වසර සියයක් ජනතාව ආදරය කළ එකම පුවත්පත

වසර සියයක් ජනතාව ආදරය කළ එකම පුවත්පත

නමාධ්‍යයක් හෝ ජනමාධ්‍ය ආයතනයක් ඇරැඹීම පහසු කටයුත්තක් නොවේ’ එමෙන්ම එය අඛණ්ඩව පවත්වාගෙන යාම ඊටත් වඩා අපහසු කාර්යයකි. මෙහිදී පළමුව ජනමාධ්‍ය ශක්තිමත්ව ස්ථාපනය කළ යුතුව ඇත. කාලීන මෙන්ම නවීන ප්‍රවණතා ද උකහාගන යුතුය. මේ සියල්ලටම වඩා ජනතාවගේ නැතිනම් පාඨකයාගේ විශ්වාසය දිනා ගත යුතුය. ‘දිනමිණ’ මේ සියල්ල ජයගත් පුවත්පතකි. එය සියවසක් අඛණ්ඩව පළ වනුයේ මෙකී තත්ත්වයන් මනා ලෙස ජයගත් නිසාය.

‘දිනමිණ’ ඇරඹුමේ පටන්ම කාලීන ප්‍රවණතා ග්‍රහණය කරගත් පුවත්පතක් බව පෙනී යයි. 20 වන සියවස ආරම්භයේ මෙරට ජාතික සටනේ පැවැති ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් ‘දිනමිණ’ ඇරඹුණි. ඒ ඇරඹුම ‘දිනමිණ’ ඉදිරි ගමනට මහත් ශක්තියක් විය. පසුව ඩී. ආර්. විජේවර්ධන මහතාගේ ක්‍රියා කලාපය දශක ගණනාවක් පුරාවටම එයට මහත් ආශීර්වාදයක් විය. නවීන තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ පුවත්පත් ආයතනයක් පළමු වරට ස්ථාපනය කිරීමට එතුමා දැරූ පරිශ්‍රමය අතිමහත් ය. මේ කැපවීම නොවන්නට ‘දිනමිණ’ පමණක් නොව ලේක් හවුසිය ද ලාංකීය පුවත්පත් කලාවේ තීරණාත්මක බලවේගයක් නොවීමට ඉඩ තිබුණි.

‘දිනමිණ’ ආරම්භ වූයේ 1917 දෙසැම්බර් 17 දිනය. ඒ ඇරඹුම මෙරට ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන සංධිස්ථානයක් විය. ආරම්භක කර්තෘවරයා වූයේ එච්. එස්. පෙරේරා මහතා ය. ඔහු 19 වන සියවස අග බාගයේත් විසිවන සියවස මුල් බාගයේත් මෙරට සිටි රැඩිකල් වාදියෙක් විය. උපතින් ක්‍රිස්තියානි බැතිමතකු වුවද ඔහු එකල ලෝකය වෙලා ගනිමින් පැවැති නව ප්‍රවාහයන් පිළිබඳ විමසිලිමත් අයකු විය.

1870 දශකයෙන් පසුව ලෝකය වෙලාගත් නව ප්‍රවණතාවයක් විය. ඒ පරම විඥානාර්ථ වාදය යි. මෙහි බලපෑම ලාංකීය සමාජයට ද එල්ල වුණි. එයට හසුවූ තරුණයකු ලෙස එච්. එස්. පෙරේරා මහතා අපට හඳුනාගත හැකිය. ඔහු පරම විඥානාර්ථ සමාගමට බැඳී ක්‍රියා කළේය.

