‘දිනමිණ’ ට උරුම ආකෘතිය

‘දිනමිණ’ ට උරුම ආකෘතිය
රැකගෙන පැමිණීම ජයග්‍රහණයක්

නූතන ලෝකයේ ජීවත්වන මිනිසාට සන්නිවේදනය අත්‍යවශ්‍යම අංගයක් වී ඇත. කුසට ආහාර මෙන්ම මනසටද කිසියම් ආහාර විශේෂයක් අවශ්‍ය වේ. ඒ ආහාර විශේෂය වූ කලි ප්‍රවෘත්ති, ලෝක ප්‍රවෘත්ති, සාහිත්‍යය ආචාරධර්ම, දර්ශනය, ආගමික පුවත් ආදිය අද ජීවත් වන මිනිසාට අවශ්‍යමය. මෙම ආහාර විශේෂය සපයන්නේ සන්නිවේදන මාර්ගවලිනි. මේ නිසා සන්නිවේදන ක්‍රියාවලිය යහපත් වූ පමණට මනුෂ්‍ය සමාජය යහපත් වේ. මිනිසා යහපත් වන විට රට ද යහපත් වේ. අද රටේ සන්නිවේදන මාර්ග බොහෝ ය. විවිධය. ඒ විවිධ සන්නිවේදන මාර්ග අතරින් පුවත්පත අයත්වන්නේ ලිඛිත සන්නිවේදන ගණයටය.

“ දිනමිණ “ පුවත්පත බිහිවුණු වකවානුවේ මෙරට සන්නිවේදන මාර්ග අද තරම් ප්‍රබලවද ගුණාත්මකවද නොපැවතිණ. ලිඛිත පත් නිවේදන වශයෙන් සලකන පුවත්පතේ (ලංකා) ඉතිහාසය වසර 150කට වඩා ඈත නොයයි. “ දිනමිණ” පුවත්පත බිහිවීමත් සමඟ රටේ සන්නිවේදන මාර්ගය පියවර කීපයකින් ඉදිරියට ගමන් කෙළේය.

“ දිනමිණ පුවත්පත ආරම්භ කළ ඩී. ආර්. විජේවර්ධන මහතා, එය ඇරැඹුවේත් පවත්වාගෙන ගියේත් ජාතික පුවත්පතක් ලෙසට ය. ජාති- ආගම් කුල ආදී භේදවලින් තොර, සමගි සම්පන්න ලාංකේය ජාතියක් බිහි කරලීම ඒ ජාතික අවශ්‍යතාව විය. ඒ සඳහා දේශපාලනමය අවබෝධයෙන් සකස්වුණු බුද්ධිමත් ජනතාවක් ඒ ලාංකේය චින්තනය තුළින් ඔහු බලාපොරොත්තු විය. ඒ සඳහා “ දිනමිණ” පුවත්පතේ ආකෘතිය ද අන්තර්ගතය ද සකස් කෙළේය.

කිරම විමලජෝති හිමි
දෙහිවල නැදිමාල
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ

පුවත්පතක බලය එහි ස්වාධීනත්වය සමගම ඇතිවන්නක් බව එහි නිර්මාතෘවරු සැළකූහ. මුදල් අතින් , දේශපාලන නායකයන්ගෙන් හෝ ආණ්ඩුවකින් හෝ පුවත්පත නඩත්තු වන්නේ නම් එය පුවත්පතේ ස්වාධීනත්වයට බාධාවක් බව ඔවුන්ගේ නිගමනය විය. ඒ චින්තනය සත්‍යය නිවැරැදිය. ඒ විදියේ සංවිධානයක ආයතනයක් යටතේ වැඩුනොත් පුවත්පතේ ස්වාධීනත්වය අහෝසි වී වෙනත් අය වයන තාලයට අනුව නටන කෙනකුගේ තත්ත්වයට පුවත්පතද වැටෙන බව ඔව්හු සැලකූහ. ඒ අනුව ‘ දිනමිණ’ ස්වාධීන පුවත්පතක් වශයෙන් පවත්වාගෙන යාමට වෙර දැරූහ.

එසේ වෙර දැරූ “ දිනමිණ “ ගොඩනැඟිලි අතින් මෙන්ම තාක්ෂණය අතින්ද, ගුණාත්මක බවින් මෙන්ම හර බර සාරවත් පුවත්පතක් මෙන් නැගී සිටියේය. පුවත්පත් ක්ෂේත්‍රයේ අනභිභවනීත්වය කරා පිය නැගී ය.

