‘දිනමිණ’ සමාජයට කළ මෙහෙවර කිසි දින අමතක කළ නොහැකියි

සියවස සපුරන ‘දිනමිණ’ පුවත්පත පිළිබඳව ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, ජනමාධ්‍ය විෂය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ‘දිනමිණ’ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහත්වරු දැක්වූ අදහස් මෙලෙස සටහන් කරමු.

‘දිනමිණ’ සමාජයට කළ මෙහෙවර කිසි දින අමතක කළ නොහැකියි

- ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා

‘දිනමිණ’ පුවත්පත අවුරුදු සියයක් ඇතුළත දී විශාල ජාතික, ආගමික, සමාජීය වශයෙන් විශාල මෙහෙවරක් ඉෂ්ඨ කර තියෙනවා. පුවත්පතක් අවුරුදු සීයක් පවත්වාගෙන යාම කියන්නෙම විශාල කර්තව්‍යක්. අද එම පුවත්පත එම අවුරුදු සියයේ කඩඉම පසු කරනවා.

අපි බලමු මේ පුවත්පත අවුරුදු සියයක් පුරා ඉෂ්ඨ කළ මෙහෙවර මොන විදිහද කියලා. මෙහිදී පළමුවෙන් අපි බැලිය යුත්තේ සුදු අධිරාජ්‍ය යුගයේ දී ‘දිනමිණ’ දේශීය කඳවුරට අපේකම ගොඩනැඟීමට ලොකු කාර්ය භාරයක් ඉෂ්ඨ කරලා අවුරුදු ගණනාවක් ගත වුනත් අපිට ඒ මෙහෙවර අමතක කරන්න බැහැ.

ඒ යුතුකම් පමණක් නෙමෙයි ජනතාව දැනුවත් කිරීමේ කාර්ය භාරයේදීත් ‘දිනමිණ’ පුවත්පත ලොකු සේවයක් ඉෂ්ඨ කර තිබෙනවා. පාඨකයන් විදිහට සියලු දෙනා ‘දිනමිණ’ අතීතයේ සිට අද දක්වා සිදුකළ මෙහෙවර අගය කරනවා. එමෙන්ම ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා විදිහට ‘දිනමිණ’ පුවත්පතට සුබ ප්‍රාර්ථනා කරනවා.


ජාතික වගකීම සැබෑ ලෙස හඳුනා ගත් පත්තරයක්

- ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

අද තියෙන මුද්‍රිත මාධ්‍ය අතරින් ‘දිනමිණ’ අද පවා ඉදිරියෙන් ඉන්නවා. රජයේ මාධ්‍ය ආයතනයක් වුනත් ‘දිනමිණ’ තොරතුරු ලබාදීම අතින් පෙරමුණේ ඉන්නවා.

අපිට උදාහරණයක් විදිහට ගෙනහැර පෙන්වන්න පුළුවන්. යුද්ධයේ සත්‍ය තොරතුරු වගේම රටේ ජන මතයක් ගොඩනැගීමටත් පුලුවන්කම ලැබුණා. එය ‘දිනමිණ’ පුවත්පතක් විදිහට මෑත කාලීනව තබන ලද සුවිශේෂ සටහනක් විදිහට හඳුන්වා දිය හැකියි.

‘දිනමිණ’ ආරම්භයේ සිටම ජාතික වශයෙන් වැදගත් හැම අවස්ථාවක දීම රට වෙනුවෙන් හඬ නගා තිබෙනවා. අනාගතයේදීත් ‘දිනමිණ’ පුවත්පත සියලු ජාතික වගකීම් හඳුනා ගෙන කටයුතු කරනු ඇතැයි මා අපේක්‍ෂා කරනවා. මම ජනමාධ්‍ය ඇමැති ධුරය භාර ගැනීමට පෙර සිටම ‘දිනමිණ’ පාඨකයෙක්.

ඒ නිසා මට දීර්ග කාලයක සිටම දිනමිණ පුවත්පතේ මාධ්‍ය සම්ප්‍රදාය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මේ සුවිශේෂ මොහොතේ දී මම ‘දිනමිණ’ පුවත්පතට සුබ ප්‍රාර්ථනා කරනවා.

