මොකද වෙලා තියෙන්නේ

මොකද වෙලා තියෙන්නේ

යම් සිද්ධියක් වූ සැනින් අපට නිරායාසයෙන් ම සිහියට එන්නේ එම පැනයයි.තොරතුරු සොයා යන මාධ්‍යවෙදියෙකුට නම් එම අවස්ථාවේදී මතු වන ප්‍රශ්න රාශියකි.ඒ අතරින් මොකක්ද වුණේ? යන්න මතු වන පළමු ප්‍රශ්නය යි. කවුද? කොහේද? කීයටද? වගේ ම එහෙම වුණේ ඇයි? කියන ප්‍රශ්න ගණනාවක් ම මතුවේ.සිද්ධිය වූ තැනට ගොස් හෝ නොගොස් තොරතුරු ලබාගෙන සිද්ධිය පිළිබඳ දළ සටහනක් ඇඳගන්නා ඔහු එහි තතු ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කරයි.

කොහොමද එහෙම වුණේ?

එම වැදගත් ම කරුණ පසුපස හඹායන්නට ඔහුට ප්‍රමාණවත් කාලයක් නොලැබේ.සිද්ධිය කැටි කර ගත් සටහනට නිවැරැදි සහ විශ්වසනීය තොරතුරු ලබාගැනීම උදෙසා ඔහු අවට සිටින අයගෙන් පිරික්සයි. ඒ වෙලාවට හැකි සෑම තොරතුරක් ම අවශ්‍ය පමණට කෙටි කලක් තුළ දී ලබාගනී. මෙය ප්‍රවෘත්තියක් බවට පත් වි එතැනින් හමාර වේ. නමුත් සිද්ධියේ වැදගත්කම , සමාජමය බලපෑම හා වටිනාකම් අනුව එසේ නැවතීමේ තිත තැබීමට ලියුම්කරුට අවසරයක් නොලැබේ. මෙවන් මොහොතක විශේෂාංගයක් උපදී. විශේෂාංගය සිද්ධියේ පැති කිහිපයක් ම සොයා යයි. එය සිද්ධියේ වටිනාකම් මත, පුවත්පතේ අවශ්‍යතා මත හෝ ලියුම්කරුගේ දර්ශනය මත විවිධාකාරයක් ගනී.

සිදුවන සියල්ලෙහි ම නොවුණත් වටිනාකමක් හා සමාජ රාමුව තුළ අත්‍යවශ්‍ය කාරණා ගණනාවක් මෙලෙස සටහන් විම තුළින් ඉතිහාසය ඉබේ ම ලියැවේ.ඒ අනුව පුවත්පත් ලිපි මඟින් නිර්මාණය වන ඉතිහාසයේ කැඩපත වඩාත් ඔප්නැංවෙන්නේ පුවත්පතෙහි පළ වන විශේෂාංග තුළිනි.අපේ වෑයම විශේෂාංග සොයා යෑමට එහා ගිය අරමුණක් කරා ගමන් කිරිම යි.

අද දිනට දිනමිණ ට සිවසක් එළැඹීමේ ප්‍රීතිය ද මුසුවෙමින් අප සටහන් තබන දිනමිණ සියවස් අතිරේකය නිකුත් වේ. එතෙක් මෙතෙක් පටන් දිනමිණ විශේෂාංග පාඨකයා වෙත ළංවූ අයුරු සොයා බැලීම මෙහි අරමුණ යි.ඒ අනුව මෙලෙස ගොනුවන්නේ් දිනමිණ පුවත්පතෙහි පළ වු සහ පළ වන විශේෂාංග සඳහා ලැබුණු ඉඩකඩ පිළිබඳ අදහසක් පමණි.

