දිනමිණ මතකයෙන්...

දිනමිණ මතකයෙන්...

මා ‘දිනමිණ’ කර්‍තෘ මණ්ඩලයේ සේවයට බැඳුණේ 1966 වර්ෂයේදීය. මා සමඟ එක කණ්ඩායමට බැඳුණු සෙස්සන් අතර අද ලංකාදීප කර්‍තෘ සිරි රණසිංහ ද ‘සියත’ කර්‍තෘ තිලකරත්න කුරුවිටබණ්ඩාර ද වූහ. මුල් අවදියේදී කෙසේ වෙතත් කාලයා ඉක්ම යද්දී ‘දිනමිණ’ කතු මඬුල්ලේ විවිධ අංශවල සිදුවන අභ්‍යන්තරික සේවය පිළිබඳ සෙවුම් බැලුම් නොකළ ද ඒ මහ¼ගු මෙහෙවර ප්‍රමාණය අපට පසක් විය.

ආචාර්ය අජන්තා රණසිංහ

‘දිනමිණ’ ට බැඳීමට කලින් බොහෝ අවස්ථාවල අපි නිසැකවම පාහේ බදාදා ‘දිනමිණ’ පත්‍රය මිලදී ගන්නෙමු. (ඒ සඳහා වැයවෙන මුදල වුවද පාසල් සිසුන් වන අපට එවකට මහමෙරක මෙන් බර දැනිණ) බදාදා ‘දිනමිණ’ හි විශේෂත්වය වූයේ චිත්‍රපට විචාර සහ චිත්‍රපට තොරතුරු රැගත් එම කලා පිටුව ජයවිලාල් විලේගොඩ නම් මහතෙකු ගේ සංස්කරණයක් සිදුවන බැවිනි. එම පිටුවේ චිත්‍රපට විවේචනයන්හි උපහාසාත්මක ශෛලිය තුළින් අප විඳි රසාත්මක බව විසින් බදාදා පත්‍රය මිලදී ගැන්මට මුලදී අප පොළඹවනු ලැබීය.

ජයවිලාල් ගේ එම විචාර සිංහල සිනමා කලාවේ සහ ශිල්පි ශිල්පිණියන් ගේ උන්නතිය උදෙසා කෙතරම් පැහැදිලි ලෙස බලපෑවේද යත්, ජයවිලාල් ගේ විචාර අනුව චිත්‍රපට නිෂ්පාදනයේදී හැඩගැසීමට බොහෝ අධ්‍යක්‍ෂවරුන් පෙළඹුණු බව දක්නට ලැබිණ.

ඉන්දියානු ගතානුගතික වට්ටෝරු අනුව එම අච්චුවේ වත්කර නිර්මිත සිංහල නොහොත්, බසින් පමණක් අපගේ වූ ඇතැම් චිත්‍රපට, ජන විඥානය අනුව හැඩ ගැසෙමින් නව අනුභූතීන් සොයමින් ශ්‍රී ලාංකික අප සංස්කෘතියට සහ මනසට ගෝචර වන අයුරින් හැඩ ගැසෙන අන්දම එවක තරුණ අපි සතුටු නෙතින් බලා උනිමු.

මෙවන් වූ සිය ගණනක් ජයවිලාල් විචාරයන් අතර මගේ මතකයේ රැඳුණු බොහෝ කොටස් අතර එක් නිදර්ශණයක් පමණක් මෙහිලා සටහන් කිරීම වටිනේය.

වීර විජය නම් වූ දමිළ චිත්‍රපටයක අනුකරණයක් සිංහලෙන් නිපදවිය. එහි නළු නිළියන් ගේ සහ වෙනත් ශිල්පීන් වෙතින් විද්‍යාමාන වූයේ දකුණු ඉන්දීය අනන්‍යතාවයයි. ඒ පිළිබඳ විචාරය ලිවීමේදී ජයවිලාල් මහතා මෙසේ සඳහන් කර තිබුණු බැව් මගේ මතකයට නැගේ.

