත්වය ඒ කෙරෙහි සංවේදී නොවීය. මෙවැනි හේතු කාරණා නිසාම ඩී. ආර්. විජේවර්ධන මහතාගේ ලිබරල්වාදී චින්තනය ස්වකීය පංතියේ වරප්‍රසාද වෙනුවෙන් සීමා වූයේ යැයි පැවසිය හැකි වුවද එය ඊටත් වඩා ඔහුගේ චරිත ස්වභාවයෙහි සංකීර්ණත්වය යැයි ද කෙනෙකුට සඳහන් කළ හැකිය.

මේ සියලු කාරණා අභිමුවෙහි වුව අධිරාජ්‍ය විරෝධී අරගලයට යම් ජවයක් සපයමින් ඉතා සංවිධිත පරිපාලන ක්‍රමයක් ද සහිතව දැක්මකින් යුතුව වඩා පුළුල් පාඨක පිරිසක් ඉලක්ක කැර ගනිමින් ‘දිනමිණ’ හැඩගැස්වීමටත්, ලංකාවේ ප්‍රථම විශාලතම පුවත්පත් ආයතනය වන ලේක්හවුස් ආයතනය බිහිකිරීමටත් හෙතෙම සමත්විය.

‘දිනමිණ’ පුවත්පත බිහිවී වසර සියයක් ගත වන මේ මොහොත වන විට පොදුවේ මුද්‍රිත මාධ්‍ය ලෝකයට බිහිවී වසර හාරසියයක් පමණ ගතවී තිබේ. අද වන විට ලංකාවේ වෙළෙඳ පොළට නිකුත් වන දෛනික හා සතිපතා පුවත්පත් සිය ගණනකි. මාසික, ද්විමාසික හා ත්‍රයිමාසික වාර ප්‍රකාශන සලකා බලන විට ද එය සංඛ්‍යාත්මක වශයෙන් ඉතා ඉහළය. අතීතයේ සිට මේ දක්වාම බිහිවූ මෙන්ම බිහිවෙමින් පවත්නා පුවත්පත් හෝ වාර ප්‍රකාශන දෙස බලන විට ඒවා පැවති හෝ විවරණ නිශ්චිත සමාජ සංදර්භයන්ගෙන් වෙන්කොට හුදකලා ප්‍රපංච ලෙස සැලකිය හැකි නොවේ. මන්ද යත් ඕනෑම සමාජක්‍රමයක සමාජීය, දේශපාලනික, සංස්කෘතික, සම්ප්‍රදායික, ආර්ථික ස්වරූපය පිළිබිඹු කෙරුණා මෙන්ම ඒ ඒ යුග අවශ්‍යතාවන් හා සමාජ සබඳතා ජාලයක් ලෙස ඒවා ක්‍රියාත්මක වීම නිසාය.

නිදසුනක් ලෙස ධනේශ්වර දේශපාලන සබඳතා, ධනේශ්වර ආර්ථික සබඳතා ගොඩනැගීමට ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මගින් ඉමහත් දායකත්වයක් ලැබී තිබේ. එයට හේතුව නම් පෙර පැවති සාමූහික මාධ්‍ය තුළින් පුද්ගලවාදී ස්වරූපය ඉස්මතු නොවුවොත් නවතම මුද්‍රිත මාධ්‍ය පැමිණීමත් සමඟින් තොරතුරු, දැනුම, විනෝදය පුද්ගලික වශයෙන් උකහා ගැනීමට හැකිවීමෙන් පුද්ගලවාදය වඩා කැපී පෙනුණි. එය මුළුමහත් සමාජය සමඟ අනන්‍ය වීමෙන් ඍජුවම සමාජ සබඳතා පුද්ගලවාදී ස්වරූපයකින් යළි හැඩගැසීම ආරම්භ විය.

