නමට පණ දුන් ඩී. ආර්. විජයවර්ධන

නමට පණ දුන් ඩී. ආර්. විජයවර්ධන

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් පුවත්පත් සංවිධාන ව්‍යුහයක් ස්ථාපිත කරන ලද්දේ ඩී. ආර්. විජයවර්ධන මහතා විසිනි. සංවිධිත පුවත්පත් ආයතන කාර්යයකට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ඒ බව විජයවර්ධන මහතා ඉතා මැනවින් දැන සිටියේ ය. මේ ආකාරයට තමාට අයත් පුවත්පත් එකම වහලක් යට සංවිධිතව පවත්වාගෙන යාම සඳහා ලේක්හවුස් මන්දිරය ඉදිකරලූයේ ය.

විජයවර්ධන මහතා පුවත්පත් නිෂ්පාදනය පිළිබඳව විශේෂ උනන්දුවකින් ක්‍රියා කළේ ය. මුදල් අතින් ස්වාධීන ව පැවැතීම පුවත්පතක සාර්ථකත්වය සඳහා අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තේ ය. ඒ අනුව සකසුරුවමින් මුදල් වැය කොට සිය පුවත්පතේ් නිෂ්පාදන ව්‍යාපාරය වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත්කර ගැනීමට විජයවර්ධනට හැකි විය.

වචන දහයකින් කිය හැකි කාරණයක් වචන විස්සකින් කියන්නට යාම කාලයද මහන්සිය ද නිකරුණේ විනාශ කරගන්නා පුහු වැඩක් හැටියට ඔහු නිරතුරුව කල්පනා කෙළේ ය. මේ ප්‍රතිපදාවට ඔහු සැමවිටම ගරු කළා පමණක් නොව තමන් ඇසුරු කළ වුන්ද එයට පෙළඹ වූයේ ය.

ඔහුගේ අවවාදයක් වූයේ කියවන ජනතාව ගැන සිහි ඇතිව ලියන දේ ලිවිය යුතු බවයි. ඒ හැඟීමෙන් තොරව ලියන ලේඛකයා දක්ෂ ලේඛකයෙකු නොවන බව ඔහුගේ හැඟීම විය. එවැනි ලේඛකයන්ට ඔහුගෙන් තැනක් ලබාගත නොහැකි විය. කෙටියෙන් වුවත් ඩී. ආර්. විජයවර්ධන මහතා ගැන ලිවීම අපහසු වන්නේ මේ කරුණු නිසාය.

ඩී. ආර්. හෙවත් දොන් රිචඩ් විජේවර්ධන ජන්ම ලාභය ලබන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රභූ පන්තියට අයත් පවුලකය. පියා තුඩුගල පරම්පරාවට අයත් දොන් පිලිප් විජයවර්ධනය. මව හෙලේනා විජයවර්ධනය. ශාන්ත තෝමස් විද්‍යාලයේ අකුරු කොට එංගලන්තයට ගිය විජයවර්ධන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි නීතිය හදාළේ අධිනීතිඥයෙකු වීමේ බලාපොරොත්තුවෙනි. ඉන්දියාවේ අගමැති වූ ජවහර්ලාල් නේරු මෙන්ම බ්‍රිතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන් චර්චිල් ද එවක කේම්බ්‍රිජ්හිදී විජයවර්ධන සමග ශාස්ත්‍ර හදාළෝ ය.

දේශපාලනය පිළිබඳ උද්‍යෝගයක් ඔහු තුළ ඇති වන්නේ ද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ව සිටි කාලයෙහිය. දේශපාලනය පිළිබඳ ඔහුගේ බුද්ධිය විශාරද විය. එවක එංගලන්තයෙහි නීතිඥ වෘත්තියෙහි යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයකු වූ එෆ්. එච්. එම්. කෝබට් විජයවර්ධන මහතාගේ මිත්‍රයකි. ඔහුගේ් ආශ්‍රය තරුණ විජයවර්ධන දේශපාලන කටයුතු කෙරෙහි නැඹුරු කරවීමෙහි සමත් විය. පුවත්පතක් පටන් ගත යුතුය යන අදහස පළමුවරට විජයවර්ධනගේ සිතට ඇතුළු කළ පුද්ගලයා වූයේද කෝබට්ය.

ඒ අනුව අධිනීතිඥයකු ලෙස පෙරළා ලංකාවට පැමිණි විජයවර්ධන කොළඹ උසාවියේ කටයුතු කළත් ඔහුගේ සිත වැඩියෙන් නැඹුරු වී තිබුණේ දේශපාලනයට හා මහජන සේවයටයි. 1913 දී ඔහු ලංකා ජාතික සංගමයේ ලේකම් තනතුරට පත් වූයේ ය. 1915 දී මෙරට හටගත් කලහයෙන් පසුව සර් ජේම්ස් පීරිස් හා සර් පොන්නම්බලම් අරුණාචලම් යන දෙපළගේ සහාය ඇතිව විජයවර්ධන ආණ්ඩු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහා ප්‍රබල ව මැදිහත් වූයේ ය.