පළමුව “සරසවි සඳරැස” නම් පරම විඥානාර්ථ සමාගමේ ප්‍රකාශනයේ කළමනාකාර ධුරය ඔහු ලබා ගත්තේ ය. තවත් කල්යත්ම එහි ප්‍රධාන කර්තෘවරයා විය. මේ පත්වීමෙන් අනතුරුව ඔහු පුවත්පතක් ලෙස “සරසවි සඳරැස” ඉදිරියට ගෙන යන්නට විය. එහෙත් කල්යත්ම පරම විඥානාර්ථ වාදීන්ගේ ක්‍රියා කලාපය ලාංකීය සමාජය තුළ ප්‍රශ්නකාරීත්වයක් ඇති කළේය.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල තුමා වැනි රැඩිකල් වාදීන් අතර සිටි පිරිස්ම පරම විඥානාර්ථ වාදීන්ගේ ක්‍රියා කලාපය විවේචනය කළහ. මේ අනුව ඕල්කට්තුමාට රට හැර යාමට ද පසුබිම උදා විය. මේ කාලීන ප්‍රවණතා මැනවින් හඳුනාගත් පුවත්පත් කර්තෘවරයකු මෙන්ම රැඩිකල් වාදියකු වූද එච්. එස්. පෙරේරා මහතා සිය සමාගමේ ක්‍රියා කාරකම් පුවත්පත මගින්ම විවේචනය කළේ ය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ එච්. එස්. පෙරේරා මහතාට කරුණු කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් චෝදනා එල්ලවීමයි.
 

1. තම අස්සනින් යුතුව රජයට යැවිය යුතු පුවත්පත් පිටපත එසේ යැවීම ප්‍රතික්ෂේප කිරීම.

2. පුවත්පතේ මුල පටන්ම පැවැති බුද්ධ වර්ෂය හිතුමතේම වෙනස් කිරීම.

3. පුවත්පතට ප්‍රයෝජනවත් ලිපි සපයන ලද ඩේවිස් මහතාට කර්තෘ වාක්‍යයකින් නින්දා කිරීම.

4. නඩු වියදම් ලැයිස්තු නොඑවීම

5. ලේකම් මහතාට එවන ලද අයෝග්‍ය ලිපියක් ඉල්ලා අස්කර නොගැනීම.

6. සමාගමට අකීකරුව ඊට හානිකර දේ ලිවීම.

මෙකී චෝදනාවන් එල්ලවනවාත් සමඟම තවත් අවස්්ථාවක පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ තනතුරක් සඳහා සොයිසා සහ ජයතිලක යන මහත්වරුන් අතර තරඟයක් හට ගත්තේ ය. මෙහිදී ගැටුම සම්බන්ධයෙන් මැදිහත්වී සරසවි සඳරැස පුවත්පතේ කතු වැකියක් පලකිරීමට යාම නිසා එච්. එස්. පෙරේරා මහතා සදරැස කර්තෘ ධුරයෙන් පහ කරන ලදී.

එහෙත් එච්. එස්. පෙරේරා මහතා සිය ජාතික මෙහෙවර කිසිසේත්ම අතහැර දැමුවේ නැත. පසුව විද්‍යාලංකාර පිරිවෙනට යන ඒ මහතා රත්මලානේ ධර්මාරාම හිමියන් හමුවිය. ධර්මාරාම හිමියන් හමුව පුවත්පතක් ඇරඹීමේ සිය අදහස ඉදිරිපත් කළේය. එහිදී රත්මලානේ ධර්මාරාම හිමියන් අභිනව පුවත්පත සඳහා “දිනමිණ” යන නම යෝජනා කළහ.

මලික් චමින්ද ධර්මවර්ධන

මෙසේ දිනමිණ ඇරඹෙනුයේ මෙරට ජාතික සටනේ තීරණාත්මක මොහොතක ය. එනම් විදේශීය ආක්‍රමණයන් නිසා රටේ ජාතික චින්තනය සිරිත් විරිත්, ගුණධර්ම වියැකෙමින් තිබුණ යුගයකය. තවද එයින් රට ගලවා ගැනීමට ඉදිරිපත් වී සිටි ඇතැම් බලවේගයන් ද රට ගලවා ගැනීමට මුලාවී තම වෙනත් අභිමතාර්ථ ඉටුකර ගැනීමට කැස කවමින් සිටින මොහොතක ය. මේ අනුව දිනමිණ ඇරඹුම යනු මෙරට සැබෑ නිදහස් සටනේ තීරණාත්මක මංසංධියක් විය. ආරම්භක පුවත්පතේ කතු වැකියම මෙයට නිදසුනකි.

