මගේ මතකයෙන් ...

මගේ මතකයෙන් ...

පුවත්පත් කලාවේදී දිවියක ඉතාම දුර්ලභ අවස්ථාවක් සනිටුහන් කරන්න පුවත්පත් ලෝකයේ ජීවත් වන්නකුට ලැබේ නම් එය දෛවයේ හාස්කමක්ද? දේවාශිර්වාදයක්ද ! පෙර පිනක්ද ? මේ කිනම් හේතුවක් වුවත් එය දිවි ඇතිතෙක් අභිමානනීය මතකයක් යයි කීවොත් මා නිවැරැදිය.

පුෂ්පා රොවෙල්

මා දැන උගෙන සිටි මාධ්‍ය කලාවක් නැත. මාධ්‍ය ලෝකයම මට නුහුරු නුපුරුදු තැනක් විය. මා දැන හඳුනාගෙන සිටි මාධ්‍යකරුවෝද නොසිටියහ. මාද ඒ ලෝකයට ආගන්තුකයෙකු විය.

ශ්‍රී ලාංකීය පත්තර අතරින් මුල්ම දිනපතා පුවත්පත ‘ දිනමිණ’ සිය හැත්තෑපස් වැනි සංවත්සරය සමරද්දී එහි සාමාජිකාවක වීමේ වරම ලද මා සියක් වසරක දීර්ඝ සාඩම්බර ගමනට පා තබද්දී ඊටද එක්වන්න ලැබීමේ වරම ද ලැබීම අභිමානීය මතකයක් නොවේ යැයි කිව හැකිද?

මගේ සිත පුරාම දිවෙන මේ සතුට වචනවලින් නම් විස්තර කිරීමට හැකියාවක් නොමැත. වසර තිස් දෙකක් පුරාවට මේ ගමනේදී විවිධාකාර වූ අත්දැකීම් ගොන්නක් ආපසු හැරී බැලීමේදී දුක්ඛ දෝමනස්සයන් තිබුණත් ඒ සියල්ල යටපත් කරමින් ජයග්‍රහණයක, අපරිමිත සතුටක අවසානයට පැමිණ ඇතැයි මට හැඟේ.

පත්තර මහ ගෙදරට පිය මැන්නේ තෙමස් බිළිඳියකගේ මවක වීමත් සමඟ රැකියාවක අත්‍යවශ්‍යතාව අන් කවර දිනකටත් වඩා වැඩි වූ නිසාමත් මවුපියන්ට පින් සිදුවන්නට මා උගත් යමක් තිබූ නිසාත් ඉන් ඵල ප්‍රයෝජනයක් ගත යුතුයැයි මා වටා සිටි අයගෙන් දැඩි බලපෑමක් වූ නිසාත්ය.

ලේක්හවුසියේ නැත්නම් පත්තර මහගෙදර මගේ සැමියා රැකියාව කිරීම නිසාවෙන් මට රැකියාව ලැබිණි. ඒත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නොවේ. කපිල පියදාස මහතා යටතේ මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයේ ලිපිකාරිනියක ලෙස මට පත්වීම ලැබුණද මගේ ප්‍රධානියා ලිපිකරු රස්සාව පසෙක දමා ප්‍රාදේශීය වාර්තාකරුවන් එවනු ලබන පුවත් ගොනු කෙරෙන කාර්යෙහි මා යෙදෙව්වේ මගේ දෛවයේ හාස්කමේ මුලාරම්භය සටහන් කරමින් යැයි අද මට සිතේ.

පොත්පත් කියෙව්වාට, පත්තර කියෙව්වාට ඒවායේ උපත දැන කියා ගන්නට මට හැකි වූයේ එතැන් පටන් යැයි කීවොත් මා නිවැරැදිය. මගේ පාසල්, සරසවි අධ්‍යාපනයත් කිසිදු දිනක ජන සන්නිවේදනය කෙරෙහි යොමු වී නොතිබීම මගේ මේ ආගන්තුකකමේ වස්තු බීජයයි. මාධ්‍ය ලෝකයේ කපිල පියදාස කවරෙකුදැයි මට අවබෝධ වන්නට වැඩි කලක් ගත නොවීය.