60 දශකයෙන් පසු විද්‍යුත් මාධ්‍යයේ ආගමනයත් සමඟ මුද්‍රිත මාධ්‍යයන්ට යම් අභියෝගයක් අභිමුඛ විය. එනම් ඉතා කෙටි කලක් තුළ එසේත් නැතිනම් ක්ෂණයකින් වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට යාමේ හැකියාවක්, පුවත්පතක පාඨනයෙන් ඔබ්බෙහි දෘෂ්‍ය මාධ්‍යයක් ලෙස විද්්‍යුත් මාධ්‍ය ක්‍රියාකිරීම නිසා (විශේෂයෙන් රූපවාහිනිය) වඩා විශ්වාසදායී මාධ්‍යයක් ලෙස විද්‍යුත් මාධ්‍යය ජනතාව අතර තහවුරු වීමයි. එහෙත් මේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට මුද්‍රිත මාධ්‍යයට හැකිවිය.

පුවත්පත ද පිටු සැකසුම, පුවත් නිමැවුම වඩා සිත්ගන්නා සුළු ඇසට පි‍්‍රය (දෘෂ්‍ය) මාධ්‍යයක් ලෙස යළි හැඩගැසිණි. මීට අමතරව පුවත්පතට ම ආවේණික විද්‍යුත් මාධ්‍යයට ළඟා විය නොහැකි යහපත් ගති ලක්ෂණ ද මුද්‍රිත මාධ්‍ය තවදුරටත් මාධ්‍ය තරගයේ ඉදිරියෙන් තැබීමට සමත් විය. ඒවා නම් වඩා සංකීර්ණ හා බොහෝ තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති හැකියාවයි. රූපවාහිනී හෝ ගුවන්විදුලි මාධ්‍යයෙන් ඉදිරිපත් වන්නේ මතුපිට හා සරල තොරතුරු ය. ඒවා මනසේ රැඳී පවත්නේ ඉතා කෙටි කලකි.

එහෙත් පුවත්පත්වල තොරතුරු යළි යළිත් කියවීමෙන් දැනුම අවබෝධය පුළුල්වේ. මේ අනුව කාලානුරූපව වෙනස්වෙමින් මාධ්‍ය වෙළෙඳ පොළේ අභියෝගයන්ට මුහුණ දෙමින් අඛණ්ඩව ඉදිරියට පැමිණෙන්නට පුවත්පතට හැකියාව ලැබී තිබේ. මෙම අභියෝගය ජාතික පුවත්පතක් වශයෙන් ‘දිනමිණ’ට ද පොදුය. එහෙත් ‘දිනමිණ’ මෙම අභියෝගයට සාර්ථකව මුහුණදීමට සමත් වී ඇත්ද යන්න ආපසු හැරී බැලීම වසර සියයක් ගතවන මේ මොහොතේ වඩාත් කාලෝචිතය.

‘දිනමිණ’ පුවත්පත ද ඇතුළුව පොදුවේ ලේක්හවුස් පුවත්පත් රාජ්‍ය මතවාදයේ ප්‍රකාශන බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. රාජ්‍ය මතවාදය වුවද වඩා නිර්මාණශීලී ලෙස වෙනත් මතවාද හා ගැටීමට ඉඩ සලස්වා පාඨකයා තුළ තුන්වන සංස්කරණයක් ඇති වීමට අවස්ථාව සැලසීම වඩාත් ඵලදායී වේ.

වෙනත් අයුරකින් සඳහන් කරතොත් වාදය ප්‍රතිවාදය තුළින් පැන නඟින සහවාදයක රාජ්‍ය මතවාදය ස්ථාපිත කිරීමට සලස්වන්නේ නම් පාඨකයා ගේ විශ්වාසය තවදුරටත් රඳවා තබා ගැනීමට හැකිවනු ඇත.