“ශාස්ත්‍ර ඥානයෙන් ද, වෙළහෙළඳාම්, කෘෂි කර්මාන්තාදියෙන් ද ස්වදේශ වාත්සල්‍යාදි ජාතියක් උසස්වීමට හේතුවූ ගුණ ධර්මයෙන් ද අපේ සිංහල ජන සමූහයා ගතවූ ශත සංවත්සරාර්ධය තුළ සැලකිය යුතු ප්‍රමාණයකට දියුණුව සිටින බැව් කිව යුතුය. ස්වදේශාභිවෘධිය සඳහා ක්‍රියා කළ අපේ රාජ මහා මාත්‍යාදී උත්තමයන්ගේ අභාවයෙන් පසු චිරානුගත විශිෂ්ට ගුණ ධර්මයන් ගෙන් ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට පත්වී ආ ලංකාවාසීන් යථෝක්ත පරිහානියෙන් මුදවා නැවතත් උසස් බවට පැමිණවීමට හේතු භූත කරුණු ගැන සලකා බලනවිට සිංහල ප්‍රවෘත්ති පත්‍ර හා සඟරා ප්‍රධාන හේතුවක් වූ බැව් වැටහේමයි.

ලංකාදීපයෙන් පමණක් නොව අන්‍ය දේශවලද ජාති උන්නතිය සඳහා ප්‍රවෘත්ති පත්‍ර ඉවහල් වී තිබේ. සැබැවින්ම යහපත් පිළිවෙළට පවත්වනු ලබන ප්‍රවෘත්ති පත්‍ර සගරාදිය සුලභවීම රටක දියුණුවට ප්‍රතිෂ්ඨාධාරයකි. කරුණු මෙසේ බැවින් සිංහල භාෂාවෙන් පලකරනු ලබන දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් ආරම්භ වීම කලානුරූප ක්‍රියාවන් ලෙස රටට ජාතියට හිත ඇති කවුරුත් කවුරුත් කල්පනා කරත් යයි අපේ විශ්වාසයයි’”

මෙයින් ‘දිනමිණ’ පුවත්පත ඇරඹුම පිළිබඳ අදහසක් අපට ලැබේ. මෙසේ පුවත්පත ඇරඹිය ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමේදී විවිධ අභියෝග එල්ල විය. එහි වඩාත්ම වැදගත් අවස්ථාව එලැඹුනේ ඩී. ආර්. විජේවර්ධන මහතා යටතට ‘දිනමිණ’ පත්වීමෙනි. මෙහිදී දිනමිණ පවත්වා ගෙන යාමට දක්ෂ කාර්යක්ෂම පුද්ගලයන් ගේ සහය අවශ්‍ය බව විජේවර්ධන මහතා පළමුව අවබෝධ කර ගත්තේ ය. ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහ, එන්. එම්. ජිනදාස, ජේ. වෙත්තසිංහ, ඒ. ඩී. ජේ. බී. විජේසේකර, ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට, මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක වැනි දක්ෂයින් පුවත්පතට බඳවා ගැනීම මේ සඳහා හොඳම නිදර්ශනයකි.

එමෙන්ම දිනමිණ පුවත්පතේ අන්තර්ගතයේ සුවිශේෂි වෙනස්කම් රැසක්ද සිදු කළේ ය. 1915 – 03 – 02 දින ඡායාරූපයක් පලකරමින් සුවිශේෂි ආකාරයෙන් මුද්‍රණය විය. එම ඡායාරූපයට ඇතුළත්ව තිබූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ සහ එම බිසවගේ රූප සහ රාජකීය සිංහල කොඩිය ද පුවත්පත් කලාවට නවමු අත්දැකීමක් විය. එමෙන්ම එය ‘දිනමිණ’ ජාතික වටනාකමින් යුතු පුවත්පතක් ලෙස ජනතාවට වඩාත් දැණුනු අවස්ථාවක් ද විය. එමෙන් ම සර් ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාර වරයා මියගිය පසුව ඔහුගේ මෘත දේහය තැන්පත් කර තිබෙන අයුරු රැගත් ඡායාරූපයක් ද පල කළේ ය. මෙමගින් පුවත්පත් කලාවට ඡායාරූපයේ පවතින වැදගත් කම දිනමිණ මැනවින් හඳුන්වා දුන්නේ ය.