 


‘දිනමිණ’ සහ මම

‘දිනමිණ ‘ ට අවුරුදු සීයයකි. වසර සියයකට එහා ආරම්භ කළ පුවත්පතක සියය පිරෙන දා එම පුවත්පතේ කර්තෘ වශයෙන් සේවය කිරීමට හැකිවීම ඉතා දුර්ලභ සිද්ධියකි. ඉතා වාසනාවන්ත අත්දැකීමකි.

‘ දිනමිණ’ කර්තෘ පදවිය භාර ගන්නට ඇරියුම ලැබුණ දා තරමක තිගැස්මක් සිත තුළ ඇතිවූයේ පත්‍ර කලාව නුහුරු නුපුරුදු විෂයයක් නිසා නොවේ. ‘ දිනමිණ ‘ ආරම්භයේ සිට විටින් විට එහි කර්තෘ තනතුර දැරූ මහා තේජවන්ත මෙන්ම දැවැන්ත චරිත සිහිපත් වූ නිසා ය.

එහෙත් ඩී.බී.ධනපාල නම් වූ කෘතහස්ත මාධ්‍ය විශාරදයා යටතේ පත්‍ර කලාව ප්‍රගුණ කළ නිසා තිගැස්ම ආත්ම අභිමානයක් බවට පත්විය. ඕනෑම අභියෝගයකට මුහුණදීමේ ශක්තිය ඇතිව ‘ දිනමිණ ‘ කර්තෘ තනතුරේ වැඩ භාර ගනිද්දී එහි සේවය කරන කර්තෘ මාණ්ඩලිකයන්ට ඉතා සුහදව සිනහ මුසු මුහුණින් මුහුණ දීමට හැකිවූයේ කර්තෘ මණ්ඩලයේ සිටි බහුතරයක් මාගේ මාධ්‍ය සහෘදයන් වීමත් පෞද්ගලික ජීවිතයේ මිතුරන් වීමත් නිසා ය.

ඒ නිසා කර්තෘ හැටියට මාධ්‍ය විෂය අලුත් නොවීය. මාධ්‍ය මෙහෙවර අරුමයක් නොවීය. ‘ දිනමිණ ‘ මාධ්‍ය සගයන් තනතුරේ ගාම්භීරත්වයට ශක්තියක් විය. අමුත්තක් සේ දැනුනේ ‘ දිනමිණ’ පුවත්පත පමණි.

‘දිනමිණ ‘ කර්තෘ තනතුර දැරීම මොන තරම් වාසනාවක්දැයි සමහරුන් සිතනු ඇත. එහෙත් ‘දිනමිණ’ භාරගත් අතීත කර්තෘවරුන් සහ වත්මන් කර්තෘ ලෙස මා මුහුණ දී සිටින අභියෝග කිසිසේත් සමාන නැත.

එදා සුන්දරය. අද සංකීර්ණය. එහෙත් ලේක්හවුසියට ගොඩ වන්නේත් වැඩ අවසන්වී ලේක් හවුස් පියගැට පෙළ බසින්නේත් මහා ලොකු ආඩම්බරකමකිනි. ඒ ආඩම්බරකම නිසාම ‘ දිනමිණ ‘ කර්තෘ තනතුරේ ගෞරවය හැම විටම ආරක්ෂා කළෙමි.

වසර සියයක් සපිරෙන පුවත්පතක වසර හතරක් වැනි සුළු කාලයක් කර්තෘ පදවිය දැරුවේ කර්තෘ මණ්ඩලිකයන්ගේ සුන්දර මුහුණ දෙස බලාගෙනය.

දේශපාලනයේදී සදාකාලික මිතුරෝත් නැත. සදාකාලික සතුරෝත් නැත. එහෙත් පත්තර කලාවේ සදාකාලික මිතුරෝ සිටිති. සදාකාලික සතුරෝත් සිටිති. ඒ පත්තර කලාව දේශපාලනකරණය වූ විටය.

මහින්ද අබේසුන්දර දිනමිණ’ ප්‍රධාන කර්තෘ

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්