එසේ වුවද මේ හා දිගු ගමනක් ගෙවා පැමිණි ‘දිනමිණ’ තාමත් පවතින්නේ පැරැණි සරල රේඛීය මාධ්‍ය භාවිතාවේය. එනම් රාජ්‍ය මතවාදය අමු අමුවේ අතු ඉති ගෙඩි පිටින් ම පාඨකයා මත පටවමිනි. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ද, මුුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ම සෙසු පුවත්පත්වලින් ද එකම වෙළෙඳ පොළක් තුළදී විශාල තරගයක නියැලීමට සිදුව තිබෙන හෙයින් තමාගේ මාධ්‍ය භාවිතය වඩා නිර්මාණශීලී ලෙස වර්ධනය කරගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ නැවැත සිතා බැලීමටත්, තීරණ ගැනීමටත් කාලය පැමිණ ඇත.

අප කැමති වුවද අකමැති වුවද අද අප ජීවත්වෙමින් සිටින්නේ ජාතික රාජ්‍යය සීමාවෙන් ඔබ්බෙහි පිහිටි ගෝලීය යථාර්ථයකය. ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩවල මිල ඉහළ පහළ යාම, ජාත්‍යන්තර සංවිධාන විසින් ගනු ලබන තීරණ, ජාත්‍යන්තර දේශපාලනයේ නව පෙරළි හෙට දවසේ අපගේ ජීවිතවලට වඩාත් තීරණාත්මක විය හැකිය.

ඒ බැව් අද සාමාන්‍ය ජනයා පවා හොඳින් දන්නා නමුදු අපගේ මාධ්‍ය ඇතැම්විට සිටින්නේ සාමාන්‍ය ජනයාට ද බොහෝ පසුපසිනි. මන්ද යත් අපගේ විද්‍යුත් මෙන් ම මුද්‍රිත මාධ්‍යය ද පැරැණි ජාතික රාජ්‍ය සීමාවේ ආකෘතිය හා අන්තර්ගත ස්වරූපය වෙනස් කරමින් ගෝලීය යථාර්ථයට අනුරූපව හැඩගස්වාගෙන නොමැති බැවිනි.

විදේශීය තොරතුරුවලට ජාතික පුවත්පත් වල (දිනමිණ ද ඇතුළුව) වෙන්වන ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමෙන් ම මේ බැව් ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. අද දවසේ ජාතික වශයෙන් වඩා වැදගත් වන ප්‍රවෘත්තියක් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වන විට හෙට දවසේ ප්‍රධාන සිරස්තලය ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් විය හැකිය. එහෙත් අප රටේ පුවත්පතවලට තාමත් මේ සීමාව අභිමුඛ වී නොමැතිවා සේය.

ආචාර්ය ටියුඩර් වීරසිංහ ශ්‍රීපාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය

මේ තත්ත්වය නිසාම ‘දිනමිණ’ ද ඇතුළු බොහෝ පුවත්පත් ගෝලීය යථාර්ථයක ගෝත්‍රික යුගයක් දක්වා පසුබසිමින් සිටිනු දක්නට ලැබීම සැබවින්ම කනගාටුදායකය.

අනෙක් අතට සමකාලීන ජන විඥානය බොහෝ කාර්යක්ෂමය. මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය වඩා ක්ෂණිකය. කාර්ය බහුලය. ඒ නිසාම පුවත්පතින් ප්‍රවෘත්ති හෝ තොරතුරු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය, විලාසය; ආකෘතිමය හා අන්තර්ගතමය වශයෙන් වෙනස්විය යුතුය. ඉතා කෙටියෙන්, තියුණු අයුරින් හා නිර්මාණශීලීව එය ගෙනහැර පෑමට හැකි විය යුතුය. ඒ සඳහා වඩා හොඳ සංස්කරණයක් සිදුවිය යුතුය. මෙවැනි සැකැස්මකින් යුතු පුවත් පතකින් අපට අනාගතයට යා හැකි වුවද අප රටේ බොහෝ ජාතික පුවත්පත් අප කැඳවාගෙන යනු ලබන්නේ අනාගතයට නොව අතීතයටය. එය ‘දිනමිණට’ ද අදාළය.

ආරම්භයේ සිට යම් දුරක් දක්වා ‘දිනමිණ’ මගින් ඓතිහාසික කාර්යභාරයක් සිදුවූ බව අප පිළිගත යුතුය.


සබැඳි පුවත්