වීරවිජය චිත්‍රපටයේ හර්බි සෙනෙවිරත්න ඇම්. ජී. ආර්. ට අන්දවා ඇත. ප්‍රධාන සිංහල නිළිය අන්ජලි දේවිට අන්දවා ඇත. හියුගෝ ප්‍රනාන්දු චන්ද්‍රබාබු ට අන්දවා ඇත. නරඹන්නන් ගොනාට අන්දවා ඇත.

මේ කොටස රැගත් ඒ විචාරය එම චිත්‍රපටය හැදුවන්ට අතුල් පහරක් විය. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතා සිය ප්‍රථම චිත්‍රපටය “සැනසුම කොතැනද” යනුවෙන් මනා නිර්මාණයක් කළේ ය. ඔහු ගේ ඊළඟ නිර්මාණය සැබැවින්ම චිත්‍රපට ශ්‍රාවක අප රස දූෂණය කිරීමට සමත් වූ බැව් නොකැමැත්තෙන් වුවද සඳහන් කළ මනාය.

ජයවිලාල් ඒ පිළිබඳ සිය විචාරය කළේ මෙසේය. (සැනසුම කොතැනද නැරැඹූ සිංහල සිනමා ලෝලීන් (චිත්‍රපටයේ නම) චිත්‍රපටය නරඹා දෙන පිළිතුර කුමක් ද? (ජයවිලාල්ගේ මේ විචාරයෙන් කිපුනු නිෂ්පාදක ඊළ¼ඟ සතියේ බදාදා ජයවිලාල් ගේ චිත්‍රපට කලා පිටුවෙන් අඩක් මිලට ගෙන සිය චිත්‍රපටය පිළිබඳව එහි දැන්වීමක් පළ කළේ ය.

සැනසුම කොතැනද චිත්‍රපටය නැරඹූ සිනමා ලෝලයෝ සිනමාහල් ඉදිරිපස පෝලිම්වල තෙරපි තෙරපී පිළිතුරු දෙති.

විලේගොඩ මහතා වෙතින් සිංහල සිනමා ප්‍රගතියට හා සිංහල සිනමාව කලාත්මක රස පූර්ණත්වයෙන් මනරම් කිරීම් වස් දිනමිණ පත්‍රය මගින් දියත්කරන ලද සිනමා කලා මෙහෙවර අප්‍රමාණය.

කලාව පිළිබඳව පත්‍රයේ සියල්ලම පාහේ සිදුවනුයේ විශේෂාංග අංශය මගිනි. එහි විශේෂාංග කර්‍තෘ වරයෙක් ක්‍රියා කරයි. විශේෂාංග ලේඛකයෝ ඔහු ඇසුරේ පත්‍රයේ කතු වැකිය ඇතුළු විශේෂාංග සකස් කරති.

මේ සඳහා අප දිනමිණ පත්‍රයේ සේවය කළ යුගයේ සිසිර කුමාර මාණික්කආරච්චි, බන්දුල ශශ්‍රී සරච්චන්ද්‍ර පසුකලෙක කර්තෘ පදවිලත් ජී. එස්. පෙරේරා එඩ්වින් ආරියදාස අද යුගයේ සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂ වසන්ත ඔබේසේකර තිස්ස එදිරිසිංහ, හේමා ගුණවර්ධන සහ ජයවිලාල් වැනි විද්වතුන් විසින් සැකසුණු විශේෂාංග නිර්මාණ පාඨකයනට විපුල ඵල ගෙනදුන් බවට එම පාඨකයෝම දැනුදු දෙස් දෙති.

අද යුගයේ 1400 වැනි ප්‍රසංගය පවත්වන සංගීතඥ වික්ටර් රත්නායකගේ මංගල ‘ස ප්‍රසංගය’ ලුම්බිණි රඟහලේ ප්‍රථමයෙන් ඉදිරිපත් කෙරුණේ 1973 ජුනි මස 20 වෙනිදා සන්ධ්‍යාවේය. ජුලි මස 19 වෙනිදා වික්ටර් කිසියම් අවශ්‍යතාවයකට ලේක්හවුසියට පැමිණි අතර අපි දෙදෙනද එහිදී මුණ ගැසුනෙමු.

