පන්හිඳෙන් හා කැමරාවෙන්පෙළහර පෑ ක්‍රීඩා පිටුව

පන්හිඳෙන් හා කැමරාවෙන්පෙළහර පෑ ක්‍රීඩා පිටුව

‘ දිනමිණ” සහ ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රය අරබයා අතීතය සොයා යාමේදී “දිනමිණ” පත්‍රයේ දීප ව්‍යාප්ත අලෙවියට එහිමුල් පිටුව මෙන්ම ක්‍රීඩා පිටුව ද ප්‍රධාන භූමිකාවක් රඟපෑ බව දිස්වෙයි. ජනමාධ්‍ය ඉතා දුර්වලව පැවැති ඒ අවධියේ “දිනමිණ” පුවත්පත ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අංගයක් බවට පත්ව තිබිණි. “දිනමිණ” කියැවීම උදේට නැගිට තේ කෝප්පයක රස බලන තරමට ජනතාව කෙරෙහි කිඳා බැස තිබිණි.

ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ එදා එකම මාධ්‍ය වූයේ “දිනමිණ” යි. අද තරම් ජනතාවට ඉංගී‍්‍රසි දැනුමක් නොතිබූ ඒ අතීතයේ දී ක්‍රීඩාවට ලැදි පාඨකයන් මිලදී ගත්තේ “ඩේලිනිව්ස්” පත්‍රය නොව “දිනමිණ” ය.

ක්‍රීඩාවේ තොරතුරු දැනගැනීමේ පිපාසය සංසිඳුවා ගැනීම පිණිස ක්‍රීඩාලෝලී ජනතාව “දිනමිණ” පත්තර තට්ටුවට එනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. සිංහල පාඨකයනට එදා ක්‍රීඩා විස්තර දැනගැනීමට වෙනත් කිසිම මාධ්‍යයක් නොතිබිණි. යුද්ධ කාලයේ සිටම “දිනමිණ” ජනපි‍්‍රය වීමට ක්‍රීඩා පිටුව ප්‍රධාන වශයෙන් හේතුවිණි.

රටේ සිදුවන ක්‍රීඩාව පිළිබඳ තොරතුරු ජනතාව අතරට ගෙන ගොස් ඔවුන් දැනුවත් කිරීමේ වගකීම ජනමාධ්‍ය ඇතුළත එදා පැවැරී තිබුණේ “දිනමිණ” ටය. ඊට ප්‍රධාන හේතුව වූයේ වසර එක්සියයක් ගෙවෙන අද මෙන් ම එදාත් ලේක්හවුස් ආයතනය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල ආයතනයක් ලෙසින් වගකීම ඉටු කිරීමය.

වර්තමානයේ මෙන් ම අතීතයේදීත් ක්‍රීඩා පුවත් දිගහැරුණේ පත්‍රයේ පිටුපස පිටුවේය. සිරස්තල හැදුණේ අකුරු ප්‍රමාණයෙනි. යොදා ගැනුණේ කළු - සුදු ඡායාරූපය. ඒවා මුද්‍රණය වූයේ ලේක්හවුසියේ ම ස්ටූඩියෝවෙනි. එකල අගනුවර තිබුණු හොඳම ස්ටූඩියෝව එය විය. අද ලංකා බැංකු ලේක්හවුස් ශාඛාව තිබෙන ස්ථානය එදා ලේක්හවුස් ස්ටූඩියෝවේ නිවහන විය.

අද තරම් එදා ක්‍රීඩා ලොවට තැනක් තිබුණේ නැත. ඒ කාලයේ ක්‍රිකට් ගැන අහන්නවත් ලැබුණේ් නැතැයි පැරැන්නෝ පවසති. එකල ඉතාමත් ජනපි‍්‍රයව තිබුණේ පාසල් ක්‍රිකට් ය. වාර්ෂික පාසල් මහ ක්‍රිකට් තරගවලට එදා හිමිව තිබුණේ අද අන්තර්ජාතික ටෙස්ට් තරගවලට හිමිව තිබෙන ස්ථානයයි. ක්‍රීඩාලෝලී ජනතාව පාසල් මහ ක්‍රිකට් තරග පිළිබඳ දැක්වූයේ පුදුමාකාර උනන්දුවකි.

ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් තරග විස්තර දුටුවේ “දිනමිණ” ක්‍රීඩා පිටුවෙන් බැවිනි. රූපවාහිනිය නොතිබූ ඒ වකවානුවේ ලංකා ගුවන් විදුලි සේවය වරින්වර පැයක් පමණ තරග විස්තර ප්‍රචාරය කෙළේය. ආනන්ද – නාලන්දා, රාජකීය - සාන්ත තෝමස්, කිංග්ස්වුඩ් – ධර්මරාජ, මහින්ද – රිච්මන්ඩ්, ඉසිපතන, තර්ස්ටන්, ධර්මාශෝක - දේවානන්ද වැනි මහ ක්‍රිකට් තරගවලට නිරතුරුව ප්‍රාණය එක්කෙළේ “දිනමිණ” ක්‍රීඩා පිටුවය.

යාපනයේද පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් හොඳින් ක්‍රියාත්මකව තිබිණි. යාපනයේ හාට්ලි විද්‍යාලය අන්තර් පාසල් ක්‍රිකට් තරග බිමේ සමස්ත ලංකා මට්ටමෙන් ඉතාමත් ප්‍රබල තත්ත්වයක සිටියේය. යාපනය මහ විදුහල මෙන්ම හින්දු විදුහල ද අන්තර් පාසල් ක්‍රිකට් තරග පිටියේ පෙළහර පෑ දක්‍ෂ කණ්ඩායම් අතර වූහ.