“ දිනමිණ” පුවත්පත අරඹන විට මෙරට බෞද්ධයන් සතුව සෑහෙන ප්‍රබල වෙනත් පතක් නොතිබිණ. තිබුණේ ඉතා අල්ප අලෙවියක් ඇති සතියකට හෝ මසකට වරක් නිකුත්වන පුවත්පත් ය. ‘ දිනමිණ’ දියුණු වීමත් සමඟම මෙරට උගත් බෞද්ධ භික්ෂුන් වහන්සේට ධර්ම ශාස්තශ්‍රීය සේවයක් කිරීමට අලුත් මාවතක් පෑදිණ. නාරද හිමි , බඹරැන්දේ සිරි සීවලි හිමි කොටහේනේ පඤ්ඤා කිත්ති හිමි, ටිබට් ජාතික එස් මහින්ද හිමි, මඩිහේ පඤ්ඤාසීහ හිමි අකුරැටියේ අමරවංශ හිමි කළුකොදයාවේ පඤ්ඤාශේඛර හිමි වැනි වියත් හිමිවරු “ දිනමිණ” මගින් විශාල ආගමික ශාස්ත්‍රීය සේවයක් කළහ.

සන්නිවේදන මාර්ග ප්‍රබලව නොපැවති යුගයක බෞද්ධ හා ජාතික අවශ්‍යතා සඳහා “ දිනමිණ” පියවර ගත් සැටි උදාහරණ දෙකක් මගින් පැහැදිලි කරනු වටී.

ගම්පොළ වල්ලහගොඩ දේවාලයේ වාර්ෂිකව පවත්වාගෙන ගිය පෙරහැරට මුස්ලිම්වරුන් විසින් කරන ලද තර්ජනය හා ආරාවුල රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුනි. මේ අරගලය පිළිබඳ ව පවරා තිබුණු නඩුවෙන් දිස්ත්‍රික් උසාවියේ තීන්දුවෙන් බෞද්ධයෝ ජයගත්හ. එහෙත් එවකට පැවැති රජයේ නීතිපතිවරුද මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඔස්සේ ඉදිරිපත් කෙළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් බෞද්ධයෝ පරාජය වූහ. මෙය බෞද්ධ අයිතිවාසිකම්වලට කෙළින්ම පහර දීමක් වශයෙන් සැලකූ “ දිනමිණ” ඒ පිළිබඳව දැඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කොට ප්‍රබල මහජන මතයක් ගොඩ නැගීමට සමත්විය. ඒ සමඟම බෞද්ධයින්ට තම අයිතිවාසිකම් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා දී එවකට පැවැති ඉංගී‍්‍රසි ආණ්ඩුව කරන වැරැදිවලදී ඒවාට විරුද්ධව නැගී සිටීමට තරම් සුදුසු වූ බුද්ධිමත් පිරිසක් ඇති කිරීම සඳහා “ දිනමිණ “ පියවර ගත්හ.

දෙවැන්න 1815 මාර්තු 02 වැනිදා සිංහලේ අවසන් රාජ්‍යය වූ උඩරට රාජ්‍යය ඉංගී‍්‍රසින්ට යටත් විය. මෙහිදී සිංහල අධිපතීන් හා ඉංගී‍්‍රසින් අතර උඩරට ගිවිසුම නමින් ගිවිසුමක් ඇතිවිය. මෙම ඓතිහාසික ගිවිසුම පැවැතියේ රහසක් වශයෙනි.

1915 මාර්තු 02 වැනිදා උඩරට රාජ්‍යය යටත්වීම පිළිබඳ අවුරුදු 100 පිරෙන ශත සංවත්සරය උදාවිය. මෙදින ඒ වෙනුවෙන් “ දිනමිණ “ පුවත්පත ජාතික අතිරේකයක් නිකුත් කර ඇත. මෙතෙක් කල් රහසිගත ලියවිල්ලක්ව පැවැති බොහෝ දෙනා නුදුටු උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තනයක් ඒ වාසගම්වලින්ම යුතුව “ දිනමිණ “ ජාතික අතිරේකයේ පළකර ඇත. බොහෝ දෙනා සහසුද්ද වශයෙන් උඩරට ගිවිසුම පිළිබඳ තත්ත්වාවබෝධය ලැබගත්තේ මේ අතිරේකයෙනි. එය උදාර ජාතික කටයුත්තක් විය. මෙය “ දිනමිණ” මගින් ඉටුකළ ඓතිහාසික කාර්යභාරයකි.

