සියවස් ‘දිනමිණ’ හා ‘දිනමිණේ’ මගේ අඩ සියවස

සියවස් ‘දිනමිණ’ හා ‘දිනමිණේ’ මගේ අඩ සියවස

සියවස සමරන ‘දිනමිණ’ හා සමඟ, මට ‘දිනමිණ’ පුවත්පතේ මා ගත කළ සමය සිහිපත් කොට ගත හැක්කේ ඉමහත් ආස්වාදයකිනි. මා ‘දිනමිණ’ පුවත්පතේ කර්‍තෘ මණ්ඩලයට බැඳුනේ 1949 යේ මාර්තු මස තුන්වන දායි. එදා මගේ වයස 26 යි.

විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ, මා ජීවන ගමනට පා තැබූ හැටියේ මට මුළු ලෝකයම පෙනුණේ. අසිරිමත් විස්මලන්තයක් සේය. විශ්වවිද්‍යාල උපාධි පරීක්‍ෂණයේ අවසාන විභාගයට පෙනී සිට මම ප්‍රතිඵල ලැබෙන තෙක් ගමට ගියෙමි. එහිදී මම මගේ විදුහල් මාතාව වන ගාල්ලේ මහින්ද මහා විද්‍යාලයෙහි ආචාර්ය වෘත්තියේ යෙදුනෙමි.

එසේ නියුක්තව සිටියදී මට කොළඹින් පණිවුඩයක් ලැබුනේය. “සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංගමයේ” කටයුතු හරිහැටි කරන්නට කොළඹට එන්න. මෙහි හොඳ රක්‍ෂාවක් සූදානම් කොට තිබෙනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදී මම සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංගමයෙහි උසස් නිලතල දැරුවෙමි. ඒ නිසා ඒ දීපව්‍යාප්ත සංවිධානයට මා දැක්වූයේ ඉමහත් භක්ත්‍යාදරයෙකි. මම කොලඹ ආවෙමි.

මට පැවරුණු වගකීම, ඉන්ෂුවරන්ස් සමාගමක ලේකම් පදවියයි. මේ තනතුරේ කටයුතු කරන ගමන්, මම සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංගමයෙහි ව්‍යාපාරවල නිමග්න වූයෙමි. බොහෝ සති අන්තයෙහි අපි දිවයිනේ විවිධ තැන්වලට ගොස් බෞද්ධ කටයුතුවල යෙදුනෙමු. අනුරාධපුර, පොළොන්නරු ආදි පෙදෙස්වල සැරිසරමින් සෑම වයසක යොවුන් පිරිස හා සමඟ එක්ව බෞද්ධ කටයුතුවල යෙදීම, අතිශයින් සතුටුදායක චර්යා රටාවක් වූයේ ය.

මෙසේ සිටියදී මට එවක ලේක්හවුස් ආයතනයේ අධිපතිව සිටි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාගෙන් ඇරියුමක් ලැබුනේය. එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා මගින් මට එතුමා විසින් ඇරයුම් කෙරුණේ ලේක්හවුස් ආයතනයේ කතු මඩුල්ලට බැදෙන්නැයි කියාය. මා ඒ පිළිබඳ තීරණයකට එළඹෙන්නට සැරසෙන අවස්ථාවේදී මම ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් කීවෙමි. ඒ කාලයේදී මට ඒ මහතා බොහෝ විට හමුවුණේය. කුඩා කල සිටම මා සිතෙහි රඟදුන්නේ පුවත්පත් කලාත්මක වෘත්තියක් බව දැන සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා මට ලේක්හවුස් කතු මඩුල්ලට බැඳෙන්නට දිරි දුන්නේය.

මා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා හමුවූ විට, ඉතා සුහදව මා සමඟ කතාබහ කළ එතුමා බෞද්ධ කටයුතු සඳහා අවශ්‍ය අවසර දෙන බවත් පවසා මට කතු මඬුල්ලට බැදෙන්නැයි පැවසුවේය. එතුමා මා කතුමඩුල්ලට රැගෙන ගොස් භාර දුන්නේය. එකම දවසේදී මා ‘දිනමිණ’ කතු මඩුල්ලට මෙන්ම ‘ඩේලිනිව්ස්’ කතු මඬුල්ලටද එතුමා, හඳුන්වා දුන්නේය. මගේ ද්විභාෂාත්මක හැකියාව පුවත්පත් කලා ජීවිතයට ප්‍රබල පදනමක් සැපයුවේය.

මෙසේ මා ‘දිනමිණ’ කතුමඬුල්ලට බැඳුණේ මෙයට අවුරුදු පනස් නවයකට ඉහතදීය.

ආධුනිකව ‘දිනමිණ’ කතුමඬුල්ලට බැඳුනු මට, කාරුණික අනුග්‍රහය සැපයුවේ එදා ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්‍තෘව සිටි පියසේන නිශ්ශංක මහතායි. පියසේන නිශ්ශංක මහතාත් මමත් කතු වැකි ලියූවෙමු.

අප දෙදෙනා කතුවැකි ලියා අපේ ‘කොපි’ (අප ලියු දේ) මුද්‍රණ අංශයට භාර දෙන්නෙමු.

ඒ කාලයේදීත් අකුරු අමුණන ලද්දේ අතිනි. ලයිනෝටයිප් ක්‍රමය ඒ වන විට නොතිබුනේය.