සියවසක් යනු ඉතා දිගු කලක් යැයි සැලකුවහොත් ඒ අතරතුර බොහෝ දේ වෙනස් වූවා නියතය. රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික, ආගමික හා දේශපාලනික වැනි අංශ ගණනාවක ම වෙනස්කම් රාශියක් සිදු වී ඇත. එදා 1909 දෙසැම්බර් මස 17 වැනි දා ය. ප්‍රවීණ කතුවර එච්.ඇස්.පෙරේරා මහතාගේ අවධානය දිනපතා පුවත්පතක් කෙරෙහි යොමු වේ. සමකාලීනව ඉංගී‍්‍රසි පුවත්පත් හා සතිපතා පුවත්පත් පළ වුණ ද සිංහල භාෂාවෙන් පළ වන දිනපතා පුවත්පතක් නොවිණි. සමකාලීන යුගයේ සිංහල පුවත්පතක් පවත්වාගෙන යාම ම අභියෝගයකි. එසේම නොකඩවා දිනපතා පුවත්පතක් සෑදීම, පුවත්පත් බෙදාහැරීම, හා පුවත්පත් විකිණීම ද ඊටත් වඩා අභියෝගයක් බවට පත් විය. මේ අභියෝග සියල්ල ජයගන්නට අවස්ථාව පෑදුණේ 1914 දී ඩී.ආර්. විජේවර්ධන මහතා විසින් දිනමිණ පුවත්පත මිල දී ගැනීමත් සමඟ ය. ශශ්‍රීලංකාවේ පුවත්පත් භාවිත කළ ප්‍රාථමික මට්ටමේ උපකරණ හා තාක්ෂණය වෙනුවට විජේවර්ධන මහතා විසින් නවතම උපකරණ හා තාක්ෂණය තම පුවත්පත් සැකසීම වෙනුවෙන් යොදා ගැනීම එම අභියෝග ජයගැනීමට රුකුලක් විය.

ආරම්භයේ පටන් ම දිනමිණෙ හි ප්‍රවෘත්ති පළ විම, පුවත්පතක ආකෘතිමය වශයෙන් සමකාලීන ලක්ෂණ පළ වීම දැකගත හැකි විය. මුල් යුගයේ පටන්ම මුල් පිටුවේ ම කවි පංති පළ වීම දැකගත හැකි විය. අද අප විග්‍රහ කරගන්නා ආකාරයට කවිය ද විශේෂාංග ගණයට අයත් වේ.එසේ ම ආරම්භයේ පටන් ම දිනමිණ පුවත්පතේ කතු වැකියක් පළ වී තිබීම ද මුල පටන් ම විශේෂාංග පැවැති බවට සාධකයකි. පළමු කතුවැකිය ලිවීම ද ඓතිහාසික සිද්ධියකි. එය නම් පළමු කතුවැකිය ලිවීමට ද නැකතක් තිබිණි. එහි පිටපත පරීක්ෂා කිරීම, සංස්කරණය, හා අකුරු ඇමිණීම ආදිය ද නැකතකට අනුව සිදුකර ඇත. ඒ අනුව මුල් ම කතු වැකිය ලියන ලද්දේ ශශ්‍රීමත් බාරෝන් ජයතිලක මහතා විසිනි.

පොදු ජනයාට සුබ ආරංචි ගෙන එන දූතයා ලෙසින් දිනපතා දිනමිණ පුවත්පත පාඨකයා අතරට පත්විණි. ආරම්භක යුගයේ පටන් ම රට, ජාතිය, ආගම පිළිබඳ වැඩි නැඹුරුවකින් කටයුතු කළ දිනමිණ පුවත්පත නිදහස් සටනේ දී , ලෝක යුද සමයේ දී හා දේශපාලන වශයෙන් රටෙහි විවිධාකාර වෙනස්කම් ඇති කළ හර්තාලය, කළු ජූලිය වැනි පඨකයාගේ අවධානය වැඩි වශයෙන් යොමු වන කාරණා සාකච්ඡාවට බඳුන් කර ඇත.

එසේ ම සමාජ, දේශපාලන, ආර්ථික හා අනෙකුත් සියලු කාරණාවල දී තම පුවත්පත හරහා යමක් කරන්නට ඉදිරිපත් වන දිනමිණ රජයට පවරා ගැනීමෙන් සංවර්ධනාත්මක පුවත් වාර්තාකරණයට මූලිකත්වය ගෙන කටයුතු කළ බව පෙනී යයි.රාජ්‍ය මධ්‍ය ආයතනයක් බවට පත්විමෙන් අනතුරුව එම සීමා තුළ හිදිමින් කටයුතු කළ දිනමිණ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් කරලියට පැමිණවීමට උත්සාහ කළ අයුරු කතු වැකි පිටුව ගෙන බැලුවහොත් පෙනී යන්නකි.