සන්නිවේදන මාධ්‍යයක් හැටියට පුවත්පතක් මිල අඩු කමෙන්ද, සත්‍ය ප්‍රවෘත්තීන්ගෙන්ද, ප්‍රතිපත්ති ගරුකත්වයෙන්ද , යුත්ත වන්නේ නම් එය සාර්ථක පුවත්පතකි. එසේ වූ විට ජනතාවගේ සිත් ඇද ගත්තේය. අද පුවත්පත්වලින් ඉදිරිපත් කරන බොහෝ ප්‍රවෘත්ති සත්‍යයයි මහජනයා පිළිගන්නේ නැත. මහජනය පුවත් පිළිගන්නේ සිතා මතා විමසීමෙනි. එය නිවැරැදිය. බෞද්ධ සම්ප්‍රදාය එයයි. කාලාම සූත්‍රය මගින් ද හත්ථිපදෝපම සූත්‍ර මගින්ද, තථාගතයන් වහන්සේ උගන්වා ඇත්තේ එම සම්ප්‍රදායයි.

වර්තමාන ජනමාධ්‍යවලින් බොහෝවිට වැරැදි ආකල්ප වැරැදි තොරතුරු ඉදිරිපත් වන බව පෙනේ. දේශීය අපේ දේ වෙනුවට විදේශීය අනුන්ගේ දෙය අගය කරති. අල්පේච්ඡ ජීවිත වෙනුවට බහුභාණ්ඩික ජීවිතවලට පොළඹවති. චාම් ජීවිත වෙනුවට විලාසිතා පුරුදු පුහුණු කරවති. ස්වාභාවික වස්තුවලට කෘත්‍රිම දේවල් ආදේශ කරති. ගුණාත්මක වටිනාකම් වෙනුවට ධනාත්මක වටිනාකම් අගයති. මේවා කිරීමෙන් අපේ බෞද්ධ සම්ප්‍රදායට සංස්කෘතියට සිදුවන විනාශය පරිහානිය ගැන නොසලකති. එහෙත් බෞද්ධ සංස්කෘතිය පිළිබඳව කෑ මොර දෙති. ආගම ධර්මය පිළිබඳවද එසේය. බොහෝවිට වැරැදි ආකල්ප. වැරැදි මති මතාන්තරවලට මුල් තැන දෙති. ප්‍රසිද්ධ නොකළයුතු බොහෝ දේවල් ප්‍රසිද්ධ කර ජාතිවාදී ආගම්වාදී අරගලයන්ට මග පාදති. මේවා බොහෝවිට සිදුවන්නේ ගෝලීයකරණයේ ආභාසයත්, මාධ්‍යවේදීන්ගේ නොදැනුවත්කමත් නිසා ය.

ඓතිහාසික වශයෙන් “ දිනමිණ’’ ට උරුම වූ ආකෘතියක් පවතී. ඒ ආකෘතිය තවම පවත්වාගෙන ඒම බොහෝ දෙනාගේ සතුටට හේතු වනු නියතය. අන්තර්ගතය කෙරෙහි වඩාත් සැළකිළිමත් වීම ජනමාධ්‍යවේදීන්ගේ බලවත් වගකීම වේ.

“ දිනමිණ” යනු සූර්යා ය, සූර්යයා මුලු ලොවට ආලෝකය ගෙන දෙයි. ඓතිහාසික ආකෘතිය රැක ගනිමින් නවීන තාක්ෂණයෙන් පොහොසත් වෙමින්, මෙතෙක් පැමිණි ගමන පිළිබඳ අපගේ ප්‍රසාදය පළකරමු. නිවැරැදි පුවත් සපයන ශාස්ත්‍රීය පක්ෂයට බර වූ පුවත්පතක් ලෙසට, අනාගතය සාර්ථකවේවායි 100 වන සංවත්සරය නිමිත්තෙන් අපගේ ආශිර්වාදය මෙසේ පළ කර සිටිමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්