පසුව මෙරට ජාතික ව්‍යාපාර ශක්ති සම්පන්න කරලීමෙහිලා පුවත්පතක අවශ්‍යතාව දැන සිටි විජයවර්ධන බංකොලොත් වී තිබූ ‘සිලනීස්’ නම් පුවත්පත මිලට ගත්තේ ය. එය ලාභදායී ගනුදෙනුවක් නොවීය. එහෙත් එසමයෙහි ‘දිනමිණ’ පුවත්පත මිලට ගැනීම විජයවර්ධනගේ අභිමතාර්ථ පල දැරීමක් විය. දිනපතා පුවත්පතක් ලෙස ‘දිනමිණ’ ආරම්භ වූයේ 1909 දී එච්. එස්. පෙරේරාගේ කර්තෘත්වයෙනි. එහෙත් අසාධ්‍ය ලෙස ඔහු රෝගාතුර වීමත් ආර්ථික දුෂ්කරතා හට ගැනීමත් නිසා ඔහුට එය දිගටම පවත්වා ගෙන යාමට නොහැකි විය. 1914 දී විජයවර්ධන මහතා දිනමිණ පුවත්පත මිලට ගෙන මෙරට ජනතාවගේ් විශ්වාසය දිනාගත් පුවත්පතක් බවට පරිවර්තනය කළේ ය. ඒ සඳහා විජයවර්ධන මහතාව මෙහෙයවන ලද්දේ සර්. ඩී. බී. ජයතිලක මහතා විසිනි.

‘දිනමිණ’ මුලදී මුද්‍රණය වී තිබුණේ ඩිමයි භාගයේ කුඩා පුවත්පතක් හැටියටයි. පුවත්පත මිලට ගත් පසුව විජයවර්ධන සිය සොයුරා වූ ඩී. සී. විජයවර්ධන ද එහි කොටස්කරුවෙකු ලෙස හවුල් කර ගෙන පිටකොටුවේ නොරිස් වීදියේ වෙනම ගොඩනැඟිල්ලකට ගෙන ගියේ ය. උගත් කතුවරුන් බඳවා ගත්තේ ය. පුවත් පත විශාල කොට අභිනව මුහුණුවරක් දී ජනතාව අතරට පත් කළේ ය.

1918 දී විජයවර්ධන මහතා ඩේලි නිවුස් පුවත්පත ආරම්භ කළේ ය. ඩේලිනිවුස් පුවත් පත මගින් අර්ථ සම්පන්න සේවයක් සිදු කළ හැකි බවට විශ්වාසයක් එවකට බුද්ධිමතුන් තුළ තිබිණ. මෙහි මුල් කතුවරයා වුයේ එෆ්. ඒ. මාටිනස්ය.

විජයවර්ධන මහතා පුවත්පත් නිෂ්පාදනය පිළිබඳ විශේෂ උනන්දුවකින් ක්‍රියා කළේ ය. මුදල් අතින් ස්වාධීන ව පැවැතීම පුවත්පතක සාර්ථකත්වය සඳහා අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තේ ය. ඒ අනුව සකසුරුවමින් මුදල් වැය කොට සිය පුවත්පතේ් නිෂ්පාදන ව්‍යාපාරය වඩාත් ශක්තිමත් තත්ත්වයකට පත්කර ගැනීමට විජයවර්ධනට හැකි විය. පුවත්පත් සඳහා වෙළෙඳ දැන්වීම් ලබා ගැනීම කෙරෙහිද ඔහු සිත් යොමු කළේ ය.

විජයවර්ධන මහතා තරගකාරීත්වයට මුහුණ දීමේ හැකියාව ඇත්තෙකි. එවකට ඩේලි නිවුස් පුවත්පතට තරගයට සිටියේ ‘මෝර්නිං ලීඩර්’ පුවත්පතයි. මෝර්නිං ලීඩර් පුවත්පතට තරගයක් දිය හැකි කතුවරයෙකු සොයා ඔහු වෙහෙසුණේ එබැවිනි. ඒ සඳහා තමා සමඟ එකම පාසලේ අකුරු කළ එස්. ජේ. කේ. ක්‍රවුදර් පත්කොට ගත් විජයවර්ධන ඩේලිනිවුස් පුවත්පතේ සේවය සඳහා තවත් කුසලතා පූර්ණ කාර්යක්ෂම බුද්ධිමතුන් යොදවා ගත්තේ ය.