වරෙක සමබරතාවෙන් ඈත් වන දිනමිණ රටේ දේශපාලන වාතාවරණය අනුව පාලක පක්ෂය වෙනුවෙන් කටයුතු කර ඇති අයුරු එම විශේෂාංග තුළින් දැකගත හැකි විය. තවත් වරෙක සමබරතාව ආරක්ෂා කරමින් පක්ෂ විපක්ෂ සැමට ම දේශපාලන වෙදිකාවක් බවට ද පත් වූ අවස්ථා දැකගත හැකිය.

වසර සියයක් පුරා ආ දිනමිණ ගමන් මඟෙහි හැරවුම් ලක්ෂ ගණනාවක් මැතිවරණ හා ජනාධිපතිවරණ කාල පරාසය තුළ දී දැකගත හැකි විය.

ප්‍රවෘත්තියක් ලෙස පළ වන වටිනාකමකින් යුත් බොහෝ කාරණා විශේෂාංගයක් බවට පෙරලෙන්නේ සමකාලීන සමාජයේ අවශ්‍යතා මත ය. ලෝක යුද සමයේ පිටු පුරාවට ම ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් වී තිබිණි. සමකාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් පුවත්පතෙහි විශේෂාංග අතර වැඩි ඉඩක් වෙන්විණි.

කලාවට අතදුන් දිනමිණ සාහිත්‍ය, සිනමාව වෙනුවෙන් විශේෂාංග ඉදිරිපත් කිරීමට පිටු කීපයක ම අතිරේක පළ කෙරිණි. සාහිත්‍ය කලාවේ ප්‍රගමනට දායක වන දිනමිණ කවිය, ගීතය,කෙටිකතා,චිත්‍ර, නට්‍ය, සඳහා විශේෂ ඉඩකඩක් ලබා දිණි. මංසල වැනි අතිරේක පාඨකයා පුවත්පත කෙරෙහි ඇද බැඳ තබාගැනීමට සමත් විය.

සිංහල සිනමාවේ ප්‍රගමනයට එදා මෙදා තුර දිනමිණ කළ කාර්යභාරය ඉමහත් බව ප්‍රවීණ සිනමාවේදීන් පවා නිරන්තරයෙන් පවසන්නකි. ඒ සඳහා රඟසොබා,රසමංජරී වැනි අතිරේක ගණනාවක් ම පළ කෙරිණි. මෙයින් පඨකාගේ අවධානය වැඩි වශයෙන් දිනාගැනීමට දිනමිණට හැකි විණි.

මුල් යුගයේ දී ප්‍රවෘත්ති හා දැන්වීම්වලට වැඩි ඉඩක් ලැබී තිබිණි. මෑතක් වන විට ක්‍රම කුමයෙන් මුද්‍රිත මාධ්‍ය නවීකරණය වන්නට වූයේ සිනමාවෙන් ඈත් වන ප්‍රේක්ෂකයා, ගුවන් විදුලියෙන් ඈත් වන ශ්‍රාවකයා ග්‍රහණය කරගත් රූපවාහිනිය වටා රොක්වීමේ හේතුඵලයක් ලෙසිනි.

ඡායාරූප මඟින් හා පිටු සැකසුම්,විචිත්‍රකරණයෙන් වර්ණවත් අතිරේක පළකරමින් දෘෂ්‍ය මාධ්‍යයක් ලෙස පුවත්පත පාඨකයාට ආකර්ෂණයක් ඇති කිරීමට කටයුතු කෙරිණි. සමකාලීන පුවත්පත් සමඟ තරගකාරී ලෙස ඉදිරියට යන දිනමිණ සැලසුම් සහගතව දෘෂ්‍ය මධ්‍යයක් ලෙස වඩාත් තරගකාරී මට්ටමකට පත්වන්නට විය.