එකල ක්‍රීඩා පුවත් ජනතාව අතරට ගෙන යාමේ කාර්යයේදී ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ලොකු දායකත්වයක් ලැබිණි. විශේෂයෙන් ගාල්ල, නුවර, යාපනය, අම්බලන්ගොඩ, මොරටුව වැනි ප්‍රදේශයන්හි ක්‍රීඩා වාර්තාකරණය ඔවුහු අකුරටම ඉටු කළහ. ඒ කාලයේ ක්‍රීඩාවට කියා වෙන්වූ ප්‍රාදේශීය වාර්තාකරුවෝ නොසිටියහ. අනෙක් පුවත් ආවරණය කරන අතරවාරයේ ම ඔවුහු ක්‍රීඩා පුවත් ද සොයා බැලූහ.

එක්දහස් නවසිය හැට ගණන් වන විට ලේක්හවුසියට සිටියේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පනහක පමණ පිරිසකි. බොහෝ අවස්ථාවන්හිදී එක් ඡන්ද කොට්ඨාසයකට සිටියේ එක් ප්‍රාදේශීය වාර්තාකරුවකු පමණි. ඒ පෙදෙස්හි ක්‍රීඩා ඉසව්වක් පැවැත්වෙද්දී ඔවුන් ඒ වෙනුවෙන් වැඩ කෙළේ “බොක්කෙන්” ම ය. ඒ අවධියේ අද මෙන් දුරකථන පහසුකම් තිබුණේ නැත.

නුවර සිට කොළඹට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ඒ ඇමතුම “බුක්” කොට පැය ගණන් බලා සිටීමට ඔවුනට සිදුවිය. එය “ට්‍රන්ක් කෝල්” ලෙසින් හැඳින්විණි. ඒ ඇමතුම් ලබාගත හැකිව තිබුණේ තැපැල් කාර්යාලවලින් පමණි. එකල “පෝස්ට් ඔෆිස්” තිබුණේ සීමිත ප්‍රමාණයකි.

ඕවල් ක්‍රීඩාංගණය

වර්තමානයේ මෙන් එදා ලංකාවට අන්තර්ජාතික තරග තිබුණේ නැත. එකල රටකින් රටකට ආවේ ගියේ ඉතා කලාතුරකිනි. එංගලන්ත හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම් තරග කිරීම සඳහා ඔවුනොවුන්ගේ රටවලට යන අතරවාරයේ ලංකාවට පැමිණ ඕවල් පිටියේ ක්‍රීඩා කළහ.

මේ අතරතුර ඔවුහු නිත්තවෙලට ගොස් රගර් ක්‍රීඩා කළහ. එකල මහනුවර නිත්තවෙල පිටිය අපේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රධාන මර්මස්ථානයක් විය.

ලංකා සවාරිය

ලංකාවට තිබූ ප්‍රධානතම විදෙස් තරගාවලිය වූයේ ඉන්දියාවේ ගෝපාලන් කුසලාන ක්‍රිකට් තරගාවලියයි. ලංකා කණ්ඩායම එහි ගිය අතර ඉන්දියා පිල මෙහි ආවේය. ලංකාව ඉන්දියාව සමඟ හුවමාරුවක යෙදුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණක් නොවේ. අපේ පාපැදි ක්‍රීඩකයෝ ඉන්දියාවට ගොස් තරග වැදුණු අතර ඉන්දියානුවෝ පෙරළා ලංකාවට පැමිණියහ.

මේ වකවානුවේ ලාංකේය පාපැදි ක්‍රීඩාව ඉතාමත් ඉහළ අඩියක තිබිණි. මොරිස් කුමාරවේල් හා ජිනදාස එකල අපේ ප්‍රධානතම පාපැදි ක්‍රීඩකයෝ වූහ. “ලංකා සවාරිය” මහා පාපැදි තරගය ආරම්භ වෙද්දී මෙරට පාපැදි වීරයන් බවට පත්ව සිටියේ මේ දෙදෙනායි.

ලොව ජනපි‍්‍රයතම ප්‍රංස පාපැදි සවාරියට ලාංකේය සමානත්වය වූ “ලංකා සවාරිය” පාපැදි තරගය දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ධාවනය වූයේ ලේක්හවුස් ආයතනයේ “දිනමිණ” පත්‍රයේ අනුග්‍රහයෙනි. පාපැදි ක්‍රීඩාවට අමතරව “දිනමිණ” එදා ප්‍රධාන තැනක් දුන්නේ වොලිබෝල් ක්‍රීඩාවටය.

එකල දිවයිනේ ප්‍රධානතම වොලිබෝල් කෙළිබිම වූයේ ලේක්හවුසිය අභියස රජයේ ගබඩා භූමියයි. අද එහි මහජන රථගාල් කෙරෙයි.

වර්නන් ගුණසේකර

මේ කී නොකී සියලු සෙල්ලම් පන්හිඳෙන් ද කැමරාවෙන් ද ජනතාවට ඉදිරිපත් කරමින් “දිනමිණ” කළ යුග මෙහෙවර ලාංකේය ක්‍රීඩා ඉතිහාස පොතේ දුර්වර්ණ නොවන පිටුවකි.

එදා මෙන් ම අදත් ශශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේත් ක්‍රීඩාවට ලැදි පාඨකයන්ගේත් මනදොළ පිනවීම වර්තමාන “දිනමිණ” ක්‍රීඩා අංශය ද සිය වගකීම කරගෙන සිටින්නේ ඉතාමත් සන්තෝෂයෙනි. සියක් වසරකට පා ඔසවන දිනමිණ ක්‍රීඩා පිටුව මෙලොව ක්‍රීඩාව පවතින තාක් කල් මෙරට ක්‍රීඩාලෝලී පාඨකයන්ගේ හදවත් සනහාලන ක්‍රීඩා රස මංජුසාව වනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්