“මොකද අද..” මම ඇසුවෙමි

“මචං හෙටනෙ “ස” ප්‍රසංගය

ඉනික්බිතිව මඳ පිළිසඳරකින් පසු අපි කැන්ටිමෙන් තේ කෝප්පයක් බී වික්ටර් සමුගත්තේය. මම වහා බ්ලොක් ලයිබ්රියට ගොස් වික්ටර් ගේ තනි ඝරු පින්තූර බ්ලොක් එකක් රැගෙන කර්‍තෘ මහතා ගේ අවසරයද ඇතිව 1973 ජුලි 20 වෙනිදා ‘දිනමිණ’ පත්‍රයේ මුල් පිටුවේ “ස ප්‍රසංගය” විස්තර සහිතව පළ කළෙමි.

සම්භාව්‍ය කලා ශිල්පියෙකු වෙනුවෙන් එදා අප ‘දිනමිණ’ නමින් කළ ඒ මෙහෙවර ශ්‍රී ලංකාවේ කවර දිනපතා පත්‍රයක් වෙතින් හෝ එපරිද්දෙන් නම් එදින සිදු නොවිණ. මා එබඳු හදිසි නිගමනයකට එළැඹුණේ දිනමිණ පත්‍රයේ පිළිවෙත කලාකරුවන්ගේ හිත සුව පිණිසම කියන බැවිනි.

නාට්‍ය කලාව පිළිබඳ විචාරාත්මක ලිපි විවිධ පත්‍ර වල පළවුණද එවක වේදිකා ගත කරනු ලබන නැතහොත් ඉමහත් උද්යෝගයක් නාට්‍ය අරභයා පැවැති ඒ යුගයේ සුගතපාල ද සිල්වා , හෙන්රි ජයසේන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, නාමෙල් වීරමුණි, සයිමන් නවගත්තේගම, ආර්. ආර්. සමකෝන්, ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ජයලත් මනෝරත්න වැනි මෙකී නොකී සම්භාව්‍ය නාට්‍ය නිර්මාණකයින් ගේ වේදිකා ගත වන සියලුම නාට්‍ය පාහේ ඩී. බී. කුරුප්පු ආචාර්යවරයා අතින් විචාරයට ලක්කොට අඛණ්ඩව සතිපතා පළවූයේ දිනමිණ පත්‍රයේ ය.

එවන් නාට්‍ය විචාර නිර්මාණකයින් ගේ පෙරමං බැලීම සඳහා අද්විතීය අනුබලයක් විය.

එවක සම්භාව්‍ය ගායන ශිල්පි ශිල්පිනියන් ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග බෙහෙවින් ජනපි‍්‍රයව සිරිලක පුරා ගී ශ්‍රාවක අබිමුවේ ඉදිරිපත් කෙරිණි. ආචාර්ය අමරදේවයන් ගේ අමර ගී සර “නන්දා මාලිනි ගේ ශ්‍රවණ ආරාධනා” මහාචාර්ය සනත් නන්දසිරි ගේ “ස්වර්ණ කුණ්ඩල” සංගීතඥ වික්ටර් රත්නායක ගේ “ස ප්‍රසංගයේ” මෙවන් වූ කවර ප්‍රසංගයක් හෝ දිවයිනේ කිනම් පළාතක ඉදිරිපත් කෙරුණද “දිනමිණ” පත්‍රයේ අදින් අද සිදුවන විශේෂ සිදුවීම් පලකෙරෙන “දිනමිණ’ දිනපොත නම් තීරුවේ ඒවා නිසැකවම පලකොට එම කලා ශිල්පී ශිල්පිණියන්ට එවක දිනමිණ දුන් රුකුල සුළුපටු නොවේ.