මාධ්‍ය ලෝකයේ මට අත්පොත් තැබූණේ ඔහු මට හොඳ ගුරුවරයකු විය. එතැන් පටන් පුවත්පත් ලොව දෙස මගේ දෑස් මෙන්ම සිතද විවර විය. මාධ්‍යවේදියකුට ඉතාම අවශ්‍ය තමාගේ රට මෙන්ම ලෝකය, විශ්වය ගැන දැන ගැනීමේ ආශාව මට කුඩා අවදියේ සිටම තිබීම මේ ක්ෂේත්‍රයට ඉතා ඉක්මණින්ම මා කැඳවාගෙන ගිය හේතු සාධකය බව දැන් මට වැටහේ.

ප්‍රාදේශීය වාර්තාවලින් කිසියම් මාධ්‍ය පුහුණුවක් ලද මගේ සිත ඉන් එහාට ගමන් කළ යුතුයැයි අණ කළ සැටියෙකි.මාධ්‍යවේදියකු වීමේ පරීක්‍ෂණයකට පෙනී සිටින්නට මට සිදුවිය. “ ඉන් පළමුවැනියා වීමි. පත්තරයට සම්බන්ධ වීමේ අවස්ථාව එදා මට නොලැබිණි.

“ දිනමිණ පත්තරේ අන්න පුරප්පාඩුවක් තියෙනවා. ඔයා ඉල්ලුම් කරන්න.” කෙමෙන් කෙමෙන් මට හඳුනා ගන්න ලැබුණු මාධ්‍යකරුවන් අතරින් දෙල්තොට, වීරසිංහ දිනමිණේ පුවත්පත් කලාවේදීන් දෙදෙනා මට හෝඩුවාවක් දුන්හ. මම අයැදුම් කෙළෙමි. පුවත්පතකට ඉන්පසු ලැබෙන අවස්ථාව මට පිරිනැමෙන බවට කර්‍තෘ මණ්ඩල අධ්‍යක්‍ෂගෙන් සහතිකයක් ලැබුණු නිසාවෙන් එය වැඩි දවසක් නොගොස් දිනමිණ පත්තරයෙන්ම මට උදාවිය.

සිනහවත් - කඳුළත්

කපිල පියදාස, දෙල්තොට චන්ද්‍රපාල, එස්. වීරසිංහ මාධ්‍ය ලොව දැවැන්තයන් වූ ඔබලාට මගේ කෘතඥතාව පිරි නොනැමුවොත් එය මහා ගුණමකුකමක් නොවෙද? බන්දුල මෙත්තානන්ද මහතා දිනමිණ කතුවරයා විය.

මාධ්‍ය ලොවේ අද සැවොම හඳුනන සිරි රණසිංහ ප්‍රධාන උප කතුවර මහතා යටතේ උපකර්‍තෘ අංශයේ මේසය පුටුව මට ලැබිණි. තිස්ස එදිරිසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර , බිනෝයි සුරේන්ද්‍ර, මොහාන්ලාල් පියදාස, දෙල්තොට, වීරසිංහ මේ දැවැන්ත මාධ්‍යකරුවන් එදා මගේ සහෘදයෝ වූහ.

එතැන් පටන් මා දිනමිණේ ආ ගමන දීර්ඝය. සිනහව අප්‍රමාණය. කඳුලද නොවැටුණා නොවේ.

මගේ පියාට රාජකාරිය දේවකාරියක්ම විය. ඔහුගේ දින චර්යාව මගේ සිතේ නොදැනුවත්වම හෝ තැන්පත්ව තිබෙන්නට ඇති. ඒ නිසාවෙන්දෝ රැකියාව ආයතනික සීමා බන්ධනයන්හි අකුරටම ඉටු කළ යුතුය යන්න මගේ තේමා ගීතය විය.

එදා සිට අද දක්වාම එය එලෙසම විය. ගැහැණියක වීම නිසාවෙන් බොහෝ දෑ දකිද්දී අසද්දී ඉවසා සිටීමේ හැකියාවද ලැබිණි. මෙතෙක් මා ආ දුර මේ හේතු නිසාම වන්නට ඇති.

පෑනේ සවිය

මේ කාල පරාසයේදී පුවත්පත් ලෝකයේ බොහෝ දෑ මම දැන උගත්තෙමි. මෙතෙර මෙන්ම එතෙරත් පෑනේ සවිය උරගා බලන්නට ආයතන ප්‍රධානීහු මට වරම් උදා කළහ. ඒ ඔබ සැමටත් මගේ කෘතගුණ. ඒ මා සිහිනෙකින්වත් නොදුටු ආශ්චර්යයක් නිසාවෙනි.