තවද ප්‍රවෘත්ති ලබාගැනීමේ දී වඩාත් සුවිශේෂී ක්‍රම සොයා යන්නට විජේවර්ධනයන් උත්සාහ කළේ ය. ඩොනමෝර් ව්‍යවස්ථාව තම පුවත්පත් වල පලකිරීමට කටයුතු කළ ආකාරය මෙන්ම දේශපාලන තොරතුරු ලබාගැනීමට දේශපාලන ලියුම්කරුවකු ලංකාවේ අගමැතිවරයා මුණ ගැස්සවීමට කටයුතු කරවූ ආකාරය ද සුවිශේෂී ය.

එමෙන්ම එකල පුවත්පත් කොළඹට පමණක් ප්‍රධාන කොටම සීමාවී තිබුණි. මෙය තේරුම්ගත් විජයවර්ධන මහතා ‘දිනමිණ’ දුර බැහැර ගම්වලට යැවීමට අවශ්‍ය පියවර රැසක් ද ගත්තේ ය. දිනමිණ බස්රථය, දුම්රියෙන් සහ බස්රථයෙන් දිනමිණ පුවත්පත ඇතුළු ලේක්හවුස් පුවත්පත් බෙදාහැරීම රට පුරා ප්‍රාදේශීය වාර්තාකරුවන් ද උසාවි වාර්තාකරුවන්, පළාත්බද වාර්තාකරුවන්, මාණ්ඩලික වාර්තාකරුවන් පත්කර පුවත්පත් සඳහා කඩිනමින් පුවත් ලබා ගැනීමට සහ ලේක් හවුස් ගොඩනැඟිල්ල ඉදිකර ආයතනික ව්‍යුහයක් ලබාදී පුවත්පත් දැවැන්ත ව්‍යාපාරයක් බවට ද පත් කිරීමට විජේවර්ධන මහතා කටයුතු කළේය. විජේවර්ධන මහතා ගේ පසු කාලීනව වුව එම පුවණතා පුවත්පත කෙරෙන් දැක ගන්නට ලැබුණි. මෙලෙස ‘දිනමිණ’ නව තාක්ෂණික ප්‍රවණතා, නව හඳුන්වාදීම් සමඟ පෙරට ගියේ ය.

ඒත් සමඟම දිනමිණ ට විවිධ බලවේග අභියෝග කළේය. මෙරට වාමාංශික ව්‍යාපාරය ‘දිනමිණ’ සහ ලේක්හවුසිය විනාශ කළ යුතු බවට ප්‍රකාශ කළේය.

“.... බේරේ ගෙදර කියන එක සම්පූර්ණයෙන් පොලවට මට්ටම් කර බේරේ වැවේම ගිල්වා දමලා ඒක මුළුමනින්ම නැති කරලා දමනවා නම් ජාතියේ දීප්තිමත් අනාගතය ආරක්ෂා කරගැනීම සඳහා කළ හැකි ඊට වඩා හොඳ දෙයක් නැති බව කියන්න කැමතියි.”

විටෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙලෙස ලේක්හවුසිය ම විවේචනය කළේය. මෙවැනි අභියෝග, ප්‍රකාශ හමුවේ දිනමිණ වත්, ලේක් හවුසියවත් කිසි දිනක කඩා බිඳ දැමීමට කිසිම බලවේගයකට නොහැකි විය. එය වඩාත් ජනතාවගේ ආදරය දිනාගත් ආයතනයක් පුවත්පතක් බවට පත්විය.

වසර සියයක්ම සාර්ථකව පුවත්පත පවත්වාගෙන යාමට හැකි වූයේ ජනතාවගේ ආදරය සහ විශ්වාසය එලෙසින්ම රැකගත් අභියෝග ජයගත් නිසාය. එය අද පමණක් නොව තවත් සියවස් ගණනාවක් ජනතාව ආදරය කරන, විශ්වාස කරන පුවත්පතක් වනුයේ එහෙයිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්