ශ්‍රී ලාංකික පාඨකයාට අමිල මෙහෙවරක් කළා

ශ්‍රී ලාංකික පාඨකයාට අමිල මෙහෙවරක් කළා

පුවත්පත් ඉතිහාසයේ අමිල මෙහෙවරක යෙදී සිටින දිනමිණ පුවත්පත ආරම්භ වී වසර සියයක් සම්පූර්ණ වේ. 1909 දෙසැම්බර් මස එච්.එස්. නිශ්ශංක මහතා විසින් මෙම පුවත්පත ආරම්භ කරන ලදුව දිවංගත ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් මෙය මිල දී ගන්නා ලදී.

වර්තමානය වන විට තොරතුරු තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පැවතිය ද මීට දශක කිහිපයකට පෙර ජනතාව වෙත තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරන ලද්දේ මුද්‍රිත මාධ්‍ය තුළිනි.

එයිනුදු ජාතික, ආගමික, සංස්කෘතිකමය වශයෙන් දිනමිණ පුවත්පත ගතවූ සියවස තුළ සිදු කර ඇත්තේ සුවිසල් මෙහෙවරකි.

පසුකාලීන ව ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට භාජනය වුව ද අප දන්නා තරමින් පුවත්පත් කලාවේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය මේ දක්වා රැක ගැනීමට දිනමිණ ට හැකිවී තිබේ.

බෞද්ධාගමික පුනර්ජීවනය උදෙසා ද ගත වූ සියවසේ දිනමිණ පුවත්පත ඉටුකළ මෙහෙය මෙහිදී වෙසෙසින් අගයනු කැමැත්තෙමි. පොහෝ දා අතිරේකය, දිනමිණ වෙසක් කලාපය ආදිය බෞද්ධ පාඨකයාගේ බලවත් ප්‍රසාදයට හේතු වී ඇත.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් තිබිය යුතු මූලික ගුණාංග ආරක්ෂා කර ගනිමින් පුරා සියවසක් ශ්‍රී ලාංකීය පාඨක ජනතාවට අමිල මෙහෙවරක් සිදුකළ දිනමිණ පුවත්පත සිය ශත සංවත්සරය සමරන මේ මොහොතේ තවත් චිරාත් කාලයක් සිය අභිමානවත් මෙහෙවර ඉටු කිරීමට ශක්තිය, ධෛර්යය උදාවේවායි ආශිංසනය කරම්හ.

උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමි

මහනුවර අස්ගිරි විජයසුන්දරාරාම මහා විහාරද්වයාධිපති (ශ්‍යාමෝපාලි මහා නිකායේ මහනායක අස්ගිරි පාර්ශවයේ මහනායක


සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමට ‘දිනමිණ’ දායක වුණා

මෙරට මාධ්‍ය ඉතිහාසයේ මහගෙදර යන විරුදාවලියෙන් හඳුන්වනු ලැබූ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මැතිතුමාගේ සුවිශේෂී දායකත්වයෙන් සහ එච්.එස්. නිශ්ශංක මහතාගේ ඉමහත් උත්සාහයෙන් සහ කර්‍තෘත්වයෙන් 1909 දී ආරම්භ වූ දිනමිණ පුවත්පතට වසර සියයක් සපිරෙන මේ මොහොතේ, ඒ පිළිඳව සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ඉමහත් සතුටට හේතුවකි.

සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසාත්, ජාතික ආගමික හා සමාජයීය වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කරලීම උදෙසාත්, පුවත්පතකින් ඉටු කළ හැකි මෙහෙවර ඉතා ප්‍රබල ය.

දිනමිණ පුවත්පත ඒ බව මනාව පිළිබිඹු කරමින් දේශීය පුවත්පත් කලාවට ඉමහත් පිටිවහලක් සහ මාර්ගෝපදේශකත්වයක් ලබාදුන්නේය.

එසේ හෙයින් ජාතික පුවත්පතක් ලෙස දිනමිණ පුවත්පතට ඉදිරිකාලයේ ද මෙකී පරමාර්ථයන් ද පෙර දැරිකරගෙන රට දැය සමය සහ සමාජ සංවර්ධන උදෙසා මහඟු සේවාවක් කිරීමට හැකියාව ලැබේවායි මේ අවස්ථාවේදී ඉතසිතින් ප්‍රාර්ථනා කරම්හ.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක


තවත් සියක් වසරකට ආසිරි

දිනමිණ පත්‍රය වසර සියයක් සපුරයි. ඒ හෙයින්ම දිනමිණ ශ්‍රී ලාංකික ඉතිහාසයට එක්වෙයි. දිනමිණ මා මුලින්ම කියැවූ දැන හැඳිනගත් පුවත්පතයි. මගේ පියා සිංහල ගුරුවරයකු විය.

ඔහු කියැවූ එකම පුවත්පතද දිනමිණයි. ඔහු මා අතට පත් කළේ ද ඒ පත්‍රයමයි. එදා සිට අද වනතෙක්ම දිනමිණ පත්‍රය මා නොබලා නොසිටියෙමි.

එම්.ඒ.ද සිල්වා මහතා දිනමිණ පුවත්පතේ කතුවරයාව සිටියදී පාඨකයන් අතර ඉතාම ප්‍රකට වූ වාදයක් ඇරැඹීය. මාටින් වික්‍රමසිංහ ශූරීන් හා දොන් පීටර් පියතුමා විවාදකයෝ වූහ.

දිනමිණ වෙත ලිපි සපයන්නට පෙළඹවූ අවදිය එදා බව මට සිහිපත් වෙයි. එනම් 1958 වසරේ සිටම මා දිනමිණට ලියන්න පටන් ගැනීමයි.

ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් වෙනුවෙන් පිටුවක් වෙන් කෙරුණේ දිනමිණ පුවත්පතයි. එය එදත් අදත් කෘතවේදීව සිහිපත් කළ යුතු විශේෂිත සංසිද්ධියයි.

එදා සිට අද දක්වාමත් කිතුනුවන්ට වෙන්වූ දිනමිණ පිටුව කිතු බැතිමතුනට කළ මහඟු උපහාරයකි. අනෙකුත් පුවත්පත්ද දිනමිණේ පූර්වාදර්ශය ගැනීම තවත් පැසැසුම් කටයුතු හේතු සාධකයකි.

දිනමිණේ පැරැණි කතුවරයකු වූ පියසේන නිශ්ශංක මහතාගේ පෞරුෂය අද ද මට සිහිපත් වෙයි. ඒ පෞරුෂය අද ද දිනමිණ පුරාම ඇතැයි මට සිතේ. ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රය ඔපවත් කළ දැවැන්තයන් දිනමිණ හරවත් කළ බව නොකියාම බැරිය.

කිතුනු ලිපි මතභේදයන්ට ලක් නොවන අයුරින් දිනමිණ පුවත්පත එළි දැක්වූයේ ය. එතෙර මෙතෙර දෙව් මැදුරු, නත්තල, පාස්කුව, දේවස්ථාන මංගල්‍යයන්, ශුද්ධවරයන් පිළිබඳ පාඨකයන් දැනුවත් කිරීම දිනමිණෙන් ඉටු විය. සාමයික සහජීවනයට ප්‍රමුඛත්වය දුන්නේද දිනමිණ පුවත්පතයි.

වසර සියය සපුරන දිනමිණ තවත් වසර සියයක් පාඨක සිත් සතන් සනහනු ඇතැයි අපේක්ෂාවයි. පැතුමයි.

අර්නස්ට් පෝරුතොට පියතුමා

සාන්ත අන්තෝනි දෙව්මැදුර

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්