මේ අතර ජනතාසන්තක කරනු ලැබූ ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කර්‍තෘ ධුරන්දරව පැමිණියේ ජාතික ඇඳුමින් සැරසුණු පෙරමුණේ තිලක මහතාය. එක්තරා දිනක් ඒ මහතා කොහේදෝ පිටතට ගොස් “දිනමිණ” සිය කර්‍තෘ කාමරයට යාමට ද පෙර මා වෙත පැමිණියේ ය.

“අජන්තා අද කැබිනට් එක තීරණය කළා අමරදේව මහත්තයව රජයේ සංගීත විදුහලේ විදුහල්පති කරන්න.”

“පත්තරේ ෆස්ට් එඩිෂන් එකනම් ඉවරයි” කමක් නෑ සෙකන්ඩ් එකේ ඉඳන් දාන්න, අමරදේව මහත්තය ගැන ලිපියක්. දැන් ලියන්න පටන් ගන්න. සෙකන්ඩ් එකේ ඉඳන් හොඳ පිංතූරයකුත් එක්ක දාන්න. හෙඩිම දාන්න “අමරදේව රජයේ සංගීත විදුහල්පති කියලා.”

“ඇයි ඉතින් කඩිමුඩියෙ අනිද්ද ඕල් එඩිෂන්ස් දාමුකෝ”

“නැහැ. නැහැ. හෙට වෙන කොට මේගොල්ලො මේක වෙනස් කරයි ද කවුද දන්නෙ දේශපාලනකාරයොනේ” පෙරමුණේ මහතා එකවර පිළිතුරු දුන්නේ ය.

සරස්වතිය ජාතියට දුන් අමිල දායාදය බඳු අමරදේවයන් පිළිබඳව ‘දිනමිණ’ දැක්වූ ගෞරවනීය ආකල්පය එසේ වන්නේය. අමරදේවයන්ගේ සංගීත විදුහල් පදවි ප්‍රාප්තිය බොහෝ පත්‍ර වල පළවූයේ ඉන් දින කීපයකට පසුවය.

මහගම සේකරයන් කළුරිය කළ පුවත අපට දැනගැන්මට ලැබුණු දහවලේ මම ඒ බැව් කතු තුමාට අනාවරණය කළෙමි.

“ඉතින් බලං ඉන්නේ..”?

“මට තේරුණේ නෑ”

“තේරුණේ නැති වග මටත් තේරුණා. දැන්මම හොඳ ලිපියක් ලියලා පින්තූර එක්ක මුල් මුද්‍රණයේම දමන්න”. (එය එපරිද්දෙන්ම සිදුවිය.)

මහගම සේකරයන්ගේ කාව්‍ය ශෛලිය අනුගමන කළ නවක කවි පරපුර ලියා එවූ හරවත් නිර්මාණවලට දිනමිණ පත්‍ර පිටු විවෘත විය. එය එකල මෙන්ම මෙකලද නිරවද්‍ය ලෙස සිදුවනු අපි දැක්කෙමු.

අප දිනමිණට බැඳෙන යුගයේ වේදිකාගත වන නාට්‍යයක් පිළිබඳව කෙටි විස්තරයක් හෝ නාට්‍යයේ ඡායාරූපයක් හෝ පළකර ගැනීමට දිනමිණ පිටුපස පිටුවේ අවම වශයෙන් තීරු අඟලක දැන්වීමක් නිෂ්පාදක විසින් පළකළ යුතුය යනු එවක රෙගුලාසියක් විය.

එහෙත් නාට්‍යකරුවෙක් සිය නිර්මාණය එළි දැක්වීමට බොහෝ වාර ගණනක් පෙර පුහුණුවීම් පවත්වා ශිල්පි ශිල්පීන්ට එක් දිනකට යටත් පිරිසෙන් ප්ලේන්ටි කෝප්පය බැගින් හෝ දුන්නද එවන් කලාකරුවන්ට එය හිසට ඉමහත් බරකි. ඒ බරත් දරාගෙන මේ දැන්වීම් පලකරන බරත් දරාගැන්ම ඔවුන්ට අතිශයින් අසීරු බැව් අපට පැහැදිලිය.