කතුවැකිය ලියාලූවායින් පසුව පියසේන නිශ්ශංක මහතාගේ දෛනික වතාවතක් ඇරඹෙයි. කතුවැකියේ ශෝධ්‍ය පත්‍ර ලැබෙන තෙක් ඒ මහතා ගාලු මුවදොර පෙදෙසේ සක්මනක යෙදෙන්නේය. මමත් නිශ්ශංක මහතාට එක්වන්නෙමි. වැසි නැති දිනවල එසේ සක්මනෙහි යෙදෙන නිශ්ශංක මහතාගේ “වතාවත” කෙළවර වන්නේ, භෝජනාගාරයකිනි.

එහි සුපුරුදු අසුනෙහි හිඳගන්නා පියසේන නිශ්ශංක මහතාට “කේක්” පෙත්තක් සැපයෙන්නේය. ඒ හා සමඟ පිළිගැන්වෙන තේ කෝප්පයේ රස බැලූ පසුව අපි යළිත් දිනමිණ කන්තෝරුවට පා නඟන්නෙමු.

අප පෙරලා එනවිට, කතුවැකිවල ශෝධ්‍ය පත්‍ර සූදානම්ය. අතින් අකුරු ඇමුණූ ඒ කාලයේදී ඒ තරම් ඉක්මණින් ශෝධ්‍ය පත්‍ර සම්පාදනය වී තිබීම අතීතාවර්ජනයක යෙදෙන මට දැනෙන්නේ “හාස්කමක්” පරිද්දෙනි.

එදා ‘දිනමිණ’ කතු මඬුල්ලෙහි විවිධ විද්වත්තු රාජකාරි කළහ. ශශ්‍රී ලංකාවේ විශිෂ්ට බුද්ධිමතෙකු වු මහාචාර්ය කේ. එස්. ජයතිලක මහතා ‘දිනමිණ’ කතු මඬුල්ල හෙබවූ විශාරදයෙකි. මහාචාර්ය ආනන්ද කුලසූරියද කලක් ‘දිනමිණ’ කතු මඬුල්ලට එක්ව උන්නේ ය.

කලාකීර්ති එඩ්වින් ආරියදාස

ගත්කතුවර ජී. බී. සේනානායක මහතාද, ‘දිනමිණ’ කතුමඩුල්ලට එක්ව සිටි විශිෂ්ටයෙකි.

‘දිනමිණ’ කතු මඬුල්ල, සජීවි විවාද මණ්ඩපයක් වැනි විය.

මා ලේක්හවුස් කතු මඬුල්ලේ ගතකළ අවුරුදු තිස්තුනක කාල පරාසය තුළදී ‘දිනමිණ’ පුවත්පත විස්මය උපදවන ආකාරයෙන් විකාශනය වූයේය. කතුවරු රැසක් වරින්වර එහි ඉරණම භාරව සිටියහ. මා කතුමඬුල්ලට අයත්ව සිටි සමයේදී මම ලේක්හවුස්හි සියලුම සිංහල පුවත්පත්වලත් සියලුම ඉංගිරිසි පුවත්පත්වලත් සංස්කාරක මණ්ඩලයන්හි නියුක්ත වූයෙමි. මාගේ ලේක්හවුස් නිල ජීවිතයෙන් වැඩි හරියක් ගතවූයේ ‘’දිනමිණ” කතු මඬුල්ලේයි.

‘දිනමිණ’ කතු මඬුල්ල වෘත්තීය පුවත්පත් කලාකාරයන් ඇද – බැඳගන්නා වශීකාරක ආකර්ෂණයකින් ස්්පන්දනය වන ස්ථානයකි. එහි නියුක්තව සිටින කර්‍තෘ මාණ්ඩලිකයන් සතු චර්යා රටා විචිත්‍ර ලක්‍ෂණ සහිතයි. සිය වෘත්තිය ක්‍රියාවලිය අරඹන ඇතැම් කර්‍තෘ මාණ්ඩලිකයෝ හත් අට වරක් සිය පුටුව හා මේසය පිස දමති.

‘දිනමිණ’ කතු මඬුල්ලෙහි මගේ සමකාලීනයන් වූ වෘත්තිකයන් අතුරෙන් හැමෝම පාහේ ඉස්මතුව පෙනෙන චරිත ගති ඇත්තෝයි. තමාටම විශේෂ වූ භාෂා ප්‍රයෝග විලාශයන් නිසා ජනාදරයට ලක්වූ බී. ඒ. සිරිවර්ධන ‘දිනමිණ’ කතු මඬුල්ලෙහි සිටි නිර්මාණශීලීගෙන් එක් අයෙකි.

දිනමිණ පුවත්පත, සියවස සමරන සමය ඒ විචිත්‍ර පුද්ගලයන්ගේ චරිත ගතිය, චර්යා රටා සිහියට නගාගන්නටද ඉතා සුදුසු මොහොතකි.

සමාජයේ ප්‍රගමනය සඳහා මාර්ගය හෙළි පෙහෙළි කළ මහා ප්‍රදීපස්ථම්භයක්ව සිටින ‘දිනමිණ’ ජාතියේ අභිමාර්ථ දිනාදෙන සුරතුරක් වේවා!.

සැරදේ! දිනමිණ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්