‘දිනමිණ’ පුවත්පතට ද විජයවර්ධන මහතා ව්‍යක්ත ලේඛකයන්ගේ දායකත්වය ලබා ගත්තේ ය. ඔහුගේ පාලන සමය තුළ ඩී. ජේ. බී. විජේසේකර, ඇන්. එච්. ජිනදාස , ජේ. වෙත්තසිංහ , ඩී. ඩබ්ලිව්, වික්‍රමාරච්චි , ඇලෙක්සැන්ඩර් වැලිවිට , මාර්ටින් වික්‍රමසිංහ , පියසේන නිශ්ශංක ආදිහූ , කර්තෘ ධූර දැරූහ. ‘දිනමිණ’ සඳහා ලැබෙන ලිපිවල වියරණ දොස් නිදොස් කිරීමට දොඩන්දූවේ ධර්මසේන පඬිතුමාගේ සේවය ලබාගත් බවද සඳහන් වේ. 1923 දී එවකට යුරෝපීය සමාගමකට අයත් ව තිබූ සිලෝන් ඔබ්සර්වර් පුවත්පත මිලට ගත් විජයවර්ධන මහතා දිනමිණ සහ ‘ඩේලි නිවුස්’ යන පුවත් පත් සමඟ එකම සමාගමක් ඇති කළේ ය. ‘සිළුමිණ’ පුවත් පත 1930 දී ආරම්භ කරන ලදී. මෙරට සිංහල පුවත්පත් ඉතිහාසයෙහි තවත් වැදගත් මං සලකුණක් විය. ප්‍රථම සිංහල ඉරිදා පුවත්පත ලෙස ඇරැඹුණු ‘සිළුමිණ’ රටේ සෑම තරාතිරමකම පාඨක ජනයා වෙත රසයත් අර්ථයත් නොමද ව සදා ලූ මණ්ඩපයකි. ශත දහයේ විශ්වවිද්‍යාලය යනුවෙන් එදා ‘සිළුමිණ’ සිංහල පාඨක ජනයා අතර සම්භාවනාවට පාත්‍ර විය.

ඩී. ආර්. විජයවර්ධන මහතා මෙරට භාවිත භාෂාත්‍රයෙන්ම පුවත්පත් පවත්වාගෙන යාම කෙරෙහි සාවධාන වූයේ ය. ‘තිනකරන්’ හා ‘සන්ඩේ තිනකරන්’ යන පුවත්පත් දෙමළ පාඨක ජනයා වෙනුවෙන් පටන් ගැණුනේ ඒ අනුවයි. මුලදී තිනකරන් පුවත්පතෙහි පළ කරන ලද්දේ ඩේලි නිවුස් පුවත්පතේ දෙමළ පරිවර්තනයයි.

‘දිනමිණ’ , ‘සිළුමිණ’ , ‘ඩේලි නිවුස්’ , ‘ඔබ්සර්වර්’ , ‘සන්ඩේ ඔබ්සර්වර්’ , ‘තිනකරන්’ හා ‘සන්ඩේ තිනකරන්’ යන ප්‍රධාන පුවත්පත් හතක හිමිකරුවා වූ ඩී. ආර්. විජයවර්ධන මහතා මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම පුද්ගලයා බවට පත්වූයේ ඔහුගේ විශිෂ්ට බුද්ධිය , දූරදර්ශී ව්‍යාපාරික ඥානය , සංවිධාන ශක්තිය හා කාර්යශූරත්වය යන සාධනීය පෞරුෂ ලක්ෂණ නිසාය. එබඳු ගති ලක්ෂණ එකම පුද්ගලයෙකු තුළ පිහිටීම සැබැවින්ම දුර්ලභය. විජයවර්ධන මහතා සතුව තිබූ බුද්ධිය හා කාර්යශූ®රත්වය මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය ‘උපන්දා සිට’ කෘතියෙහි පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ විධිමත් පුවත්පත් සංවිධාන ව්‍යුහයක් ස්ථාපිත කරන ලද්දේ ඩී. ආර්. විජයවර්ධන මහතා විසිනි. සංවිධිත පුවත්පත් ආයතන කාර්යයකට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ඒ බව විජයවර්ධන මහතා ඉතා මැනවින් දැන සිටියේ ය. මේ ආකාරයට තමාට අයත් පුවත්පත් එකම වහලක් යට සංවිධිතව පවත්වාගෙන යාම සඳහා ලේක්හවුස් මන්දිරය ඉදිකරලූයේ ය.

නදීකා දිල්හානි ඩයස්

විජයවර්ධන මහතාගේ පුවත්පත් සේවය ලංකාවේ පමණක් නොව ආසියාවේ පමණක් නොව ලෝකයේම ප්‍රබල පුවත්පත් සංවිධානයක් බවට පත් විය.

මෙහි ඉතිහාසය කෙටියෙන් කිව නොහැකි නමුත් ප්‍රතිපත්ති ඝාතනයෙන් තොරව පුද්ගලයන්ට සංග්‍රහ කිරීම පිණිස නොව මහජනයා උදෙසා මහජනයා වෙනුවෙන් මහජන සේවය පිණිස පවත්වන ලද්දක් වූ මෙය ස්ථිරසාර පුරුෂයකුගේ දෘඪතම ව්‍යායාමයක විශිෂ්ට ඵලය හැටියට දියුණු වූ බව කෙටියෙන් වුවද කිව යුතුය. ඩී. ආර්. විජයවර්ධන මහතා සදානුස්මරණීය පුරුෂයෙකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්