මේ දැන්වීම පළ කිරීම අනිවාර්ය නොකර නාට්‍ය නිර්මාණය කිරීමට අතහිත දීමට සිරිද මා ද තිලක් ද කර්‍තෘ තුමාට කරුණු අවබෝධ කර දුන්නෙමු. අප ජයගත් ඒ සටන නාට්‍ය නිර්මාණකයින් වන්දනය කළ ජයග්‍රහණය ක් විය. ඒ වරප්‍රසාදය අද දක්වා ඔව්හු භුක්ති විඳිති.

1966 න් පසුව වසර කිහිපයක් ඇතුළත අනුක්‍රමයෙන් සමාජවාදී වූ දිනමිණ පත්‍රය වෙතින් ජාතියේ සෑම ප්‍රශ්ණයකදීම පාහේ විද්වත් කලාකරුවන්ට ප්‍රමුඛත්වය දී ඔවුන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡා අවශ්‍ය පරිදි ‘දිනමිණ’ පත්‍රයේ පළකිරීමට විශේෂාංග කතුවරු ක්‍රියාදාම සම්පාදනය කළහ.

මේ හැරුණුවිට අප දිනමිණ පාඨකයින්ව සිටි ඒ තරුණ යුගයේ සතිපතා දිනමිණ පත්‍රයේ පළවූ පොත්පත් විවේචන අපි පුස්තකාලයට ගොස් හෝ සොයා කියවීමට පෙළඹී සිටියෙමු. ඒ යුගයේ එනම් පේරාදෙණි ගුරුකුලය උත්පාදනයව, කොළඹ යුගයේ කවීන් ද ඩබ්ලිව්. ඒ. සිල්වා, පියදාස සිරිසේන වැනි විශිෂ්ඨ ලේ්ඛකයින් ද අවතක්සේරු වට පත්කෙරිණි.

හතරපද කවි වෙනුවට මහාචාර්ය සිරි ගුණසිංහ විසින් හඳුන්වා දෙනු ලැබූ පැළලි කවි ද එම යුගයේ පළවූ ඩී. එච්. ලෝරන්ස්ගේ නවකතා අන්ධව අනුකරණය කොට ලියැවිණි යැයි කියැවුණු අසභ්‍යයැයි කී නවකතා ද කියවන්නන් අතර පැතිර ගියේය. මෙහිදී කොළඹ යුගය ද පේරාදෙණි යුගය ද අතර වාදවිවාදවාග් සංග්‍රාම ඇතිවිය.

මගේ මතකය නිවැරැදි නම් එබඳු සංග්‍රාම වලින් විරසකව ඔවුනොවුන්ට සාහිත්‍යමය සතුරන් වූ අය වෙතින් කිසියම් පලක් නෙලාගැනීමට දිනමිණ සමත් වූයේ, අතිශයින් අවංක සෘජු විචාරද එම ලේඛක විචාරකයින් වෙතින් ලබාගෙන දිනමිණ පත්‍රයේ පලකිරීමෙනි.

නිදර්ශණයක් වශයෙන් ආචාර්ය ගුණදාස අමරසේකර ගේ පොතක් පලවූ විට එහි විවේචනය විටෙක ලියන ලද්දේ මුහන්දිරම් මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා හෝ පේරාදෙණි කල්ලියට එරෙහි කිසියම් විද්වත් ලේඛකයකු විසිනි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නවකතා බොහෝ දුරට විචාරයට ලක්වූයේ කේ. බී. සුගතදාස අතිනි.

මේ සාම්‍යක් උපක්‍රමයන් නිසා අසභ්‍යයැයි සම්මත තේමා රැගත් පොත් පත් ලියන්නන් දැඩි ලෙස අඩපණ කළ දිනමිණ ඒ ආකාරයෙන් ද කරන ලද්දේ සාහිත්‍යමය කලා මෙහෙවරකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්