පුවත්පත් කලාවේ සෑම විෂය පථයක් කරා (දේශපාලනය හැර) මගේ පෑන මෙහෙයවීමටද දිනමිණ පත්තරය මට අවස්ථාව උදා කෙළේය.

පත්තරේ සෑම පිටුවක්ම සංස්කරණයට, සැකසීමට ඇතැම් විටක ලේඛන පිටපතට, තවත් විටෙක පරිවර්තන පිටපතකට මට දායක වීමේ අවස්ථාව දිනමිණේ මගේ පුවත්පත් කලාවේදී දිවිය උදා කර දුන්නේය.

ජී. එස්. පෙරේරා, බන්දුල මෙත්තානන්ද , දෙල්තොට චන්ද්‍රපාල, සරත් කුරේ, බෙනට් රූපසිංහ, සමන් වගආරච්චි, බන්දුපාල ගුරුගේ, රන්ජන් අමරරත්න චන්ද්‍රසිරි දොඩාවත්ත, මහින්ද අබේසුන්දර මේ දිනමිණ කතුවරුන් වූ මහත්වරුන් මගේ වෘත්තිය දිවියට ආශිර්වාදයක්ම වූවා මිස කිසිදු දිනක බාධකයක් නොවූ බවට මෙහි සටහන් තබන්නේ හද පිරි බැතියෙනි.

තවත් පුංචි මතකයක් මම මෙහිදී අවදි කළ යුතුමයැයි මට සිතේ. ප්‍රාදේශීය ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය කතුවරයා වූයේ තවත් මාධ්‍ය දැවැන්තයකු වූ අජන්තා රණසිංහ මහතායි.

කලා ලොවේ නමක් දිනු ඔහු නිසා කලාකරුවන්, පිටස්තර මාධ්‍ය දැවැන්තයන් හඳුනා ගන්න කතා බස් කරන්න මට අවස්ථාව ලැබිණි. එදා ඒ ලෝකය එකම රස ගුලාවක් විය. එදා තවත් දැවැන්තයෙකු හඳුනා ගන්නට ලැබූ වරම අද හද පිරි බැතියෙන් සිහිපත් කරන මොහොතකැයි නොසිතුවෙමි.

එදා එතනට ආ ඔහු අන්කවරෙකු නොවේ. අපේ සභාපතිතුමන් වූ බන්දුල පද්මකුමාර මහතායි. එදා ඇති වූ සුහදත්වය අද ද මම අගයමි.

පත්තර මහ ගෙදර වෘත්තීමය ජීවිතය ඇරැඹු දා පටන් රණපාල බෝධිනාගොඩ, සුනිල් රුද්‍රිගු, ගාමිණි රාජපක්‍ෂ, ඇලෝයි රත්නායක, ලක්ෂ්මන් ජයවර්ධන , ලුෂන් රාජකරුණානායක, නලින් ලද්දුවහෙට්ටි යන සභාපතිතුමන්ලාද මා දිරිමත් කළ අයුරු මගේ මතකය අවදි කරයි.

මේ වසර තිස්දෙක පුරාවට දිනමිණ පත්තර බිහි කළ බිහි කරන සොයුරු සොයුරියෝ මට සවියක්ම වූහ. එදත් - අදත් ඔවුන්ගේ හිතවත්කම මම බෙහෙවින්ම අගයමි. පත්තර මහ ගෙදර අනෙකුත් සෑම අංශයක්ම මගේම හිතවතුන් යැයි එදත් ඇදැහූයෙමි. අදත් අදහමි. එදත් මා සැමට හිතවත්ය. අදත් හිතවත්ය.

මේ සහෝදර සැමගේ වෘත්තීමය අභිප්‍රායයන්ට මට හැකි අයුරකින් සහාය වීම එදත් ඉටු කෙළෙමි. අදත් ඉටු කරන්නෙමි.

සියයක් වසර හාස්කමක්ම වේයැයි කිව යුතුමය. ඒ හාස්කමට මෙලෙසකින් හෝ දායක වීමට ලැබීම මම ම නොදනිමි කවර නම් බලයක්ද කියා. මගේ හෘදයාංගම කෘතඥතාව මෙලෙසම සටහන් කරන්නේ මෙවැන්නක් සටහන් කිරීමට තරම් මට හිතැති වූ මට වරම් දුන් ගාමිණි ජයලත් සොහොයුර ඔබට යි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්