වරෙක දිනමිණ සාකච්ඡා මණ්ඩපයක් වූ අතර වරෙක එය ම තක්සලාවක් බවට ද පත් විය.තවත් වරෙක විද්‍යාත්මක සොයාගැනීම් හෙළිකරන තෝතැන්නක් වන අතර ම වෙළෙඳපොළ හඳුනාගැනීම හා නිෂ්පාදන වෙළෙඳපොළට හඳනා දීමට වාහකයක් ලෙස කටයුතු කළේය.

මුල් යුගයේ පටන් ම පළවුණු අතිරේක හරහා ජාතික, ආගමික, වෙළෙඳ ,සංස්කෘතික හා සාහිත්‍ය යන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. තවද උත්සව සමයේදී විවිධ අතිරේක පළ කිරීමට කටයුතු කෙරිණි.අලුත් අවුරුද්ද, වෙසක්, පොසොන්, ඇසළ, හා නත්තල් වැනි උත්සව ගණනාවක් ම පුවත්පත් අතිරේක මඟින් වර්ණවත් කෙරේ.

මෙයට අමතරව අද වන විට ළමා පිටුව, කවි පිටුව, සංවර්ධන පිටුව,ආගමික සංවාද පිටුව, ධීවර පිටුව,සංවාදාත්මක හා කාලීන පිටු ගණනාවක් ම සැකසේ.

මෙලෙස පිටු සැකසෙමින් දිනමිණ විශේෂාංග අංශය ලෙසින් වෙනම ම අංශයක් සංවිධානය වූයේ පනහ දශකයෙන් පසුවය. ඒ අනුව විශේෂශාංග කතුවරුන් ලෙස නිශ්ශංක මහතා, එම්.ඒ.සිල්වා මහතා,සිසිල් ඉලංගකෝන් මහතා කටයුතු කර ඇත.

ඒ වන විට විශේෂාංග ලෙස වෙන ම ම ;නාවූ නිසා ඊට අමතරව දිනමිණේ වෙනත් කටයුතු ද ඔවුන් අතින් සිදුකෙරිණි.

ධර්මසිරි ජකොඩි මහතා, හේම පෙරමුණ මහතා, සිසිර කුමාර මාණික්ක ආරච්චි මහතා හා ජී.එස්.පෙරේරා මහතා විශේෂාංග කරතෘවරුන් ලෙස කටයුතු කර ඇත.තිස්ස එදිරිසිංහ මහතා,අමර පී.වීරසිංහ මහතා ,රන්ජන් අමරරත්න මහතා,චන්ද්‍රසේන රණවීර මහතා ද විශේෂාංග කතුවරු ලෙස කටයුතු කර ඇත.මෙලෙස ගෙනහැර දක්වන නම් අතරින් හිටපු විශේෂාංග කර්තෘවරුන්ගේ නමක් හෝ අප අතින් නොදැක්විණි නම් සමාව අයැදිමි.

මේ වන ඒ සම්බන්ධයෙන් කරුණු දන්නා පිරිස අතළොස්සක් වන බැවින් මෙසේ සටහන් වන්නේ ඔවුන්ගේ මතකයේ රැදුණු අය පිළිබඳ ය.යම් හෙයකින් අතපසුවීමක් විණි නම් එයට නැවත ද සමාව අයැදිමි.

ප්‍රමිතා රන්දලි පබසරා

මෑත යුගයේ දී ගාමිණි ජයලත් මහතා,කුමාර සිරිවර්ධන මහතා හා නැවතත් ගාමිණි ජයලත් මහතා එම තනතුරේ කටයුතු කළේය. ඉන් පසුව විශේෂාංග කතුවරයා ලෙස කටයුතු කළේ අනුර කේ.එදිරිසූරිය මහතා ය.

අද වන විට විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කරන්නේ අයන්ති විතාන මහත්මිය යි. අද වන විට දිනමිණ විශේෂාංග වාර්තා කීරීම හා සංස්කරණ කටයුතු කරන විශේෂාංග අංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිස විසිතුනක් පමණ වේ.දිනමිණ සියවසට දිනමිණ විශේෂාංග අංශයේ සියලු ම දෙනාගේ සුභාශිංසනය ද මෙයින් පළ කෙරේ. විශේෂාංග අංශයේ පැතුම වන්නේ දිනමිණ දිනේවා දින දින දිනමිණ ක් ලෙස යන්න ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්